තිබෙන අර්බුද හා ඇතිවිය හැකි අර්බුද මොනවා විය හැකි වුවත්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය කල් නොදැමීම ආණ්ඩුවේ වගකීමකි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරීදි පවත්වන බව ජනාධිපතිනිය ප්රකාශ කර ඇතත්, හොර රහසේ කෙරෙන කතාබස්වලින් පෙනෙන්නේ මැතිවරණයකට නොගොස් පාර්ලිමේන්තුවේ නිල කාලය දිර්ඝ කරගැනීමට ඇති ආශාව ආණ්ඩුව අත්හැර නැති බව ය.
පිළිගත් ප්රජාතන්ත්රවාදී මූලධර්ම අනුව ව්යවස්ථාදායක මණ්ඩලයක නිල කාලය දිර්ඝ කරගැනීම ප්රජාතන්ත්රවාදයට පටහැනිය. එම ප්රජාතන්ත්ර විරෝධී සම්ප්රදායට මුල පිරිමක් කෙරුණේ 1972 නව ව්යවස්ථාවත් සමගය. ඉතාමත් කපටි ලෙස පාර්ලිමේන්තුවේ නිල කාලය දිර්ඝ කරගනු ලැබුවේ අවුරුදු දෙකකටය. ඉන්පසු 82 දි ජේ.ආර්. ජයවර්ධන තමන්ට හයෙන් පහේ බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු හයකටම දිර්ඝ කර ගත්තේ ය. මේ නිසා සමස්ත දේශපාලන දේහයේ ඇතිවූ විකෘතිය කිව නොහැකි තරම් විශාල ය. එදා ජේ.ආර්. ජයවර්ධනගේ එම හිතුවක්කාර ක්රියාමාර්ගයට එරෙහිව නැගී සිටි පිරිසක් විසින්ම දැන් ඒ හිතුවක්කාරි වැඩපිළිවෙළ ඉදිරියට ගන්නේ නම්, එය නින්දාසහගත බව අමුතුවෙන් කිවයුතු නැත. එවැනි හිතුවක්කාරි ක්රියාමාර්ගයකට ඉඩ ලැබුණහොත් රට අවුල් ජාලාවකට පත්වනු නොඅනුමානය.
පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම කළ යුත්තේ ජනතාවගේ අභිලාෂයන් අව්යාජ ලෙස ප්රකාශ කිරීමට ඉඩ ලැබෙන ආකාරයට මිස පාලක පක්ෂයට තමන් කැමති ප්රතිඵලයක් ලබාගත හැකි ආකාරයට නොවේ. ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ පරමාධිපත්යය බලය ඇත්තේ දේශපාලකයන් අත නොව, මහජනයා අතය. ඒ සමග දේශපාලකයන් සෙල්ලම් නොකළ යුතු ය. යුරෝපා සංගමය යෝජනා කර ඇති ආකාරයට මේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුත්තේ ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇති කොට ඒ යටතේ ය. එහෙත් ආණ්ඩුව තවමත් ඒ ගැන මුළුමණින් නිහඬ ය. හොරකම් කිරීමට අවශ්යතාවයක් නැතිනම් ස්වාධීන මැතිවරණ කොමිසමකට බිය වීමට ද හේතුවක් තිබිය නොහැකි ය. ඉල්ලීමක් කරන්නේ නම්, අවශ්ය තරම් විදේශීය මැතිවරණ නිරික්ෂකයන් ලබාදිමට තමන් සූදානම් බව ද යුරෝපීය සංගමය ප්රකාශ කර තිබේ. යුරෝපා සංගමයේ ඒ ඉල්ලීමට ද යහපත් ප්රතිචාරයක් දෑක්වීම ආණ්ඩුවේත්, මැතිවරණ කොමසාරිස්වරයාගේත් වගකීමකි.
ප්රජාතන්ත්රවාදී නිදහසට අදාළ මෙවැනි ප්රශ්නවලදි නිෂ්ක්රීය නිරික්ෂණ පිරිසක් ලෙස ක්රියා නොකොට සක්රීය සාමාජික පිරිසක් ලෙස ක්රියා කිරීම මහජනතාවගේ ද වගකීමකි. සියලු දෙනාගේ යහපත පිණිස වන ස්ථාවර පාලනයක් රටේ ඇතිකළ හැකිවනු ඇත්තේ හිතුවක්කාරි ලෙස ක්රියාකරන්නට දේශපාලකයින්ට ලැබී තිබෙන ඉඩකඩ සීමාකරමින් ප්රජාතන්ත්ර දේශපාලන ක්රමය ශක්තිමත් කිරිමෙන් පමණ ය.