හැමදේටම විරුද්ධ වීමේ විපක්ෂ නිල පිළිවෙත

August 3, 2003
Publication:
The editorial criticises the People's Alliance for rejecting parliamentary oversight committees that would give the opposition scrutiny of ministries, dismissing the claim that they would weaken the presidency. It calls for removing presidential immunity, the power to dissolve Parliament at will after a year and the right to hold unlimited cabinet posts, and regrets that the PA, JVP and UNP have all abandoned the debate on reforming the executive presidency.

අමාත්‍යාංශවල කටයුතු සම්බන්ධයෙන් විපක්ෂයට අධීක්ෂණ බලය ලබාදෙන පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු සම්බන්ධයෙන් පොදු පෙරමුණෙන් ලැබී තිබෙන ප්‍රතිචාරය අයහපත් ය. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ විපක්ෂය විකල්ප ආණ්ඩුව ලෙස පෙනී සිටින අතර, බලයේ සිටින ආණ්ඩුවේ කටයුතු අධීක්ෂණය කොට තිබෙන වැරදි පෙන්වා දිම විපක්ෂය වෙත පැවරෙන ප්‍රධාන වගකීමකි. ඒ මගින් බලයේ සිටින ආණ්ඩුවක් මහජන අයහපතට හේතු වන ආකාරයෙන් සිදු කරන ක්‍රියාකාරකම් මහජනතාවට හෙළිදරව් කළ හැකි අතර, රාජ්‍ය පාලනයට අදාළ විෂයයන් පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවබෝධය ද ගැඹුරු කළ හැකි ය.

අධීක්ෂණ කටයුතුවලට පවරා දෙන්නට යන බලතල මොනවාද යන්න තවමත් පැහැදිලි නැත. අධීක්ෂණ කටයුතුවලට විරුද්ධ වනවා වෙනුවට කළ යුතුව තිබෙන්නේ පුළුල් බලතල ලබාගත හැකි රාමුවක් සඳහා හෙට්ටු කිරීම ය.

විපක්ෂයට අධීක්ෂණ කටයුතු සඳහා වැඩි බලයක් ලබාදෙන ක්‍රමයක් ජනාධිපති බලතල හීන කිරීමට හේතුවෙතැයි කියන තර්කය විකාරයකි. විධායක ජනාධිපති ක්‍රමය මල් පහන් පූජා කොට ආරක්ෂා කරගත යුතු ක්‍රමයක් ලෙස සැලකිය යුතු ද? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම් අඩුම වශයෙන් එහි තිබෙන දුෂ්ට අංග ඉවත් කෙරෙන ආකාරයකට එය ප්‍රතිසංස්කරණය කළ යුතුය.

විශේෂයෙන් ම විධායක ජනාධිපති පරික්ෂාවට ලක්වන තත්ත්වයක තබාගැනීමට නම්, විධායක ජනාධිපතිට එරෙහිව නඩු නොපැවරිය හැකි ආකාරයට ඇති කර තිබෙන මුක්තිය ඉවත් කළ යුතු ය. සාධාරණ හේතු නැතිව පවා සිය අභිමතය අනුව වසරක් සම්පූර්ණ වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ලබාදි තිබෙන හිතුවක්කාරි බලයද විධායක ජනාධිපති ධුරයට අතිරේකව තමන් කැමති තරම් කැබිනට් තනතුරු දැරිමට ලබාදි තිබෙන අයිතිය ද අහෝසි කළ යුතු ය. මේ සියල්ලට අතිරේකව බරපතළ වැරදි කරන ජනාධිපතිවරයකු පහසුවෙන් නිලයෙන් පහ කළ හැකි ආකාරයේ නව ක්‍රමවේදයක් ද ඇති කළ යුතු ය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන කතිකාවත දැන් මුළුමනින් මියගිය දෙයක් බවට පත්ව තිබීම ඛේදජනක ය. පොදු පෙරමුණ ප්‍රතිපත්තියක් වශයෙන් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ ස්ථාවරයක පිහිටා සිටියත්, දැන් විධායක ජනාධිපති ධුරයේ සිටින්නේ සිය ව්‍යාපාරයේ නායකයා වන නිසා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ නොවන ස්ථාවරයක පිහිටා ක්‍රියාකරන්නට ඔවුන්ට සිදුවී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ද දැන් විධායක ජනාධිපති ක්‍රමය බලවත් ලෙස ආරක්ෂා කරන ව්‍යාපාරයක් බවට පත්ව සිටින අතර, සිය නායකයා විධායක ජනාධිපති ධුරයට පත්වීමට අපේක්ෂාවෙන් සිටින නිසා එජාපයට ද දැන් ඒ ඉදිරියේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නට සිදුවී තිබේ.

ඇත්තටම සිදුවිය යුතුව තිබෙන්නේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාවත ජනවාර්ගික අර්බුදයට පමණක් සීමා නොකොට, වඩා පුළුල් තලයක පිහිටා සමස්ත ක්‍රමයම ප්‍රතිසංස්කරණය කරන්නේ කෙසේද යන ප්‍රශ්නය සංවාදයට ලක් කිරීම ය.