ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ අර්බුදය

August 3, 2003
Publication:
A theoretical analysis, framed through the views of 'social democrats', of Sri Lanka's failure since 1948 to build a political structure acceptable to all groups. It identifies three conflicts, Sinhala versus Tamil nationality, minority rights and a struggle among power-holders, rejects the realpolitik maxim 'si vis pacem, para bellum', and argues for conflict transformation, a protracted peace-building process and a devolved, consociational state built on rebuilt social capital.

ශ්‍රී ලංකාව 1948 වර්ෂයේදි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වියගහින් නිදහස් වූයේය. 1972දි එම රාජ්‍ය ඩොමිනියන් තත්ත්වයෙන් මිදි ජනරජයක් බවට පත්වූයේය. 1978දි 1972 ජනරජ ව්‍යවස්ථාව සංශෝධනය කරමින් විධායක බලය ප්‍රධාන කොට ගත් දේශපාලන ව්‍යුහයක් සකස් කර ගත්තේය. එතැන් සිට මේ වන තෙක් එම ව්‍යවස්ථාවට සංශෝධන 18කට ආසන්න සංඛ්‍යාවක් හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකික දේශපාලන ව්‍යුහය නැවත සකස් කරගැනීමට උත්සාහ දරා තිබේ. එනමුදු තවමත් ශ්‍රී ලංකාවේ වෙසෙන විවිධ ජන කණ්ඩායම් වලට මෙන්ම සමාජ-ආර්ථික හා සංස්කෘතික කණ්ඩායම් වලට එකග විය හැකි දේශපාලන ව්‍යුහයක් සකස් කරගැනීමට හැකිවී නැත.

වසර 20ක කාලයක් තුළ දකුණේ හටගත් කැරලි දෙකක් තුළදි, එවැනි කාලයක් තිස්සේ දිග් ගැසුණු සිවිල් යුද්ධයට ද, ඊට අමතරව රට පුරා දක්නට ලැබෙන ඌන සංවර්ධනය පිළිබඳ ගැටලුවට ද මෙම ප්‍රධාන ප්‍රශ්නයේ විවිධ පැතිකඩ ලෙස පුරා වසර 50 තිස්සේ ශ්‍රී ලාංකික සමාජය විසින් මුහුණ දෙමින් සිටී.

කෙසේ නමුත් උතුරු-නැගෙනහිර ප්‍රදේශ සෘජු ලෙස සම්බන්ධ කරගනිමින් ද, සෙසු ප්‍රදේශ වක්‍ර ලෙස සම්බන්ධ කරගනිමින් ද කෙරිගෙන ගිය, මේ වනවිට තාවකාලිකව නැවතී ඇති යුද්ධය අනෙකුත් සෙසු අර්බුදයන් ද්විතික කරමින් ඉදිරියට පැමිණ තිබේ. එලෙසින්ම, එම සිවිල් යුද්ධයේ බැරෑරුම්භාවය විසිනි. ශ්‍රී ලාංකික සමාජය මුහුණ දෙමින් පවතින අනෙකුත් සමාජ, ආර්ථික මෙන්ම සංස්කෘතික ගැටලු, ඉහත කී සිවිල් යුද්ධය මගින් අධිනිශ්චය කොට ඇතැයි විශ්වාස කිරීමට හේතු අද වනවිට සමස්ත සමාජය මගින්ම පෙන්නුම් කරමින් සිටී. ඒ නිසාම මෙම සිවිල් යුද්ධය මුළුමනින්ම සමාජයම පැතිර පවතින බව සමාජ ප්‍රජාතන්ත්‍රවාදිහු විශ්වාස කරති.

තත්ත්වය මෙසේ වුවද, මෙම සමාජ ගැටලුව ශ්‍රී ලාංකික සමාජයේ විවිධ ජන කණ්ඩායම් විවිධ ආකාරයකින් තමන්ගේ දෘෂ්ඨියට අනුකූලව අර්ථ නිරූපණය කරගැනීමට පෙළඹී සිටීම නිසා ඒ සඳහා විසඳුම් සෙවීම අද සංකීර්ණභාවයකට පත් කොට තිබේ. ඒ අනුව එක් සමාජ තීරුවකට එය ජනවාර්ගික අර්බුදයකි. අනෙකකට එය ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රශ්නයකි. තවෙකෙක් එය ජාතික ප්‍රශ්නය ලෙස හඳුන්වති. යුද්ධය ආරම්භ කළ වුන්ට එය නිදහස පිළිබඳ අරගලයකි.

මෙවන් සංකීර්ණ අර්ථ විවරණයන්ට පාත්‍ර වී ඇති ශ්‍රී ලාංකික දේශපාලනය පිළිබඳ අර්බුදයට විසඳුම් සාකච්ඡා කිරීමට පෙර, එය හරයාත්මකව විශ්ලේෂණයකට භාජනය කරගැනීම අවස්ථාවෝචිත බව අපගේ විශ්වාසයයි.

ශ්‍රී ලාංකික සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ට අනුව ශ්‍රී ලංකාවේ පවතින්නේ ශ්‍රී ලාංකික දේශය පාලනය කිරීම පිළිබඳ අර්බුදයකි. එය අර්බුදයක් බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාව බහු ජනවාර්ගික (Multiethnic) බහු සංස්කෘතික (Multicultural) හා විවිධ මත දරන ආර්ථික-දේශපාලනික කණ්ඩායම් හේතු කොටගෙනය. කෙසේ නමුත් මෙම අර්බුදය අප පහත ආකාරයට කොටස් තුනකට හඳුන්වාදෙයි. ඒ අනුව,

1. සිංහල ජාතිකත්වය (Sinhala Nationality) සහ උතුරු-නැගෙනහිර භූමිය සිය වාසභූමිය කොට ජීවත් වන දෙමළ ජාතිකත්වය (Tamil Nationality) අතර සිය ජාතියේ ස්වයං තීරණය අයිතිය පදනම කොටගෙන දේශපාලන ව්‍යුහයක් ගොඩනැගීම පිළිබඳ මත ගැටුමේ සිට සිවිල් යුද්ධයක් බවට පරිණාමය වූ අර්බුදය

2. 1948 ඩොමිනියම් තත්ත්වය මත ගොඩනංවනු ලැබූ ආයතන ව්‍යුහය හා දේශපාලන තීන්දු ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස බහුතරය විසින් සුළුතරය නොතකා තීන්දු ගැනීමේ හා එම තීන්දු ක්‍රියාත්මක කිරීම හේතුකොට ගෙන ඇතිවුණු සුළු ජාතික අයිතිවාසිකම් (Minority Rights) පිළිබඳ ගැටුම.

3. ඉහත ගැටුම් දෙකෙහිම ප්‍රතිඵලයක් ලෙස හා සිංහල ජාතිකත්ව දේශපාලනයේ ඉදිරිපත් වීමක් ලෙස ශ්‍රී ලාංකික දේශපාලනයේ බල කොටස්කරුවන් වශයෙන් ශ්‍රී ලාංකික දේශයපාලනය අරඹයා සිදු කෙරෙන බල ගැටුම.

මීට සමාන්තරව නැගෙනහිර මුස්ලිම් දේශපාලනය හා උඩරට දෙමළ දේශපාලනය පදනම් කොටගත් බල අංකුර වර්තමානයේ වර්ධනය වෙමින් පැවතුණ ද ඒවායේ පැවැත්ම හෝ නොපැවැත්ම ඉහත කී ගැටුම් තුන කොතෙක් දුරට හරයාත්මකව විසඳ ගැනීම සිදුවන්නේද යන්න මත පදනම් වනු ඇත.

මින් අනතුරුව සලකා බැලිය යුතුව ඇත්තේ, ඉහත කී ගැටුම් විසඳ ගැනීම උදෙසා ශ්‍රී ලාංකික ජන සමාජය භාවිතා කරනු ලැබූ සහ මේ වනවිට භාවිතා කරමින් සිටින ප්‍රවිශ්ඨයන් පිළිබඳවය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදි විශ්ලේෂණයන්ට අනුව පසුගිය දශක පහ තුළදිම ශ්‍රී ලාංකික දේශපාලනය නිරූපණය වන ලද්දේ සිංහල දේශපාලනය තුළිනි. එම දේශපාලනය ගැටුම් විසඳ ගැනීම සඳහා උපයෝගී කරගනු ලැබූයේ යථාදෂ්ඨික (Realpolitiz) ප්‍රවිශ්ඨයකි. එය රෝම රාජ්‍ය තන්ත්‍රිකරණ උපමේයකින් නිරුක්ති කරගන්නේ නම් එය හඳුන්වනු ලැබූයේ “Si vis pacem, para bellum යනුවෙනි. එනම් සාමය අවශ්‍ය නම් යුද්ධයකින් (ගැටුමකින්ම) එය ඇති කරගන්න යන උපක්‍රමය තුළිනි.

මෙම ප්‍රවිශ්ඨයේ ප්‍රතිඵලයක් ලෙස සමාජීය-ආර්ථිකය සංස්කෘතික පරිහානිය අප මේ වනවිට අත්විඳ තිබුණ ද සිංහල සමාජය තුළ ප්‍රාථමික ලෙස ද, දෙමළ සමාජය තුළ එහි ප්‍රතිඵලයක් ලෙස ද වර්තමානයේ පෘථුල ලෙස බල පවත්වන්නේ මෙම මතය බව අප විශ්වාස කරයි.

මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර වනුයේ ඉහතින් සඳහන් කළ ශ්‍රී ලාංකික දේශපාලනයේ ප්‍රධාන බල පංගුකරුවන්ගේ දේශපාලන බල අභිප්‍රායන් කෙතෙක් දුරට ඉටුවීම හෝ නොවීම මතය.

බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමේ සිට 2001 පොදු පෙරමුණු ව්‍යවස්ථා සංශෝධන දක්වාද වර්තමානයේදි දිග හැරෙන සාම සාකච්ඡාවල උච්ඡස්ථානය සනිටුහන් කෙරෙනු ඇති අනාගත අවසාන ගිවිසුමකට ද අවසානයේදි මුහුණ දිමට සිදුවන යථාර්ථය වන්නේ මෙයයි.

මේ තුළ අපට ලබාගත හැකි ප්‍රධාන අත්දැකීම විය යුත්තේ පළමුව ශ්‍රී ලාංකික දේශපාලන අර්බුදය විසඳගැනීම සඳහා ප්‍රවිශ්ඨයක් ලෙස යථාදාෂ්ඨික ප්‍රවිශ්ඨයක් යොදා ගැනීමේ හරසුන් බවත් දෙවනුව ශ්‍රී ලාංකික සමාජය මුහුණ දි ඇති ගැටුම් තුනට එකවර විසඳුම් සොයා ගැනීමේ අවශ්‍යතාවයන්ය.

එසේ නම් එය සිදු කළ යුත්තේ කෙසේද යන්න මීළගට සාකච්ඡාවට බඳුන් කළ යුක්තයි. මේ සඳහා ද පූර්විකාවක් ලෙස රෝම රාජ්‍ය තන්ත්‍රීකරණයේ උපමේයක් අපට ඉදිරිපත් කළ හැකිව තිබේ. එනම් “Si vis pacem, para pacem” යන්නයි. මෙම නිරුක්තිය තවදුරටත් විස්තීරණ කරනු ලබන්නේ නම් එය මේ ආකාරයට සඳහන් කළ හැකි වනු ඇත. එනම් යම් ගැටුමක මූලය සොයාගැනීමට නොහැකි වන්නේ නම් සාමයක් උදා නොවනු ඇත. එසේම ගැටුමට විසඳුමක් සොයා ගැනීමේ අවකාශයක් ඇති නොවන්නේ නම්, සාමයක් උදා නොවනු ඇත.

අතීත වැරදි සහ අතපසුවීම් පිළිබඳ අවබෝධයක් හෝ පසුතැවීමක් නොමැති වන්නේ නම් පොදු වටිනාකම සොයාගැනීම සඳහා පාර්ශවයන් උනන්දු නොවනු ඇත. අවසාන වශයෙන් සාමය සඳහා මිලක් නොමැති නම්, යුක්තිය පිළිබඳ වැටහීමක් නොමැති නම්, මනුෂ්‍යත්වයට ස්ථානයක් එවන් තත්ත්වයකදි ඇති නොවනු ඇත. මෙය යථාදාෂ්ඨික ප්‍රවිශ්ඨයකට වඩා අසීරු ගමන් මාර්ගයක් වන්නේ ඒ නිසාමය. වර්තමාන ශ්‍රී ලාංකික සමාජය තුළ සාමය ප්‍රාර්ථනාවක් බවට පමණක් පත්ව ඇත්තේ මේ හේතු කොටගෙනය. ඒ නිසා ශ්‍රී ලාංකික දේශයේ සාමයට ලැදි බවක් දක්වන්නන් දිග් ගැස්සුණු සාමය ගොඩනැංවීමේ ක්‍රියාවලියකට (Protracted peace building process) දැන්වත් සූදානම් විය යුතුව තිබේ. ඒ සඳහා ගැටුම් නිරාකරණයට වඩා ගැටුම් පරිවර්තනමය ප්‍රවිශ්ඨයක් වඩා ප්‍රායෝගික විය හැකිව තිබේ.

ගැටුම් පරිවර්තනය ලෙස සමාජ ප්‍රජාතන්ත්‍රවාදින් හඳුන්වනු ලබන්නේ ගැටුමක් තුළ අන්තර්ගතව තිබෙන බලය පදනම් කරගත් සැහැසිභාවය හා පසමිතුරු භාවය අඩු කරලමින්, ගැටුමට අදාළ පාර්ශවයන්ට එකග විය හැකි සාධාරණ හා කල් පවතින ප්‍රතිඵලයක් නිර්මාණශීලී ලෙස හා සියලු පාර්ශවයන්ට ප්‍රයෝජනවත් වන ආකාරයට ගොඩ නැංවීමයි.

අප මෙතෙක් දුරට කරගෙන එනු ලැබූ න්‍යායාත්මක විශ්ලේෂණයන් ශ්‍රී ලාංකික තත්ත්වයන්ට අනුරූප කරගන්නේ නම් ශ්‍රී ලාංකික දේශපාලන අර්බුදය විසඳ ගැනීමේ ප්‍රවිශ්ඨයක් පහත සඳහන් ආකාරයට ගොඩනගා ගැනීමට හැකිවනු ඇත.

ඉහතින් දැක්වූ ප්‍රධාන ගැටුම ශ්‍රී ලාංකික සාධක අනුසාරයෙන් තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ නම්, එම ගැටුම් ප්‍රධාන කොටගෙනම ශ්‍රී ලාංකික දේශය පදනම්ව ජීවත්වන විවිධ ජනවාර්ගික, සංස්කෘතික හා සමාජ ආර්ථික කණ්ඩායම් අතර පවත්නා:

1. මානව සම්බන්ධතා පිළිබඳ ගැටුම්

2. දත්තයන් අර්ථ විවරණය හා අදාළ කරගැනීම පිළිබඳ ගැටුම්

3. විවිධ ජන කණ්ඩායම් අතර පවත්නා අවශ්‍යතා පිළිබඳ ගැටුම්

4. විවිධ ජන කණ්ඩායම් අතර පවත්නා වටිනාකම් පිළිබඳ ගැටුම්

5. සම්පත් හිමිකාරීත්වය හා සම්පත් පරිභෝජනය පිළිබඳ ව්‍යුහාත්මක ගැටුම්

ලෙස වර්ගීකරණයකට ලක් කළ යුතුව තිබේ. මෙහිදි ප්‍රධාන කොටම අවධාරණය කොට ගත යුත්තේ මෙම ගැටුම් ඇතිවී ඇත්තේ ශ්‍රී ලාංකික දේශයපාලනය කිරීම පිළිබඳ එක් එක් ජනවර්ගය දරන්නාවූ මානසික සාධක (Inspirational factors) පදනම් කොටගෙනය.

එසේ නම් ඉලක්කය විය යුත්තේ මේ සියලු ජාතිකත්වයන්, සුළු ජාතික කණ්ඩායම් හා බල පංගුකරුවන් සෑහීමකට පත්විය හැකි දේශපාලන ව්‍යුහයක් පිහිටුවාලීම සඳහා ඉහත සඳහන් විවිධාකාර වූ ගැටුම් නිරාකරණය හෝ පරිවර්තනයකට යොමු කිරීමය. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ දැනට පවතින මධ්‍යගත (ඒකීය) දේශපාලන ව්‍යුහයක් වෙනුවට බලය බෙදාහැරිම පදනම් කරගත්, බහුත්ව විවිධත්වය, සම්මුති බද්ධභාවය හා සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදි නව ශ්‍රී ලාංකික දේශයක් ගොඩනවාංලීම වේ. එහිදි ව්‍යුහාත්මක විසඳුමක් ප්‍රාථමික වුවද ඒ තුළ නිර්භූමික බලය බෙදාහැරිමේ ලක්ෂණ ද (Non territorial power sharing) පුළුල් මානව හිමිකම් ආරක්ෂා කෙරෙන විධිවිධාන ද, ඒවා භුක්ති විඳීම සියලු ජන ස්ථරයන්ට තහවුරු කෙරෙන (Consociational) ප්‍රතිපාදන ද අඩංගු කළ යුත්තේ ව්‍යුහාත්මක විසඳුමකින් (Structural Solution) පමණක් ශ්‍රී ලාංකික දේශපාලන අර්බුදය විසඳගැනීමට නොහැකි වන බව අප විශ්වාස කරන හෙයිනි.

එසේ කීමට අපට හේතු වී ඇත්තේ ශ්‍රී ලාංකික දේශයේ වෙසෙන විවිධ ජන කොටස් හා බල කණ්ඩායම් අතර නව එක්සත් ශ්‍රී ලාංකික රාජ්‍යයක් ගොඩනැංවීමට තරම් වූ තිරස් හා සිරස් සමාජ ප්‍රාග්ධනයක් (Social Capital) මේ වන විට අප සමාජය තුළ නොපවතින හෙයිනි.

මෙරටෙහි බහුතර වන සිංහලයාගේ දේශපාලන මානසික සාධකය බොහෝ දුරට මධ්‍යගත ඒකාධිකාරි දේශපාලන ව්‍යුහයක් පදනම් කොටගෙන ගොඩ නැගී තිබෙන්නෙකි. එනම් මෙරටෙහි සංස්කෘතිය (ඉතිහාසය) ගොඩනැංවූවන් ලෙස එම ඒකාධිකාරිත්වය ඔවුනට හිමි විය යුතු බවට ඉච්ඡානුකව හෝ අවිච්ඡානුකව විශ්වාස කරති.

16 වන ශත වර්ෂය වනවිටත් ස්ථිර වාසභූමියක් හිමි කරගෙන සිටි දෙමළ ජනතාව, පෘතුග්‍රීසි ආධිපත්‍යයට නතුවීමත්, ඉන්පසුව ලන්දේසි හා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදි පාලනයෙන් පසුව සිංහල රාජ්‍යයේ ආධිපත්‍යයට 1948 ව්‍යවස්ථාව හරහා නතු වූ බව දෙමළ ජාතිකත්ව දේශපාලනය විශ්වාස කරන අතර, ඒ නිසාම මෙරට දේශපාලනය තුළ සුළු ජාතික අයිතිවාසිකම් වලින් එපිටට ගිය ජාතිකත්වමය අයිතිවාසිකම්, සිංහල ජාතිකත්වයට සමාන්තරව ඔවුනට හිමි බව ඔවුන් කියා සිටි අතරම ඒ සඳහා යුද වැදි සිටිති.

මීට අමතරව නැගෙනහිර මුස්ලිම්වරුන් ද, උඩරට දෙමළ ජනතාව ද රට පුරාම විසිර පවත්නා විවිධ සුළු ජන හා සුළුතර කණ්ඩායම් තමන්ගේ සුළු ජාතික අයිතිවාසිකම් (Minority rights) පවතින දේශපාලන ක්‍රමය තුළ අහිමි වී ගොස් හෝ අතපසු කරනු ලැබ ඇති බව පවසා සිටිති.

මේ අනුව බලන කල මෙම සමාජය තිරස් ලෙස ඛණ්ඩනය වූවකි. ඒ නිසා ශ්‍රී ලාංකික දේශයක් සඳහා වූ තිරස් සමාජ ප්‍රාග්ධනය ඉතා අල්පය.

අනෙක් අතට බල පංගුකාරිත්වයේ අරගලය හා යුද්ධය හේතු කොටගෙන ජනතාව දේශපාලන බලය මත තබා තිබූ විශ්වාසය අද ක්ෂිත වී ගොස් තිබේ. ඒ නිසාම මහජනයා හා මහජන නියෝජිතයන් අතර පැවතිය සිරස් ප්‍රාග්ධනය පැවතිය යුතු මට්ටමට වඩා ඉතා අවම භාවයකට පත්ව තිබේ. ඒ නිසාම විසඳුමක් ඉදිරිපත් කිරිමේදි ඒ සඳහා වන විශ්වසනීයත්වය මේ වනවිට ජනතාවගෙන් ඉවත්ව ගොස් සැකය හා අවිශ්වාසය රජ කෙරෙන තත්ත්වයකට වර්තමාන සමාජය පත්ව තිබේ.

මෙහි සමස්ත ප්‍රතිඵලය වී ඇත්තේ පවත්නා විනාශකාරි තත්ත්වය තවදුරටත් එලෙසම පැවතීමත්, සංහිඳියාවක් පිළිබඳ සමාජ විශ්වාසය හුදු හිතලුවක් බවට පත්වීමය.

වර්තමාන සාම ක්‍රියාවලිය තේරුම් ගත යුත්තේ, එහි පැවැත්ම හෝ නොපැවැත්ම පිළිබඳ අනාවැකි පළ කළ යුත්තේ එම සාම ක්‍රියාවලිය තුළින් කොතෙක් දුරට යුක්තිසහගත, සාධාරණ හා කල් පවත්නා විසඳුමක් ඇති කරගැනීමට හැකියාවක් ඇත්තේ ද යන්න මතය. ඒ සඳහා නිර්මාණශීලීභාවය මෙන්ම ඉහතින් සඳහන් සියලු සාධක තෘප්ත කරලීමේ හැකියාව සාමයේ පෙර ගමන් කරුවන් වන ශ්‍රී ලංකා රජයට හා එල්ටීටීඊයට පැවතිය යුතුය. දිග්ගැස්සුණු සාමය ගොඩ නැංවීමේ ක්‍රියාවලියක් (Protracted peace building) වර්තමාන ශ්‍රී ලාංකික සමාජයට අවශ්‍යව තිබෙන්නේ මේ හේතු කොටගෙනය. යුද්ධයේ සැහැසිභාවය, සමාජයේ පිවිතුරුභාවය එක් රැයකින් හෝ වර්ෂයකින් අවසන් කළ නොහැකි වනු ඇත. ඒ සඳහා සමාජ ප්‍රාග්ධනය සීරුවෙන් ගොඩනගා ගත යුතුය. ගැටුමේ පාර්ශ්වකරුවන් මෙන්ම ඔවුන් පිටුපස සිටින සිය සාමාජිකයන් ද, බල පංගුකරුවන් ද ශ්‍රී ලාංකික දේශපාලනයට එකිනෙකාට හිමි අයිතිය සමානව පිළිගත යුතුය. එවිට එවන් සාමය ගොඩනැංවීමේ ක්‍රියාවලියක ප්‍රවිශ්ඨය අපට හමුවනු නියතය.