17 වැනි ව්යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවීමට නියමිත ස්වාධීන කොමිෂන් සභාවලට පත් කළ යුතු පුද්ගලයින්ගේ නාමලේඛනය ව්යවස්ථා සභාව විසින් ජනාධිපතිනිය වෙත යවා දැන් මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ජනාධිපතිනිය එම නාමලේඛනය අනුමත නො කිරීම නිසා ස්වාධීන කොමිෂන් සභා ක්රමය අවුල් ජාලාවක් බවට පත්වී තිබේ.
17 වැනි ව්යවස්ථා සංශෝධනය දේශපාලන පක්ෂවල අභිලාෂයක් නො වී ය. එය යහපත් ආණ්ඩුකරණයක් සඳහා උනන්දුවක් දක්වන සිවිල් සමාජ සංවිධානවල බලවත් ඉල්ලීමට දේශපාලන පක්ෂවලින් ලැබුණු එකගත්වයක් පමණක් විය. එය ප්රමුඛ තනතුරුවලට පුද්ගලයන් පත්කිරිමේදි රාජ්ය නායකයා හෝ නායිකාවට තිබෙන අභිමත බලය වැරදි ලෙස පාවිච්චි කිරීම වළකා එවැනි තනතුරුවලට පටු දේශපාලන භේදයෙන් තොරව සුදුසුම පුද්ගලයන් පත් කිරීමට බලකෙරෙන ව්යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. මෙම ව්යවස්ථා සංශෝධනය නීතිගත කරන අවස්ථාවේදි මුල් අරමුණ විකෘති කෙරෙන ආකාරයේ විකෘති කිරිම් ගණනාවකට ලක්විය. ව්යවස්ථා සංශෝධනය සම්මත වී තවත් පසුකලෙක ව්යවස්ථා සභාවක් බිහිවූයේ ඒ විකෘති කිරිම් මැද්දේ ය.
අවසානයේ බොහෝ ප්රමාද වී හෝ ව්යවස්ථා සභාව යටතේ ඇති කිරීමට නියමිත ස්වාධීන කොමිෂන් සභාවලට පත්කළ යුතු ප්රධානීන් හා කොමසාරිස්වරුන්ගේ නාමලේඛනයක් ව්යවස්ථා සභාව විසින් අවසාන අනුමැතිය සඳහා ජනාධිපතිනිය වෙත යවා දැන් මාසයක් තරම් කාලයක් ගතවී ඇතත්, ජනාධිපතිනිය එම ලැයිස්තුව හිරකරගෙන සිටින පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.
මෙම ව්යවස්ථා සංශෝධනය විවිධ විකෘති කිරිම් මැද එක් දිනක් තුළ කඩිමුඩියේ සම්මත කරගන්නා ලද්දකි. සමහර අර්ථ නිරූපණවල නිශ්චිත බවක් නැති අතර, අර්ථ නිරූපණයක් නැති අවස්ථා ද පවතී. ඒ සියලු සීමිතකම් තිබියදිත් ව්යවස්ථා සභාව නිර්දේශ කරන නාමලේඛනයක් අප්රමාදව අනුමත කිරීමට ජනාධිපතිනිය ව්යවස්ථානුකූලව බැඳී සිටී. එසේ නොකිරීම ව්යවස්ථාව උල්ලංඝණය කිරීමක් ලෙස සැලකිය හැකි ය.
ජනාධිපතිනිය ව්යවස්ථා සභාවට නිර්දේශ කර තිබෙන නාමලේඛනය අනුමත කිරීම හිතාමතා ම ප්රමාද කරයි නම්, ඒ නිසා ඇතිවන අර්බුදය ජයගත යුත්තේ කෙසේද යන කාරණය සලකා බැලීමේ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවට ය. එය මහජනතාවගේ හෝ ජනමාධ්යවල කරපිට දමා ඇග බේරාගත නො හැකි ය. පාර්ලිමේන්තුවක් තිබෙන්නේ නීති සම්පාදනයට හා ප්රතිපත්ති සම්පාදනයට ය. තමන් හදන නීති ක්රියාත්මක නොවන තත්ත්වයක් පවතී නම් ඒවා ක්රියාත්මක කරන ආකාරයේ අතුරු නීතිමය විධි විධාන ඇති කිරීම ද පාර්ලිමේන්තුවේ වගකීමකි.