විජේවීරගේ දායාදයෝ ය.
ජවිපෙ තුළ මතු වී තිබෙන විවාදය ඉතා වැදගත් ය. ඉරිදා දිවයිනේ කොටස් වශයෙන් පළවු නන්දන ගුණතිලකගේ ලිපි පෙළ, 71 විරුවන් සමරන රැළියේ දී සෝමවංශ කරන ලද කතාව, සෝමවංශගේ කතාවට වීරවංශ පාර්ලිමේන්තු වේදී දෙන පිළිතුර හා වීරවංශගේ කතාවට සෝමවංශ පුවත්පත් සාකච්ඡාවේ දෙන කෙටි පිළිතුර යනාදිය මෙම විවාදයේ වැදගත් මූලාශ්ර ලෙස සැලකිය හැකි ය. මෙම විවාදය කරළියට එන තෙක් ජවිපෙ ප්රකාශකයින් සිය පක්ෂය හඳුන්වාගත්තේ රටේ තිබෙන සුදු ම සුදු පිරිසිදුම පක්ෂය වශයෙනි. දූෂණයෙන් අපිරිසිදු නොවූ මන්ත්රීවරුන් සිටියේ එම පක්ෂයටය. සුරාමේරයෙන් හා කාම මිත්යාචාරයෙන් අපිරිසිදු නොවූ මන්ත්රීවරුන් සිටියේ එම පක්ෂයේ ය. අභ්යන්තර බේද නැති සමගි සම්පන්න පක්ෂය හා විනය ගරුක පක්ෂය ලෙස සැලකුනේ එම පක්ෂ ය. අභ්යන්තර ප්රජාතන්ත්රවාදය රජකරන පක්ෂය ලෙස සැලකුනේ ද එම පක්ෂය ය.
එහෙත් දැන් එම පක්ෂයේ අභ්යන්තර නායකයන් කරන කතාවලින් අසන්නට ලැබෙන දේ ඊට වෙනස් ය. එය අභ්යන්තරයේ දිය රෙද්දෙන් බෙලි කැපෙන ක්රමයක් ක්රියාත්මක වන පක්ෂයකි. එය දූෂණයෙන් කුණු වී ඉන් හමන කුණු ගඳ වසාගෙන සිටින පක්ෂයකි. එම පක්ෂයේ මන්ත්රීවරුද හොර රහසේ රහ පැන් බොති. කාම මිත්යාචාරයේ හැසිරෙති. එය සමගි සම්පන්න පක්ෂයක් නොව ඊර්ෂ්යාවෙන්, වෛරයෙන් හා ක්රෝධයෙන් භේද බින්න වූ පක්ෂයකි. එය අභ්යන්තර ප්රජාතන්ත්රවාදය රජ කරන පක්ෂයක් නොව ඒකාධිපතිවාදය රජ කරන පක්ෂයකි. විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී කළ හැඟීම් බර කතාවේ දී පක්ෂය සමාන කළේ දළදා මාලිගාවටය. එහි තේරුම තමා එතෙක් පක්ෂය පිරිසිදු හා පූජනීය වස්තුවක් ලෙස සැලකු බවය. ඔහු පක්ෂය පූජනීය වස්තුවක් ලෙස සලකන විට පක්ෂය නිර්මාතෘ රෝහණ විජේවීර දකින්නට ඇත්තේ ද දෙවි කෙනෙකු ලෙසය. මෙය විමල් වීරවංශට පමණක් ආවේණික රෝගයක් ලෙස සැලකිය නොහැකි අතර එය සියලු පක්ෂ සාමාජිකයින්ට ආවේණික පොදු රෝගයක් ලෙස සැලකිය හැකි ය.
ජවිපෙට ආවේණික, සැඟ වී තිබුණු මෙම විශම ලක්ෂණ හැමදාමත් එම පක්ෂය තුළ තිබුණේ ය. ඒවා සෝමවංශ අමරසිංහ හා වීරවංශ යුගයෙන් පසුව අලුතෙන් ඇති වූ දේවල් ලෙස සැලකිය නොහැකි ය. සෝමවංශ, වීරවංශට එල්ල කරන චෝදනාවලට සමාන චෝදනා විජේවීරට ද එල්ල වී තිබුණි. ගැහැණියකගේ රහසඟ රත්තරං යන තේරුම ඇති ඵණඍ යන නාමය විජේවීර වෙත පට බඳින ලද්දේ අධිරාජ්යවාදී බලවේගයක් හෝ ධනපති බලවේගයන් විසින් නොව පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික කණ්ඩායමක් විසිනි. ජවිපෙ ද එල්ටීටීඊය මෙන් ව්යාපාරිකයින්ගෙන් කම්පම් ගන්නා පක්ෂයකි. එල්ටීටීඊය ව්යාපාරිකයින් වෙත මරන තර්ජන එල්ලකොට කප්පම් ගන්නා විට ජවිපෙ ව්යාපාරිකයින් වෙත වර්ජන තර්ජන එල්ලකොට කප්පම් ලබාගනී. ඒ බව ඔප්පු කළ හැකි එක් නිදර්ශනයක් මෙසේ ය. හැරී ජයවර්ධනගේ රක්ෂණ සංස්ථා ගනුදෙනුවට එරෙහිව ජවිපෙ බලවත් ලෙස කථා කළේ ය.
මැතිවරණයෙන් තම පක්ෂය ද ඇතුළත් සන්ධාන ආණ්ඩුව බලයට පත් වූ පසු ශ්රී ලංකා රක්ෂණ සමාගම නැවත රජයට පවරා ගන්නා බව කියා සිටියේ ය. එම පොරොන්දුව විශ්වාස කළ රක්ෂණ සමාගමේ සේවකයෝ එක පොදියට ජේවීපියට ඡන්දය දුන්හ. මැතිවරණයෙන් ජේවීපීයද ඇතුළත් සන්ධාන ආණ්ඩුවක් බලයට ආවත් ඉන් පසු ජේවීපීය එම ගනුදෙනුවට එරෙහිව එක වචනයක්වත් කථා කළේ නැත. ජේවීපීයේ කට වැනීම පිණිස හැරී කළේ ජේවීපීයට ලොකු කම්පමක් ගෙවීමය. ඒ සමග ජේවීපීය රක්ෂණ ගනුදෙනුව ගැන කරන කතාද අත්හැරී ගියේ ය. ජේවීපීයේ වී එෆ්එම් ගුවන් විදුලි සේවයේ තරංග කුළුණ ඉදිකර ඇත්තේ හැටන් නැෂනල් බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ ය. හැටන් නැෂනල් බැංකුවේ හිමිකාරයා හැරී ය. පිළිගත් මිල ගණන් අනුව එම කුළුණ සඳහා වෙන් කර ඇති ඉඩ වෙනුවෙන් ජේවීපිය හැටන් නැෂනල් බැංකුවට ගෙවිය යුතු මාසික මිල රුපියල් ලක්ෂ 16 කි.
ජේවිපිය ඒ මිල හැරී ජයවර්ධනයට ගෙවන්නේ ද? නැතිනම් ඒ ඉඩ ඔහු ලබා දී ඇත්තේ ජවිපෙට දක්වන අනුග්රහයක් වශයෙන්ද? ඒ ගැන සෝමවංශට කියන්න තිබෙන්නේ කුමක්ද? වීරවංශට කියන්න තිබෙන්නේ කුමක්ද? ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව පුද්ගලිකකරණයේ දී සිදුවී තිබෙන දූෂණ පදනම් කොට ගෙන එම ගනුදෙනුව අභියෝගයට ලක්කරන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරියේ විභාග වෙමින් පවතී. එම පෙත්සමේ පෙත්සම්කරු වී සිටින්නේ වාසුදේව නානායක්කාරය. පෙත්සම් කාරයා වාසුදේව නානායක්කාර වුවත් පෙත්සමේ නිර්මාතෘවරයා වන්නේ වරලත් ගණකාධිකාරිවරයෙකු වන නිහාල් ශ්රී අමරසේකරය. ඔහු කලක් දේශ හිතෛෂී ව්යාපාරයේද ප්රමුඛ පුද්ගලයෙකු විය. හිල්ටන් ගනු දෙනුවට එරෙහිව අධිකරණයට ගිය පුද්ගලයා ඔහුය. නිහාල් ශ්රී අමරසේකර සකස් කළ මෙම පෙත්සමේ පෙත්සම්කරු වීමට නියමිතව සිටියේ වාසුදේව නානායක්කාර නොව ජවිපෙ ප්රකට පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකි.
ඔහු පළමු වටයේ දී මෙම පෙත්සමේ පෙත්සම්කරුවීමට කැමැත්ත දී තිබුණේය. එහෙත් අවසාන මොහොතේ දී ඔහු නිහාල් මඟහැරියේ ය. ඇයි? පක්ෂය ඔහුට එහි පෙත්සම්කරු නොවිය යුතු බවට දැනුම් දී තිබුණු නිසාය. පක්ෂයට ඔහු පෙත්සම්කරු වීම වැළැක්වීමට අවශ්ය වුණේ ඇයි? පක්ෂය රක්ෂණ සමාගමේ අයිතිකරුගෙන් කප්පම් ලබා ගෙන තිබුණු නිසා ය. එහිදී පක්ෂයට වැදගත් වූයේ එම ගනු දෙනුවෙන් රටට සිදු වී තිබුණු අති විශාල අලාභය නොව තමන්ට කප්පම් ගෙවූ සමාගමේ අයිතිකරුගේ ආරක්ෂාවය. මේ විශම ක්රමය සෝමවංශගෙන් හෝ වීරවංශගෙන් පක්ෂයට උරුම වූ දායාදයන් නොව විජේවීර විසින් පක්ෂයට උරුම කර දෙන ලද දායාදයකි. යශෝධා ව්යාපාරයේ අධිපති යසසිරි කස්තුරිආරච්චිගෙන් මට එක්තරා කාලයකදී අසන්නට ලැබුණු කථාවක් මෙසේ ය. යසසිරි කස්තුරිආරච්චි ඩී.බී. විජේතුංගගේ සමීපතම ආධාරකරුවෙකි. ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේ යසසිරිට ජේවීපීයෙන් තර්ජන තිබුණි.
ඔහු ආරක්ෂාව සඳහා ජේවීපීයට ආධාර කළේ ය. ජේවීපී නායකයින්ගේ විශ්වාසය දිනාගත් පුද්ගලයෙකු බවට පත් විය. එකල අගමැති පුටුවේ සිටියේ ඩී.බී. විජේතුංග වන නිසා යසසිරිට ලැබෙන වැදගත් ම ජේවීපියද තේරුම් ගෙන තිබුණේය. අගමැති ඩී.බී. විජේතුංග මගින් ප්රශ්නය විසඳාගැනීමට අවශ්ය වූ විට ජේවීපී නායකයින් අතරමැදියා ලෙස යොදා ගත්තේ යසසිරිය. ක්රමයෙන් ජේවීපී නායකයින් යසසිරිට කොතරම් සමීප වී ද කියනවා නම් ජේවීපී දේශපාලන මණ්ඩල සාකච්ඡා හා මධ්යම කාරක සභා රැස්වීම් පවත්වන ජනප්රිය ස්ථානය බවට පත් වූයේ යසසිරිගේ නිවසය. සමහර රැස්වීම්වලට විජේවීරද සහභාගි වූ අතර විජේවීරද යසසිරි සමග මිත්රවිය. දිනක් විජේවීර ව්යාපාරිකයකු වශයෙන් යසසිරිට තිබෙන ප්රශ්න මොනවාදැයි ඔහුගෙන් ප්රශ්න කළේ ය. එකල යසසිරි සීනි ආනයනය කරන ව්යාපාරිකයෙකු වූ අතර සීනි ආනයනයේදී ප්රධාන ව්යාපාරිකයන් බවට පත්ව සිටියේ ඉන්දීය සම්භවයක් සහිත බෝරා ජාතික වෙළෙඳුන්ය.
තමාට තිබෙන ලොකු තර්ජනය එල්ලවී ඇත්තේ විජාතික වෙළෙඳුන්ගෙන් බව යසසිරි විජේවීර විසින් අසන ලද ප්රශ්නයට දුන් පිළිතුර වී තිබේ. විජේවීර ඒ ගැන වැඩි දුර යසසිරිගෙන් කරුණු විමසා ඇති ඇතර යසසිරිද වැඩිදුරටත් කරුණු විස්තර කර තිබේ. යසසිරිට අනුව විජේවීර ඒ මොහොතේ කෙටි සටහනක් ලියා ගත්තේ ය. යසසිරිගේ පුදුමයට හේතුවන ලෙස ඊට දින කිහිපයකට පසුව සීනි ආනයන කළ බෝරා ජාතික වෙළෙන්දකු ජේවීපී තුවක්කුකරුවකු විසින් වෙඩි තබා මරා දමා තිබුණි. ඒ සමග බෝරා ජාතික සීනි වෙළෙන්ඳෝ සීනි ආනයනය කිරීම අත්හළහ. යසසිරිට ලාබ ගලා ආයේය. යසසිරි කියන ලද ආකාරයට ඔහු සල්ලිකාරයෙකු වුණේ ඩී.බී. විජේතුංගගෙන් ලැබුණු අනුග්රහය නිසා නොව ජේවීපියෙන් සිය වෙළෙඳාමට ලැබුණු අනුග්රහය නිසා ය. යසසිරිට ජේවීපීය සමග තිබෙන ගනුදෙනු ගැන රන්ජන් විජේරත්නට ඉව වැටුණේය. දිනක් ආරක්ෂක හමුදාව යසසිරිගේ නිවසට කඩා වැදී නිවස අස්සක් මුල්ලක් නෑර සෝදිසි කළේ ය.
යසසිරිගේ අවාසනාවකට විජේවීර යසසිරි වෙත ලියන ලද කෙටි සටහනක් ආරක්ෂක හමුදා අතට පත් විය. යසසිරි වහා අත්අඩංගුවට ගත්තේය. යසසිරිට ජීවත්වීමට වාසනාව ලැබුණේත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු නැවත නිදහස්වීමට හැකිවූයේත් අගමැති ඩී.බී. විජේතුංග යසසිරි වෙනුවෙන් මැදිහත් වූ නිසා ය. පක්ෂයේ සේවාවන් කුලී පදනමක් මත විකුණන ක්රමයක් පක්ෂයට හඳුන්වා දුන්නේ ද විජේවීරය. ඉරානය හා ඉරාකය අතර මහා ආරවුලක් තිබුණු කාලයේ දී ඉරාකයට පක්ෂ හා ඉරානයට විරුද්ධව පෙනීසිටින ප්රතිපත්තියක් ක්රීයාවට නැගීම මගින් විජේවීර ඉරාකයෙන් මුදල් ලබා ගත්තේය. ශ්රී ලංකාව තුළ ජවිපෙ පවත්වා ගෙන ගිය ඉරාන විරෝධී උද්ඝෝෂණ හා ප්රචාරණ වැඩ පිළිවෙල වෙනුවෙන් ඉරාකය ජවිපෙට මුදල් ගෙවීය. විජේවීරගේ පරිහරණය සඳහා 304 වර්ගයේ පර්ජෝ රථයක් සමග පක්ෂයට අවශ්ය වෙනත් වාහන හා විමුක්ති ප්රසංගයට අවශ්ය සංගීත භාණ්ඩ මිලදී ගත්තේ එම මුදල්වලිනි.
ඉන් පසු කොළඹ වරායට පැමිණ තේ රැගෙන ඉරානය බලා යන නැවක් ජවිපෙ ලවා ගිනිබත් කරවීමට ඉරාකයට අවශ්ය වූ අතර එම කොන්ත්රාත්තුව ඉටු කරදීම වෙනුවෙන් පමණක් ජනතා විමුක්ති පෙරමුණ ඉරාකයෙන් ලබාගත් කුලිය රුපියල් ලක්ෂ 40 කි. විජේවීරට 504 පරජෝ රථය එපා වී ඒ වෙනුවට 505 වර්ගයේ පර්ජෝ රථයක් අවශ්ය වූයේ නැව ගිනි තැබීම වෙනුවෙන් පක්ෂයට මුදල් සම්බාරයක් ලැබුණු පසුය. වාස් තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී තිබෙන කට උත්තරයේ වන තොරතුරු අනුව පාවිච්චි කරමින් සිටි 504 වර්ගයේ පර්ජෝ වාහනය වෙනුවට 505 වර්ගයේ පර්ජෝ වාහනයක් මිලදී ගතහොත් පාක්ෂිකයන්ගෙන් ප්රශ්න ඇති වීමට ඉඩ ඇති බව වාස් තිලකරත්න පෙන්වා දුන් විට විජේවීර ඊට දී ඇති පිළිතුර වී ඇත්තේ මිලදී ගන්නා අලුත් වාහනයේ වර්ණය පැරණි වාහනයේ වර්ණයට සමාන වේ නම් වෙනස හඳුනා ගැනීමට පාක්ශිකයන් අසමත් වනු ඇති බවය.
මෙසේ විශාල වශයෙන් පක්ෂයට මුදල් ලැබෙන විට එම මුදල් පක්ෂ නායකයින් අයථා ලෙස පරිහරණයට ගැනෙන ක්රමයක්ද ඇති විය. ඉරාකයෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ආරක්ෂාව සඳහා තෝරාගත් පක්ෂ නායකයින් කිහිප දෙනෙකුගේ බාරයේ තබන ලදී. විජේවීර බාරයට ගන්නා ලද මුදල රුපියල් ලක්ෂ 06 කි. රුපියල් ලක්ෂ 05 ක් ආරක්ෂාවට තබන ලද්දේ සෝමවංශ අමරසිංහගේ අක්කාගේ නිවසේ ය. තවත් රුපියල් එක් ලක්ෂ 25න් දහසක් ශාන්ත බණ්ඩාරගේ නිවසේ ආරක්ෂාවට තබන ලදි. මෙම මුදල්වලින් වැඩි කොටසක් අතුරුදහන් වී තිබුණි. සෝමවංශගේ අක්කාගේ නිවසේ ආරක්ෂාවට තබා තිබූ රුපියල් ලක්ෂ 5න් රුපියල් එක් ලක්ෂ අනූ පන් දහසක් අතුරු දහන් වී තිබුණි. ශාන්ත බණ්ඩාරගේ නිවසේ තබා තිබූ එක්ලක්ෂ විසිපන්දහසද අතුරු දහන් වී තිබුණි. විජේවීර ආරක්ෂාවට ළඟ තබාගත් ලක්ෂ 06 ද අතුරු දහන් වී තිබුණි. විජේවීර නිදහසට කීවේ ලබාගත් ලක්ෂ 06න් ලක්ෂයක් මොරටුවේ කුසුම්සිරිට දෙන ලද බවත් ඉතිරි ලක්ෂ 05 නුවර පැවිලියන් හෝටලයේ ඩිලාන්ට දෙන ලද බවත් ඩිලාන් ඒවා ව්යාපාරවලට යොදාගෙන ඇති බවත්ය.
මෙම විස්තරය මීට පෙර පළකරන ලද අවස්ථාවකදී පැරිසියේ සිට දුරකථනයෙන් මට කතා කළ පුද්ගලයෙකු ප්රකාශ කළේ පැවිලියන් හෝටලයේ ඩිලාන් දැන් ජීවත්වන්නේ තමා සමග පැරිසියේ බවත් ඩිලාන් එවැනි වංචාකාරයෙකු නොවන බව හා සමහරවිට විජේවීර ඒ මුදල් පරිහරණයට ගෙන නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේදී ඩිලාන්ගේ නම ඈඳා ගන්නට ඇති බවය. සෝමවංශගේ අක්කාගේ නිවසේ ආරක්ෂාවට සඟවා තිබූ මුදල්වලින් රුපියල් එක් ලක්ෂ අනූපන් දහසක් අතුරු දහන් වී තිබූ බව එකල සෝමවංශ අමරසිංහද දැන සිටියේ ය.