හොරගල් ඇහිලීම

November 24, 2002
Publication:
Ivan assesses the manoeuvring between President and Prime Minister after the 19th Amendment was withdrawn. The President may dissolve Parliament after 5 December but has promised not to, and a crossover government or a bid to replace Ranil Wickremesinghe as UNP leader through another prime minister faces numerical and LTTE obstacles. He notes her wish to change the system so she can stay in politics until a child takes over, and says Wickremesinghe is staking everything on peace and the Oslo aid conference.

නායකයින් දෙපළම සිටින්නේ (ජනාධිපතිනිය හා අගමැති) එකිනෙකාට එරෙහිව හොරගල් අහුලන තැනකය. 19 වැනි සංශෝධනය අකුළා ගන්නට සිදුවීම අගමැතිවරයාත්, ආණ්ඩුවත් ලැබූ බරපතල පරාජයකි. එතෙක් ජනාධිපතිනිය සිටියේ අස්ථාවර හා ආරක්ෂාව සඳහා සටන් කරන තැනකය. ව්‍යවස්ථා සංශෝධන අරමුණ ව්‍යර්ථවීමත් සමග යම් තරමක ස්ථාවරභාවයක් හිමිකර ගනිමින් ආණ්ඩු පක්ෂය ආරක්ෂාව සඳහා සටන් කළ යුතු තත්ත්වයකට ඇද වැටුණි. ඒ සමග ජනාධිපතිනියට එරෙහිව කෑගසන ඇමතිවරුන්ගේ ද කටවල් වැසුණි. පොදු පෙරමුණු අභ්‍යන්තරයේ ජනාධිපතිනියට එරෙහිව ගොඩනැගී තිබුණු පෙළගැස්මේ ක්‍රියාකාරිත්වය ද බිඳ වැටුණි. ජනාධිපතිනියට හා ඇගේ සගයින්ට එරෙහිව ආරම්භ කොට ඉදිරියටයමින් තිබුණු පරික්ෂණ ක්‍රියාවලිය ද ඇණහිටින තත්ත්වයකට පත්වී තිබේ.

දෙසැම්බර් 5 වැනිදායින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ ව්‍යවස්ථානුකූල බලයක් ජනාධිපතිනියට ඇතත්, එවැන්නක් කිරීම ඉතාමත් සරල හා පහසු ක්‍රියාවක් වන්නේ නැත. එක් අතකින් ඇය එජාපයට බහුතර බලයක් තිබෙන තෙක්, අවුරුදු තුනක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමක් නොකරන බවට පාර්ලිමේන්තුව වෙත ලිඛිත පොරොන්දුවක් දි තිබේ. අනෙක් අතට පාර්ලිමේන්තුව විසුරුවා හැරිමක්, සාම ක්‍රියාවලිය අර්බුදයට තල්ලු කිරීමට හේතුවන බැවින් එවැනි හිතුවක්කාරි ක්‍රියාවක් ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි විරෝධයට හේතුවන බව ඇය දනී. අනෙක් අතට ආණ්ඩු පෙරළියකට කැමති ඇගේ සමීප පාර්ලිමේන්තු සගයන් පවා පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට කැමති නැත. ඔවුන්ගේ කැමැත්ත ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයකට නොගොස් පුද්ගලයින් එහා මෙහා කොට ඇති කරන ආණ්ඩු පෙරළියක් සමග ගොඩනගන ආණ්ඩුවකට පමණය. එහෙත් පොදු පෙරමුණෙන් එජා පෙරමුණු ආණ්ඩුවට එකතු වී සිටින සියලු දෙනා සමග මුළු මුස්ලිම් කොංග්‍රසය හා තොණ්ඩමන්ගේ පක්ෂය එකතු කරගත්ත ද එවැනි ආණ්ඩුවක් ගොඩනැගීම අසීරුය. එය කළහැක්කේ ඒ සියලුදෙනාට අතිරේක වශයෙන් එජාපයෙන් ද බහුතරයක් සඳහා වන අඩුව ලබාගත හැකි නම් පමණය. එහෙත් එවැනි ක්‍රියාවකදි එජාපයෙන් ආණ්ඩුවට එකතු වන අයගේ මන්ත්‍රීකම් අහිමි කිරිමේ බලය එජාප නායකයා සතුය. ඒ නිසා එවැනි ක්‍රියාවක යෙදිය හැකිවනු ඇත්තේ එකතුවන අයට ස්ථිර ආරක්ෂාවක් ලබාදෙන මාර්ගයක් ඇත්නම් පමණය. මුස්ලිම් කොංග්‍රස් පක්ෂ අභ්‍යන්තර කැරැල්ල සිය වාසියට යොදා ගැනීමේ උත්සාහයක ජනාධිපතිනිය නිරත වී සිටියත්, ඒ ගැටලුව තමන්ගේ වාසියට හේතුවන ලෙස නිරාකරණය කරගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ සමත් වූයේය.

ජනාධිපතිනියගේ අවධානය යොමුවී ඇති ඊළග තුරුම්පුව වී ඇත්තේ එජාපයේ වෙනත් පුද්ගලයකු අගමැති ධුරයට පත් කරන ක්‍රියාවලියක් මගින් පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහට අහිමි කිරීමය. එජාප ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ධුරය වෙනත් පක්ෂයක තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තු බලය එජාපයට යන අවස්ථාවක පක්ෂ නායකයාවන්නේ අගමැති ධුරයට පත්වන තැනැත්තාය. ඒ අනුව අගමැති ධුරයට තමන්ට පාලනය කළ හැකි වෙනත් පුද්ගලයෙකු පත් කරන ක්‍රියාමාර්ගයක් මගින් සිය අරමුණ ඉටු කරගත හැකිය යන ප්‍රශ්නය කෙරෙහි ජනාධිපතිනිය සිය ගැඹුරු අවධානය යොමුකර ඇතත්, එය ද එතරම් සරල හෝ පහසු දෙයක් වන්නේ නැත. ඒ සඳහා එජාපයෙන් ජනප්‍රිය නායකයකු කැමති කරවා ගත යුතු අතර, ඒ ජනප්‍රිය නායකයා කරනු ලබන ක්‍රියාවට එකග වන සැලකිය යුතු පිරිසක් ද පක්ෂය තුළ සිටිය යුතුය. එසේ එකග වන අයගේ සංඛ්‍යාව ද පොදු පෙරමුණ හා ජවිපෙ සමග එක්ව ගත්විට පාර්ලිමේන්තු බහුතරයක් වන තත්ත්වයක තිබිය යුතුය. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට අගමැති ධුරයට පුද්ගලයෙකු නම් කිරිමේ හැකියාව ඇත්තේ ඒ පුද්ගලයාට පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්තක් තිබෙන අවස්ථාවකදි පමණය.

ආණ්ඩුව පෙරළා දැමීමේ ක්‍රියාවක් කොටි සංවිධානය බාරගන්නේ කෙසේද යන කාරණය ද ආණ්ඩු පෙරළීමක් සඳහා කරන ගණන් බැලීමකදි වැදගත් සාධකයක් ලෙස ගණන් ගැනීමට ජනාධිපතිනියට සිදුවේ. ආණ්ඩු පෙරළියකින් පසුව සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නට නොහැකි වී යළි යුද්ධයක් ආරම්භ වී ඒ යුද්ධය මහජනතාව කෙරෙහි විනාශකාරි ලෙස බලපාන තත්ත්වයක් ඇතිවුවහොත් ජනාධිපතිනියට සේ ම ජනාධිපතිනිය ගොඩ නගන ආණ්ඩුවට ද බලවත් මහජන විරෝධයකට මුහුණ දිමට සිදුවිය හැකිය. එවැනි තත්ත්වයක් මහජනතාව ප්‍රකෝපකාරිව ප්‍රතික්‍රියා කරන තත්ත්වයක් පවා ඇති කිරීමට හේතුවිය හැකිය.

ජවි පෙරමුණ වැනි පක්ෂයක් ආණ්ඩුවක් පෙරළීම වැනි අරමුණක් වෙනුවෙන් මිස, ආණ්ඩුවක් ගොඩ නැගීම වැනි අරමුණක් සඳහා යොදාගත නොහැකි බව ජනාධිපතිනිය සේ ම ජනාධිපතිනියගේ හිතවතුන් ද දන්නේය. ඔවුන් සමග ගොඩ නගන ආණ්ඩුවකට යුද්ධයකට යනවා විනා සාම කතාවලට යාමේ හැකියාවක් නැත.

අනෙක් අතට ජනාධිපතිනියට ආණ්ඩු පෙරළන අරමුණ ජයගන්නවාට වඩා සපුරා ගැනීමට වෙනත් ලොකු දේශපාලන අරමුණක් ද ඇත්තේය. මේ ක්‍රමය මෙසේම පැවතුණහොත් ධුර කාලය අවසන්වීමෙන් පසුව දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට ඇයට සිදුවන්නේය. තමන්ගේ දරුවකු කරළියට ගන්නා තෙක් වෙන කෙනෙකුට ඉඩ නොතබා ක්‍රියාකාරි දේශපාලනයේ යෙදිම ඇගේ අභිලාෂයයි. ඒ සඳහා ඇය විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරවා ගත යුතුය. එහෙත් එය කළහැකි වනු ඇත්තේ ද එජාපයේ සහාය ලබාගත හැකි නම් පමණය. ඒ නිසා රණ්ඩු කරනවාට අතිරේකව සහයෝගයෙන් ක්‍රියාකිරිමේ අවශ්‍යතාවක් ද ඇති බව ඇය දන්නේය.

අගමැති රනිල් වික්‍රමසිංහගේ වාසියට තිබෙන එකම දේ සාමය පමණමය. ඇමතිවරුන් සිටින්නේ ද අතෘප්තිමත් තත්ත්වයකය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්, පාක්ෂිකයින් හා මහජනයා සිටින්නේ ද අතෘප්තිමත් තත්ත්වයකය. සියලු දෙනාම ඉන්නේ අතෘප්තියෙන් වුවත්, තවමත් කණ්ඩායමේ කෙනෙකු හෝ දෙන්නෙකු හැර සිය නායකයාට එරෙහිව නැගී සිටීමට සූදානම් තත්ත්වයක් වෙනත් අය තුළ නැත. අගමැතිවරයා තමන්ගේ සම්පූර්ණ බලාපොරොත්තුව ඔස්ලෝ ආධාර සමුළුව කෙරෙහි තබා ඇති බව පෙනේ. එම සමුළුව ජාත්‍යන්තර තලයේ සාම වැඩපිළිවෙළ පිළිබඳව තිබෙන පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවී, ශ්‍රී ලංකාවට විශාල ලෙස ආධාර ලැබෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවනු ඇති බවත්, ඒ තත්ත්වය රටේ ආර්ථිකය යහපත් කිරීමට හේතුවී තමන්ගේ තත්ත්වය ශක්තිමත් කිරීමට හේතුවනු ඇති බවත්, අගමැතිවරයාගේ විශ්වාසය වී තිබෙන බව පෙනේ. ඒ දේවල් එසේම සිදුවේ නම් වාසියේ තුලා බර නැවත මාරුවනු ඇත්තේ ආණ්ඩුවේ පැත්තටය.