ජූලි 10 වැනිදා සංකේත වර්ජන ව්‍යාපාරය බොහෝදුරට සාර්ථක වර්ජන ව්‍යාපාරයක් ලෙස ජවි පෙරමුණේ ලාල් කාන්ත ඇතුළු වර්ජන ව්‍යාපාරයට සම්බන්ධ නායකයන් ප්‍රකාශ කරමින් තිබුණ ද එය සාර්ථක වර්ජන ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැකිය.
ඉතාමත් සාර්ථක වර්ජනයක් දකින්නට තිබුණේ රජයේ මුද්‍රණාලයේ පමණය. කොළොන්නාව රජයේ කර්මාන්තශාලාවේ ද තත්ත්වය වර්ජකයන්ට වාසිදායක විය. වතුකරයේ මුළුමනත් වශයෙන් නොවූවත්, සමහර වතුවල සාර්ථක වර්ජන ව්‍යාපාරයක් තිබුණි. තැපැල් සේවය කෙරෙහි ද වර්ජනයේ බලපෑමක් තිබුණි. රෝහල්වල සුළු සේවකයන්ගෙන් කිසියම් ප්‍රමාණයක් නොපැමිණිය ද, ඔවුන්ගේ නොපැමිණීම රෝහල්වල ක්‍රියාකාරීත්වය කෙරෙහි දැනෙන බලපෑමක් ඇති කළ බවක් පෙනෙන්නට නැත. වර්ජනය වඩාත්ම සාර්ථක විය යුතුව තිබුණේත් ගුරුවරුන් අතරය. එහෙත් මොන මොන හේතු නිසා හෝ වර්ජනයට ගුරුවරුන්ගේ කැපී පෙනෙන සහභාගිත්වයක් තිබුණු බවක් පෙනෙන්නට නැත. පාසල් ගණනාවක ගුරුවරුන්ගේ පැමිණීමේ කැපී පෙනෙන අඩුවක් පෙනෙන්නට තිබුණ ද, එය සමහර තැන්වල පමණක් දක්නට ලැබුණු ලක්ෂණයක් මිස පොදුවේ දක්නට තිබුණු ලක්ෂණයක් නොවීය.
ජන ජීවිතය කෙරෙහි වඩාත්ම බලපාන පොදු මගී ප්‍රවාහනය (බස් හා දුම්රිය), විදුලිය හා විදුලි සංදේශ, වරාය, ඉන්ධන වැනි අංශ කෙරෙහි වර්ජනය සුළු ප්‍රමාණයකින් හෝ බලපෑ බවක් පෙනෙන්නට නොතිබුණි. ලාල් කාන්ත වර්ජනයට පෙර පුන පුනා කීවේ අත්‍යවශ්‍ය සේවා විශාල ප්‍රමාණයකට අඩපණ කිරීම සඳහා ක්‍රියා කරන බවය. එහෙත් ඒ ගැන වර්ජනයෙන් පසු කියන කතාව ඊට වෙනස්ය. වර්ජනය මෙහෙයවූ සියලු නායකයන් කියන්නේ වර්ජනය විශාල ප්‍රමාණයකට සාර්ථක වූ වර්ජනයක් බවය. ආණ්ඩුවේ මර්දනයක් නොතිබුණේ නම්, වර්ජනය වඩා සාර්ථක වන්නට ඉඩ තිබුණු බව ද ඔවුහු කියා සිටිති.
ආණ්ඩුවට අභියෝග කරන කවර වැඩවර්ජනයකදී බලයේ සිටින කවර ආණ්ඩුවක් වුවත් නිකම්ම බලා සිටින්නේ නැත. මෙවැනි වැඩවර්ජනයකදී වැඩ වර්ජනය අසාර්ථක කිරීම පිණිස ආණ්ඩුව බලය පාවිච්චි කිරීම හැමදාමත් සිදුවන තත්ත්වයකි. සාර්ථක වර්ජනයක් කරනවා යන්නෙහි තේරුම ආණ්ඩුවෙන් එල්ල වන අභියෝගයන්ට මුහුණදෙමින් සාර්ථකව නැගී සිටීමය. ජූලි 10 වැනිදා වර්ජනය ආණ්ඩුවේ මර්දනය නිසා අසාර්ථක වූවක් ලෙස සැලකිය නොහැකිය. ආණ්ඩුව මුළුමණින් නිෂ්ක්රීයව සිටින තත්ත්වයක් තුළ පවා සාර්ථක වර්ජනයක් වීමේ හැකියාව ඊට නොතිබුණේ යැයි කිව හැකිය.
මෙම වර්ජනයේදී වැටුප් ලබන ජනතාව වර්ජනයට සම්බන්ධ නොවූයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබෙන පක්ෂපාතිත්වය හෝ රාජපක්ෂ ආණ්ඩුවේ යුද වැඩපිළිවෙලට ඇති පක්ෂපාතභාවය නිසා යැයි ද කිව නොහැකිය. වැටුප් ආදායමෙන් පමණක් ජීවත් වන ජනතාව සිටින්නේ ඉවසාගෙන සිටිය නොහැකි තරම් පීඩාකාරී තත්ත්වයකය. එහෙත් ඔවුන් මෙම වැඩවර්ජන ව්‍යාපාරයට ක්‍රියාකාරී ලෙස දායක නොවීය. එසේ වූයේ ඇයිද යන ප්රශ්නය විග්රහ කර බැලීම වැදගත්ය.
මොන මොන හේතු නිසා හෝ මෙම වැඩ වර්ජන ව්‍යාපාරය වැඩ කරන ජනතාවගේ විශ්වාසයට හේතු නොවීය. ඔවුන්ගේ විශ්වාසය දිනාගනිමින් ඔවුන් වැඩවර්ජනයට එකතු කරගන්නා වැඩපිළිවෙලක් සංකේත වැඩවර්ජනයට නායකත්වය දුන් අයට ද නොතිබුණි. වැඩ වර්ජන තීරණය වැටුප් ලබන ජනතාව ගනු ලැබූ තීරණයක් නොවූ අතර, එය ඉහළින් ගෙන ඔවුන් මත අතහරින ලැබූ තීන්දුවක් විය.
ජවිපෙ කට්ටිවාදය ද වැඩවර්ජනය දුර්වල කිරීමට හේතුවිය. ජවිපෙ ඒ මොහොතේ මෙවැනි සටනක් අවශ්‍ය වූයේ තමන්ගේ බොඳවී යමින් තිබූ දේශපාලන ප්‍රතිරූපය ශක්තිමත් කරගැනීමේ මාර්ගයක් වශයෙන් මිස, වැටුප් ලබන ජනතාවගේ දුක්වේදනා වැදගත් වූ නිසා නොවේ. ජවි පෙරමුණට තමන්ගේ ශක්තිය ගැන හරි තක්සේරුවක් නොතිබුණි. ඒ මොහොතේ තමන් දියත් කරන වැඩවර්ජනයකට කවුරුන් විරුද්ධ වුවත්, වැඩ කරන ජනතාව තමන්ට එකතු වනු ඇතැයි ඔවුහු තක්සේරු කළහ. ඔවුහු වෙනත් වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා නොකළහ. එම පක්ෂය සංකේත වර්ජනයක් කිරීමට තීන්දුවක් ගෙන එම තීන්දුව ප්‍රකාශ කරන සාකච්ඡාවට සහභාගි වන ලෙස වෘත්තීය සමිතිවලට ආරාධනා කළේය. එහෙත් ජවිපෙ සම්බන්ධ නැති වෘත්තීය සමිති ඔවුන් විසින් කැඳවන ලද සාකච්ඡාවට සහභාගි නොවීය. ඉන්පසුවත් ඔවුන් නිහතමානීවෙමින් අන් අය සමග සාකච්ඡා කරන තැනකට ගියේ නැත. ඉදිරිපත් කළයුතු ඉල්ලීම් මොනවාද යන්න තීන්දු කළේ ඔවුන් තනිවමය. ““අප කැඳවන රැස්වීමට නොඑන අය අපට අවශ්‍ය නැහැ. අපි අපේ සටන අපි තනිව දියත් කරමු”” යැ”යි ඔවුහු තනිව තීන්දු කළහ.
ජවිපෙට සම්බන්ධ නැති සටන්කාමී වෘත්තීය සමිති ගණනාවක් ද මෙම වර්ජනයට සම්බන්ධ විය. එහෙත් ඔවුන් වර්ජනයට සම්බන්ධ වූයේ පූර්ණ විශ්වාසයකින් යුතුව නොව, ජවිපෙ ගැන ඇති කරගත් සැකයකින් යුතුවය. මේ මොහොතේ වර්ජනයෙන් පිටස්තරව සිටියහොත් තමන් වැඩ කරන ජනතාවට ද්‍රෝහිවූ පිරිසක් ලෙස සලකනු ඇතැයි කියන බියක් ද ඔවුන් තුළ තිබුණි. ජවිපෙ පිළිබඳව ඔවුන්ට තිබුණු අත්දැකීම් ප්‍රියජනක නොවීය.
ජවිපෙ ආණ්ඩුව සමග දීග කන කාලයේදී තමන්ගේ දේශපාලන නායකත්වය පිළිනොගන්නා වෘත්තීය සමිති නායකයන්ට තිබෙන පිළිගැනීම දුර්වල කිරීම සඳහා ඔවුන්ට “කොටි” ලේබලය අලවා තිබුණි. සිය විරුද්ධවාදී වෘත්තීය සමිති නායකයන් කොටි ආධාරකරුවන් ලෙස හඳුන්වන පෝස්ටර් ඔවුන් මීට පෙර රට පුරා අලවා තිබුණි. අවසානයේ ජවිපෙට මේ මොහොතේ අනියම් ලෙස හෝ ආධාර ලබාගන්නට සිදුවූයේ ද තමන් විසින් කොටි ආධාරකරුවන් ලෙස හංවඩු ගැසූ වෘත්තීය සමිති නායකයන්ගෙනි. ජවිපෙ මීට පෙර සිය විරුද්ධවාදී සටන්කාමී වෘත්තීය සමිති නායකයන්ට කොටි ලේබලය අලවන විට මෙම වර්ජනයේදී ආණ්ඩුව ඒ ලේබලය ජවිපෙට ඇලවූවේය.
මෙම වර්ජනයට පැහැදිලි දර්ශනයක් නොවීය. මෙය වැඩ කරන ජනතාව වැටුප් වැඩිවීමක් සඳහා කරන වෘත්තීය අරගලයක් ලෙස ප්‍රකාශ වී තිබුණ ද, ආණ්ඩුව පළාත් සභා මැතිවරණ අත්හිටුවන්නට කැමති නම්, ව්‍යවස්ථා සභාව පත් කිරීමට කැමති නම් පළාත් සභා මැතිවරණ කල්දැමීමට සූදානම් නම් සංකේත වර්ජනය අත්හැරීමට කැමති බව ජවිපෙ ප්‍රකාශ කළේය. එවැනි ඉල්ලීම් වෘත්තීය ඉල්ලීම් ගණයේ ලා සැලකිය නොහැකිය. එවැනි ඉල්ලීම් ඈඳාගත් වැඩවර්ජන ව්‍යාපාරයක් ෂඛධ ප්රමිතීන් අනුව පවා සැලකෙන්නේ වෘත්තීය අරගලයක් ලෙස නොව දේශපාලන හර්තාලයක් ලෙසය. මේ තත්ත්වය ද වැටුප් ලබන ජනතාව ව්‍යාකූලත්වයට පත් කළේය. අපි මේ සටනට එකතු වී ජවිපෙ ආධාරකරුවන් බවට පත්විය යුතු ද කියන හැඟීමක් ද සමහර අය තුළ ඇති කිරීමට හේතුවිය.
ඉතාමත්ම වැදගත් දේ සංකේත වැඩවර්ජනයක් සඳහා ගනු ලැබූ තීරණය බිම් මට්ටමින් ගනු ලැබූ තීරණයක් නොවීමය. සංකේත වර්ජනයක් කිරීමේ අදහස වැඩපොළ මට්ටමෙන් සාකච්ඡාවට ලක් කරනු නොලැබීය. ඒ තීරණය සඳහා වැඩපොළ මට්ටමෙන් ඡන්ද විමසීම් පවත්වනු නොලැබීය. ඒ නිසා ගනු ලැබූ තීරණය හා වැඩ කරන ජනතාව අතර ආත්මීය සම්බන්ධයක් නොතිබුණි.
වැඩවර්ජනය කෙරෙහි බලපෑ ඊළඟ වැදගත්ම සාධකය වන්නේ වැටුප් ලබන ජනගහනයෙන් වැඩි පිරිසක් සාමාජික මුදල් ගෙවන වෘත්තීය සමිතිවලට සම්බන්ධ ජනතාවක් නොවීමය. මෙය ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරවල බැ?රුම් අවධානයට ලක් නොවී තිබෙන මූලික වැදගත්කමක් ඇති ප්රශ්නයකි.
මොනයම් හෝ වෘත්තීය සමිතියකට සම්බන්ධ වී සාමාජික මුදල් ගෙවන වෘත්තීය සමිතිවලට සම්බන්ධ සාමාජිකයන්ගේ සංඛ්‍යාව වැටුප් ලබන ජනගහනයේ අනුපාතිකයක් වශයෙන් ගත්විට ඔවුන්ගේ අනුපාතිකය 20%ක් තරම්වත් නොවන තරම්ය. මෙය ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකිය.
ලංකාවේ ලොකුම වෘත්තීය සමිති ව්‍යාපාරය ඇති පක්ෂය ලෙස සැලකෙනුයේ තොණ්ඩමන්ගේ කම්කරු සංගමයයි. එහෙත් එම සංගමයට සිටින සාමාජික මුදල් ගෙවන සාමාජික සංඛ්‍යාව 55,000කට වැඩි නැත. ඊළඟට විශාලතම වෘත්තීය සමිති ව්‍යාපාරයක් ඇති දේශපාලන පක්ෂය ලෙස සැලකෙනුයේ ජවි පෙරමුණය. එම පක්ෂයට රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ යන අංශ දෙකේම සිටින සාමාජික මුදල් ගෙවන සාමාජික සංඛ්‍යාව 50,000කට වැඩි නැත. එජාපයට රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ හා වතු අංශයේ යන අංශ තුනේම සිටින සාමාජික සංඛ්‍යාව 50,000කට අඩුය. ශ්‍රීලනිපයේ වෘත්තීය සමිතිවලට සිටින සාමාජික සංඛ්‍යාව 40,000කට අඩුය. බාලා තම්පෝගේ වෙළෙඳ සේවක සංගමයට සිටින සාමාජික මුදල් ගෙවන සාමාජික සංඛ්‍යාව 15,000කට වැඩි නැත. දේශපාලන පක්ෂ සේ ම වෘත්තීය සමිති තිබෙන්නේ ද වර්ධනවෙමින් තිබෙන තත්ත්වයක නොව හැකිළෙමින් තිබෙන තත්ත්වයකය. හැම වෘත්තීය සමිති ව්‍යාපාරයක්ම එක්තරා තැනකට සීමාවී ඉන් ඉදිරියට යා නොහැකි තැනක හිරවී සිටින බව පැහැදිලිය. දේශපාලන පක්ෂ සේ ම වෘත්තීය සමිති තිබෙන්නේ ද ගරා හැලෙන තත්ත්වයකය.
ජවිපෙ රට හොල්ලන වර්ජනයකට යන්නට උත්සාහ කළේ පනස් දහසකට වැඩි නොවන වෘත්තීය සමිති සාමාජික සංඛ්‍යාවක් ඇතුවය. ඔවුන්ගේ වෘත්තීය සමිති සාමාජිකයන්ගෙන් වැඩි පංගුව අයත් වූයේ රාජ්‍ය අංශයට නොව පෞද්ගලික අංශයටය. පෞද්ගලික අංශයේ තිබෙන කිසිම වෘත්තීය සමිතියක් මෙම වැඩවර්ජනයට සහභාගි නොවීය. මෙම සංකේත වැඩවර්ජනය සාර්ථක වූ මොනම ආයතනයකවත් එසේ වූයේ ජවිපෙ නිසා නොව, ජවිපෙ ද්‍රෝහීන් ලෙස සැලකූ වෘත්තීය සමිතිවල සහභාගිත්වය නිසාය. ජවිපෙට වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ තිබෙන ශක්තියේ ප්‍රමාණය මෙම වර්ජනයේදී උරගා බැලුණු අතර, ජවිපෙට වැටුප් ලබන ජනතාව අතර තිබෙන වෘත්තීය සමිති පදනම ඔවුන් හුවා දක්වා තිබුණු ප්‍රමාණය තරම් ශක්තිමත් නොවන බව සනාථ කළේය. සංකේත වර්ජන ව්‍යාපාරය සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ආයතනවල සාර්ථකත්වය කෙරෙහි ප්‍රධාන කොට බලපෑවේ ජවි පෙරමුණේ වෘත්තීය සමිති නොව, ඉන් පිටස්තර වෘත්තීය සමිතිය. ජවිපෙ තනි ශක්තියෙන් සාර්ථක වැඩවර්ජනයක් සිදුවූ කිසිදු ආයතනයක් නොවීය.
ජූලි 10 වැනිදා සංකේත වර්ජනයෙන් සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයට ඉගෙන ගැනීමට තිබෙන ලොකුම පාඩම වනුයේ වැටුප් ලබන ජනගහනයෙන් වැඩි පිරිසක් වෘත්තීය සමිතිවලින් පිටස්තරව සිටින තත්ත්වයක් තුළ වෘත්තීය සමිතිවලට ඔවුන් අතර තිබෙන ශක්තිය හීනවී තිබෙන බවය. එම තත්ත්වය ඔවුන්ට කේවල් කිරීමට තිබෙන හැකියාව සීමාකර තිබේ. එම තත්ත්වය සියලු වෘත්තීය සමිති අතර පොදු එකඟත්වයක් ඇති කරගත් අවස්ථාවකදී පාවාදීම සමස්ත මහා වැඩවර්ජනයක් සාර්ථක කරගැනීමට තිබෙන හැකියාව සීමා කර තිබේ.
වැටුප් ලබන ජනගහනයෙන් වැඩි පිරිසක් වෘත්තීය සමිතිවලින් පිටස්තරව සිටින්නේ ඇයිද යන ප්රශ්නය ඔවුන්ගේ බැ?රුම් අවධානයට යොමුවිය යුතුය. වැඩ කරන ජනතාව අතර වෘත්තීය සමිතිවලට තිබෙන පිළිගැනීම අඩුවීම කෙරෙහි බලපා ඇති ඇත්ත හේතු හඳුනා ගනිමින් ඒ තත්ත්වය ජයගැනීම සඳහා ඔවුන් ක්‍රියාකළ යුතුය. වැඩ කරන ජනතවාගේ අයිතිවාසිකම්වල ආරක්ෂාව සඳහා පමණක් නොව, රටට අවශ්‍ය දේශපාලන වෙනස්කම් දිනාගැනීම සඳහා ද ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් රටේ තිබීම අත්‍යවශ්‍යය. වෘත්තීය සමිතිවලට එම තත්ත්වය දිනාගත හැකිවනු ඇත්තේ නූතන වුවමනාවන්ට ගැලපෙන ලෙස වෘත්තීය සමිති ව්‍යාපාර නවීන කරගැනීමෙනි. රටේ තිබෙන දේශපාලන පක්ෂ තරමටම ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය ද පවතින්නේ යල්පැන ගිය තත්ත්වයකය. වෘත්තීය සමිති සංවිධාන ව්‍යුහයන් ප්රජාතන්ත්රවාදී විය යුතුය. සටන් කරන ක්‍රම නවීන තත්ත්වයකට ගෙනා යුතුය. වෘත්තීය සමිති සඳහා ඇති කරගෙන තිබෙන ජාත්‍යන්තර ප්‍රමිති ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සඳහා ද අදාළ කරගත යුතුය.
දේශපාලන පක්ෂවලට වෘත්තීය සමිති හැසිරවීමට තිබෙන ඉඩ සීමා කළ යුතුය. තීරණ ගන්නා ක්‍රියාවලියට සම්බන්ධවීමට සාමාජිකයන්ට ඉඩ දිය යුතුය. ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය ජාත්‍යන්තර වෘත්තීය සමිති ව්‍යාපාරය සමග මනා සහයෝගයෙන් ක්‍රියා කරන තැනකට යා යුතුය.