හැරී ගුණතිලක

March 30, 2008
Publication:
An obituary for Air Marshal Harry Gunetilleke, who died at seventy-nine. Ivan writes about how honest a man holding office can be, tells the story of the ban a president placed on him and how he had it lifted, and records that having a son as air force commander did not quiet him: he went on saying what he thought in public until he died.

නිල බලය ඇති පුද්ගලයෙකුට අවංක විය හැකි ප්‍රමාණය පිළිබඳව සොඳුරු මතක අපට ඉතිරි කරමින් අවුරුදු හැත්තෑ නවයක් ආයු වළඳා එයාර් මාෂල් හැරී ගුණතිලක පසුගිය සිකුරාදා හිමිදිරියේ සදාාකාලික නින්දට ගියේ ය. මරණය කුමක්ද යන්න මට කිව නොහැකි ය. එහෙත් මරණය පිළිබඳව මා අසා ඇති මා වඩාත් ම කැමති කියමන හැරී ගුණතිලකට ආදේශ කරන්නට මා කැමතිය. මුළු දවසේ ම හොඳින් වැඩ කළ පුද්ගලයෙකුට රාත්‍රියේ ලැබෙන නින්ද සුවදායක නින්දක් වන්නේ යම් සේ ද සිය ජීවිතය තුළ සමාජ වගකීම් නිසියාකාරව ඉටු කළ කෙනෙකු ලබන මරණය ඔහුට සදාකාලික සුව නින්දක් වන්නේ ය. හැරීගේ මෘත දේහය මහජන ප්‍රදර්ශනයට තබා තිබුණේ ජයරත්න අවමංගල්‍ය ශාලාවේ ය. ඔහු විශ්‍රාම ගිය ගුවන් හමුදාපතිවරයෙකි. වත්මන් ගුවන් හමුදාපති ඔහුගේ පුතා ය. තමා මරණයට පත්වන දිනයක තමාගේ මෘත දේහය තැබිය හැකි තත්ත්වයක නිවසක් මෙම හිටපු ගුවන් හමුදාපතිට නොතිබුණේ ය.

තමන්ගේ ම වන නිවසක් තබා අයිස් පෙට්ටියක්, රූපවාහිනි යන්ත්‍රයක් හෝ මෝටර් රථයක් වත් ඔහු විශ්‍රාම යන අවස්ථාව වන විට ඔහුට නොතිබුණේ ය. ඔහු අවසානය දක්වා ජීවත් වූයේ රජයේ ඇල්විටිගල තට්ටු නිවාස සංකීර්ණයෙන් ලැබුණු නිවසකය. එය ඉතාමත් පුංචි නිවසක් වුවත් නිවසේ පුංචිකම ඔහුට බරක් වූයේ නැත. ඔහු අවංක මිනිසකු වූවා පමණක් නොව තමන්ට හැකි ඉහළම ප්‍රමාණයෙන් යුක්තිය වෙනුවෙන් පෙනී සිටි යුක්ති සහගත මිනිසකු වූයේ ය. ඔහු රාවයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූයේ සිය කැමැත්තෙනි. ඔහුට ඒ වෙනුවෙන් කිසිම ගෙවීමක් හෝ වෙනත් ද්‍රව්‍යයක ලාබයක් නොලැබුණි. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට එන ඔහුට ඒ සඳහා යන ඉන්ධන වියදම් දරන්නට වූයේ ද සිය සාක්කුවෙන් ය. “ඔබ වැනි අය තනි නොකිරීම අප වැනි අයගේ වගකීමක්” බව ඔහු කීවේ ය. ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේ අවසාන කාලයේ හැරීට ගුවන් හමුදා කඳවුරුවලට ඇතුළුවීම වලකන නියෝගයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබුණි.

හැරී සිරිමා බණ්ඩාරනායක මහත්මියට ආධාර කළේ ය. ඒ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමග ඇති කර ගෙන තිබුණු කෝන්තරයක් නිසා නොව සේවයෙන් විශ්‍රාම යන්නට පෙර ඇය ඔහුගෙන් ලබාගෙන තිබූ පොරොන්දුවකට අනුකූලව ක්‍රියා කිරීමට ඔහුට අවශ්‍ය වූ නිසා ය. හැරීට ඇය අගමැතිධුරය දරන කාලයේ සිට ඇය සමග දැන හැඳුනුම්කමක් තිබුණි. විශ්‍රාම යන්නට පෙර ඇය හමු වූ අවස්ථාවකදී විශ්‍රාම යාමෙන් පසුව ඔහුගේ සේවය ඇයට ලබාදෙන ලෙස ඇය හැරි ගුණතිලකගෙන් ඉල්ලා තිබෙන අතර එසේ කිරීමට හැරී ද ඒ අවස්ථාවේ දී එකඟ වි තිබේ. හැරී සිරිමා බණ්ඩාරනායක මහත්මියට වැඩ කරන තැනකට ගියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් හැරීට බණ්ඩාරනායක මැතිනිය හා ශ්‍රීලනිප සමග තිබූ සම්බන්ධය ජනාධිතිපති ජේ.ආර්. ජයවර්ධනට ඉවසිය නොහැකි වූ අතර හැරීට ගුවන් හමුදා කඳවුරුවලට ඇතුළු වීම වළකන නියෝගයක් පනවන ලද්දේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ඔහු විශ්‍රාම ගිය ගුවන් හමුදාපතිවරයෙකු වූවා පමණක් නොව ඔහුගේ දරු දෙදෙනා ද ගුවන් හමුදාවේ නිල තනතුරු දරන්නන් වූහ. මෙම නියෝගය හැරීගේ දැඩි කෝපයට හේතු වූ අතර ඒ ගැන තමන් කුමක් කළ යුතු ද යන්න ගැන ඔහු සිය මිතුරන් සමග සාකච්ඡා කළේ ය. ඒ ගැන කෙරුණු එක් සාකච්ඡාවකට මාද සහභාගි විය. අනුරුද්ධ රත්වත්ත, මැකී රත්වත්ත හා ආනන්ද චිත්තම්පලම් එහි සිටියහ. මා හැර අන් සියලු දෙනා ම ඔහුට කීවේ ගුවන් හමුදාවේ ඉහළටම නැගීමේ හැකියාවක් ඇති දරු දෙදෙනාගේ අනාගතය සලකා ජනාධිපතිවරයා සමග රණ්ඩු කරන තැනකට නොගොස් නිශ්ශබ්දව ඉවසාගෙන සිටීම සුදුසු බව ය. ඊට වෙනස් ලෙස මා කීවේ එහි සේවය කරන දරු දෙදෙනාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම වැදගත් වුවත් සිදුකර තිබෙන අසාධාරණය ඉදිරියේ නිහඬව සිටීම නුසුදුසු බවය. සිදුකර තිබෙන අසාධාරණයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ගයකට යාම සුදුසු බවය.

එහිදී හැරි පිළිගත්තේ ඔවුන්ගේ මතය නොව මගේ මතයයි. මෙම අසාධාරණ නියෝගය ඉවත් නොකරන්නේ නම් තමන්ට යුක්තිය ඉටු කර ගැනීම සඳහා අධිකරණය ඉදිරියට යන්නට සිදුවන බව ඔහු ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරයා ඔහුට එරෙහිව පනවා තිබුණු තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ගත්තේ ය. ජ.වි. පෙරමුණේ දෙවැනි කැරැල්ල පැවති කාලයේ දී රටේ සිදුවන දේවල් දැක බලා ගැනීම සඳහා හැරී ඔහුගේ මෝටර් රථයෙන් අප කිහිප දෙනෙකු සමග විවිධ ප්‍රදේශවල සැරිසැරුවේ ය. මාර්ග බාධකවලදී හැරි සිය හැඳුනුම්පත පෙන්නූ විට ඔහු හිටපු ගුවන් හමුදාපති බව හඳුනාගනිමින් බාධාවකින් තොරව අපිට ඉදිරියට යන්නට ඉඩ ලැබුණි. අප බොහෝ විට එවැනි ගමන් වලදී ප්‍රදේශය බාරව සිටි හමුදා සම්බන්ධීකරණ නිලධාරියාද හමු වී එම ප්‍රදේශවල පවතින තත්ත්වය ගැන කරුණු අසා දැන ගත්තෙමු.

හැරී වැනි පුද්ගලයෙකු එවැනි දේවලට සම්බන්ධ වූයේ ඔහු තුළ පැවති සමාජ සංවේදීභාවය නිසා ය. වඩා සුදුසු මව සිරිමාවෝ ද නැත්නම් දුව චන්ද්‍රිකාද යන්න ප්‍රශ්නය බැ?රුම් ලෙස මතු වී තිබුණු අවස්ථාවක ඒ ගැන කෙරෙන එක්තරා සාකච්ඡාවකට හැරීද සහභාගි විය. සාකච්ඡාවට සහභාගි වූ බහුතර පිරිසක් බණ්ඩාරනායක මැතිනියට පක්ෂව කතා කළේ ය. මෙම සාකච්ඡාවට අනුරුද්ධ රත්වත්තේ ද සහභාගි විය. හැරී අදහස් පළකිරීමකින් තොරව සාවධානව ඇහුම්කන් දී ගෙන සිටියේ ය. ඔවුන් පල කළ මතයට වෙනස්ව මා චන්ද්‍රිකාට පක්ෂව කතා කළේ ය. මගේ තර්කය වූයේ එජාප ආණ්ඩුව පරාජය කරන දේශපාලන සටනකට නායකත්වය දීමේ හැකියාව දැන් බණ්ඩාරනාය මැතිනියට නැති බව ය. ඇගේ රෝගී තත්ත්වය, වයස, හා යල් පැනගිය ආකල්ප වැනි කාරණා ඇය ගේ වලංගුභාවය අවලංගු කර ඇති බව කියමින් ඇය වෙනුවට චන්ද්‍රිකා ඉදිරියට ගැනීම රටට ආකර්ශනීය වනු ඇති බව කීවෙමි.

මගෙන් පසු කතා කළේ හැරී ය. ඔහුට වැඩි සම්බන්ධකම් තිබුණේ බණ්ඩාරනායක මැතිනියට ය. ඔහු ඒ බව සඳහන් කරමින් කීවේ අප තෝරා ගත යුත්තේ අපට හොඳ හා අපට සමීප කෙනා නොව ආණ්ඩුව පරාජය කිරීමේ අරගළයට වඩා හොඳින් නායකත්වය දිය හැකි කෙනා බව ය. ඒ අනුව තමා වඩා හොඳින් දන්නා බණ්ඩාරනායක මැතිනියට වඩා චන්ද්‍රිකා සුදුසු බව තමාගේ මතය වන බව ඔහු එහිදී ප්‍රකාශ කළේ ය. හැරී තරුණයෙකු නොවුවත් තරුණයෙකු ලෙස දේවල් දැකීමේ හැකියාව තිබුණි. හැරී මෙම විවාදාත්මක ප්‍රශ්නය පිළිබඳව තමන් දරන අවංක අදහස් බණ්ඩාරනායක මැතිනියට සැඟවූයේ ද නැත. 1999 මැතිවරණයෙන් පසු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හැරී එයාර් ලංකා සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස පත් කළා ය. හැරී එම තනතුරේ කටයුතු පවත්වාගෙන ගියේ හිතට එකඟව හා නීතියට අනුකූලවය. එහි ප්‍රතිඵලයක් වශයෙන් කෙටි කාලයක් තුළ එම තනතුර අත්හැර දමන්නට හැරීටම සිදු වූ මුත් එම තනතුර අහිමිවීම ගැන ඔහු පසුතැවිලි වූයේ නැත.

එක්තරා කාලයක් තිස්සේ අප දෙදෙනා නිතර නිතර හමු වුත් හමුවන කාල පරාසය දිග්ගැස්සෙමින් තිබුණු අවස්ථාවක ඔහු මට දුරකතනයෙන් කතා කොට “අපි කාලෙකින් හමුවූයේ නැහැ නේද? අපේ ගෙදර හමුවෙමුයි කීවේය. මමද ඊට එකඟවීමි. ඔහු එදින රාත්‍රි නායකයින්ට වෙදකම් කළ වෛද්‍යවරයෙකුට ද ඒ හමුවට ආරාධනා කර තිබුණි. මා වරුන සමග එහි ගියේ අඩියක් ගසමින් සතුටු සාමිච්චියක යෙදෙන්නට වුවත් හැරිගේ බිරිඳ අපට රස ආහාර වේලක් සකස්කර තිබුණි. ඉන් පසු දිනක ඔහුගේ ආරාධනය මත මාගේ ගාල්ලේ නිවසට ඔලිවර් ගුරුගේ (බෑණා) සමග පැමිණියේ ය. ඉන් සති කිහිපයකට පසු ඔහු කොග්ගලට පැමිණි දිනක එහි එන ලෙස දුරකතනයෙන් මට ආරාධනා කළේ ය. එය අපගේ අවසාන හමුවීම විය. අප එහිදී සාකච්ඡා කළ කරුණු අතර වැදගත්ම කරුණ වූයේ අපේ රටට අවශ්‍ය දේශපාලන වෙනස්කම් දිනා ගැනීම සඳහා ස්වාධීන සමාජ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නගා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි.

හැරීට අවංක හදවතක් තිබුණා සේ ම ශක්තිමත් පිට කොන්දක් ද තිබුණේ ය. ඔහු තමන් දරන මතය නොබියව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ විචාරකයෙකි. තමන්ගේ පුත්‍රයා ගුවන් හමුදාපති ධුරයට පත්වීමෙන් පසු පුතාගේ ආරක්ෂාව සඳහා තාත්තා නිශ්ශබ්දව සිටින පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් පුදුමයකට මෙන් හැරී ඉන්පසුත් වෙනදා මෙන්ම මිය යන තෙක් ම නිර්භීතව ප්‍රසිද්ධියේ අදහස් පල කළේ ය. ඔහු රටේ ආරක්ෂක තත්ත්වය ගැන රාවය කළ සංවාදය වලදී මිය යන තෙක් ම අන් හමුදා නිලධාරීන්ට වඩා සක්‍රියව සිය මතය ප්‍රකාශ කළ හමුදා නිලධාරියකු වූයේ ය. හැරීට රාවයේ උත්තමාචාරය.