හෘද සාක්ෂියක් නැති සමාජයක්

June 25, 2000
Publication:
The editorial says Sri Lanka's crisis is one of conscience. Intellectuals who spoke out under Jayewardene and Premadasa are now silent or defend injustice, and the Civil Rights Movement founded by S. Nadesan fell silent over the North Western provincial poll, as have peace, rights, professional and religious bodies and the Bar Association. It lists basic wrongs, from extending Parliament to judicial interference, that organised society should publicly oppose.

හෘද සාක්ෂියක් නැති සමාජයක් ලංකාව අද මුහුණ දි සිටින්නේ සමාජයට හෘදය සාක්ෂියක් නැතිකමේ අර්බුදයකටය. මිනිසා තිරිසනාගෙන් වෙන් කරන ප්‍රධානම සාධකයක් වන්නේ කරුණු තර්කානුකූලව සලකා බැලීමේ නුවණ හා හෘද සාක්ෂියයි.

ඉතා බලවත් පාලනයක් ලෙස සැලකිය හැකි ජයවර්ධන, ප්‍රේමදාස පාලන කාලයන් තුළ පවා බලවත් වැරදි සිදුවන අවස්ථාවලදි ඒවාට එරෙහිව නොබියව කතා කරන බුද්ධිමතුන් කිසියම් පිරිසක් හෝ රටේ සිටියහ. ඔවුහු තමන්ගේ හෘද සාක්ෂියට අනුකූලව එසේ කළා මිස අනාගතයේ තාන්න මාන්න ලබාගැනීමේ අරමුණ මත එසේ නොකළහ. එහෙත් අද ඒ සියලු දෙනා නිහඬය. නැත්නම් බලවත් අයුක්තියක් ඇතිවන අවස්ථාවලදි අයුක්තිය යුක්තිය ලෙස පෙන්වන්නන් බවට පත්ව සිටින්නේ ඔවුන්ය. එදා ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් නිර්භීතව සටන් කළ වීරයෝ අද වාරණ බලධාරියාගේ විශ්වාසවන්ත ආවතේවකරුවන් බවට පත්ව සිටිති. සිරිතක් වශයෙන් පීඩාකාරී පාලනයකට එරෙහිව නැගී සිටින බුද්ධිමතුන් එම පීඩාකාරි පාලනය පරාජය කිරිමෙන් පසු ගොඩනගන නව පාලනයේ කොටස්කරුවන් පිරිසක් බවට හෝ කිට්ටු ආධාරකරුවන් බවට පත්වෙති. ඒ සමග යුක්තිය වෙනුවෙන් ඔවුන් කරන අරගලය අවසන් වනවා පමණක් නොව නව පාලනය යටතේ සිදුවන අයුක්තියේ ආරක්ෂකයින් බවට පත්වන්නේ ද ඔවුන්ය. ඉන්පසු අයුක්තියට එරෙහිව කතා කරන නව බුද්ධිමතුන් පිරිසක් මතුවීමට තවත් කාලයක් ගතවන්නේය. මැක්සිම් ගෝර්කි සාර් පාලනයට එරෙහිව නිර්භීතව නැගී සිටි ලේඛකයෙකි. එහෙත් සාර් පාලනය බිඳ වැටී බෝල්ෂෙවික් පාලනයක් ඇතිවීමත් සමග ඔහු එම පාලනයේ කොටස්කරුවකු බවට පත්වූවා පමණක් නොව ස්ටාලින්ගේ කෘරකම් යුක්ති සහගත කරන පිළිවෙතක් ද අනුගමනය කළේය. එහෙත් ඔහුගේ එම ක්‍රියාවන්ට එරෙහිව හෘද සාක්ෂිය ඔහුට එරෙහිව නැගී සිටින විට ඔහු සෝවියට් දේශයෙන් පලාගොස් සිය දිවි නසා ගත්තේය.

ශ්‍රී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක ව්‍යාපාරය එස්. නඩේසන් මහතාගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයකි. 71 තරුණ කැරැල්ලත් සමග මතුවූ එම ව්‍යාපාරය 94 එජාප ආණ්ඩුව පරාජයට පත්වන තෙක් ප්‍රජා අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සීමා කිරීමට හේතුවන හැම විධි විධානයකට හා ක්‍රියාවකට එරෙහිව ඉතාමත් නිර්භීත ලෙස සිය අදහස් පළකරන පිළිවෙතක් අනුගමනය කළේය. එම විෂයෙහිලා එම ව්‍යාපාරය කරන ලද අතිවිශාල කාර්යභාරය වෙනුවෙන් එවැනි සංවිධානයකට දිනාගත හැකි උසස්ම ජාත්‍යන්තර සම්මානය දිනාගැනීමට ද එම සංවිධානය සමත් වූවේය.

එහෙත් පුදුමයට මෙන් වයඹ පළාත් සභා ඡන්දයේ දි සිදුවූ තක්කඩිකම් හා සාහසිකකම් ඉදරියේ පළමු වරට එම සංවිධානය ද ගොළු වුණේය. එහි තේරුම ජීව වෙඩි උණ්ඩවලින් බිම හෙළිය නොහැකි යෝධයින් පවා පැණි තැවරූ අජීවී වෙඩි උණ්ඩ වලින් බිම හෙළිය හැකි බව නොවේද?

මෙය එම සංවිධානය කෙරෙහි පමණක් නොව මානව, සිවිල් හා වෘත්තීයවේදි සංවිධාන කෙරෙහි ද පන්සල පල්ලිය වැනි ආයතන කෙරෙහි ද ප්‍රකාශ වෙමින් තිබෙන ලක්ෂණයකි. සාමය අරමුණු කරගත් සංවිධාන සිය ගණනක් රටේ ඇතත්, ඔවුන් සාමය ගැන කතා කරන්නේ ඒ සඳහා ආණ්ඩුවෙන් සංඥාවක් ලැබෙන අවස්ථාවල පමණය. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ද පාලකයින් තුළ මානව හිමිකම් වෙනුවෙන් ක්‍රියා කරන්නේ පාලක පක්ෂයේ අසංතෝෂයට හේතු නොවන අවස්ථාවලදි පමණය. නීතීඥ සංගම්ද රටේ තිබෙන වෘත්තීයවේදි සංවිධාන අතර තිබෙන ඉතා බලවත්ම සංවිධානයකි. මීට පෙර පාලන යුගවලදි ඔවුන් රටේ සිදුවන කටයුතු ගැන සෝදිසියෙන් සිටිමින් බලවත් වැරදි සිදුවන බොහෝ අවස්ථාවලදි නිර්භීතව කතා කරන පිළිවෙතක් අනුගමනය කළෝය. එහෙත් අද එම සංගමය ද ගොළුවන්ගේ හා බිහිරන්ගේ සංගමයක් බවට පත්ව ඇත්තේය.

රට දවසින් දවස පරිහානිය කරා ගමන් කරමින් සිටින්නේ දේශපාලකයන්ගේ හිතුවක්කාරකම් නිසා පමණක් නොව ඔවුන්ගේ හිතුවක්කාර ක්‍රියාකාරකම් ඉදිරියේ සමාජය ගොලුවන් හා බිහිරන් ලෙස ක්‍රියාකරමින් සිටින නිසාය. නැවතී තිබෙන සමාජ හෘද සාක්ෂිය නැවත පණගන්වන්නේ කෙසේද යන්න අද අප සමාජය ඉදිරියේ තිබෙන ලොකුම අභියෝගයයි. අඩුම වශයන් තනි තනි පුද්ගලයන් වෙනුවට ආරම්භයේදි සංවිධානය වූ සමාජ සංවිධානවත් එනම් වෘත්තියවේදි සංවිධාන, වෘත්තිය සමිති, ආගමික සංවිධාන හා බහුජන සංවිධාන රටේ බලවත් වරදක් සිදුවන අවස්ථාවලදි නිහඬව නොසිට නොබියව ඒවා වැරදියි කියන සම්ප්‍රදායක්වත් ඇති කරගැනීමට සමත් වේ නම් බරපතල වැරදි සිදුවීමට තිබෙන ඉඩකඩ පාලනය කළ හැකිය. ඒ සඳහා පක්ෂ භේදයක් තිබිය යුතු නැත. හොඳ නරක පිළිබඳවත් හරි වැරදි පිළිබඳවත් වැඩිදෙනෙකුට පිළිගත හැකි පොදු මිනුම් දඬු පවතී.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජාතිය, ආගම, භාෂාව හෝ කුලය මත පිහිටා කිසියම් ජන කණ්ඩායමක් වෙනස් කිරිම්වලට ලක් කිරීම වරදකි. පාර්ලිමේන්තුවේ නිල කාලය දිර්ඝ කිරීම වරදකි. මැතිවරණ දූෂණවල යෙදිම වරදකි. විරුද්ධ පක්ෂවලට සංවිධානයවීමට හෝ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට තිබෙන ඉඩ ඇහිරිම ද වරදකි. අදහස් ප්‍රකාශන නිදහස සීමා කිරීම වරදකි වෘත්තීය සමිතිවලට සංවිධානය වීමට හෝ කේවල් කිරීමට තිබෙන නිදහස පාලනය කිරීම වරදකි. අධිකරණයේ ස්වාධීනත්වයට ඇගිලි ගැසීම වරදකි. පොදු දේපළ වංචා කිරීම වරදකි.

අඩුම වශයෙන් එවැනි මූලික කාරණාවලට අදාළව වැරදි සිදුවන අවස්ථාවලදි වෘත්තීය සමිති, වෘත්තීයවේදි සංවිධාන, ආගමික හා වෙනත් බහුජන සංවිධාන ප්‍රසිද්ධියේ විරෝධය පළකරන පුරුද්දක් ඇති කරගැනීමට සමත් වේ නම් නැවතී තිබෙන සමාජ හෘද සාක්ෂිය නැවත පණගැන්වෙනු ඇතැයි සිතිය හැකිය. අද අප සමාජය මුහුණ දි තිබෙන පුපුරන සුළු බොහෝ ගැටලු විසඳ ගැනීමට අවශ්‍ය සමාජ පරිසරයක් බිහිවනු ඇත්තේ ද එතැන් සිටය.