සුදර්ශන ගුණවර්ධන විසින් තමා හඳුන්වාගෙන තිබෙන ආකාරයට ඔහු රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්යක්ෂවරයාය. නිදහස් වේදිකාවේ සම කැඳවුම්කරු හා නීතිඥයෙකි. ඔහු විසින් මාර්තු 31 වැනි දින ගාලු පුරහලේදී කරන ලද කතාවක් ලිපියක් ලෙස සංස්කරණය කොට “සමබිම” මැයි කලාපයේ පළකර තිබුණි. මේ ලිපිය අරමුණු කොටගෙන තිබුණේ ඔහුද ඇතුළත් ඔහුගේ ව්යාපාරය (නිදහස් වේදිකාව) විසින් දිනාගැනීමට අපේක්ෂා කරන ප්රතිසංස්කරණ වැඩසටහනක් හඳුන්වාදීමය. ඔහු එම හඳුන්වාදීම කර තිබුණේ මාගේ ප්රතිසංස්කරණ වැඩසටහනින් ඔවුන්ගේ වැඩසටහන වෙනස්වන්නේ කෙසේදැ”යි පෙන්වාදීමට දරන උත්සාහයක් ඔස්සේය. එහිදී ඔහු මගේ අදහස් ඉතාමත් අශෝභන ලෙස විකෘති කර තිබුණි.
සමාජ ක්රමය හා රාජ්යයද ප්රතිසංස්කරණයකට ලක්විය යුතු බව ඉතාමත් කෙටියෙන් විස්තර කරන අතර එය කරන්නේ කෙසේද යන්න පෙන්වාදීමේදී ඔහු මෙසේ කියා තිබේ.
“දැන් ගැටලුවවන්නේ මෙය සිදුකරන්නේ කෙසේද යන්නයි. උදාහරණයක් වශයෙන් ගතහොත් රාවයේ කර්තෘ වික්ටර් අයිවන් මහතා ඔහුගේ පත්තරයෙන් නිතරම කියන්නේ සමාජ ප්රතිසංස්කරණය කළයුතු බවය. මේ ක්රමය කුණුවෙලා. මෙය මජර ක්රමයක්. මෙය ප්රතිසංස්කරණය කළ යුතුයි යනුවෙන් ඔහු කියයි. ඒ සඳහා ඔහු කරන්නේ රාජ්ය පාලකයාට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීමයි…..”
තමන්ගේ දේශපාලන අදහසක් තහවුරු කිරීම සඳහා වෙනත් දේශපාලන අදහසක් ඛණ්ඩනය කළයුතු අවස්ථාවකදී එසේ කළයුත්තේ ප්රතිවිරුද්ධ මතය නිවැරදි ලෙස ගෙනහැර දක්වමින් එය තර්කානුකූලව ඛණ්ඩනය කිරිම මගින් මිස ප්රතිවිරුද්ධ දේශපාලන මතය විකෘති කිරීමෙන් නොවේ. මෙවැනි සරල කාරණයකදීවත් අවංක විය නොහැකි පුද්ගලයෙකුට අවංක ප්රතිසංස්කරණවාදියකු විය හැක්කේ කෙසේද?
ප්රතිසංස්කරණ දිනාගැනීම
ආණ්ඩුවේ නායකයන්ට බණකීමෙන් මේ සමාජ ක්රමය හා දේශපාලන ක්රමය වෙනස් කළහැකියැ”යි මා කිසිදිනක විශ්වාස කර නැති අතර එවැනි අදහසක් මා කිසිවිටෙකත් ප්රකාශ කරද නැත. ප්රචණ්ඩ විප්ලවය සමාජ-දේශපාලන ක්රමයේ මූලික වෙනසක් ඇති කිරීම සඳහා තෝරා ගතහැකි එක ප්රධාන මාර්ගයකි. එහෙත් මා ඒ මාවත ගැලවුම්කාර මාවතක් ලෙස පිළිගන්නේ නැත. ඒ මාවතේ වැඩි ඉඩක් තිබෙන්නේ විනාශයකටය. එවිට ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා තෝරාගැනීමට ඉතිරිවන්නේ සාමකාමී ප්රජාතන්ත්රවාදී මාවතය. ඒ මාවතේදීද තෝරාගැනීමට අතුරු මාර්ග දෙකක් තිබෙන්නේය. ඒ සඳහා ඉන් එකක් වනුයේ නීති සම්පාදකයන් එකඟ කරවා ගැනීම මගින් ඒ අරමුණු දිනාගැනීමය. තිබෙන සමාජ දේශපාලන ක්රමය තුළම විකල්ප සමාජ ක්රමයක් ගොඩනගා ගැනීම මගින් එම සමාජ ක්රමය හා චින්තනය ප්රධාන ධාරාව බවට පත්කරමින් පැරණි සමාජ ක්රමය හා දේශපාලන ක්රමය පරාජය කිරීම දෙවැනි ක්රමයයි. මා “ලංකාව ගලවාගැනීම” යන කෘතියෙන් පෙන්වා දී ඇත්තේ ඒ මාවතය. නීති සම්පාදකයන් එකඟ කරවාගැනීමේ ක්රමය මෙම මාර්ග දෙකෙන් තිබෙන පහසු මාර්ගය ලෙස සැලකිය හැකිය.
නීති සම්පාදකයන් එකඟ කරවා ගැනීම මගින් ඒ අරමුණ දිනාගැනීමට දරන උත්සාහයකදී ආණ්ඩු පක්ෂය, විරුද්ධ පක්ෂය හා මහජනයා යන සාධක තුනම එක සමාන වැදගත්කමකින් යුතුය. ආණ්ඩුවේ එකඟතාව සේ ම විරුද්ධ පක්ෂයේ එකඟතාවද ඒ සඳහා අත්යවශ්යය. ඒ සමග මහජනයාද ඒ අරමුණ වෙනුවෙන් ක්රියාකාරී තැනකට ගැනීම වැදගත්ය.
මාගේ අදහස වූයේ ඊළඟ ආණ්ඩු පෙරළියක් ඇතිවන තෙක් බලා නොසිට ඒ අරමුණ දිනාගත යුතු තැනකට යායුතු බවය. සුදර්ශනගේ ප්රවේශය ඊට වෙනස්ය. ඔහුගේ මතය අනුව ප්රතිසංස්කරණ දිනාගත යුත්තේ ඊළඟට ඇතිවන ආණ්ඩු පෙරළියේදීය.
මා එම අරමුණ ප්රමාද නොකොට හැකි ඉක්මනින් දිනාගත යුතු බව කියන්නේ ප්රධාන කරුණු හතරක් මුල්කොට ගෙනය. ඒවා මෙසේය.
i. ත්රස්තවාදී පහරදීම් සිදුවන වටාපිටාවක දේශපාලන ක්රමයේ මූලික ප්රතිසංවිධානයන් ඇති කළ නොහැකිය. ඒ තත්ත්ව දිනාගැනීම සඳහා වන ඓතිහාසික අවස්ථාව එළැඹ තිබෙන්නේ දැන්ය.
ii. දේශපාලන ක්රමයේ දූෂිතභාවය නාස්තිකාරභාවය හා විනාශකාරීභාවය මහජනයාට පෙනෙන ලෙස දේශපාලන ක්රමය නිරුවත් වී තිබෙන්නේ ද දැන්ය. මීට පෙර මහජනයාගේ ප්රධාන අවධානය ත්රස්තවාදී පහරදීම් කෙරෙහි යොමුවී තිබීම නිසා දේශපාලන ක්රමයේ සැබෑ ස්වභාවය හොඳින් දැකීමේ හැකියාව ඔවුන්ට නොතිබුණි.
iii. මෙම දේශපාලන ක්රමය තවදුරටත් ඉදිරියට ගෙනයා නොහැකි තරමටම ජරාජීර්ණ තත්ත්වයකට පත්ව ඇත්තේද දැන්ය.
iv. මෙම දේශපාලන ක්රමය තුළ කළු සල්ලිවලට ඇති පරාධීනත්වය නොකඩවා වර්ධනය වී දැන් එහි උච්චතම තැනකට පැමිණ ඇතැයි කිව හැකිය. දේශපාලන ක්රමයේ ඇති කරන ප්රතිසන්ධානයක් මගින් ප්රමාද නොවී මෙම තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීමට අසමත්වෙතොත් මැක්සිකෝව ඇද වැටී තිබෙන අවාසනාවන්ත තත්ත්වයට සමාන තත්ත්වයකට ශ්රී ලංකාවද පත්විය හැකිය.
මෙම තිසීසය මා මේ මොහොතේ ඉදිරිපත් කරන ලද්දක් නොව, යුද්ධය අවසන්වීමත් සමග ඉදිරිපත් කරන ලද්දකි. එයට ඇතුළත් පුරෝකථනය මේ වන විට කිසියම් ප්රමාණයකට සැබෑවෙමින් තිබේයැ”යි ද කිවහැකිය. ආණ්ඩු පෙරළියක් ගැන හඬ නැගූ බොහෝ අය ක්රමයෙන් දේශපාලන ප්රතිසංස්කරණ ගැන කතා කරන තැනකට මාරුවෙමින් සිටින බවද පෙනෙන්නට තිබේ.
ශ්රී ලංකාව ප්රතිනිර්මාණය කිරීම
දැන් රට තල්ලුවෙමින් තිබෙන්නේ දේශපාලන ප්රතිසංස්කරණ ජාතික දේශපාලන න්යාය පත්රයේ අංක 1 බවට පත් කරන අවස්ථාවකටය. මුලදී ආණ්ඩුව ප්රතිසංස්කරණ නොසලකා ඉදිරියට යන්නට උත්සාහ කළේය. විරුද්ධ පක්ෂ ව්යාපාරද දේශපාලන ප්රතිසංස්කරණ ගැන වෙනුවට සිහින දැක්කේ ආණ්ඩු පෙරළියක් ගැනය. දැන් ඒ දෙපිරිසටම තමන්ගේ පරණ වැඩසටහන්වලින් ඉවත් වී දේශපාලන ප්රතිසංස්කරණ ඇති කර ගැනීමේ අවශ්යතාව පිළිගන්නා තැනකට ඒමට සිදුවී තිබෙන්නේය. දැන් ඇතිවෙමින් තිබෙන්නේ මේ රටේ අනාගතය හා එහි හැඩතල තීරණය කැරෙන ඉතාම වැදගත් ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම ප්රතිසංස්කරණ න්යාය පත්රය පටුතැනක හිරවන්නට ඉඩ නොදී එය සියලුදෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ශ්රී ලංකාවක් ප්රතිනිර්මාණය කරගැනීමට හේතුවන න්යාය පත්රයක් බවට පත්කර ගැනීම දැනුවත් සමාජය වෙත පැවරෙන වගකීමකි.
ජාතික වැදගත්කමක් ඇති හොඳ ප්රතිසංස්කරණ න්යාය පත්රයක් සකස් කරගැනීමට හැකිවනු ඇත්තේ විවිධ අංශවල ප්රතිසංස්කරණ අවශ්යතාවන් ගැන උනන්දුවක් දක්වන පුද්ගලයන් හා සමාජ සංවිධාන ඔවුන්ගේ ප්රශ්න එම න්යාය පත්රයට ඇතුළත් කිරීමට සමත්වන්නේ නම් පමණය. දෙමළ ප්රශ්නයට සීමාවී ඇති වර්ග ප්රශ්නයට මුස්ලිම් හා උඩරට දෙමළ ප්රශ්නය සේ ම ආගම් හා කුල ප්රශ්නයද ඇතුළත් කළ හැකිය. යහපත් ආණ්ඩුකරණයක් ගැන උනන්දුවක් දක්වන අයටද ඔවුන්ගේ යෝජනා ඊට එකතු කළ හැකිය. දූෂණය හා නාස්තිය ගැන උනන්දුවක් දක්වන අයදට ඊට එකතුවිය හැකිය. ස්වාධීන අධිකරණ ක්රමයක් ගැන උනන්දුවක් දක්වන අයටද එසේ කළ හැකිය. එකට ගැටගසන ලද වැටුප් ක්රමයක් මත හිරවී පීඩා විඳින රාජ්ය සේවකයන්ටද එම තත්ත්වය ජයගැනීම සඳහා සිය වෘත්තීය සමිති සංවිධාන මගින් ඊට එකතුවිය හැකිය. මේ ආකාරයට යහපත් අධ්යාපන ක්රමයක්, සෞඛ්ය සේවයක්, ගමනාගමන සේවයක්, අයබදු ක්රමයක් ගැන සේ ම කෘෂිකර්මය, කර්මාන්ත, බලශක්ති, පරිසරය, විදේශ ප්රතිපත්ති වැනි අංශ ගැන විශේෂ උනන්දුවක් ඇති අයටද ඒ සඳහා වන අදහස් හා යෝජනා සමග එම ක්රියාවලියට එකතුවිය හැකිය. ඒ මගින් එක්සත් ජාතියක්ද ප්රජාතන්ත්රවාදී සමාජයක් හා ඊට ගැළපෙන ආණ්ඩු ක්රමයක්ද සහිත සියලුදෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන නව ශ්රී ලංකාවක් ප්රතිනිර්මාණය කැරෙන ඓතිහාසික ක්රියාවලියක් බවට එම ප්රතිසංස්කරණ අවකාශය යොදාගත හැකිය.
අප මෙතෙක් හැමදෙයක්ම කර ඇත්තේ හදිස්සියේ හා දඩිබිඩි ස්වරූපයකිනි. ඒ නිසාම ඒවා අසාර්ථක හා ඉක්මනින් මහජනයාට එපා වන දේවල් බවට පත්වූයේය. ඉන්දියාව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇතිකර ගැනීම සඳහා අවුරුදු තුනහමාරකට ආසන්න දීර්ඝ කාලයක් ගත්තේය. එහිදී හැම වැදගත් කරුණක්ම පාහේ තියුණු ලෙස සලකා බලන ලදි. ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා විධිමත් සංවිධාන රාමුවක් ඉන්දියාවට තිබුණේය. දැන් අප තෝරාගත යුතුව තිබෙන්නේද ඊට සමාන ක්රමයකි. දකුණු අප්රිකානු අත්දැකීමෙන්ද අපට ඉගෙන ගත හැකිය. ඒ මගින් දැන් අප සම්පූර්ණ කරගත යුතුව තිබෙන්නේ රටට නිදහස ලැබෙන අවස්ථාවේදී සම්පූර්ණ කරගැනීමට අසමත් වූ ප්රධාන දේවල්ය. එහෙත් මේ ක්රියාවලිය මතභේද හා පසුබැසීම්වලින් තොරව එක එල්ලේ සාර්ථක ලෙස ඉදිරියට ගලායනු ඇතැ”යි සිතිය නොහැකිය. ප්රශ්න, අවුල් හා මතභේද ඇතිවිය හැකි වුවත් එය තර්කානුකූල අවසානයක් කරා ගෙන යෑමට හැකි වෙතොත් සියලුදෙනාගේ ගෞරවයට හේතුවන නව රටක් ඇති කරගැනීමට හැකිවනු ඇතැ”යි සිතිය හැකිය.
සුදර්ශනගේ විකල්ප ප්රවේශය
ප්රතිසංස්කරණ සඳහා සුදර්ශන ඉදිරිපත් කරන විකල්ප ප්රවේශය ළද බොළඳ වනවා පමණක් නොව, මේ අවස්ථාවේ රටේ පවතින දේශපාලන යථාර්ථයන්ට ගැළපෙන්නේද නැත. ඔහු සිය අදහස් ඉදිරිපත් කර තිබෙන්නේද ශක්තිමත් න්යායික විශ්ලේෂණයකින් තොරවය. මනුෂ්යයාගේ ආකල්පවල වෙනසක් ඇතිවිය යුතු බවත් සමාජය නැවත ප්රතිසංස්කරණය වියයුතු බවත් රාජ්ය යන්ත්රයද නැවත ප්රතිසංවිධානය කළයුතු බවත් සුදර්ශන කියයි. ඔහු ඒ අරමුණ දිනාගැනීමට අපේක්ෂා කරන්නේ විරුද්ධ පක්ෂය සමග එකට වැඩ කරන ප්රතිපත්තියක් මගින් ඊළඟට ඇතිවන ආණ්ඩු පෙරළියකදීය. “විපක්ෂයේ දේශපාලන පක්ෂයක් අනාගතයේ කවදා හෝ දවසක බලයට පත්වීමට නියමිත” බව ඔහු අවධාරණයෙන් ප්රකාශ කරයි. “නිදහසේ වේදිකාව” ඇති කරගැනීම මගින් ඔහු උත්සාහ කර තිබෙන්නේ එම ප්රතිසංස්කරණ අවශ්යතාව විපක්ෂයේ නායකයන්ට පමණක් නොව එම පක්ෂවල සාමාජිකයන්ටද ඒත්තුගැන්වීමය.
විරුද්ධ පක්ෂයේ පක්ෂ කිහිපයක් සමග විටින් විට ප්රසිද්ධ රැස්වීම් පැවැත්වීම අයහපත් දෙයක් ලෙස සැලකිය නොහැකිය. එහෙත් සුදර්ශන එම සීමිත ක්රියාදාමයට ලැබිය යුතු සීමිත වටිනාකමට අතිවිශාල ජාතික වැදගත්කමක් ලබාදීමට උත්සාහ කරයි. නිදහසේ වේදිකාව සියලු විරුද්ධ පක්ෂ ව්යාපාර එකට එකතු කළ පොදු වේදිකාවක් නොව නිල එක්සත් ජාතික පක්ෂයට හා ඉතාමත් පුංචි වාමාංශික පක්ෂ කිහිපයකට සීමාවූ වේදිකාවකි. ඊට එජාපයේ සජිත් පිල ඇතුළත් නැත. ජනතා විමුක්ති පෙරමුණ සේ ම, පෙරටුගාමී පක්ෂයද ඇතුළත් නැත. අනෙක් අතට සුදර්ශනලාගේ ව්යාපාරය එම වේදිකාවට එන, පක්ෂ කිහිපය සමග හෝ තමන්ගේ ප්රතිසංස්කරණ ඉල්ලීම් ගැන බැරෑරුම් සංවාදයක නිරත වන බවක්ද පෙනෙන්නට නැත. අඩුම වශයෙන් තමන් ඉල්ලා සිටින ප්රතිසංස්කරණ විස්තර කරන හා විග්රහ කරන න්යායික ප්රකාශනයක්වත් ඉදිරියට ගන්නට ද ඔවුන් සමත් වී නැත. ඔවුන් කතා කරන්නේ හිතේ තියෙන අපැහැදිලි දේවල්ය. කොටින්ම සුදර්ශන ජනතා ව්යාපාරයක පෙනුම ලබාදෙන්නට උත්සාහ කර තිබෙන්නේ විදේශ ආධාර මත යැපෙන ඒ සඳහා ඉදිරිපත් කළ ව්යාපෘති සැලැස්මකට අනුව ක්රියාත්මක වන ව්යාපෘතියකටය. ප්රසිද්ධ රැස්වීම් පැවැත්වෙනුයේද එම ව්යාපෘති වැඩසටහනට ඇතුළත් අංගයක් ලෙසය. එවැනි ව්යාපෘතියක් මහජන ව්යාපාරයක් ලෙස හැඳින්වීම තරම් විහිළුවක් තවත් තිබිය හැකිද?
මොනම වැදගත් කරුණක් ගැනවත් විධිමත් න්යායික විශ්ලේෂණයක් නැතිකම සුදර්ශනගේ ව්යාපාරයට පමණක් නොව, වර්තමාන ශ්රී ලංකාවේ දේශපාලන තලයේ පොදුවේ දක්නට ලැබෙන ලොකු දුර්වලකමක් ලෙස සැලකිය හැකිය. වෙනස් හෝ විකල්ප දේශපාලන මතයක් ඇතිවිට ඒ ගැන විධිමත් න්යායික විශ්ලේෂණයකින් එම මතය තහවුරු කළ යුතුය. නිදර්ශනයක් වශයෙන් සමාජවාදය වෙනුවෙන් පෙනීසිටින ව්යාපාර ගණනාවක්ම රටේ ඇතත් තමන් පෙනීසිටින්නේ කවර ආකාරයේ සමාජවාදයක් වෙනුවෙන්ද ඒ මගින් අපේක්ෂා කරන සමාජ-ආර්ථික හා දේශපාලන ක්රමයේ මූලික ලක්ෂණ මොනවාද යන්න හා බලය ලබාගන්නට අදහස් කරන්නේ කවර ආකාරයටද යන්න ඔවුන් විස්තරාත්මකව පැහැදිලි කළ යුතුය. සමාජවාදය වෙනුවෙන් පෙනීසිටින ව්යාපාරයක් නම් සමාජවාදී ලෝකය බිඳ වැටීම කෙරෙහි බලපෑ හේතු විස්තර කරන අතර තමන් එසේ බිඳ නොවැටෙන සමාජවාදී සමාජයක් ඇතිකර ගන්නේ කෙසේද යන්නද විධිමත්ව හා විස්තරාත්මකව පැහැදිලි කළ යුතුය. එහෙත් සමාජවාදය වෙනුවෙන් පෙනීසිටින ලංකාවේ කිසිම දේශපාලන ව්යාපාරයකට එවැනි විශ්ලේෂණයක් නැත. විවිධ ප්රතිසංස්කරණ වෙනුවෙන් පෙනීසිටින ව්යාපාර සම්බන්ධයෙන් කිවහැක්කේද එයමය. සුදර්ශනගේ හෝ සුදර්ශනලාගේ ව්යාපාරය නිදර්ශනයට ගත්තත් තමන් ඉල්ලා සිටින ප්රතිසංස්කරණ මොනවාද, ඒවා ක්රියාත්මක කිරීමෙන් ලබාගත හැකි ප්රතිඵල මොනවාද යන්න හා එම ප්රතිසංස්කරණ දිනාගැනීමට අපේක්ෂා කරන්නේ කවර ආකාරයෙන්ද යන්න ගැන විධිමත් විශ්ලේෂණයක් කිරීම ඉතා අවශ්ය වුවත් ඔවුන් සියලු කෑගැසීම් කරන්නේ එවැන්නක් අත නැතිවය. නිසි න්යායික දැක්මක් නැති ඕනෑම සමාජ දේශපාලන ව්යාපාරයක් සැලකිය හැක්කේ රුවලක් නැතිව මුහුදේ යන්නට වෙර දරන ඔරුවක් ලෙසය.
මගේ මග
දේශපාලන ක්රමයේ හා සමාජ ක්රමයේ ප්රතිසංවිධානයක් සඳහා මා පළකර තිබෙන අදහස් රාත්රියේ නින්දට ගිය පසුව දකින ලද සිහිනයක් කියන දේවල් ලෙස සැලකිය නොහැකිය. ඒ අදහස් පළකිරීම් කර තිබෙන්නේ ගැඹුරු හැදෑරීමකින් පසුවය. මා සමස්ත ප්රශ්නය මුළු එකක් ලෙස ගෙනද නැවත මුළු ප්රශ්නය සකස් වී තිබෙන අතුරු ප්රශ්න වෙන වෙනම ගෙනද කරුණු හදාරා තිබෙන අතර පොදු ප්රශ්නය ගැන සේ ම එම අතුරු ප්රශ්න ගැනද වෙන වෙනම පොත් ලියා පළකර තිබේ. එය සරල කාර්යයක් නොව දුෂ්කර කාර්යයකි. එම පොත් ප්රමාණවත් තරමේ විචාරයකට ලක් නොවී තිබියදීත් ඒවා නොකඩවා අලෙවිවීමෙන් පෙනීයන්නේ එම අදහස් මහජනයාගේද උනන්දුවට හේතුවී තිබෙන බවය. එසේම එම පොත්වලින් සැලකියයුතු ගණනක් සමහර විෂයයන් හදාරන උපාධි අපේක්ෂකයන් කියවියයුතු පොත් ලෙස නිර්දේශ කර තිබීමෙන් පෙනෙන්නේද ඒ පොත්වලට ශාස්ත්රාලයීය පිළිගැනීමක්ද ලැබී තිබෙන බවය.
“චෞර රාජ්යය” නමින් පළකර තිබෙන පොතෙන් මා කර තිබෙන්නේ 1977 සිට අපේ රටේ ක්රියාත්මක වන විශේෂිත දේශපාලන ක්රමය තියුණු විමර්ශනයකට ලක්කිරීමය. ඊට අනුව මේ දේශපාලන ක්රමය ගොඩනගා තිබෙන්නේම නීතියේ පාලනයක් තිබිය නොහැකි ආකාරයටය. දූෂණයද මෙම දේශපාලන ක්රමයේ නිත්ය ලක්ෂණයකි. දේශපාලන ක්රමය ගොඩනගා තිබෙන්නේම පාලක පක්ෂයට අයථා ලෙස ධනය උපයාගැනීමේ අයිතියද ලබාදෙන ආකාරයටය. මැර බලය හා කළු සල්ලිද ක්රමයේ නිත්ය ලක්ෂණයකි.
මේ පොත කියවූ මහනුවර සිට මට දුරකතනයෙන් කතා කළ පුද්ගලයකු මට කීවේ ඔහු ඕස්ට්රේලියාවේ සිටියදී සමාජ විද්යාඥයන් පස්දෙනකු ඉදිරිපත් කළ පර්යේෂණ පත්රිකා පහක් නිසා ඕස්ට්රේලියාවේ විශාල වෙනස්කම් ඇති කරන්නට හේතුවූ බවත්, එම පර්යේෂණ පත්රිකා තමන් විසින්ද කියවනු ලැබූ බවත්, මාගේ කෘතිය එම පර්යේෂණ පත්රිකාවලටත් වඩා තියුණු බවත්, ඕස්ට්රේලියාවේ මෙන්, ශ්රී ලංකාවේ වහාම වෙනස්කම් ඇතිවීමට ඉඩක් නැතත්, එය කවදා හෝ ශ්රී ලංකාව කෙරෙහිද බලපානු ඇති බවත්ය.
ජනවර්ග අර්බුදය විග්රහ කැරෙමින් තිබුණේ දෙමළ ප්රශ්නයට සීමාවන ආකාරයටය. එය අර්බුදයේ ප්රමුඛ ලක්ෂණය වී තිබුණද එය ඊට පමණක් සීමා නොවන බව හා අන්තර් වර්ග ප්රශ්නයට අතිරේක වශයෙන් අන්තර් ආගම් හා අන්තර් කුල අතරද ප්රශ්නයක් තිබෙන බවත් සුළු ජනවර්ග ප්රශ්නය ඇතිවී තිබෙන්නේ ඒ සියලු ප්රශ්න එකට එකතුවීමෙන් බවත් මා මාගේ පොත්වලින් පෙන්වා දී තිබේ. අන්තර් ආගම් ගැටුම විශ්ලේෂණය කිරීමට එක පොතක් ලියනවිට අන්තර් කුල ප්රශ්නය විශ්ලේෂණය කිරිම සඳහා පොත් දෙකක් ලියන්නට මට සිදුවිය. මා ලියන ලද සියලු පොතු අතුරින් චෙස් ගැන ලියන ලද පොත හැර අන් සියලු පොත් ශ්රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හා එහි විවිධ පැති අළලා ලියන ලද ඒවා ලෙස සැලකිය හැකිය. ඒ මගින් මා අපේක්ෂා කළේ තිබෙන අවුල් වර්ධනය කිරීම නොව ඒවා විසඳා ගැනීමට ආධාර වන පුළුල් දෘෂ්ටි කෝණයක් සමාජ ගතකිරීමය.
ගාන්ධිගේ ඉන්දියානු කොංග්රස් ව්යාපාරයට ඉන්දියාව එදා පැවති බ්රිතාන්ය යටත්විජිත ආධිපත්යය ගැනත්, ඉන්දියාව එම තත්ත්වයෙන් නිදහස් කරගත යුතුව තිබෙන ආකාරය ගැනත් නිදහස ලබාගැනීමෙන් පසු ඉන්දියාව කෙබඳු ඉන්දියාවක් විය යුතුද යන්න ගැනත් ඉතාමත් සාරගර්භ න්යායික විශ්ලේෂණයක් තිබුණි. පසුකලක ඉන්දියාවේ ජාතික චින්තනය බවට පත්වූයේ එම අදහස්ය. අපේ රටේ තිබෙන අවුල්වලට වන ප්රධාන හේතුවක් වී තිබෙන්නේ ඉන්දියාවේ මෙන් රටේ සියලුදෙනාගේ පිළිගැනීමට හේතුවන පොදු ජාතික චින්තනයක් අපට නැතිකමය.