ඉන්දියාව උතුරේ ගොවීන්ට ලබාදෙන ලද ට්‍රුක්ටර් 500න් 200ක් රාජ්‍ය ආයතන දෙකකට ලබාදී ඇති බවට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. එය සත්‍යයක් නම් එය වරදක් වන අතර එම වරද නිවැරදි කිරීම ආණ්ඩුවේ වගකීමකි.
දෙමළ ජනයාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මීට වඩා සංවේදීව ක්‍රියාකිරීම ආණ්ඩුවේ වගකීමකි. දෙමළ බෙදුම්වාදී යුද්ධය පිළිබඳව දෙමළ ජනතාවගේ ආකල්ප මොනවා වුවත් ඔවුන් කෙරෙහි සානුකම්පිතව ක්‍රියාකිරීම ආණ්ඩුවේ වගකීමකි. දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට සමත්වීම ඉතා යහපත් වුවත් තවදුරටත් ආයුධ අතට ගත් ප්‍රභාකරන් කෙනකු හෝ එල්ටීටීඊයක් නොපවතින නිසා හා බොහෝ දුරට දෙමළ ජනයා නිසි නායකත්වයක් රහිත ජනතාවක් බවට පත්ව තිබෙන තත්ත්වය තුළ ඔවුන්ගේ සිත් රිදවීමට හේතුවන දේවල් කිරීමෙන් වැළකී සිටිය යුතුය.
යුද්ධයෙන් අනාථභාවයට පත්ව සිටින ජනතාවක් වශයෙන් විදේශ ආධාර වශයෙන් ඔවුන්ට ලැබෙන හැම දෙයක්ම ඔවුන්ට ලැබෙන්නට සැලැස්විය යුතුය. ඔවුන්ට ලැබුණු දේවලින් කොටසක් ඔවුන්ට නොදී වෙනත් වඩා ප්‍රයෝජනවත් කාරියක වුවද යොදා නොගත යුතුය. එවැනි සංකේතාත්මක වැදගත්කමක් ඇති දේවල් දෙමළ ජනතාව අතර වැරදි හැඟීමක් ඇති කිරීමට හේතුවිය හැකිය. ප්‍රභාකරන් හෝ එල්ටීටීඊය නැතුව දැන් ඔවුන් ගතකරන ජීවිතය වඩා හොඳ ජීවිතයක් බව ඔවුන්ට පෙනෙන්නට සැලැස්විය යුතුය.
අධි ආරක්ෂක කලාපය සඳහා හිමි කරගෙන තිබෙන ඉඩම්වලින් කිසියම් පංගුවක් නිදහස් කිරීම පැසසුම් කටයුතු වන අතර ඔවුන්ගෙන් ලබාගෙන ඇති ඉඩම් මුළුමනින් ඔවුන්ට ලබාදෙන ප්‍රතිපත්තියක් දක්වාම ආණ්ඩුව එම ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කළ යුතුය. විශාල අධි ආරක්ෂිත කලාප ක්‍රමයක් ඇතිකර ගැනීමට අවශ්‍ය වූයේ එල්ටීටීඊ කාලතුවක්කුවලින් ආරක්ෂාවීමට එසේ කිරීම අවශ්‍ය වූ නිසාය. එහෙත් දැන් එවැනි තර්ජනයක් නැත. ඒ නිසා අධි ආරක්ෂිත කලාප සඳහා අත්පත් කරගෙන තිබෙන ඉඩම් ඔවුන්ට ආපසු පවරාදීමෙන් ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නැත.
පහුගිය කාලයේ ඇතිවූ ස්වාභාවික විපත් උතුරේ සංවර්ධන කටයුතු අඩාල කිරීමට හේතුවී ඇතත්, නැවත පදිංචි කිරීම හා එම කලාපයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු ව්‍යාපෘති නොකඩවා ඉදිරියට ගෙන යායුතුය. එහි ජන ජිවිතය ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ යුතුය.
උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ප්‍රදේශවල ඇති පොලීසිවල දෙමළ භාෂාවෙන් වැඩ කළ හැකි තත්ත්වයක් ඇති කරනු පිණිස දෙමළ තරුණයන් බඳවා ගන්නා ප්‍රතිපත්තියක් ආරම්භ කොට ක්‍රියාත්මක කිරීමද පැසසුම් කටයුතුය. ඒ සමග ඒ ප්‍රදේශවල රාජ්‍ය ආයතනවල කටයුතු දෙමළ භාෂාවෙන් සිදුකිරීමට හැකි තත්ත්වයක් සහතික කළ යුතු අතර ඒ සඳහා රාජ්‍ය සේවයට දෙමළ මිනිසුන් බඳවා ගන්නා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතුය. ඉතා වැදගත් දේ ඔවුන්ට සමාන සැලකිල්ලක් නොදක්වන බවට ඔවුන් අතර පවතින හැඟීම මුළුමනින් නැති කිරීම සඳහා ක්‍රියාකිරීමය.
දෙමළ සන්ධානය හා අනෙකුත් දෙමළ දේශපාලන පක්ෂ සමග ආරම්භ කර තිබෙන සාකච්ඡාද තර්කානුකූල අවසානයක් කරා ඉදිරියට ගෙන යායුතුය. එහිදී දෙමළ නායකයන් යථාර්ථවාදී හා මටසිලුටු විය යුතුවා සේ ම ඔවුන්ගේ දේශපාලන දුක්ගැනවිලිවලට පිළිගත හැකි හා ඔවුන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන විසඳුමක් ලබාදීම ආණ්ඩුවේ වගකීමකි.
එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණ ජයගත හැකිවනු ඇත්තේ ජනවර්ග ආවේගයන් ප්‍රඥාවන්ත ලෙස කළමනාකරණය කිරීමෙනි. එහිදී වැදගත් කොට සැලකිය යුත්තේ දෙමළ ඩයස්පෝරාව නොව ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවය. දෙමළ ජනයා තුළ සිත් පෑරීම් ඇති කරන කිසිවක් සිදු කිරීමට ඉඩ නොදිය යුතුය.