ජනාධිපතිවරයා කෙරවලපිටිය විදුලි බලාගාරය විවෘත කිරීමේ උත්සවයේදී අධිකරණය පිළිබඳ අදහස් පළකර තිබුණි. අධිකරණයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විමතියක් ජනාධිපතිවරයා තුළ ද ඇතිවී තිබෙන බව එම අදහස් පළකිරීම අනුව පෙනී යයි. එහෙත් සාමාන්‍ය ජනයා තුළ අධිකරණය පිළිබඳව ඇත්තේ විමතියක් නොව ආස්වාදයකි. අධිකරණය ජනතාවට සහන සලසන තීන්දු දෙන බව පොදු ජනයාගේ විශ්වාසය වී තිබේ. අධිකරණයේ කෙරෙන කටයුතු පිළිබඳව කණගාටුවකින් හා විස්මයකින් බලා සිටින දැනුවත් සුළු පිරිසක් ද රටේ සිටිති.
කලක් අධිකරණය බලයේ සිටින පාලක පක්ෂය කරන කවර ක්‍රියාවක් හෝ එහි හොඳ නරක නොසලකා ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නොහැකිය. පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ට අධිකරණ රැකවරණය ලබා නොදුන්නේ නම් එවැනි සම්ප්‍රදායක් ඇති නොවන්නට තිබුණි. අනෙක් අතට 17 වැනි සංශෝධනය නොසලකා ක්‍රියාකළ හැකි තත්ත්වයක් ඇති කළේ ද අධිකරණයයි. ජනාධිපතිට ව්‍යවස්ථාව සභාව යටතේ ඇති අනෙකුත් ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් නම් කොට මැතිවරණ කොමිසමට පමණක් සාමාජිකයන් පත් කිරීමෙන් වැළකී සිටි අවස්ථාවේදී මැතිවරණ කොමසාරිස්වරයා ද ඇතුළු එම විෂය ගැන උනන්දුවක් දක්වන තවත් විවිධ අය ද සිදුවී තිබෙන වරද නිවැරදි කරගැනීම සඳහා අධිකරණය ඉදිරියට ගිය ද අධිකරණය ඔවුන්ට සාධාරණත්වය ඉටුකළේ නැත. පළමු ව්‍යවස්ථා සභාවේ කාලය අවසන් වී ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත්කිරීමෙන් වැළකී සිටි කාලය තුළ ද ඒ තත්ත්වය නිවැරදි කරගැනීම සඳහා එම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සංවේදී නාමධාරී පුද්ගලයන් ගණනාවක්ම අධිකරණය ඉදිරියට ගියත්, අධිකරණය ඔවුන් දෝෂාරෝපණයට ලක් කළා මිස, සිදුවී තිබෙන වරද නිවැරදි කිරීමක් කළේ නැත.
ඉන් තවත් කාලයකට පසු අධිකරණය ඊළඟ අන්තයට යමින් විරුද්ධ පක්ෂය ලෙස ක්‍රියාකරන තත්ත්වයකට යොමුවිය.
අධිකරණය පළමු අන්තයේ සිටියදී විරුද්ධ පක්ෂ ව්‍යාපාර තුළ අධිකරණය කෙරෙහි ගොඩනැගුණු විශාල අතෘප්තියක් තිබුණි. හරි වරද නොසලකා අධිකරණය ආණ්ඩුව ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියාකරන බවට විරුද්ධ පාක්ෂිකයෝ මැසිවිලි කීහ. වැඩිදුර විභාග කිරීමට ඉඩ නොතබා, ඡන්ද පෙත්සම් පවා ඉවත් කරගත්හ. අධිකරණයේ ප්‍රධානියාට එරෙහිව දෝෂාභියෝග දෙකක් ද ඉදිරිපත් කළහ. ඒ යුගයේ විරුද්ධ පක්ෂය අධිකරණය දෝෂාරෝපණයට ලක් කරන විට ආණ්ඩු පක්ෂය අධිකරණය වෙනුවෙන් පෙනී සිටියේය.
එහෙත් දැන් කිසිදු මූලික වෙනසකින් තොරව ඒ අධිකරණය විරුද්ධ පාක්ෂිකයන්ගේ ආස්වාදයට හා පැසසුමට හේතුවී තිබෙන විට ආණ්ඩු පාක්ෂිකයන්ගේ සැකයකට, දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබේ.
අධිකරණයක් තිබෙන්නේ යුක්තිය පසිඳලන්නට මිස, රට පාලනය කරන්නට හෝ විරුද්ධ පක්ෂයක් ලෙස ක්‍රියාකරන්නට නොවේ. දේශපාලන පක්ෂපාතීත්වය අධිකරණය කෙරෙහි තිබිය යුතු මහජන ගෞරවය හීන කරයි.
රට ආණ්ඩු කිරීමේ බලය ඇත්තේ මහජනයා තෝරාපත් කරගන්නා ආණ්ඩුවලටය. ආණ්ඩුව නීතියට පටහැනිව ක්‍රියා කරන අවස්ථාවලදී ඒ තත්ත්වය නිවැරදි කිරීම සඳහා මැදිහත්වීමේ බලයක් අධිකරණයට ඇතත්, දේශපාලන අරමුණු ඇතිව ආණ්ඩුවක ක්‍රියාකාරීත්වය අවුල් කිරීමේ බලයක් අධිකරණයට නැත. විරුද්ධ පක්ෂ ද ආණ්ඩුව විවේචනය කරන ප්‍රධාන වේදිකාව බවට පත්කර ගතයුත්තේ පාර්ලිමේන්තුව මිස, අධිකරණය නොවේ. විරුද්ධ පක්ෂයක් ආණ්ඩු පෙරළිය යුත්තේ ද මහජන බලයෙන් මිස අධිකරණ බලයෙන් නොවේ.
දේශපාලනයේ පවතින බල බෙදීම තුළ ප්‍රධාන ආයතන තුන වෙත පැවරෙන යුතුකම් හා වගකීම් පිළිබඳව නැවත අර්ථකථනයකට යායුතු තැනකට රට තල්ලු වී තිබෙන බව පෙනේ.