ගාන්ධි නූතන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම

March 6, 2011
Publication:
Suppose Gandhi could be met, brought to Sri Lanka and asked to look into the country as it now is, and to give his guidance on the main problems it faces and how they should be settled. What analysis would he make of Sri Lanka, and what roads would he recommend to us for settling the first-rank problems we face as a country?

මහත්මා ගාන්ධි හමුවී ශ්‍රී ලංකාවට පැමිණ වර්තමාන ශ්‍රී ලංකාව ගැන කරුණු සොයා බැලීමක යෙදී ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ප්‍රධාන ප්‍රශ්න හා ඒවා විසඳා ගතයුතු ආකාරය ගැන මගපෙන්වීමක් කරන ලෙස ඉල්ලා සිටියහොත් හා ගාන්ධි ඊට එකඟ වී ශ්‍රී ලංකාවට පැමිණ කරුණු සොයා බැලීමක යෙදුණහොත් ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කෙබඳු විශ්ලේෂණයක් කරනු ඇත්ද? රටක් වශයෙන් අප මුහුණ දී තිබෙන ප්‍රධාන පෙළේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ඔහු අපට නිර්දේශ කරනු ඇති මාර්ග මොනවාද?

ගාන්ධිට මෙම ආරාධනාව කරන්නට යන නියෝජිතයන් සමග ඔහු තමන් දන්නා එදා ලංකාව ගැන පළමුව කතා කරනු ඇතැ”යි සිතිය හැකිය.

““මම එකවතාවක් ලංකාවට ගිහිල්ලා තියෙනවා. දින 15ක කාලයක් එහි ගතකර තිබෙනවා. පුංචි වුණත් හරිම ලස්සණ රටක්”” බව කියමින් ලංකාව පිළිබඳව සිය අත්දැකීම් කතා කරනු ඇතැ”යි ද සිතිය හැකිය. ගාන්ධිගේ ලේකම් දේශායි සඳහන් කර තිබෙන අන්දමට ගාන්ධි ලංකාව සැලකුවේ මේ මිහිපිට තිබෙන සුන්දරතම දිවයින ලෙසය.

ගාන්ධිගේ ලංකා සංචාරය

මහත්මා ගාන්ධි ලංකාවට පැමිණියේ 1927 නොවැම්බර් 17 වැනිදාය. හරියටම ඩොනමෝර් කොමිසමේ කොමසාරිස්වරුන් ලංකාවට පැමිණිදාය. ගාන්ධි සමග බිරිඳ කස්තුර්බායිද, සී. රාජගෝපාලචාරි හා ඔහුගේ දුව ලක්ෂ්මිද, ගාන්ධිගේ ලේකම් මහා දේව් දේසායිද ලංකාවට පැමිණියේය. ගාන්ධි ලංකාවට පැමිණියේ ඔහුගේ කාදි ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් එකතු කරගැනීමේ අභිලාෂයෙනි. කාදි අරමුදලට මුදල් සොයා ගැනීම සඳහා ලංකාවේ සංචාරයක යෙදෙන ලෙස ගාන්ධිට ආරාධනා කර තිබුණේ හැන්ඩි පෙරිනිපනායගම්ය. ඔහු යාපනයේ ජීවත් වූ ගාන්ධිවාදී අධ්‍යාපනඥයෙකි.

ඊට වසර තුනකට පමණ ඉහතදී ගාන්ධි පළමුවරට ඉන්දියාවේදී වසර හයකට හිරදඬුවම් ලබා සිටියදී රෝගී තත්ත්වයක් නිසා එම සිරදඬුවමෙන් මාස 22ක් සම්පූර්ණ කිරීමෙන් පසු පාලන අධිකාරිය ඔහු සිරගෙයින් නිදහස් කළ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ බෞද්ධ ව්‍යාපාරයේ පිළිගත් ප්‍රධාන නායකයා බවට පත්ව සිටි අනගාරික ධර්මපාලතුමාද ගාන්ධි වෙත යවන ලද කෙටි විදුලි පුවතක් මගින් නිවාඩුවක් ගත කිරීම සඳහා ලංකාවට එන ලෙසත්, ඒ සඳහා මුහුදු වෙරළ අසල නිවසක්ද සූදානම් කර තිබෙන බවත් ගාන්ධි වෙත දැනුම් දී තිබුණි. එහෙත් ඒ ආරාධනය පිළිගෙන ලංකාවට ඒමට අවශ්‍ය තරම් නිරෝගී තත්ත්වයක ගාන්ධි නොසිටියේය.

සෝල්බරි කොමිසම ලංකාවට එන අවස්ථාව වන විට ලංකා ජාතික සංගමය කැබලි වී තිබුණි. පළමුව උඩරට සිංහල නියෝජිතයන් ඉන් ඉවත් වී උඩරට ජාතික සභාවද, ඉන්පසු රාමනාදන් සොහොයුරන් දෙදෙනා ප්‍රමුඛ දෙමළ නායකයන් ඉන් ඉවත් වී දෙමළ ජාතික සභාවද, ඉන්පසුව ඒ.ඊ. ගුණසිංහ ඇතුළු ඔහුගේ තරුණ ලංකා සංගමයද ඉන් ඉවත් වී ලංකා කම්කරු පක්ෂය ද ඇති කරගෙන තිබුණේය. පහතරට සිංහලයන් හා සුළු ජාතීන් අතර වූ බෙදීම දේශපාලන තලයේ තිබුණු ලොකුම බෙදීම විය. එකල උඩරට සිංහලයන් සැලකුවේද තමන් පහතරට සිංහලයන්ට වෙනස් සුළු ජාතියක් වශයෙනි.

ලංකාවේ ගාන්ධිවාදීන්

අසහයෝගතා වර්ජන හෝ උද්ඝෝෂණ ව්‍යාපාරවලින් තොරව බ්‍රිතාන්‍ය පාලකයන්ගේ සිත් දිනාගෙන ඔවුන්ගේද කැමැත්ත ඇතිව නිදහස ලබාගැනීම සඳහා ක්‍රියාකිරීම ලංකා ජාතික සංගමය නිදහස දිනාගැනීම සඳහා ක්‍රියාවට නගා තිබුණු වැඩපිළිවෙළ විය. ඒ මග වෙනුවට ඉන්දියාවේ ගාන්ධි යොදාගත් අහිංසාවාදී සටන් වැඩපිළිවෙළට සමාන සටන්කාමී වැඩපිළිවෙළක් මගින් නිදහස දිනාගත යුතුයැ”යි සිතන සුළු පිරිසක්ද දේශපාලන තලයේ එකල සිටියෝය. දකුණේ එම ප්‍රවණතාව නියෝජනය කළේ ඒ.ඊ. ගුණසිංහ ප්‍රමුඛ ඔහුගේ තරුණ ලංකා සංගමයයි. ඒ.ඊ. ගුණසිංහ හා ඔහුගේ ආධාරකරුවන් හැම වැඩිහිටි පිරිමියෙකුට ගෙවිය යුතු ඇඟ බද්ද නොගෙවා, එම බද්ද නොගෙවන අයට නියම කර තිබූ වසරකට දින 6ක් මහපාරේ වැඩකිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේය. ඇඟ බද්දට එරෙහිව පවත්වාගෙන ගිය මෙම ව්‍යාපාරයට සහයෝගය පිණිස සමහර නාගරික කම්කරුවන් පමණක් නොව, සමහර බ්‍රිතාන්‍ය ජාතික සුද්දෝ ද ගුණසිංහ සමග මහපාරේ ගල් කැඩුවෝය.

ගුණසිංහ මෙම ප්‍රතිපත්තිය ඇඟ බද්ද අවලංගු කරන තෙක්ම පවත්වාගෙන ගියේය. ගුණසිංහගේ තරුණ ලංකා සංගමය ලංකා ජාතික සංගමයට එකතු වී ලංකා ජාතික සංගමයේ ගතානුගතික නායකයන්ගේ වැඩපිළිවෙළ පරාජය කොට ගාන්ධි ඉන්දියාවේ ක්‍රියාවට නගන ලද අවිහිංසාවාදී සටන් වැඩපිළිවෙළකට සමාන වැඩපිළිවෙළක් ඉදිරියට ගැනීමට උත්සාහ කළද ඔවුන්ගේ උත්සාහය සාර්ථක වූයේ නැත.

ගාන්ධිට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළ හැන්ඩි පෙරිනිපනායගම් ද ගාන්ධි ඉන්දියාවේ යොදාගෙන තිබෙන වැඩපිළිවෙලට සමාන වැඩපිළිවෙළක් මගින් ලංකාවේ නිදහස දිනාගත යුතුයි සිතූ දේශපාලන ක්‍රියාකාරිකයෙක් විය. යාපනයේ තරුණ සංගමයේ නිර්මාතෘවරයා වූයේ ඔහුය. යාපනේ තරුණ සංගමයට එකතු වී සිටි ක්‍රියාකාරින්ගෙන් වැඩි පිරිසක් ගුරුවරුන් වූ අතර යාපනයේ විද්‍යාලය ඔවුන් සිය දේශපාලන කටයුතු සඳහා ප්‍රයෝජනයට ගත් මූලස්ථානය විය. කුලභේදය අහෝසි කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු සංවිධානය වූයේද යාපනයේ තරුණ සංගමයයි. ඔවුහු, මහ ජාතිය ලෙස එදා සැලකුණු පහතරට සිංහලයන් හා උඩරට සිංහල, දෙමළ හා මුස්ලිම් වශයෙන් වූ සුළු ජාතීන් අතර පැවති බෙදීම අනුමත නොකළෝය. ඔවුන්ගේ මතය වූයේ දේශයේ සියලු ජනවර්ග එකට එකතු වී ඉන්දියාවේ ක්‍රියාත්මක වන ආකාරයේ අවිහිංසාවාදී අරගලයක් මගින් නිදහස දිනාගත යුතු බවය. යාපනේ තරුණ සංගමයට සම්බන්ධ ගුරුවරුන් යාපනේ දෙමළ පාසල්වල ශිෂ්‍යයන්ට සිංහල ඉගෙන ගැනීමට අනුබල දුන්නේය. මහාචාර්ය ගුණපාල මලලසේකරට සිංහල ජාතික ඇඳුම හඳුන්වා දුන් පුද්ගලයා වන්නේද හැන්ඩි පෙරිනිපනායගම්ය. ගුණසිංහගේ තරුණ ලංකා සංගමය කොළඹ නාගරික ප්‍රදේශවලට සීමාවූ ව්‍යාපාරයක් වනවිට යාපනේ තරුණ සංගමයද බොහෝ දුරට යාපනේ අර්ධද්වීපයට පමණක් සීමාවූ ව්‍යාපාරයක් විය.

එදා ලංකාවේ ජීවත් වූ ගාන්ධිවාදීන් අතර ඉන්දියාවේ ගාන්ධිගේ ආශ්‍රමයේ හයමාසයක කාලයක් ජීවත් වන්නට වාසනාව ලද පුද්ගලයෙක් ද සිටියේය. ඒ වැල්ලම්පිටිය ජයරාම්දාස් ජයවර්ධනය. ජයරාම්දාස් යන නම ඔහුට ගාන්ධි විසින් දෙන ලද නම වන අතර ජෝන් ස්ටීවන් පෙරේරා ජයවර්ධන යන්න ඔහුගේ නියම නම විය. ඔහු වියදම් අධික ජේත්තුකාර ජීවිතයක් පවත්වාගෙන ගිය ධනවත් පුද්ගලයෙක් විය. ඔහු තමන් ඇඳි ඇඳුම් මස්සවාගත්තේ ලංකා ආණ්ඩුකාරවරයා සිය ඇඳුම් මස්සවා ගත් ලන්ඩනයේ ප්‍රසිද්ධ ටේලර් සාප්පුවකිනි. ඔහු ඔබ්ස්වර් පුවත්පතේ කර්තෘ මණ්ඩලයට සම්බන්ධ ජනමාධ්‍යවේදියෙක් ද විය. ඔහු එහිදී වැදගත් කොට සැලකුවේ ලැබුණු තත්ත්වය මිස වැටුප නොවේ. කියවීම ඔහුගේ ප්‍රධාන විනෝදාංශය වූ අතර කියවීමෙන් ගාන්ධි ගැන ඇති කරගත් කුහුල නිසා ගාන්ධි ගැන ලියැවී තිබුණු සියලු පොත්පත් ගෙන්වා ගෙන ඒවා උනන්දුවෙන් කියවීය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ඔහු සිය වියදම් අධික ජේත්තුකාර ජීවිතය අතහැර නිර්මාංශ ආහාරවලට පමණක් සීමාවූ ගාන්ධිවාදියකු ද බවට පත්වීමය.

ඔහුගේ සිත ගාන්ධි කෙරෙහි කොතරම් දුරට ඇදී ගියේද කියතොත් ඔහු 1922දී සිය බිරිඳ දරුවන් සමග ගාන්ධි හමුවීමට ඉන්දියාවට ගියේය. එකල ගාන්ධි ජීවත් වූයේ අහමාද්බාද්හි සභාමතී ආශ්‍රමයේය. එම ආශ්‍රමයේදී ගාන්ධි හමුවූ ජයවර්ධන කියා සිටියේ තමන් ඉන්දියාවට ආවේ ගාන්ධි සමග එකට ජීවත්වෙමින් ගාන්ධිවාදය ඉගෙන ගන්නට බවය. එහෙත් ගාන්ධි ඔහුගේ ඉල්ලීමට එකඟ නොවී සිය දරු පවුල සමග ආපසු ලංකාවට යන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය.

එහෙත් ජයවර්ධන තදින් කියා සිටියේ සිය අරමුණ සපුරා ගැනීමෙන්් පසු මිස ආපසු ලංකාවට නොයන බවය. අවසානයේ ඔහුත් ඔහුගේ පවුලේ අයත් එදින රාත්‍රී නිදාගත්තේ ආශ්‍රමය අසල ඇති ගසක් යටය.

ලංකාවෙන් පැමිණි ජයවර්ධන හා ඔහුගේ පවුලේ අය ආපසු ගොස් නැති බව දැනගත් විට ගාන්ධි පිරිස සිය ආශ්‍රමයට ගෙන්වාගෙන ඔවුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. ගාන්ධි ඔහුට ජයරාම්දාස් යන නමදී තිබෙන්නේ එදාය. ජයවර්ධනගේ බාලම දරුවන් දෙදෙනා හැර ඉතිරි අය සිය ආශ්‍රමයේ නවත්වා ගැනීමට ගාන්ධි එකඟ වී ඔවුන්ට ජීවත්වීම සඳහා ආශ්‍රමයේ මැටියෙන් තනන ලද කුටියක් ලබාදී තිබේ. ජයවර්ධන පවුලේ සාමාජිකයන් සිව්දෙනා ගාන්ධිගේ ආශ්‍රමයේ ජීවත්වෙමින් ලැබූ හය මාසික පුුහුණුවකින් පසු, ඒ සියලුදෙනා ලංකාවට පැමිණ වැල්ලම්පිටිය මන්දිරයේ තිබූ වටිනා භාණ්ඩ මහජනතාවටදී එම මන්දිරය ආශ්‍රමයක් බවට හරවා තිබේ. ජයවර්ධනගේ ව්‍යාපාරයට එකතු වී ඇති පළමු ආධාරකරුවා වී ඇත්තේ ඊ.ඩබ්ලිව්. අදිකාරම්ය. වල්පොළ රාහුල හිමියෝ ද ඉන්පසු ජයවර්ධනට එකතු වූහ. මේ තිදෙනා එකට එකතු වී ගාන්ධිවාදී අදහස් පතළ කිරීමේ අරමුණින් “නවජීවන” නමින් මුද්‍රණාලයක්ද ආරම්භ කළෝය. ජයවර්ධන ගාන්ධිගේ ලංකා සංචාරයේ ප්‍රධාන සංවිධායකයා ලෙසද ක්‍රියා කළේය. ගාන්ධිට පුද්ගලික දැනහැඳුනුකමක් තිබුණු ලංකාවේ සිටි එකම පුද්ගලයා ඔහු විය.

1930 ගණන්වලදී ඇතිවූ මැලේරියා වසංගතයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනයා දහස් ගණනක් මැලේරියාවෙන් මියයන තත්ත්වයක් ඇතිවූ අවස්ථාවේදී ජයවර්ධන විපතට පත් ජනතාවට ආධාර කිරීම පිණිස සිය ආධාරකරුවන් සමග කෑගල්ලට ගියේය. මැලේරියා වසංගතය නිසා ඇතිවී තිබෙන විනාශකාරී තත්ත්වය ගැන ඔහු ඉන්දියාවේ සිටි ගාන්ධිට ද දැනුම් දුන්නේය. ඔහුගේ කාර්යය සඵල කරගැනීම සඳහා අවශ්‍ය කරන ආධාර මොනවාදැ”යි ගාන්ධි පිළිතුරු ලිපියක් මගින් ඔහුගෙන් විමසා තිබුණි. වෛද්‍යවරුන් පිරිසක් ඉල්ලා ඊට ලියන ලද පිළිතුර යවන්නට පෙර ඔහුද මැලේරියා වසංගතයේ රුදුරු ගොදුරක් බවට පත්විය. වහාම කෑගල්ල අතහැර නැවත වැල්ලම්පිටියට යන ලෙස ඔහුගේ ආධාරකරුවන් ඔහුගෙන් ඉල්ලා සිටියත් විපතට පත්වූවන් අතහැර කොළඹට ඒමට ඔහු කැමති නොවීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ රෝගය උත්සන්න වී වයස අවුරුදු 49දී ඔහු මරණයට පත්විය.

ගාන්ධි ලංකාවේ දේශපාලන නායකයන් ඇමතීම

ලංකා සංචාරයේදී ගාන්ධිට ලංකාවේ සියලු වර්ගවලට හා ආගම්වලට අයත් ජනයාගෙන් ඉතා උණුසුම් හා උද්වේගකර පිළිගැනීමක් ලැබුණි. කොළඹ ජැටියෙන් ගාන්ධි එන අවස්ථාව දැකගැනීම සඳහා පැමිණි ජනතාවගෙන් ඒ ප්‍රදේශය පිරී තිබුණු බැවින් සෙනඟ හැසිරවීම සඳහා ඒ.ඊ. ගුණසිංහට රතු කමිස හා සුදු කොට කලිසන් ඇඳි ඔහුගේ ස්වේච්ඡා බලකාය යොදා ගැනීමට සිදුවූ බව සමකාලීන වාර්තාවල සඳහන් වේ.

ගාන්ධි කොළඹ ගතකළ දින කිහිපයේදී පිළිගැනීම් විශාල සංඛ්‍යාවකට සහභාගි විය. ඔහු පානදුර, කළුතර, අම්බලන්ගොට, ගාල්ල, මාතර යන ප්‍රදේශවලද, ජාඇල, මීගමුව, කුරුණෑගල, මහනුවර, ගම්පොළ, හැටන්, තලවකැලේ, නුවරඑළිය, බදුල්ල හා යාපනේ යන ප්‍රදේශවලද සංචාරය කළේය.

කොළඹ ආනන්ද හා නාලන්ද යන විද්‍යාලවලටද, ගාල්ලේ මහින්ද, ගම්පොළ සහිරා හා මහනුවර ධර්මරාජ යන විද්‍යාලවලටද, යාපනේ විද්‍යාලය ඇතුළු යාපනේ තවත් විද්‍යාල තුනකටද ගියේය.

ගාන්ධි ලංකා සංචාරයේදී කරන ලද කෙටි දේශන අතර මාලිගාකන්ද පිරිවෙණේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා අමතා කරන ලද දේශනයත්, ලංකා ජාතික සංගමයේ නායකයන් අමතා කොළඹදී කරන දේශනයත්, හින්දු නායකයන් අමතා යාපනේදී කරන ලද දේශනයත් දේශපාලන වැදගත්කමක් ඇති දේශන ලෙස සැලකිය හැකිය.

මාලිගාකන්ද පිරිවෙණේදී කරන ලද දේශනයේදී ඔහු බුදුන්වහන්සේ හඳුන්වා දෙන ලද්දේ හින්දු ආගම තුළ පහළ වූ ශ්‍රේෂ්ඨතම ප්‍රතිසංස්කාරකයා ලෙසය. හින්දු ආගමට එකතු වී තිබුණු ඉහඳ පණුවකු ලෙස සැලකිය හැකි කුලභේදයට එරෙහිව බලවත් ලෙස නැගී සිටි ප්‍රථමයා බුදුන්වහන්සේ බවත්, ඉන්දියාව බුදුන්වහන්සේ පිටු දැක්කේ නැති බවත් එතුමා හා එතුමාගේ ඉගැන්වීම් හින්දු ආගමට අවශෝෂණය කරගනු ලැබූ බවත් එහෙත් ලංකාව, බුරුමය හා චීනය වැනි වෙනත් රටවලදී බුදුන්වහන්සේගේ ඉගැන්වීම් හින්දු ආගමෙන් පරිබාහිර වෙනත් ආගමක් ලෙස විකාශනය වූ බවත් ඔහු කියා සිටියේය. බුදුන්වහන්සේ පිටුදකින ලද කුලභේදය පිළිගැනීම බුදුන්ට කරන ගෞරවයක් නොවන බවද කියා සිටියේය.

ලංකාවේ හින්දු නායකයන් අමතා යාපනයේදී නොවැම්බර් 27 වැනිදා ගාන්ධි පවත්වන ලද දේශනයද ඉතා වැදගත්ය. යාපනේ හින්දු සමාජයේ සියලු පිළිගත් දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගි වූහ.

රටක හින්දුන් සුළුතරයක් වනවිට ඔවුන් සෙසු බහුතර ජනයා සමග එක්ව අන්‍යොන්‍ය සහයෝගයෙන් ජීවත්වීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. ආගම, භාෂාව හා වෙනත් වෙනස්කම් අනවශ්‍ය තරමට කරට ගෙන ක්‍රියාකිරීමෙන් අවුල් ඇතිවන බවත් සියලු ආකාරයේ වර්ගවාදයන්ගෙන් බැහැරවීම ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවත් කියා සිටියේය.

බුදුන්වහන්සේ හින්දු ආගම තුළ පහළ වූ ශ්‍රේෂ්ඨතම ප්‍රතිසංස්කරණවාදියා බව ප්‍රකාශ කරමින් බුදුන්වහන්සේ උගන්වා තිබෙන ආකාරයට අස්පර්ශවාදයෙන් හා කුලවාදයෙන් බැහැරවීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. දෙවියන් සතුටු කිරීම පිණිස සතුන් බිලිදීමේ පිළිවෙතද ඔහු හෙළා දැක්කේය. තමන් අදහන ආගම පමණක් ශ්‍රේෂ්ඨ කොට සලකා අන් ආගම් පහත් කොට සැලකීමද හින්දු දර්ශනයට පටහැනි බව කී ඔහු බහුතරයේ ආගම ලෙස සැලකිය හැකි බුද්ධාගම සමග සේ ම සුළුතරයන්ගේ වෙනත් ආගම් ලෙස සැලකිය හැකි මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගම් සමගද ගෞරවයෙන් සහයෝගයෙන් ජීවත්වීමට ඉගෙන ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

කොළඹ පබ්ලික් හෝ්ල් ශාලාවේදී ලංකා ජාතික සංගමයේ නායකයන් හා අනුගාමිකයන් අමතා කරන ලද දේශනයද ඉතා වැදගත්ය. ලංකා ජාතික සංගමය වෙනුවෙන් ගාන්ධි පිළිගන්නා ලද්දේ ද සංගමයේ සභාපති ඊ.ඩබ්ලිව්. පෙරේරා විසිනි.

ගාන්ධිගේ එම දේශනය අසන්නට ලංකා ජාතික සංගමයේ සියලු ප්‍රමුඛ නායකයන් සහභාගිවන්නට ඇතැ”යි සිතිය හැකිය.

තමාගේ දේශපාලන ගුරුවරයා ගෝකාල් බවත් දේශපාලනයට ආධ්‍යාත්මික පාරිශුද්ධභාවය එකතු කළ පළමුවැන්නා ඔහු බවත් ඔහුගේ ඉගැන්වීම්වලට අනුව දේශපාලකයන් යනු මහජනයාගේ සේවකයන් බවත් ගාන්ධි ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ සේ ම ලංකාවේද මිනිසුන් තමා අයත් වර්ගය හෝ තමා අදහන ආගම අනුව විවිධ කණ්ඩායම්වලට බෙදී සිටීම යහපත් නොවන බවත් ස්වයං පාලනයක් දිනාගැනීමට අවශ්‍ය නම් ඒ සියලුදෙනා එකට එකතු කිරීම හා ඒ සියලුදෙනා එකම හඬකින් කතා කරන තැනකට ගැනීම අත්‍යවශ්‍ය බවත් වර්ගභේදවාදය වෙනුවට සියලු ජන කණ්ඩායම් එකට එකතු කරන ජාතිකවාදයක් වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍ය බවත් කියා සිටියේය.

නිදහස දිනාගැනීමට සරල හා කෙටි මාර්ග නැති බවත් එය ජාතිය එක්සත් කොට විශාල කැපකිරීම් මැද්දේ දිනාගත යුතු දුෂ්කර දෙයක් බවත් කියා සිටියේය.

කුලභේදයට එරෙහිව සටන් කිරීමේ වැදගත්කමද ගාන්ධි අනියම් ආකාරයකින් අවධාරණය කළේය. සිංහල සමාජයේ රොඩී කුලයට අයත් මිනිසුන්ට උඩුකය වැසීමේ අයිතිය අහිමි කර ඇති බවත්, ඔවුන් අස්පර්ශ ජන කොටසක් ලෙස සැලකෙන බව පෙනෙන්නට තිබෙන බවත් වෙනස් ජන කණ්ඩායම් අතර සමානතාව හා සහයෝගය ඇති කිරීම අවශ්‍ය වන්නා සේ ම එකම කණ්ඩායම තුළ පවත්නා උස් පහත් භේද නැතිකොට ඔවුන් අතරද සමානතාවක් ඇති කිරීම නිදහස දිනාගැනීමේදී අත්‍යවශ්‍ය කොන්දේසියක් බවත් කියා සිටියේය.

ගාන්ධිගේ කාදි අරමුදලට ලංකාවෙන් ලොකු මුදලක් එකතු විය. එය ගණනින් රුපියල් 105000 ශත 02කි.

එදා ලංකාව ගැන ගාන්ධිගේ අර්ථකථනය

ශ්‍රී ලංකාව පැමිණ ශ්‍රී ලංකාව ගැන සොයා බලා ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ගැන විවරණයක් සමග ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය මගපෙන්වීමක් ලබාදෙන ලෙස ඉල්ලා ගාන්ධි හමුවීමට යන නියෝජිත පිරිස ගාන්ධිගේ දින 15 ලංකා සංචාරය ගැන හා එදා ලංකාවේ දේශපාලනය ගැන ගාන්ධි දරන අදහස් ගැන විමසීමක් කළහොත් ගාන්ධි ඒ ගැන කුමක් කියනු ඇත්ද?

සමහරවිට ලංකාවේ නිදහස් ව්‍යාපාරය හා ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය අතර දෘෂ්ටිමය වශයෙන් සේ ම ක්‍රියාකාරීත්වයේදී තිබුණු වෙනස්කම් හා ඒ වෙනස්කම් කෙරෙහි බලපාන හේතු පැහැදිලි කරනු ඇතැ”යි සිතිය හැකිය.

සමහරවිට දෙරටේ නායකයන් අතර පෙනෙන්නට තිබුණු මහා වෙනස්කම්වලින් ඔහු සිය විවරණය ආරම්භ කරනු ඇතැ”යි සිතිය හැකිය.

“ලංකාවේ නායකයන් ඉන්දියාවේ නායකයන්ට වඩා හුඟාක් වෙනස්. ලංකාවේ නායකයන් බ්‍රිතාන්‍ය නම්බුනාමවලට ලොල් කළා. ඔවුන් පවත්වාගෙන ගියේ ඉංග්‍රීසීන්ගේ සමාජ ජීවිතයට සමාන සමාජ ජීවිතයක්. ඇන්දෙ යුරෝපීය ඇඳුම් පැළඳුම්. කෑවේ බීවේ ඉංග්‍රීසි ක්‍රමයට. අදහස් ප්‍රකාශ කළේ ඉංග්‍රීසි භාෂාවෙන්.”

අපේ නායකයොත් ටයි කෝට් ඇඳපු, ඉංග්‍රීසි ජීවන ක්‍රමයක් පවත්වාගෙනගිය යුගයක් තිබුණා. එහෙත් පසුව ඔවුන් ඒ තත්ත්වය වෙනස් කළා. යුරෝපීය ඇඳුම් ඇඳීම නතර කර කාදි අඳින්න පටන් ගත්තා. ඉංග්‍රීසි ජීවන ක්‍රමය අතහැර දේශීය ජීවන ක්‍රමයකට මාරුවුණා. ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කිරීම අතහැර දේශීය භාෂාවන්ගෙන් වැඩ කරන තැනකට ආවා.

ඉන්දීය නායකයන් නිදහස දිනාගැනීම කෙටිකාලීන හා සරල දෙයක් ලෙස සැලකුවේ නැහැ. මහත් ආත්ම පරිත්‍යාගයක් මැද දීර්ඝකාලීන ලෙස සටන් කොට දිනාගත යුතු දුෂ්කර දෙයක් ලෙසයි සැලකුවේ.

එහෙත් ලංකාවේ නායකයන් එය සැලකුවේ ටයිකෝට් ඇඳගෙන මහජනයාගේ දායකත්වයක් නැතිව, ආත්ම පරිත්‍යාගයන්ගෙන් තොරව ඇඳගෙන සිටින මැදපු ඇඳුම්වත් පොඩි නොවන ලෙස කළයුතු සරල දෙයක් ලෙසයි.

ඉන්දීය නායකයන් නිදහස දිනාගැනීමේ අරගලය තුළ ප්‍රජාතන්ත්‍රවාදීව සිතන මතන හා ක්‍රියාකරන එක්සත් ජාතියක් තැනීමට අරමුණු කරගත්තා. ඒ අරමුණ දිනාගැනීම සඳහා ආගම් භේදවාදයට, වර්ග භේදවාදයට හා කුලභේදවාදයට එරෙහිව සටන් කළා.

එහෙත් ලංකාවේ නායකයන්ට පාලන බලය ලබාගැනීමේ අරමුණ හැර වර්ග භේදයෙන්, ආගම් භේදයෙන් හා කුල භේදයෙන් තොර එක්සත් ජාතියක් ඇතිකර ගැනීමේ හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමේ වුවමනාවක් නොතිබුණි. ඒ නිසා ලංකාවේ නායකයන්ට තමන් තුළ තිබුණු වර්ග භේදවාදී, ආගම් භේදවාදී හා කුලභේදවාදී අදහස් අත්හැරීමේ අවශ්‍යතාවක් ද නොතිබුණි. ඒ නිසා අවසානයේ ලංකාව නිදහස ලබාගත්තේ ඒකාග්‍ර හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමෙන් තොරවය. ඊට වෙනස්ව ඉන්දියාව ඒකාග්‍ර හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිව නිදහස දිනාගැනීමට සමත් විය.

වෙනස් මාර්ග කෙරෙහි බලපෑ හේතු

රටවල් දෙක වෙනස් මාර්ග දෙකක් තෝරා ගැනීම කෙරෙහි බලපෑ ඓතිහාසික හේතුද ඔහු පැහැදිලි කරනු ඇතැ”යි සිතිය හැකිය.

බ්‍රිතාන්‍යයන් ඉන්දියාව අල්ලා ගත්තේ එහි තිබෙන වස්තුව කොල්ලකෑමේ අරමුණිනි. එංගලන්තයේ මූලික ප්‍රාග්ධන ඒකීභූතිය සඳහා අවශ්‍ය ධනයෙන් කිසියම් විශාල කොටසක් ලබාගත්තේ ඉන්දියාවේ වස්තුව කොල්ලකෑමෙනි. එහෙත් ඔවුන්ට ලංකාව වැදගත් වූයේ ඒ අර්ථයෙන් නොව ලංකාවේ පිහිටීමට ලැබී තිබුණ උපාය මාර්ගික වැදගත්කම සලකාය. ඒ නිසා ඔවුන් ඉන්දියාව සම්බන්ධයෙන් රළු ආකල්පයක් අනුගමනය කරන විට ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළේ මුදු ආකල්පයකි. බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය ඉන්දියාවේ ව්‍යාපාරිකයන්ගේ හෝ කර්මාන්තකරුවන්ගේ විනාශය සඳහා මිස දියුණුව සඳහා හේතු නොවීය. එහෙත් ලංකාවේ නවීන ප්‍රභූ පන්තිය දියුණුව අත්පත් කරගෙන තිබුණේ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය නිසාය. ඒ නිසා ඉන්දියානු ජනතාව අතර යටත්විජිත පාලනය ගැන බලවත් හා අව්‍යාජ විරෝධයක් තිබුණද ලංකාවේ ජනතාව අතර යටත්විජිත පාලනය ගැන එවැනි බලවත් විරෝධයක් නොතිබුණි. ඒ තත්ත්වයන් තුළ අධිරාජ්‍ය විරෝධී මහජන අරගලයකට ශක්තිමත් පසුබිමක් ලංකාවේ නොතිබුණි.

දෙරටේ ජාතික දෘෂ්ටීන් කෙරෙහි දෙරටේ ආගමික පුනර්ජීවන ව්‍යාපාර ඇති කළ බලපෑම ගැනද ගාන්ධි එහිදී සිය අදහස් පළ කරනු ඇතැ”යි සිතිය හැකිය.

දෙරටේම දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා කැරෙන සටන් ආරම්භවන්නට පෙර ඒ සටන් සඳහා අවශ්‍ය කරන දේශපාලන චින්තනය සපයන ව්‍යාපාර ලෙස ක්‍රියා කළේ දෙරටේ ඇතිවූ දේශීය ආගමික පුනරුද ව්‍යාපාර විසිනි. ලංකාවේ බහුතර ජනයා ඇදහූ බෞද්ධ ආගමේ පුනරුදය සඳහා අනගාරික ධර්මපාල කෙනකු ද දෙමළ සුළුතර ජනයා ඇදහූ හින්දු ආගමේ පුනරුදය සඳහා ආරුමුගම් නාවලර් කෙනකු ද ලංකාවේ පහළ වූවා සේ ඉන්දියාවේ හින්දු බහුතර ජනයා ඇදහූ හින්දු ආගමේ පුනරුදය සඳහා පහළ වූ නායකයා වූයේ රාජ්රාම් මෝහන් රෝයිය. එහි සුළුතර ජනයා ඇදහූ මුස්ලිම් ආගමේ පුනරුදය සඳහා පහළ වූ නායකයා වූයේ සියාඩ් අහමඩ් ඛාන්ය. ඉන්දියාවේ හින්දු හා මුස්ලිම් පුනරුද ව්‍යාපාරයේ නායකයන් දෙදෙනා හා ලංකාවේ බෞද්ධ හා හින්දු පුනරුදයේ නායකයන් දෙදෙනා අතර පෙනෙන්නට තිබුණු ලොකුම වෙනස වූයේ රාජ්රාම් මෝහන් රෝයි හා සියාඩ් අහමඩ් ඛාන් තම ආගම්වල තිබෙන යල්පැනගිය අංග ඉවත් කිරීම මගින් ආගමික පුනරුදයක් ඇති කළ නායකයන් වන විට අනගාරික ධර්මපාල හා ආරුමුගම් නාවලර් සිය ආගම්වල තිබෙන යල් පැනගිය අංගවලට අවධානය යොමු නොකළ බාහිර සතුරන්ට පමණක් සිය අවධානය යොමු කිරීම මගින් ආගමික පුනරුදයක් ඇති කළ නායකයන් වීමය. ඉන්දියාවේ හින්දු හා මුස්ලිම් පුනරුද ව්‍යාපාරයේ නායකයෝ දෙදෙනා කුලභේදයට, ළමා විවාහ ක්‍රමයට, සති පූජාවට හා සතුන් බිලිදීමේ පිළිවෙත්වලටද ස්ත්‍රීන්ට සමාන අයිතිවාසිකම් ලබාදීම සඳහා ද බලවත් ලෙස පෙනී සිටියෝය. ඔවුන් තම ආගම් තුළ තිබෙන යල්පැනගිය අංගවලට පහර දුන්නා මිස වෙනත් ආගම්වලට පහර දෙන තැනකට නොගියෝය. වර්ගභේදවාදී අදහස් පතළ නොකළෝය. ආගම් අතර සහජීවනයක් වෙනුවෙන් පෙනී සිටියෝය. එහෙත් ලංකාවේ බෞද්ධ හා හින්දු පුනරුද ව්‍යාපාරයේ නායකයන් දෙදෙනා බාහිර සතුරන්ට පහරදෙන තැනකට ගියා මිස සිය ඇදහිලි තුළට එකතු වී තිබුණු යල් පැනගිය අංගවලට පහර දුන්නේ නැත. අනගාරික ධර්මපාල ශාසනයට එකතු වී තිබුණු කුලභේදයට එරෙහිව කතා නොකළා සේ ම ආරුමුගම් නාවලර්ද හින්දු සමාජයට එකතු වී තිබුණු අස්පර්ශභාවයට හෝ කුලභේදයට එරෙහිව කිසිවක් කතා නොකළේය. ඒ දෙදෙනාම එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට වර්ගවාදී අදහස් පතළ කළ නායකයන් දෙදෙනකු ලෙසද සැලකිය හැකිය. ඔවුන් දෙදෙනාම සිංහල හා දෙමළ චින්තනයට පටු ආගම්වාදී හා වර්ගභේදවාදී අදහස් එකතු කළ නායකයන් දෙදෙනකු ලෙසද සැලකිය හැකිය.

ගාන්ධි අවසානයේ මෙසේ කියනු ඇතැ”යි සිතිය හැකිය.

අප නිදහස දිනාගැනීම සඳහා තෝරාගත් මාර්ගය අවිහිංසාවාදී මහජන අරගල මාවත වුවත් නිදහස දිනාගැනීම සඳහා කැරෙන සටන අවසාන භාගයේදී ජාතිවාදී කෝලාහල නිසා විශාල ලේ වැගිරීම් ඇතිවූවා. එහෙත් ඒ තත්ත්වය බොහෝ කලක් පැවතුණේ නැහැ.

එහෙත් ලංකාව නිදහස ලබාගත්තේ එකුදු ලේ බිඳුවකුදු නොසෙල්වාය. නිදහස දිනාගත්තේ ඒකාග්‍ර හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරගැනීමෙන් තොරවීම නිසා ලංකාවට තවත් කලකට පසු කෙළවරක් නැති තරම් ලේ හලන්නට සිදුවිය. ඉන්දියාවේ ජනගහනයට සාපේක්ෂව ජාතිවාදී කෝලාහලවලින් ඉන්දියාව හලන ලද ලේ ප්‍රමාණයට වඩා ලංකාවේ ජනගහනයේ ප්‍රමාණයට සාපේක්ෂව ලංකාව හලා තිබෙන ලේ ප්‍රමාණය විශාලය.