ඒකාධිපති පාලකයන්ට එරෙහිව අරාබි ලෝකයෙන් හමන සුළි සුළඟ

February 27, 2011
Publication:
What will the large-scale risings against the autocratic rulers of the Muslim world — beginning in Tunisia, passing through Egypt and into North Africa and the Middle East — do to that world and then to the whole world? What is the social background of those struggles, and what are their main characteristics?

ටියුනීසියාවෙන් ආරම්භ වී ඊජිප්තුව හරහා උතුරු අප්‍රිකාවේ හා මැදපෙරදිග රටවල් ඇතුළත් මුස්ලිම් ලෝකයේ ඒ රටවල තිබෙන ඒකාධිපති පාලකයන්ට එරෙහිව ඇතිවී තිබෙන මහා පරිමාණයේ නැගිටීම් මුස්ලම් ලෝකය හා නැවත සමස්ත ලෝකය කෙරෙහි ඇති කරන්නට යන බලපෑම කුමක්ද? ඒ මහජන අරගලවල සමාජ පසුබිම හා ඒවාට ආවේණික ප්‍රධාන ගතිලක්ෂණ මොනවාද?

මේ කලාපයේ රටවල් අතීතයේදී මාක්ස්වාදී චින්තනයේ දැඩි බලපෑමට හසුවූ බලවත් අධිරාජ්‍ය විරෝධී දේශානුරාගී සටන්කාමයක් පෙන්නුම් කළ ඊළඟ යුගයේදී මහ බලවතුන් දෙදෙනා අතර ඇතිවූ සීතල යුද්ධයේ දැඩි ග්‍රහණයට පරස්පර බලවතුන්ගේ හසුවී පසුව ක්‍රමානුකූලව මුස්ලිම් ආගම්වාදය මුල් කරගත් දේශපාලන චින්තනයකට මාරුවූ රටවල්වලින් යුතු විශේෂිත දේශපාලන කලාපයක් ලෙස සැලකිය හැකිය

මෙම කලාපයේ නැගිටීම් ඇතිවූ හැම රටකම, අවුරුදු 30ට අඩු ජනගහනයේ පංගුව මුළු ජනගහනයෙන් 50%කට වැඩිය. ඉරානයේ එය 68%කි. සුඩානයේ 67%කි. ඊජිප්තුවේ 61%කි. ලිබියාවේ, ඇල්ජීරියාවේ හා ඉරාකයේ එය 58%කි. මොරොක්කෝවේ 57%කි.

මෙම තරුණ ජනගහනයට ආවේණික ඊළඟ වැදගත් ලක්ෂණය වනුයේ පාසල් අධ්‍යාපනය අවසන් කළ එහෙත් රක්ෂා නැති අයගේ පංගුව විශාල වීමය. එය ඉරානයේ 43%කි. ඊජිප්තුවේ හා ඇල්ජීරියාවේ 37%කි. සුඩානයේ 36%කි. මොරොක්කෝව් 34%කි.

ඊළඟ වැදගත් දේ මේ තරුණ පරපුර තොරතුරු තාක්ෂණයට සම්බන්ධ වූ පිරිසක්වීමය. ටයිම් සඟරාවේ ඇස්තමේන්තු අනුව අරාබි ලෝකයේ අන්තර්ජාලයට සම්බන්ධ අයගේ අනුපාතිකය 56%කි. මෙම නැගිටීම් සඳහා මෙම තරුණ පරපුර ප්‍රධාන වශයෙන් ජාලගතවී තිබෙන්නේ අන්තර්ජාලය හරහාය. ඔවුන් රූපවාහිනිය හා අන්තර්ජාලය ඔස්සේ තමන් ජීවත් වන සමාජය හා නිදහස් සමාජයන් අතර තිබෙන වෙනස දැක්කේය. වෙනත් රටවල අවුරුදු 4කට හෝ 5කට වරක් මහජන ඡන්දයෙන් පාලකයා තෝරා ගන්නේ නම් ඒ නිදහස තමන්ට නැත්තේ ඇයිද කියන ප්‍රශ්නය ඔවුන්ගේ හිතට වදදෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබුණේය. ඔවුන් අතර වර්ධනයවෙමින් පැවති දේශපාලන අසහනය උග්‍ර කරන තවත් වැදගත් සාධකයක් ලෙස ආර්ථික ප්‍රශ්න බලපෑවේය. ඒ අතර ප්‍රධාන වූයේ ඉහළ යන ජීවන වියදම හා රැකියා ප්‍රශ්නයයි. සිය පාලකයන්ගේ හිතුවක්කාරී ක්‍රියාකාරකම් සේ ම, මහජන දේපළ කොල්ලකමින් ඔවුන් පවත්වාගෙන ගිය වියදම් අධික ජේත්තුකාර ජීවිත ද ඔවුන්ගේ දේශපාලන කලකිරීම උග්‍ර කරන සාධක ලෙස ක්‍රියා කළේය.

ඇතිවූ මේ සියලු නැගිටීම් මුස්ලිම් තරුණ නැගිටීම් ලෙස සැලකිය හැකි වුවත් එම නැගිටීම් කෙරෙහි ආගම වැදගත් සාධකයක් ලෙස බලනොපෑවේය. එහිදී පල්ලිය කිසිම වැදගත් භූමිකාවක් රඟපෑවේ නැත. ඔවුන් ජාල ගතවූයේ පල්ලිවල නොව, අන්තර්ජාලයේය. රජය ආගමික දෙයක් ලෙස සලකන ප්‍රතිපත්තියෙන් ඉවත් වී රජය ලෞකික දෙයක් ලෙස සලකා ක්‍රියා කරන ප්‍රතිපත්තියකට මෙම තරුණ පරපුර මාරුවී තිබෙන බව ඉන් පෙනීයයි. අන්‍ය ආගමිකයන් අතර සේ ම තමන් අතර ද ආගමික වශයෙන් මූලධර්මවාදී අදහස් දරන අන්තවාදීන් සිටිය හැකි වුවත් මුළු මහත් මුස්ලිම් ජනතාව එසේ නොවන බව මෙම මුස්ලිම් තරුණ පරපුර ලෝකයට දී තිබෙන වැදගත්ම පණිවුඩය ලෙස සැලකිය හැකිය. මෙම තරුණ නැගිටීම් ඉදිරියේ ආරක්ෂක හමුදාවල ක්‍රියාකාරිත්වයේද මීට පෙර දක්නට නොතිබුණු වෙනසක් පෙන්නුම් කළේය. ඒ පාලක පක්ෂයේ ආරක්ෂාව පිණිස, නැගී සිටින තරුණයන් මර්දනය කරන පිළිවෙතකට නොගොස් ඔවුන් මෙම ගැටුම තුළ මැදිහත් භූමිකාවක් අනුගමනය කිරීමය.

ගඩාෆි, කස්ත්‍රෝ හා චාවේස් වැනි නායකයන් මෙම නැගිටීම් හඳුන්වා තිබෙන්නේ ඇමරිකන් දේශපාලන කුමන්ත්‍රණයක් ලෙසය. එහෙත් සෝවියට් දේශය බිඳ වැටීමේදී මෙන් පිපිරීම් ඇතිවූයේ අභ්‍යන්තර සාධක නිසා මිස, බාහිර සාධක නිසා නොවේ. අනෙක් අතට මෙම නැගිටීම් මෙම කලාපය කෙරෙහි පැවති ඇමරිකානු සම්බන්ධකම්ද අවුල් කිරීමට හේතුවී තිබේ.

අරාබි ලෝකයේ ඇතිවී තිබෙන මෙම දේශපාලන කුණාටුව අලුත් දේශපාලන ධර්මතාවක් ස්ථාපිත කිරීමට හේතුවී තිබේ. ඒ තොරතුරු තාක්ෂණයේ ඇතිවී තිබෙන දියුණුව තුළ ඒකාධිපති පාලනයකට අනාගතයේ ඉඩක් නැති බවය. රාජ්‍යයකට රහසේ කටයුතු කිරීමට තිබුණු හැකියාව සේ ම දේශසීමා රාමුවක් තුළ කොටුවී ජීවත්වීමට තිබුණු හැකියාවද මුළුමනින් අහිමිවෙමින් තිබේ. අනාගතයේ රාජ්‍යයන්ට වැඩි වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදීවීමට හා විවෘතවීමට සිදුවනු ඇත්තේය. රාජ්‍ය පාලකයන්ට පොදු දේපළ කොල්ලකා බැංකුව සඟවාගෙන සිටීමේ හැකියාවද අහිමි වනු ඇත්තේය. තොරතුරු තාක්ෂණය මහජනයාට වගකියන පාලනයක් ඇති කරන ප්‍රධාන මෙවලමක් ලෙස ක්‍රියාකරනු ඇත. එම තත්ත්වය රාජයේ පරිණාම ක්‍රියාවලිය අලුත් අධියරයකට පත්කිරීමට හේතුවනු ඇත්තේය.

මට පෙනෙන අන්දමට මෙම මහා දේශපාලන කුණාටුව පිටුපස සිටින දේශපාලන ආත්මය වන්නේ මහත්මා ගාන්ධිය. මාර්ටින් ලුතර් කිංගේ ව්‍යාපාරය කෙරෙහි සේ ම නැගෙනහිර යුරෝපයේ හා පිලිපීනයේ ඇතිවූ සාමකාමී මහජන නැගිටීම් කෙරෙහි ගාන්ධිගේ අදහස් බලපෑවේය. අරාබි ලෝකයේ ඇතිවී තිබෙන නැගිටීම් කෙරෙහි සේ ම එහිදී ඔවුන් තෝරාගත් සටන් ක්‍රම කෙරෙහිද මහත්මා ගාන්ධිගේ අදහස් බලපා තිබෙන බව විද්‍යුත් මාර්ගවලින් පතුරුවා තිබෙන උපදෙස් අනුව පෙනීයයි. මෙම කලාපයේ සිදුවී තිබෙන මෙම දැවැන්ත තරුණ නැගිටීම මහත්මා ගාන්ධි ලෝකයට හඳුන්වා දෙන ලද අහිංසාවාදී සටන් ක්‍රම හා තොරතුරු තාක්ෂණය නිර්මාණාත්මක ලෙස එකට එකතු කිරීම තුළ ඇතිවූ ප්‍රශස්ත දේශපාලන ඵලයක් ලෙස සැලකිය හැකිය.

මහත්මා ගාන්ධි මහජන බලය මත පදනම් වූ අහිංසාවාදී සටන් ක්‍රමයක් අත්හදා බලමින් සිටි යුගයේදී හා ඉන්පසු යුගයේදී සමහර දේශපාලන විචාරකයන් කීවේ මෙවැනි සටන් ක්‍රමයක් ගාන්ධිටම හැර වෙනත් කිසිවකුට ක්‍රියාත්මක කළ නොහැකි බවය. නැතිනම් දියුණු දේශපාලන සංස්කෘතියකට හිමිකම් කී බ්‍රිතාන්‍ය පාලකයන් සමග මිස වෙනත් කුරිරු බලයක් සමග කරන සටනකට එම සටන් ක්‍රමය වලංගු නොවන බවය. එහෙත් ඒ සියලු අනාවැකි බොරු කරමින් ලෝකය වැඩි වැඩියෙන් ගාන්ධි වෙත ළංවෙමින් තිබේ. ප්‍රචණ්ඩ අරගල න්‍යාය සේ ම පන්ති අරගල න්‍යාය ද මුළුමනින් දැන් යල්පැනගිය දෙයක් බවට පත්වී තිබේ. තර්කානුකූලව කරුණු පහදා දී ඒත්තු ගැන්වීමෙන් මිස බලහත්කාරයෙන් මිනිසුන් අවනත කරගැනීමට තිබෙන හැකියාව තුරන්වෙමින් පවතී.

අහිංසාවාදී මජහන බලය මත පදනම් වී සිදු කැරුණු මෙම සටන්වලදී අරාබි ලෝකයේ මෙම තරුණ පරපුර හා ගාන්ධි අතර අන්තර් සම්බන්ධයක් තිබුණද දේශපාලන අරමුණුවලදී ඔවුන් හා ගාන්ධි අතර තවමත් අතිවිශාල පරතරයක් ඇති බවද කිව යුතුය. සමහර විචාරකයන්ගේ මතය අනුව අරාබි ලෝකයේ තරුණ පුරපුර නැගී සිටීම සඳහා යොදාගත් සටන් ක්‍රම ඔවුන්ට හඳුන්වා දුන් පුද්ගලයාවන්නේ මහාචාර්ය ජෙන් ෂාප්ය. ඔහු ඇල්බට් අයින්ස්ටයින් ආයතනයේ නිර්මාතෘවරයාය. එය අරාවුල් විසඳා ගැනීම සඳහා අවිහිංසාවාදී සටන්ක්‍රම හඳුන්වාදීම හා ඒ අදහස් පතළ කිරීම සඳහා පිහිටුවා ගත් ආයතනයකි. අන්තර්ජාල තොරතුරුවලට අනුව 1960දී පළ කළ,ඨ්බායස උසැකාි එයැ ඇ්චදබ දෙ පදර්ක චදඇර, යන පොත ඔහුගේ පළමු පොත වන අතර එයට පෙරවදන ලියා තිබෙන්නේ ඇල්බට් අයින්ස්ටයින්ය. ඔහු ගාන්ධිගේ සටන් ක්‍රමය පහසුවෙන් ප්‍රයෝජනයට ගතහැකි ලෙස සූත්‍ර ගත කරන ලද න්‍යායවාදියා බව කියනු ලැබේ. මෙම තරුණ නැගිටීම්වලට මහාචාර්ය ගාන්ධිට ඇති සම්බන්ධයේ තරම ගැන මම නොදනිමි.

එහෙත් මහත්මා ගාන්ධි අරගල දර්ශනය හා මෙම රටවල පැන නැගීම් පිටුපස තිබුණු අරගලයේ දර්ශනය අතර මහා පරතරයක් පවතී. මහත්මා ගාන්ධි බ්‍රිතාන්‍ය ආධිපත්‍යය පරාජය කිරීම සඳහා පමණක් සටන් නොකළේය. ඒ මගින් ඇතිවන හිඩස ඵලදායී ලෙස පිරවීමට සුදුසු දර්ශනයක් හා සංස්කෘතියක් ඇති සමාජයක් ඇති කිරීම ඔහුගේ අරමුණ විය. එහෙත් මේ සටනේ යෙදුණ තරුණ පරපුර ඉලක්ක කොට ගෙන ඇත්තේ ඒ රටවල තිබෙන ඒකාධිපති පාලනයක් පරාජය කිරීම පමණය. ඒ නිසා ඇතිවන හිඩස පිරවීම සඳහා වන දර්ශනයක් ඔවුන්ට නොතිබුණි. ඊළඟට ඒ තැන ගන්න යන්නේ කවුද යන්න ගැන ඔවුන්ට පවා පැහැදිලි පිළිතුරක් නැත. ඒ හිඩස පුරවන්නේ පිටස්තර පිරිසක් නම් ඇතිකළ යුතු වෙනස්කම් මොනවාද යන්න පිළිබඳ පැහැදිලි දේශපාලන න්‍යාය පත්‍රයක් ද ඔවුන්ට නොතිබුණි.

එවැනි සීමාසහිතකම් තිබියදී මෙම තරුණ පරපුර ඉතා වැදගත් ඉදිරිගාමී දේශපාලන කාර්යභාරයක් ඉටුකර ඇතැ”යි කිව හැකිය. ඊළඟ පාලකයන්ට අඩුම වශයෙන් මෙම තරුණ පරපුරේ අපේක්ෂාවන් සැලකිල්ට ගනිමින් සැලකිය යුතු තරමින් වෙනස්කම් ඇති කිරීමට සිදුවනු ඇත. එහෙත් ඇතිවීමට වැඩි ඉඩක් ඇත්තේ ප්‍රමාණාත්මක වෙනසක් මිස ගුණාත්මක වෙනසක් නොවේ. පිලිපීනයේ මාර්කෝස් පරාජය කෙරුණේද මේ හා සමාන ආකාරයකටය. එහෙත් මාකෝස්ගේ පරාජය ඒ රටේ දේශපාලන ක්‍රමයේ ගැඹුරු ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීමට හේතුවූයේ නැත.