ඉදිරි ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමට නියමිත ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලබාදී තිබෙන ආරක්ෂාවේ ප්‍රමාණය පිළිබඳව ඒ මහතා අතෘප්තියකින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එල්ටීටීඊයට එරෙහිව දියත් කෙරුණු යුද්ධයේදී ඔහු යුද හමුදාවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය. ඉන්පසු ඔහු ත්‍රිවිධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය. දැන් ඔහු ජනාධිපති තරගයේ ප්‍රධාන අපේක්ෂකයකු වී සිටී. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් කියන්නේ මාණ්ඩලික ප්‍රධානියාව සිටියදී ඔහුට ආරක්ෂක භටයන් 600ක් සිටි බවය. ආරක්ෂක රථ 10ක් හා වෙඩි නොවදින රථ දෙකක් තිබූ බවය. එහෙත් දැන් ඔහුට ලබාදී තිබෙන්නේ කොමාන්ඩෝ භටයන් 10 දෙනකු, නිලධාරීන් දෙදෙනකු හා සිංහ රෙජිමේන්තුවේ සෙබළුන් 50ක් පමණක් බවය. වාහන වශයෙන් ලැබී තිබෙන්නේ ද එක් වෙඩි නොවදින රථයක් හා තවත් වාහන දෙකක් පමණක් බවය.
එහෙත් විශ්‍රාමික නාවුක හමුදාපති කරන්නාගොඩ මහතාට ආරක්ෂක භටයන් 120ක් සමග ආරක්ෂක රථ 11ක් ලබාදී තිබෙන බවය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂක රථ 25ක් සමග ආරක්ෂක භටයන් 500ක් ලබාදී තිබෙන බවය. ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ මහතාට ආරක්ෂක භටයන් 250ක් ලබාදී තිබෙන බවය. එහෙත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා කියන්නේ ජෙනරාල්වරයාට කොමාන්ඩෝ නිලධාරියකු සමග කොමාන්ඩෝ සෙබළුන් 22ක් ද, සිංහ රෙජිමේන්තුවෙන් නිලධාරීන් තිදෙනකු සමග සෙබළුන් 50ක් ද, සෙබළියන් 5 දෙනකු සහ රියදුරන් දසදෙනකු සමග වෙඩි නොවදින එක් රථයක් හා වාහන 24ක් ඉල්ලා සිටි බවත් සෙබළියන් පස්දෙනා හැර ඔහු ඉල්ලා සිටි අන් සියලු දේ ඒ ආකාරයෙන්ම ලබාදී තිබෙන බවත්ය. ඒ සමග බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇත්තේ ජෙනරාල්වරයා අනවසරයෙන් නිලධාරීන් හත්දෙනකු සමග සෙබළුන් 103 දෙනකු හා වාහන 26ක් තමන් භාරයේ තබාගෙන සිටින බවය.
මේ දෙපැත්තෙන් කරන ප්‍රකාශවල හරි ඇත්ත කුමක්ද යන්න පැහැදිලි නැත. ඇත්ත කුමක් වුවත් එල්ටීටීඊයට එරෙහිව සාර්ථක යුද්ධයක් මෙහෙයවූ හමුදා නායකයා වශයෙන් ඔහුට තවදුරටත් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබිය යුතුය. ඊට අතිරේකව ඔහු ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන ප්‍රති අපේක්ෂකයා වශයෙන් ද ඔහුට අතිරේක ආරක්ෂාවක් ද ලබාදිය යුතුය. ඔහු ආරක්ෂාව සඳහා ඉල්ලා සිටින 600 සංඛ්‍යාව සේ ම වෙනත් අයට ලබාදී ඇතැ”යි කියන ආරක්ෂක භටයන්ගේ සංඛ්‍යාව ද අප තුළ කුහුලක් ඇති කරන බවද කිවයුතුය. ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් තිබීමේ අවකාශයක් ඇතත්, දැන් යුද්ධය මුළුමනින් අවසන් වී ඇති බව අමතක කළ නොහැකිය. යුද්ධය අවසන් වී මාස 05කට ආසන්න කාලයක් ගතවී ඇතත් බරපතළ සිදුවීම් එකක්වත් මේ දක්වා සිදුවී නැත. බිහිසුණු යුද්ධයක් පැවති කාලයේ ආරක්ෂාව ලැබිය යුතු අයට ලබාදී තිබූ ආරක්ෂාව තවදුරටත් ඒ ආකාරයෙන්ම අඛණ්ඩව පවත්වාගෙන යා යුතුද? සුපරීක්ෂාවෙන් සිටීම අවශ්‍ය වුවත් දේශපාලකයන්ට ලබාදී තිබෙන ආරක්ෂාව ලිහිල් කළයුතු නැද්ද? දක්වා තිබෙන සංඛ්‍යා අනුව නම් පෙනීයන්නේ දේශපාලකයන්ගේ ආරක්ෂාව සඳහා වෙන්කර තිබෙන සෙබළුන්ගේ සංඛ්‍යාව යුද හමුදාවෙන් කාලක් තරම් විශාල බවය.
ඇමති මණ්ඩල ප්‍රමාණය 100ක් ඉක්මවා ඇති බැවින් එක් ඇමතිවරයකු සඳහා ලබාදෙන ආරක්ෂක භටයන්ගේ සංඛ්‍යාව 100ක් ලෙස සැලකුවද ඇමතිවරුන් සඳහා පමණක් වෙන් කළයුතු සෙබළුන්ගේ සංඛ්‍යාව 10,000කි. ඒ තත්ත්වයෙහි වෙනසක් ඇති කළ යුතු නැද්ද?