විශාඛා විද්යාලයේ විදුහල්පතිනිය උසස් පෙළ පළමු වසරට තේරී පත්වී සිටින විද්යාලයේ ළමුන් අමතා ලියන ලද ලිපියක් මගින් උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්නා වසර දෙක සඳහා පහත සඳහන් ගාස්තු එකවර ගෙවන ලෙස ඉල්ලා තිබේ. ගෙවිය යුතු මුළු ගාස්තුවේ ප්රමාණය රුපියල් 8320කි.
එම මුළු ගාස්තුව සකස් වී තිබුණේ පහත සඳහන් අයකිරීම් යටතේය.
පහසුකම් හා සේවා ගාස්තුව රු. 120.00
ආරක්ෂක අරමුදලට රු. 1920.00
විෂය සමගාමී ක්රියාකාරකම් රු. 1100.00
දානය හා ක්රීඩා උත්සව රු. 720.00
විද්යාගාර ගාස්තු රු. 1100.00
ත්යාග ප්රදානෝත්සවය රු. 240.00
විදුලි ගාස්තුව රු. 960.00
සනීපාරක්ෂක සේවා ගාස්තු රු. 240.00
රු. 8320.00
මෙය හැම පාසලකම ක්රියාත්මක වන ක්රමයක්ද සුපිරි පාසල්වලට පමණක් සීමාවූ ක්රමයක්ද, ඒත් නැත්නම් විශාඛා විද්යාලයට පමණක් සීමාවූ ක්රමයක්ද යන්න පැහැදිලි නැත. ආරක්ෂක අරමුදලට ශිෂ්යයෙකුගෙන් වසරකට අය කරගන්නා මුදල රුපියල් 960කි. එයද සුපිරි පාසල් සඳහා පමණක් ක්රියාත්මක වන ක්රමයක්ද නැතිනම් සියලු පාසල් සඳහා ක්රියාත්මක වන ක්රමයක්ද යන්න පැහැදිලි නැත. පාසල් ශිෂ්යයෙකුගෙන් විදුලි ගාස්තුව වශයෙන් මසකට රුපියල් 40ක මුදලක් අයකර ගන්නා බවද පෙනේ.
මෙම සියලු ගාස්තු ගෙවූ පසුද මෙම විදුහලේ උසස් පෙළ හදාරණ ළමුන්ට ටියුෂන් අධ්යාපනය සඳහාද මසකට රුපියල් දහ පහළොස් දහසක මුදලක් වැය කරන්නට සිදුවනු ඇතැ”යි සිතිය හැකිය.
ගාල්ලේ මා ජීවත් වන නිවස අසල ජීවත් වන ළඟ අසල්වැසියකුට ගැහැනු දරුවන් දෙදෙනකුද සිටින්නේය. එම දරුවන් දෙදෙනාම අධ්යාපනය ලබන්නේ ගාල්ලේ ප්රධාන පෙළේ බාලිකා විද්යාලයකය. වැඩිමහල් ළමයා 12 වැනි ශ්රේණියේද, දෙවැනි ළමයා 10 වැනි ශ්රේණියේද අධ්යාපනය ලබයි. පියා මිලිටරි පොලීසියේ සේවය කොට දැන් ත්රීරෝද රථයක් එලවයි. මව වැඩ කරන්නේ පොලීසියේය.
මෙම දරු දෙදෙනාට ගෙදර ඉන්න සිදුවී තිබෙන්නේ රාත්රී කාලයේ පමණය. පාසල් යන්නට පෙර හිමිදිරි උදයේද ඔවුන් ටියුෂන් පන්ති යන්නේය. පාසල් කාලයෙන් පසු නැවත ටියුෂන් පන්ති යන ඔවුන් සිය දෙමාපියන් සමග ගෙදර එන්නේ රාත්රී කාලයේය.
මම දිනක් ඔවුන්ගේ පියාගෙන් දරුවන් සඳහා මසකට යන ටියුෂන් වියදම කොතෙක්දැ”යි අසා සිටියෙමි. දෙදෙනාට රුපියල් දස දහසක් පමණ වියදම් වන බව ඔහු කියා සිටියේය. ගෘප් ක්ලාස්වලට යවන නිසා වැඩි මිලක් ගෙවන්නට සිදුවී තිබෙන බවද ටියුෂන් ගමන් නිසා ත්රීවිලයෙන් උපයන ආදායමද හොඳටම පහත වැටී තිබෙන බව කියා සිටිමින් එම උපයන ආදායම මුළුමනින් වාගේ ටියුෂන්වලට වියදම් කරන බවද කියා සිටියේය.
රට පුරා පවතින තත්ත්වය අඩු වැඩි වශයෙන් මීට සමානය. නිදහස් අධ්යාපන ක්රමය යටතේ මහජන වියදමින් පවත්වාගෙන යන පාසල් ක්රමයට ගාස්තු ගෙවන බාහිර පන්තිවලට සහභාගිවීමෙන් තොරව ළමුන්ට විභාග සමත්වීමට පුළුවන් අධ්යාපනය ලබාදීමට නොහැකි වී තිබෙන බව පෙනේ. ගාස්තු ගෙවන ටියුෂන් අධ්යාපනයෙන් තොරව පාසල් අධ්යාපනයෙන් පමණක් විභාග සමත්වීමට හැකියාවක් නැතිනම් ඉන් පෙනෙන්නේ රටේ තිබෙන පාසල් අධ්යාපන ක්රමය එය වෙත පැවරී තිබෙන මූලික යුතුකම හා වගකීම ඉටුකිරීමට අසමත්ව තිබෙන බව නොවේද? එම අශෝභන තත්ත්වයේ වෙනසක් රටට අවශ්ය නැද්ද?