අපේ රටේ රජය විසින් පවත්වාගෙන යන බොහෝ සුභ සාධන කටයුතු මහජන සුභ සාධනය සඳහා පවත්වාගෙන යන ව්‍යාපාරවලට වඩා ගසාකෑමට අවස්ථාවක් ලබාගැනීම සඳහා ආරම්භ කොට පවත්වාගෙන යන වංචාකාර ව්‍යාපාර ලෙස සැලකිය හැකි ය. පාසල් ළමුන්ට නොමිලේ පෙළපොත් ලබාදීමේ වැඩසටහන තුළ සිදුවී තිබෙන රුපියල් කෝටි 21ක වංචාවක් පිළිබඳ පුවතක් අද රාවයේ පළවී තිබේ. මෙය මෙම වැඩසටහන තුළ අල්ලා ගැනීමට හැකිවී තිබෙන එක් වංචාවක් පමණ ය. මුද්‍රණකරුවකු රාජ්‍ය නිලධාරීන්ගේ ආධාර ඇතිව කරන ලද කෝටි ගණනක වංචාවක් පිළිබඳව විගණකාධිපතිවරයා විසින් කරන ලද සොයා ගැනීමක් පිළිබඳ අප මීට පෙර ද වාර්තා කර ඇත්තෙමු. එම දැවැන්ත වංචාවල වගකිවයුතු කිසිවකුට අද දක්වා නීතිය ක්‍රියාත්මක කර නැත.
නොමිලේ දෙන නිල ඇඳුම් හා පෙළපොත් සඳහා රජය වසරකට කරන වියදම රුපියල් දශ ලක්ෂ 2000කට වැඩිය. මෙම අංශ දෙකෙහිම ඒවායේ ආරම්භයේ සිට අද දක්වා නොකඩවා සිදුවන වංචාවන්ගේ පරිමාව අතිවිශාල ය.
නොමිලේ පෙළපොත් හා නිල ඇඳුම් දෙන්නට පෙර ඒ වියදම දරන ලද්දේ මහජනයා ය.
දෙමාපියන් පාසල් යන දරුවන්ට අවශ්‍ය පොත් හා ඇඳුම් මිලදී ගෙන දුන්නේ ය. රජයේ වියදමින් ඒ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දුන්නේ ය. එදා දෙමාපියන් පාසල්වලට ඩෙස් බංකු ගෙන ගියේ නැත. සුදුසු පාසලක් ලබාගැනීම සඳහා පගාව දෙන්නට අවශ්‍ය නොවී ය.
එහෙත් මේ රටේ දේශපාලකයන් ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා යන වියදම් සීමා කොට ඒ යන වියදමෙන් කොටසක් නොමිලේ පෙළපොත් හා නිල ඇඳුම් ලබාදීම සඳහා යොදා ගත්තේය. දැන් අඩුපාඩුකම් මැද පාසල් ශිෂ්‍යයන්ට නොමිලේ පෙළපොත් හා නිල ඇඳුම් ලැබෙන්නේය. නොලැබෙන්නේ ගුණාත්මක අගයක් ඇති අධ්‍යාපනයකි.
සියුම් ලෙස කරුණු පරීක්ෂා කර බලන විට පෙනී යන්නේ පෙළපොත් හා ඇඳුම් නොමිලේ දීමට දේශපාලකයන්ට අවශ්‍ය වී ඇත්තේ ද රටේ ජනතාවට ඇති ආදරය නිසා නොව, එවැනි ක්‍රම මගින් මහා පරිමාණයෙන් ගසා කෑමට ලැබෙන ඉඩ සලකා බවය.
ඉස්සර මහජනයා පෙළපොත් මිලදී ගත්තේය. අලුතෙන් පෙළපොත් මිලදී ගත නොහැකි අය පරණ පොත් මිලදී ගත්තේ ය. පාවිච්චි කළ පොත් විකුණන සාප්පු ද එකල රටේ තිබුණි. පාසල් සිසුන්ට අවශ්‍ය ඇඳුම් මිලදී ගත්තේ ද මහජනයා ය. එහෙත් ඒ ක්‍රියාවලිය තුළ දේශපාලකයන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට මහා පරිමාණයේ ගසාකෑමට ඉඩක් නො තිබුණි. නොමිලේ දෙන ක්‍රමය
තුළ ඇති තරම් ගසා කෑ හැකි ය. නොමිලේ දෙන ක්‍රමය සඳහා මුදල් වැය කෙරෙන්නේ ද අධ්‍යාපනය සඳහා කරන වියදමෙන් කොටසක් වන බැවින් පොත් හා ඇඳුම් නොමිලේ ලැබෙන විට අවසානයේ ගුණාත්මක අගය ආරක්ෂා කර ගැනීම සඳහා දැරිය යුතු වියදම් කැපී නොමිලේ ලැබෙන පෙළපොත් හා නිල ඇඳුම් සමග ගුණාත්මක අගයෙන් හීන අධ්‍යාපනයක් ජනතාවට උරුම වී තිබේ.
මීට වඩා තිබුණු පැරණි ක්‍රමය යහපත් ය. දෙමාපියන් දරුවන්ගේ පොත් හා පාසලට අවශ්‍ය ඇඳුම් සඳහා යන වියදම දැරී ය. ආණ්ඩුව පාසල් ළමුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට වග බලා ගත්තේ ය. දැන් රජය අවසානයේ ගුණාත්මක අගය සඳහා කරන අතිරේක වියදම් කපා හැර ඒ වියදමෙන් ශිෂ්‍යයන්ට පෙළපොත් හා නිල ඇඳුම් ලබා දේ.