ජෙනරාල් සරත් ෆොන්සේකා තුරුම්පුව කරළියට ගැනීමෙන් එජාප සේ ම ජවිපෙ ද අපේක්ෂා කළ එක් අරමුණක් වූයේ ජනාධිපතිවරණයක් පළමුවෙන් පැවැත්වීම වළකා පාර්ලිමේන්තු මැතිවරණයක් දිනාගැනීමය. ජනාධිපතිවරණයෙන් ලබන පරාජයක් පාර්ලිමේන්තු මැතිවරණය කෙරෙහි ද විනාශකාරී ලෙස බලපායි. ජනාධිපතිවරණයක් වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණයක් ඉදිරියට ගත හැකි නම් එය ජය ලැබිය නොහැකි වුවද දැන් තිබෙන මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් තමන්ට දිනාගත හැකි බව එජාප නායකයාගේ තක්සේරුව වී තිබුණි. පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව පවත්වනු ලබන ජනාධිපතිවරණයකින් පරාජය වුවද එය පාර්ලිමේන්තු නියෝජනය කෙරෙහි හානිකර ලෙස බලනොපායි. ජනාධිපතිවරයා ඉක්මන් ජනාධිපතිවරණයක් අරමුණ කරගැනීමට හේතුවූයේ ආණ්ඩුව කෙරෙහි ඇති මහජන කලකිරීම වර්ධනය වන්නට පෙර ජනාධිපතිවරණයත් ජයගෙන ඒ ජයග්‍රහණයේ රශ්මියෙන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබාගැනීමය.
අනපේක්ෂිත ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කඩා වැටීම නිසා නැවත සිතා බලන තැනකට යන්නට ආණ්ඩුවට සිදුවිය. ඉක්මන් ජනාධිපතිවරණයක් සැලසුම් කරන අවස්ථාව වන විට ජනාධිපතිවරයාගේ කල්පනාව වූ බව පෙනෙන්නේ බලවත් අභියෝගයකින් තොරව ලබන සරල හා පහසු ජයග්‍රහණයකි. එජාප නායක රනිල් වික්‍රමසිංහ හෝ ඒ පක්ෂ අභ්‍යන්තරයෙන් ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයකු පහසුවෙන් පරාජය කළහැකි බව ඔහු දැන සිටියේය. එසේම ජවිපෙ වෙන්ව අපේක්ෂකයකු ඉදිරිපත් කළ ද තමන්ට සුළු හානියක් කරනවා හැර තමන්ගේ වාසියට තිබෙන දේශපාලන චිත්රයේ ගැඹුරු වෙනසක් ඇති කළ නොහැකි බව ජනාධිපතිවරයා දැන සිටියේය. එහෙත් ජනාධිපතිවරයා දකිමින් සිටි දේශපාලන සිහිනය අවුලට යවමින් පවත්වන්නට යන්නේ ජනාධිපතිවරණයක් නම් තමන්ගේ අපේක්ෂකයා ජෙනරාල් සරත් ෆොන්සේකා බවට ජවිපෙ සේ ම එජාපය ද වෙන් වෙන්ව කියා සිටින්නට වූහ.
එම සංඥාව කිසියම් ප්‍රමාණයකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අන්දමන්ද කිරීමට හේතුවිය. එම සංඥාවෙන් පසු ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක් නොපවත්වා ඒ වෙනුවට පළමුව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තැනකට ගියේ නම් මානසික සංග්‍රාමයේ ජය විරුද්ධ පක්ෂයට හිමිවන්ට ඉඩ තිබුණි. එය එසේ වී නම් මහින්ද ජෙනරාල්ට හොඳටම බියවී ඇතැ”යි කියන හැඟීමක් මහජනතාව තුළ ඇතිවන්නට ඉඩ තිබුණා සේ ම ඒ තත්ත්වය පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි ද හානිදායී ලෙස බලපාන්නට ඉඩ තිබුණි. එහෙත් ජනාධිපතිවරණය මගහරින ප්‍රතිපත්තියක් තෝරා ගන්නවා වෙනුවට ජෙනරාල්ගේ අභියෝගය භාරගනිමින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීම මගින් පළමු වටයේ මානසික සංග්රාමයෙන් විරුද්ධ පක්ෂය පරදා මහින්ද ජයගත්තේය. එජාප හා ජවිපෙ යන පක්ෂ දෙකම ජෙනරාල් තුරුම්පුව පාවිච්චි කරමින් සිටියද ජෙනරාල් ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු ආකාරය පිළිබඳව එම පක්ෂ දෙක අතර පොදු එකඟතාවක් නොතිබුණි.
ජෙනරාල් ස්වාධීන තැනක සිට තරග කළයුතු බවත්, ඔහු තරග කරන්නේ එජාප සන්ධානයෙන් නම් ජෙනරාල්ට ආධාර කිරීමේ හැකියාවක් තමන්ට නැති බවත් ජවිපෙ ප්‍රකාශ කර තිබුණි. ජෙනරාල්ගේ අපේක්ෂකත්වය පිළිබඳව එජාපය තුළ පොදු එකඟතාවක් නොවීම හේතු කොටගෙන අවසාන මොහොතේ තුන්වැනි අපේක්ෂකයකු ලෙස රනිල් වික්‍රමසිංහ ද තරග කරනු ඇති බවට සැකයක් දේශපාලන අංශවල තිබුණි. එහෙත් ඒ සියලු සැක සංකා දුරු කරමින් මේ මෑත කාලයක් වන තෙක්ම එකිනෙකා කෙරෙහි මහත් වෛරයකින් යුතුව ක්‍රියා කළ එජාප හා ජවිපෙ අතර ජෙනරාල්ගේ අපේක්ෂකත්වය පිළිබඳව පොදු එකඟතාවක් ඇති කරගැනීමට සමත් වී තිබේ. පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකොට සිය අනුදැනුම නැතිව පිටස්තරින් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ගැන නොසන්සුන්තාවකට පත් පිරිසක් එජාප තුළ සිටියේය. එස්.බී. ඇතුළු ඔවුන්ගෙන් කිසියම් පිරිසක් ආණ්ඩුවට එකතු වන්නට යන කතාවක් ද මහජනතාව අතර පැතිර පැවතුණි.
ඒ තත්ත්වය වළකා ජෙනරාල්ට පක්ෂ බලවත් ප්‍රකාශයක් එස්.බී. ලවා කරවීමට සමත්වීමෙන් පෙනීයන්නේ ජෙනරාල්ගේ ප්රශ්නය මත පක්ෂය තුළ බිඳීමක් ඇතිවීම වළකාගැනීමට එජාපය සමත්ව තිබෙන බවය. ජෙනරාල්ගේ පැමිණීම විරුද්ධ පාක්ෂිකයන් අතර ප්රබෝධයක් ද දෙපක්ෂයට නැති අතරමැදියන් අතර කුහුලක් ද ඇති කිරීමට හේතුවී තිබේ. එහෙත් ජෙනරාල් මීට පෙර අයත්ව සිටියේ දැඩි සිංහලවාදී මතවාදී කඳවුරටය. එහෙත් ජෙනරාල්ගේ පැමිණීම ඒ කඳවුර තුළ නායයෑමක් ඇති කිරීමට සමත්ව නැත. ඒ කඳවුරේ ප්‍රකට නායකයන් කිසිවකු තමන් වෙත දිනාගැනීමට ජෙනරාල් සමත් වී නැත. ඒ කඳවුරේ ප්රමුඛ සියලුදෙනා ජෙනරාල්ට එරෙහිව තදින් පහර දෙන්නන් බවට පත්ව සිටින බවද පෙනේ. මහින්ද විරෝධී පිලට පහසුවෙන් දිනාගත හැකි එක් බලවේගයක් වූයේ දෙමළ ජනතාවය. එහෙත් විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා ජෙනරාල් වීම හේතු කොටගෙන දෙමළ ජනතාව තමන් වෙත දිනාගැනීමට තිබෙන හැකියාව අහිමි කරගෙන තිබෙන බවක් ද පෙනීයයි.
ඒ තත්ත්වය මහින්දගේ පැවැත්ම ශක්තිමත් කිරීමට හේතුවී තිබේ. විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා ජෙනරාල් නොවී අන් කෙනකු වී නම් දෙමළ ජනයාගේ ක්‍රියාකාරි සහාය ලැබෙන්නට ඉඩ තිබුණේ විරුද්ධ පක්ෂයටය. එහෙත් යුද හමුදාපතිවරයා වී සිටියදී දැඩි දෙමළ විරෝධී ස්ථාවරයක පිහිටා අදහස් පළ කළ පුද්ගලයකු විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා වී තිබීම දෙමළ ජනයාගේ සහාය විරුද්ධ පක්ෂයට ලැබීම වළකන සාධකයක් බවට පත්වී තිබේ. එජාප හා ජවිපෙ එක්තරා ප්‍රමාණයකට ගෙන එක පෙරමුණකට ඒම විරුද්ධ පාක්ෂිකයන් ප්‍රබෝධමත් කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු ඇත. එය මේ දෙපක්ෂයටම නවමු අත්දැකීමක් ද වනු ඇත්තේය. දේශපාලනයට මහින්ද පරණය. ෆොන්සේකා අලුත්ය. මහින්ද යුද්ධයෙන් තැම්බුණු පුද්ගලයකු නොවූවත්, දේශපාලනයෙන් තැම්බුණු පුද්ගලයෙකි. ෆොන්සේකා යුද්ධයෙන් තැම්බුණු පුද්ගලයකු වුවත්, දේශපාලනයෙන් තැම්බුණු පුද්ගලයෙක් නොවේ.
මහින්ද- ෆොන්සේකා සටන් කරන්නේ යුද්ධයක නම් ඒ යුද්ධයෙන් වැඩි වාසි ලබනු ඇත්තේ ෆොන්සේකාටය. එහෙත් ෆොන්සේකාට මහින්ද සමග තරග කරන්නට සිදුවී තිබෙන්නේ යුද පිටියකදී නොව දේශපාලන තරග බිමකය. ඒ නිසා ස්වාභාවික වශයෙන්ම දැනට ඒ තරගයේ වැඩි වාසි ඇත්තේ මහින්දටය. මහින්දට තමන්ගේ වන දේශපාලන බලවේගයක් ඇත්තේය. එහෙත් ජෙනරාල්ට ඇත්තේ අනුන්ගේ දේශපාලන බලවේග දෙකකි. මහින්දට ඍජු ලෙස තමන්ගේ දේශපාලන බලවේගයන්ට අණදිය හැකිය. එහෙත් ජෙනරාල්ට එසේ කළ නොහැකිය. ඔහු එම බලවේග දෙක ඇමතිය යුත්තේ එම බලවේග දෙකේ නායකයන් හරහාය. යුද්ධයකදී නායකයා ගනු ලබන තීන්දු සෙබළු ක්‍රියාවට නැගිය යුතුය. එහෙත් දේශපාලනය ඊට වඩා සංකීර්ණය. නායකයා තීන්දු ගත් පමණකින් මහජනයා ඒවා පිළිගන්නේ නැත. ඒ තීන්දු පිළිගැනීමේ වැදගත්කම මහජනයාට එත්තු ගැන්විය යුතුය. පෞරුෂය, කථිකත්වය, හැසිරීම, ගතිගුණ යනාදී මේ හැම කරුණක්ම දේශපාලනයේදී බලපායි.
යුද්ධයේ පෞරුෂත්වය හා දේශපාලනයේ පෞරුෂත්වය එක සමාන නැත. මහින්ද දේශපාලන වශයෙන් හොඳින් පදම් වුණු හා තැම්බුණු නායකයෙකි. එහෙත් ජෙනරාල් තවමත් දේශපාලනයට ආධුනිකය. මේ තරගයේදී ජෙනරාල්ගේ වාසියට සේ ම අවාසියට ද හේතුවන වැදගත්ම සාධකය වනු ඇත්තේ එයයි. තමන්ට තිබෙන ගොඩ විශාල ප්‍රමාණයකට ආරක්ෂා කරගැනීමෙන් පමණක් මහින්දට සටන ජයගත හැකිය. එහෙත් ජෙනරාල්ට ජයගැනීමට නම් තමන්ට යූඑන්පීයෙන් හා ජේවීපියෙන් ලැබෙන ගොඩවල් දෙක ආරක්ෂා කරගන්නවාට අතිරේකව මහින්දගේ ගොඩෙන් සැලකිය යුතු කොටසක් උදුරාගත යුතුය. ජෙනරාල් කියන්නේ තමන් අතගසන ලද කිසිම සටනක් මෙතෙක් පරාජය වී නැති බවය. එය ජෙනරාල් මෙතෙක් කර තිබෙන එකම හා පළමු දේශපාලන ප්‍රකාශය ලෙස සැලකිය හැකිය. එහෙත් මහින්දට ද ඒ තත්ත්වය ඉක්මවා යන වහසි බස් කිව හැකිය. ඔබ ජයගත්තේ එක සටනක් පමණය. එහෙත් මම සටන් දෙකක් ජයගෙන ඇත්තෙමියි කිව හැකිය.
ඔබ ජයගත් යුද සටනේදීද ඔබ සටනේ සේනාධිපති වන විට මම ඒ සටනේ සේනාධිනායකයා වීමියි කිව හැකිය. අනෙක් අතට මා එම යුද සටනට අතිරේකව රට ද ජයගන්නවායැයි කිව හැකිය. මල්ලව පොරයක දක්නට ලැබෙන මස්පිඬු පුප්පා පෙන්වීම, වහසිබස් දෙඩීම වැනි ලක්ෂණ දේශපාලන තරගයකදී ද දැකිය හැකිය. එහෙත් මල්ලව පොරයකට වෙනස්ව දේශපාලන තරගයකදී ජය පරාජය තීන්දු කරන්නේ මහජනයාය. තාමත් මේ දෙපොළ අතර සටන ආරම්භ වූවා පමණය. සටන විකසිත වනු ඇත්තේ ඉදිරියේදීය.
ආණ්ඩු ක්රමයේ වෙනසක්
ආණ්ඩු ක්රමයේ වෙනසක් මෙම මැතිවරණ ව්‍යාපාරයෙන් පසුව රටට ලැබිය හැකි අතුරු යහපත් ප්‍රතිඵලයක් විය හැකිය. විධායක ජනාධිපති ක්රමයේ මූලික වෙනසක් ඉල්ලා සිටින බලවේග අතරට එම ක්‍රමය නිර්මාණය කළ එජාපයද එකතුවී සිටීම තුළ හා එය විපක්ෂ සන්ධානයේ ප්‍රධාන ඉල්ලීම බවට පත්වී තිබෙන හා ආණ්ඩු ක්රමයේ සංශෝධනයක අවශ්‍යතාව ජනාධිපතිවරයා ද පිළිගන්නා තත්ත්වයක් තුළ එය ජයගත හැකි සිහිනයක් බවට පත්වෙමින් තිබෙන බව පෙනේ. එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට මහජන ඡන්දයෙන් තේරී පත්වන විධායක අගමැති ක්‍රමයක් ඇති කළ යුතු බවය. ජවි පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කරනමුත් ඒ වෙනුවට ඉල්ලා සිටින්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. සර්වපාක්ෂික සම්මේලනයේ මතය වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට මැතිවරණ ක්‍රමය ද වෙනස් කොට නැවත සෙනෙට් සභාවක් ද ඇති කොට පැරණි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයට යායුතු බවය.
රාජ්‍ය නායකයා පාර්ලිමේන්තුවට වගකියන තැනකට ගෙන යායුතු බව ජනාධිපතිවරයාගේ මතය වී ඇතත් ඔහු අපේක්ෂා කරන වෙනස්කම් මොනවාද යන්න පැහැදිලි නැත. විධායක ජනාධිපති ක්‍රමය ශිෂ්ටසම්පන්න කොට පවත්වාගෙන යායුතුයි කියන මතයක් ද සමහර අංශවල පවතී. එහෙත් අවසාන විග්රහයේදී පවතින දේශපාලන ක්රමයේ මූලික වෙනසක් ඒ සියලුදෙනා අපේක්ෂා කරති. එය දේශපාලන තලයේ මතුවී තිබෙන යහපත් හා ඉදිරිගාමී නැඹුරුවක් ලෙස සැලකිය හැකිය. රනිල් වික්‍රමසිංහ මහතා “අනාගත අභියෝග” යන තේමාවෙන් ලියා ඇති පොත් පිංචෙන් ද විධායක ජනාධිපති ක්‍රමයෙන් ඉවත් වී විධායක අගමැති ක්‍රමයකට මාරුවීමේ අවශ්‍යතාව අවධාරණය කොට ඇතත් විධායක ජනාධිපති ක්‍රමයෙන් ඉවත්විය යුත්තේ ඇයිද යන මූලික ප්රශ්නය එහි තියුණු ලෙස සාකච්ඡාවට ලක් කොට නැත. එසේ ම ඒ වෙනුවට විධායක අගමැති ක්‍රමයක් වෙත මාරුවිය යුත්තේ ඇයිද යන ප්රශ්නය ද තියුණු ලෙස සාකච්ඡා කොට නැත.
මේ රටේ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමයට ආවේණික නරකම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ හැමවිටම එය පාලක පක්ෂයට රජයේ පොදු දේපළ සිත්සේ කොල්ලකෑමේ අයිතිය හා බලය ලබාදෙන ක්‍රමයක් ලෙස ක්රියාත්මකවීමය. මෙය විධායක ජනාධිපති ක්‍රමය ඇති කළ 1977 සිට අද දක්වා ක්‍රියාත්මක වන ධර්මතාවකි. අපේ රටේ පවතින දූෂණයේ මුල්ගල ඇත්තේ එතැනය. අමාත්‍යාංශ භාර දේශපාලනඥයෝ ඒ අමාත්‍යාංශය පාලනය කරනවාට අතිරේකව ඒ අමාත්‍යාංශය තුළ සිදුකෙරෙන ගනුදෙනුවලින් අයථා ලෙස ආදායම් උපයා ගනිති. දේශපාලන පත්වීම් ලබන්නෝ ද තමන්ට භාරදී තිබෙන විෂය රාමුව තුළ සිදුවන ගනුදෙනුවලින් අයථා ලෙස ආදායම් උපයාගැනීමේ අයිතිය භුක්ති විඳිති. මෙම ධර්මතාව පළාත් සභාවලද පළාත් පාලන ආයතනවල ද ක්‍රියාත්මක වේ. ඒ ක්‍රමය රහසේ සියලු දේශපාලන නායකයෝ අනුමත කරති. දේශපාලන තනතුරු දරන්නන් ඔවුන් වෙත පැවරී තිබෙන විෂය පථයන් තුළ සිදුවන ගනුදෙනුවලින් අයථා ලෙස වස්තුව ඉපැයීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස මේ ක්‍රමය තුළ සැලකෙන්නේ නැත.
එය ආණ්ඩුවක් බලයට පත්කිරීම වෙනුවෙන් එවැනි පුද්ගලයන් දක්වා ඇති දායකත්වයට කරනු ලබන ගෙවීමක් ලෙස සැලකේ. මෙම දූෂිත ක්‍රමය ශක්තිමත් සම්ප්රදායක් බවට පත් කළේ මේ ක්‍රමය ඇති කළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසිනි. අද දක්වා එම ක්‍රමය ඉතාමත් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වේ. මහජනයා සතුටු කිරීම සඳහා මහජන වියදමෙන් නිල දරන්නන්ගේ කටයුතු පරීක්ෂාවට ලක් කෙරෙන විවිධ ආයතන ඇතත්, මේ සිදුවන මංකොල්ලය වැළකීමේ බලයක් හෝ පොදු දේපළ මංකොල්ලකන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් දීමේ බලයක් ඒ කිසිදු ආයතනයකට නැත. පාලක පක්ෂයට පොදු දේපළ මංකොල්ලකෑමේ අයිතිය මේ හැම ආයතන ක්‍රමයක්ම පිළිගනී. ඒ අයිතියට ඒ හැම ආයතන ක්‍රමයක්ම ගරු කරයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දූෂණය මුළු මහත් සමාජ දේශපාලන දේහයම වෙළාගත් දරුණු පිළිකාවක් බවට පත්ව තිබේ. ඒ නිසා මෙතෙක් රටට සිදුවී තිබෙන අලාභය අසාමාන්‍ය තරම් විශාලය.
මේ නිසා රජයේ භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායමෙන් වැඩි කොටසක් ගලා යන්නේ දේශපාලකයන්ගේ හා ඔවුන්ගේ ගජ මිතුරන්ගේ සාක්කුවලටය. ඊට අතිරේකව මේ ක්‍රමය තුළ පවතින දූෂණය රජයේ එදිනෙදා වියදම් කෘත්‍රිම ලෙස දෙගුණ තෙගුණ කිරීමට හේතුවී තිබේ. ඊළඟට ඇති කරන්නට යන ඕනෑම දේශපාලන ක්‍රමයකදී වැසිය යුතුව තිබෙන ලොකුම හිඩැස ලෙස සැලකිය යුත්තේ එයයි. එනම් බලයට පත්වන පාලන පක්ෂවලට සිත්සේ පොදු දේපළ අත්පත් කරගැනීමේ හා රාජ්‍ය මට්ටමෙහි සිදුවන ගනුදෙනුවලදී අයථා ලෙස වස්තුව උපයා ගැනීමට පාලක පක්ෂවලට ලැබී තිබෙන අයිතිය අහෝසි කරන විධිමත් ක්‍රමවේදයක්, තෝරාගන්නා ඕනෑම ආණ්ඩු ක්‍රමයකට ඇතුළත් කරගත යුතුය. මේ හිදැස වැසීමෙන් පමණක් වුවත් රටේ සංවර්ධන වේගය දෙගුණ තෙගුණ කළ හැකිය. අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය වැනි පොදු සේවා සඳහා කරන වියදම් දෙගුණ තෙගුණ කළ හැකිය. එවැනි ක්‍රමයක් ඇති කළ විට වස්තුව උපයාගැනීමේ අරමුණින් පමණක්ම දේශපාලනයකට එකතු වී සිටින පිරිස් දේශපාලනයෙන් ඉවත්ව යනු ඇත.
වඩා උගත්, දැනුම හා පළපුරුද්ද ඇති හොඳ නව පිරිස් දේශපාලනයට එකතුවනු ඇත. රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම කෙරෙහි බලපා තිබෙන එක් වැදගත්ම සාධකයක් වී ඇත්තේ ද එයයි. රටේ සෑම වැදගත් අංශයක්ම කෙරෙහි බලපා තිබෙන දේශපාලනකරණය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධකය වී ඇත්තේ ද එයයි. මෙම සාහසික මංකොල්ලය අවසන්වීමත් සමග ශ්‍රී ලංකාවේ දේශපාලනය ශිෂ්ටසම්පන්න තත්ත්වයකට පත්වනු ඇත්තේය. මෙම දේශපාලන ක්‍රමය තුළ හැම රාජ්‍ය නායකයකුම හැම දේශපාලනඥයකුම බලයට පත්වන්නේ ආපසු ගෙවිය යුතු ණය හිමිකම් සිය ගණනක් අත ඇතිවය. ඒ සියලු ණය අසාමාන්‍ය තරමේ පොලියක් සමග ආපසු ගෙවනු ලබන්නේ රටේ පොදු දේපළවලිනි. නීතියට පටහැනිව සිදුවන එම ක්‍රියාවලිය තුළ දේශපාලනඥයෝ ද සිය සාක්කු ද පුරවා ගනිති. මෙම මැතිවරණ දෙකෙන් පසුව හෝ එම විසම තත්ත්වයෙහි මූලික වෙනසක් ඇතිවේ නම් එය පොදුවේ රට හා රටේ ජනයා ලබන ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.