ජනාධිපතිවරයාගේ නියමයෙන් යාපනය අර්ධද්වීපයේ වෙසෙන ජනතාව සඳහා ඔවුන් දකුණට ගොඩබිමෙන් කෙරෙන ගමන් බිමන් සඳහා පනවා තිබෙන සියලු තහංචි ඉවත් කිරීම ඉතා වැදගත් යහපත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය. එය ඔවුන්ගේ ජන ජීවිතවල යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන හා රටේ ආර්ථිකය කෙරෙහි යහපත් බලපෑමක් ඇති කරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකරනු ඇතැයි සිතිය හැකිය. මෙම ලිහිල් කිරීම් තවදුරටත් ඉදිරියට ගෙනයා යුතුය. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක වන හමුදා කඳවුරුවල ආරක්ෂාව සඳහා ආරක්ෂිත කලාප ක්‍රමයක් ක්‍රියාත්මක වන අතර ආරක්ෂිත කලාපවල වපසරිය ශීඝ්‍ර ලෙස වර්ධනය කිරීම කෙරෙහි එල්ටීටීඊයේ පැවැත්ම හා ඔවුන්ට කාලතුවක්කුවලින් එල්ල කළහැකි ප්‍රහාර බලපෑවේය. එහෙත් දැන් එල්ටීටීඊයක් නැත. කාලතුවක්කුවලින් එල්ල වන අභියෝගයක් ද නැත. ආරක්ෂිත කලාපවල භූමි ප්‍රමාණය වර්ධනය කිරීමේදී විශාල පිරිසකට තමන් ජීවත් වූ නිවාස හා ඉඩකඩම් අහිමි විය.
දැන් ආරක්ෂක කලාප ක්‍රමය ලිහිල් කොට නැවත ඒ ඉඩම්වල හිමිකරුවන්ට ඔවුන්ගේ ඉඩම්වල පදිංචිවීමට ඉඩදිය හැකිය. එවැනි ප්‍රතිපත්තියක් ඔවුන්ගේ ජීවන පැවැත්ම සාර්ථක කරගැනීමට හේතුවනු ඇති අතර ඒ මගින් දෙමළ ජනතාව ඇතිවූ සිද්ධීන් දෙස සාධාරණව බලන තැනකට ද ගෙනා හැකිය. පරීක්ෂාවෙන් සිටීමේ ප්‍රතිපත්තිය අත්හළ යුතු නැතත්, දකුණේ පවත්වාගෙන යන දැඩි ආරක්ෂිත විධිවිධානද ලිහිල් විය යුතුය. කොළඹ කොටුව කලාපය රටේ ආර්ථික හා වාණිජ කටයුතුවල මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කළේය. වර්තමානයේ එය අධි ආරක්ෂිත කලාපයකි. කොළඹ නගරයේ තිබෙන හොඳම සංචාරක හෝටල් ගණනාවක්ම ඇත්තේ මේ කලාපයේය. අද එම සුපිරි හෝටල්වල තිබුණු ආකර්ෂණය බිඳ වැටීම කෙරෙහි බලපා තිබෙන ලොකුම හේතුව වී ඇත්තේ එම කලාපය සඳහා යොදා තිබෙන දැඩි ආරක්ෂක විධිවිධානයන්ය. කොළඹ කොටුව කලාපය සඳහා යොදා තිබෙන දැඩි ආරක්ෂක විධිවිධාන බොහෝ දුරට ලිහිල් කරන ප්‍රතිපත්තියක් මගින් නැවත මෙම කලාපය රටේ ආර්ථික හා වාණිජ මෙහෙයුම් මධ්‍යස්ථාන බවට පත්කළ හැකි අතර, එවැනි ප්‍රතිපත්තියක් පෙරළා රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට ද හේතුවිය හැකිය.
එල්ටීටීඊයෙන් එල්ල වන අභියෝගය අවසන් වී තිබෙන තත්ත්වයක් තුළ යුදමය තත්ත්වයක් පැවති අවධියේ පවත්වාගෙන ගිය මිලිටරි වටාපිටාව තවදුරටත් ප්‍රදර්ශනය වන්නට ඉඩ හැරීම රටේ යහපතට හේතුවන්නේ නැත. එය රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය කෙරෙහි අවාසිදායක ලෙස බලපායි. මීට අතිරේකව යුද්ධය අවසන් වී ඇති නිසා විවිධ හේතු මත ආරක්ෂාව සඳහා රට අතහැර ගොස් සිටින ජනමාධ්‍යවේදීන් ද නැවත රටට කැඳවාගත හැකිය. යුද්ධයක් පැවති අවස්ථාවේදී ඔවුන් පෑන හැසිරවූ ආකාරයේ දෝෂ තිබිය හැකි වුවත්, ඔවුන් ත්‍රස්තවාදීන් පිරිසක් ලෙස සැලකිය නොහැකිය. රට අතහැර පලාගිය ජනමාධ්‍යවේදීන් සියලුදෙනා වඩා හොඳ ජීවිත ගතකරනවායැ”යි කිව නොහැකිය. නැවත රටට ආපසු එන ලෙස ඔවුනට කැඳවීමක් කරන්නේ නම් ඔවුන් සියලුදෙනා නොවෙතත් බොහෝදෙනකුට රටට ආපසු ආ හැකිය. ඔවුන්ගේ ආපසු පැමිණීම රටේ කටයුතු දැන් නැවත සාමාන්‍ය තත්ත්වයකින් පවතින බව සංකේතාත්මක වශයෙන් පෙන්නුම් කරන සිද්ධියක් ලෙස ක්‍රියා කළ හැකිය.
ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඉතා ඉක්මනින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම පිණිස ක්‍රියා කළේය. රට පුරා තාවකාලිකව ගොඩනගා තිබූ හමුදා කඳවුරු ඉවත් කළේය. ඒ මගින් කැරැල්ලක් පැවති කාලයේ පැවති මිලිටරි වටාපිටාව නැති කළේය. දැන් සිදුවිය යුතුව තිබෙන්නේද එයයි. දේශපාලකයන්ගේ ආරක්ෂාව සඳහා ඇති කර තිබෙන ආරක්ෂක විධිවිධාන පවා බොහෝ දුරට ලිහිල් විය යුතුය. ආරක්ෂක තර්ජනයක් ඇති අයට පමණක් නොව, ආරක්ෂක තර්ජනයක් නැති අය පවා ගමන් කරන්නේ විශාල සංඛ්‍යාවක ආරක්ෂක නඩයක් හා සන්නද්ධ රථ පිරිවරාගෙනය. එම දර්ශනය මහජනයා තුළ යහපත් හැඟීමක් ඇති නොකරයි. පරීක්ෂාව අත්හළ යුතු නැතත්, එල්ටීටීඊයේ පැවැත්ම අවසන් කර ඇති නිසා මහජනයාට දැනෙන ප්‍රමාණයට අතිරේක ආරක්ෂක විධිවිධාන ලිහිල් කළ හැකිය.