ලෝක බැංකුවේ හා ජාත්යන්තර මූල්ය අරමුදලේ නිර්දේශවලට අතිරේකව රට සඳහා වන ශක්තිමත් සංවර්ධන දැක්මක් තමන්ට ඇති බව මෙම අය වැයෙන් පෙන්නුම් කිරීමට ආණ්ඩුවට හැකි වී නැත. ලෝක බැංකුව හා ජාත්යන්තර මූල්ය අරමුදල කියන දේවල් මුළුමණින් බැහැර කළ නොහැකි බව ද අපි පිළිගනිමු. එහෙත් එවැනි ආයතනවලට මූල්ය ප්රතිපත්ති සකස්කර ගැනීම සඳහා උපදෙස් දෙනවා විනා රටේ සංවර්ධනය සඳහා වන දර්ශනයක් දිමේ හැකියාවක් නැත. ඒ දේ ආ යුත්තේ පිටතින් නොව රට අභ්යන්තරයෙන් ය.
ආදායම බෙදියාමේ විෂමතාවක් තුනී කරන වේගවත් ආර්ථික සංවර්ධනය සඳහා ඊට ගැළපෙන ප්රායෝගික වැඩ පිළිවෙළක් රටකට තිබිය යුතු ය. අපනයනයට බර තබන නිෂ්පාදන කර්මාන්ත රටේ ආර්ථික සංවර්ධනයට නව ශක්තියක් ලබාදිමට හැකි වී තිබෙන ආකාරයටම විදේශීය රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගත් වැඩපිළිවෙළකට රට බලවත් අවධානයක් යොමු නොකරන්නේ ඇයිද යන්න තේරුම් ගත නොහැකි ය. දැනටමත් රටේ ප්රධානම විදේශීය විනිමය ආදායම් මාර්ගය වී ඇත්තේ විදේශීය රැකියාවල නියුතු අයගෙන් ගලා එන සංක්රාම ආදායම ය. එහෙත් ශ්රී ලංකාව වඩා ප්රසිද්ධ පහළම වැටුප් ලැබෙන නුපුහුණු ගෘහ සේවා රැකියාවලට ය. වඩා හොඳ වැටුප් ලැබෙන උගත් තරුණ තරුණයන්ගේ අපේක්ෂෂාවන්ට ගැළපෙන විදේශීය රැකියා ඉලක්ක කරගත් උපාය මාර්ගයක අවශ්යතාව තේරුම් ගැනීමට තවමත් ශ්රී ලංකාව සමත් වී නැත.
ශ්රී ලංකාවේ නව රැකියා උත්පාදනය කරනවාට වඩා විදේශීය රැකියා වෙළෙඳපොළ වෙත හැරිම හා ඒ අවශ්යතාවන්ට ගැළපෙන පුහුණු ශ්රම බලකායක් ඇති කිරීම රටට වාසිදායක ය. ලංකවේ රැකියා අවස්ථා ඇති කිරීම සඳහා විශාල ආයෝජන වියදමක් අවශ්ය වන අතර ඒ වියදමෙන් සමහරවිට විදේශීය වෙළෙඳපොළේ රැකියා ඉඩ ප්රස්ථා 100ක් පමණ මිල දි ගත හැකි ය. උගත් තරුණ තරුණයන් අතර හෙද සේවය සඳහා බලවත් ඉල්ලුමක් පවතී. දියුණු රටවල මුර වැඩ ක්රමය නිසා කාන්තාවන් හෙද සේවයට ඇතුළු වීම ප්රතික්ෂෙෂ්ප කරයි. ඒ නිසා ඇති වී තිබෙන ඉඩකඩ උපරිම ලෙස ප්රයෝජනයට ගන්නා රටවල් බවට පත්ව ඇත්තේ නේපාලය හා පිලිපීනයයි. අවශ්යතාවක් තිබේ නම් ශ්රී ලංකාවට ද ඊට ඇතුළු විය හැකි ය. හෙදියන් පුහුණු කරන ආයතන ගොඩනැගීමට අවශ්ය අරමුදල් නැතිනම් ඔවුන් අසල්වාසී ඉන්දියාවට යවා පුහුණු කළ හැකි ය.
මේ අයවැය විදේශීය රැකියා ක්රමය ශක්තිමත් කරන අය වැයකට වඩා එය දුර්වල කරන අය වැයක් ලෙස සැලකිය හැකි ය. අනේවාසික ගිණුම් (NRFC) ක්රමය ශ්රී ලංකාවට විදේශීය විනිමය ලැබෙන ප්රධාන මාර්ගයකි. එහෙත් අනේවාසික ගිණුම් ඇත්තේ විදේශීය රටවල පහළ රැකියා කරන අයට නොව උසස් රැකියා කරන වෘත්තීයවේදින්ට ය. අනේවාසික ගිණුම් මත පටවා තිබෙන අලුත් බදු ක්රමය නිසා ඉන් බොහෝ දෙනෙක් ශ්රී ලංකාවේ බැංකුවල ගිණුම් පවත්වාගෙන යාම අත්හරිනු ඇතිවා පමණක් නොව ඒ තත්ත්වය ගෙවුම් ශේෂ ප්රශ්නය උග්ර කිරීමට ද හේතු විය හැකි ය.
රටක් ඉතිරිකිරීමට අනුබල දිය යුතු ය. මහා ආයෝජන බවට පත් වන්නේ එසේ ඉතිරිකරන මුදල් ය. ආණ්ඩුව පසුගිය අය වැයෙන් ජංගම ගිණුම් සඳහා සියයට දශම එකක හර බද්දක් ඇති කළේ ය. එය බැංකු මාර්ගයෙන් කෙරෙන මුදල් සංසරණ ක්රියාවලිය අධෛර්යට පත් කිරීමට හේතු විය. ආණ්ඩුව මෙවර අය වැයෙන් එතෙක් ජංගම ගිණුම්වලට පමණක් සීමා වී තිබූ හර බද්ද ඉතිරිකිරිමේ ගිණුම්වලට ද බලපාන ආකාරයට පුළුල් කර තිබේ. එය ඉතිරිකිරීම සඳහා තිබෙන නැඹුරුව දුර්වල කරයි.
ආණ්ඩුව පාරවල් නඩත්තු කිරීම වෙනුවෙන් වාහනවලින් අලුතෙන් බදු අය කරන ක්රමයක් ඇතිකර තිබේ. වාහනවලට බලපාන ගාස්තු හා ආදායම් බලපත්ර ගාස්තු අය කෙරෙන්නේ පාරවල් නඩත්තු කිරීම සඳහා ය. ඒ සඳහා තවත් බද්දක් ආරම්භ කිරිමෙන් බදු ක්රමය සරල කරනවා වෙනුවට සංකීර්ණ කරමින් වාහන බලපත්ර ලාභීන් සඳහා අනවශ්ය බරක් පටවා ඇතැයි කිව හැකි ය.
කිතුල් මැදිමට ඉඩ හැරිම ඉතා යහපත් ය. එහෙත් ඒ සඳහා බලපත්ර ක්රමයක් ඇති කළේ ඇයි? බලපත්ර ක්රමයකින් තොරව කිතුල් ගස් මැදිමට ඉඩ හැරීයේ නම් අනවශ්ය ලෙස රස්තියාදුවකින් හෝ බියකින් තොරව ඒ ක්රියාවලිය ආරම්භ කිරීමට ගම්බද ජනතාවට අවකාශයක් ලැබෙන්නේ ය.
යොවුන් බලකායක් හැදිමේ අදහස ගැනත් අසංවිධිත ශ්රම බලකාය සංවිධිත තත්ත්වයකට ගන්නේ කෙසේද යන ප්රශ්නය ගැනත් සැලකිල්ලට ගෙන ඇත. විද්යුත් ලංකාවක් පිළිබඳ අදහස ලස්සන අදහසක් වුවත් අඩුම වශයෙන් මහජන වැදගත්කමක් ඇති රාජ්ය ආයතනවලටත් ඒ ක්රියාවලිය ශක්තිමත්ව ආරම්භ කිරීමට තවමත් ආණ්ඩුව සමත් වී නැති බව අමතක නොකළ යුතු ය.
මහජනතාව ඉන්නේ බදු බරින් හෙම්බත් වී සිටින තත්ත්වයක ය. ඔවුන් මත නව බදු බර නොපටවා රටේ කටයුතු ඉදිරියට ගෙනයාමට අවශ්ය ආදායම් සොයාගන්නේ කෙසේද යන ප්රශ්නයට සාර්ථක පිළිතුරක් ලබාගත හැකිවනු ඇත්තේ රට පිළිබඳ තීරණාත්මක දර්ශනයක් ඇතිනම් පමණ ය.
මත්ද්රව්ය හා මත්පැන් නිවාරණය වෙනුවෙන් ජනාධිපතිනියගෙන් ලැබී තිබෙන දායකත්වය සලකා ලෝක සෞඛ්ය සංවිධානය ජනාධිපතිනියට ජාත්යන්තර සම්මානයක් ලබා දි ඇතත් 1979.10.16 දින දරන අංක 148, 1990.03.14 දින දරන අංක 18/90 සහ 1990.05.18 දින දරන අංක 26/90 යන රාජ්ය පරිපාලන චක්රලේඛවල එන නියමයන්ට පටහැනිව ජනාධිපති නිල නිවසේ (අරලියගහ මන්දිරයේ) පරිහරණය පිණිස 2000 අගෝස්තු මාසය තුළ පමණක් මිලදි ගෙන ඇති මත්පැන්වල වටිනාකම රුපියල් 214384.00 ක් බව වාර්තා වේ.
විස්තර මෙසේය.
06.08.2000
(ඉන්වොයිස් අංක 29361)
ජොනි වෝකර් රෙඩ් ලේබල් බෝතල් 01 රු.890.00
V.S.O. කොන්යැක් බෝතල් 01 රු. 3765.00
(ඉන්වොයිස් අංක 29360)
V.S.O. හෙනසි කොන්යැක් බෝතල් 03 රු. 6984.00
ජොනි වෝකර් බ්ලැක් ලේබල් බෝතල් 04 රු. 13360.00
ෆ්රී ලංකා ට්රේඩින් සමාගමෙන් එම මාසය තුළ මිලදි ගෙන ඇති මත්පැන් සඳහා කර තිබෙන අනෙකුත් ගෙවීම් මෙසේය.
වවුචර් අංක 223 රු. 8550.00
වවුචර් අංක 222 රු. 27960.00
වවුචර් අංක 274 රු. 13720.00
වවුචර් අංක 275 රු. 11655.00
වවුචර් අංක 232 රු. 30570.00
වවුචර් අංක 278 රු. 8783.00
වවුචර් අංක 277 රු. 27372.00
වවුචර් අංක 276 රු. 6180.00
වවුචර් අංක 344 රු. 50760.00
වවුචර් අංක 342 රු. 3500.00
එකතුව රු. 214384.00
මීට අතිරේකව ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලංකා ලිමිටඩ් යන සමාගමෙන් 2000 ජූලි මාසයේදි එක පෙට්ටියකට රුපියල් 4800ක් වන මුදලකට අරක්කු පෙට්ටි දෙකක් ද (වවුචර් අංක 07/215 සහ 07/287) අගෝස්තු මාසයේ තවත් එක් පෙට්ටියක් ද (වවුචර් අංක 08/344) නොවැම්බර් මාසයේ තවත් පෙට්ටියක් ද (වවුචර් අංක 79) ද යනාදි වශයෙන් අරක්කු පෙට්ටි හතරක් සඳහා රුපියල් 19200ක් වැය කර තිබේ.
2000 නොවැම්බර් මාසය සඳහා ප්රේමසිරි සුපර් මාර්කට් වෙතින් මිලදි ගත් මත්පැන් සඳහා වියදම රුපියල් 66054.00කි. (වවුචර් අංකය 09/322) ඒ මාසයේදි මිලදි ගෙන ඇති තවත් මත්පන් තොගයක් සඳහා කර තිබෙන වියදම රුපියල් 37283.00කි. (වවුචර් අංකය 9/177)
මේ සියලු මිලදි ගැනීම් කර ඇත්තේ 2000 පාර්ලිමේන්තු මැතිවරණ කාලය තුළ බැවින් විස්කි, බ්රැන්ඩි වැනි වඩා හොඳ මත්පැන් වර්ග අරලියගහ මන්දිරයේ පරිහරණය හා මැතිවරණ කාලයේදි එහි කැඳවන පුද්ගලයන්ගේ පරිහරණය සඳහා විය යුතු යැයි සැලකිය හැකිය. අරක්කු තොගය ගම්පහ දිස්ත්රික්කයේ වැඩ කළ සාමාජිකයන් සඳහා විය හැකිය.
මේ මැතිවරණයේදි ජනාධිපතිනිය රට වටේ රැස්වීම් තබනවාට වඩා වැඩි උනන්දුවක් දක්වන ලද්දේ අත්යවශ්ය වැදගත් අය අරලියගහ මන්දිරයට කැඳවා ඔවුන් සමග සාකච්ඡා කිරීමටය. දිසාපතිවරුන් වැනි වඩා වැදගත් අය කැඳවන ලද්දේ රාත්රී සාකච්ඡාවලටය. එවැනි අයට ගලදාරී හෝටලයේ ආහාර වේලක් සමග හොඳ මත්පැන් වර්ගවලින් ද සංග්රහ කර ඇත. ඊට වඩා අඩු වැදගත්කමක් ඇති අය දහවල් සාකච්ඡාවලට කැඳවන ලද අතර, ඔවුන්ට හොඳ ආහාර වේලක් ලබා දි තිබේ. ජනාධිපතිනිය 2000 අගෝස්තු හා නොවැම්බර් යන මාස දෙක සඳහා පමණක් එවැනි සංග්රහයන් සඳහා කර තිබෙන වියදම රුපියල් 1576519.00කි.
ජනාධිපතිනියගේ ඡන්ද යන්ත්රය ලෙස ක්රියා කළ සමෘද්ධි (වවුචර් අංක 04/25) කළමනාකරුවන්ගේ සාකච්ඡාවට ආහාර සඳහා වියදම රු. 67002.00කි. කොළඹ දිස්ත්රික්කයේ ආණ්ඩුවේ නිලධාරින්ගේ සාකච්ඡාවට ආහාර වියදම රු. 63785.00කි. (වවුචර් අංකය 09/26) ගම්පහ දිස්ත්රික්කයේ රජයේ නිලධාරින් සඳහා පැවති සාකච්ඡාවට රුපියල් 35,110.00කි. (වවුචර් අංක 09/113) ආණ්ඩු පක්ෂයේ මන්ත්රී සාකච්ඡාවට රුපියල් 42000.00කි. (වවුචර් අංක 09/175)
මැතිවරණ කටයුතුවලට සම්බන්ධ අයට සංග්රහ කිරීම හොඳ කරුණක් විය හැකි වුවත්, එය රජයේ වියදමෙන් කිරීම නීති විරෝධීය. එය අල්ලස් හෝ දූෂණ විමර්ශන නීතිය යටතට වැටෙන අපරාධ ගණයෙහිලා සැලකෙන වරදකි.