ඉතාමත් ප්රචණ්ඩ හා රළු පරුෂ මැතිවරණයකට මුහුණදි මහජනයා සිය ඡන්ද බලයෙන් පොදු පෙරමුණු ආණ්ඩුව පරාජය කළේ ය. ඒ මගින් ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්යව ඇත්තේ කුමන්ත්රණකරුවන් සුළු පිරිසක් පමණක් බවට ආණ්ඩුවේ නායකයන් කියන කථාව මහජනතාව බොරු කළේ ය.
එහෙත් මේ මැතිවරණයේදි පොදු පෙරමුණු ආණ්ඩුවේ නායකයන්ගේ හැසිරිම ඉතාමත් නින්දා සහගත තත්ත්වයක පැවති බව කිව යුතුය. ජනාධිපතිනිය ඇතුළු කැබිනට් මණ්ඩලය මැතිවරණ නීති රිති පමණක් නොව, රටේ මූලික නීතිය ද අමු අමුවේ උල්ලංඝණය කළේ ය. ශ්රේෂ්ඨාධිකරණයේ ප්රධානියා කෙරෙන් ප්රකාශ වූයේ ද ආණ්ඩුවේ නීති විරෝධී ක්රියාමාර්ගවලට අනුබල දෙන ප්රතිපත්තියකි.
නීතියේ පාලනයක් ඇති කිරීමට අවශ්ය නම්, ජනතාවගේ පරමාධිපත්යය බලයට එරෙහිව නීතිය ඉක්මවා ක්රියා කළ මේ සියලු දෙනා ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණ විය යුතු ය. විශේෂයෙන් ම හිටපු ආරක්ෂක ඇමතිවරයා මැතිවරණයේ දි පෙන්නුම් කළ හැසිරිම ඉතාමත් නින්දා සහගත බව කිව යුතු ය. ඔහු පසුගිය මැතිවරණයේදි ද මහනුවර දිනාගත්තේ චණ්ඩි බලයෙනි. ඒ සඳහා නියෝජ්ය ආරක්ෂක ඇමති වශයෙන් තමන්ට තිබෙන නිල බලය සේ ම, ඊට මුවාවී අතුරු හමුදාවන් ද යොදා ගත්තේ ය. තමන්ට පක්ෂපාත නොවන අයට පහරදිමට සැලැස්වීමෙන් නො නැවතී, ඔවුන්ගේ දේපළවලට ද පහර දුන්නේ ය. මඩවල දි ඡන්ද පෙට්ටි ආරක්ෂා කිරීම සඳහා ඡන්ද මධ්යස්ථානයේ ඡන්ද පෙට්ටි සමග ගමන් කරමින් සිටි මුස්ලිම් තරුණයන් දසදෙනෙකුට අමානුෂික ලෙස වෙඩි තබා මරා දමන ලද්දේ ද නියෝජ්ය ආරක්ෂක ඇමතිවරයාගේ මෙම අතුරු හමුදා විසිනි. ජනාධිපතිනියගේ වෛර භාෂාව මෙවැනි අපරාධකරුවන්ට සිත් සේ අපරාධ කිරීමට මනා පසුබිමක් ලබාදි තිබුණේ ය.
සියලු සාහසිකකම් නොසලකා ජනතාව සිය ඡන්ද බලයෙන් සාහසික පාලක පිරිසක් පරාජයට පත් කර තිබෙන අතර, සිදුවූ සාහසිකකම්වලට වගකිවයුතු සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒම නව ආණ්ඩුව සතුව තිබෙන ප්රධාන වගකීමකි. ජනතාව නීතිය අතට ගැනීමෙන් වැළකිය හැක්කේ ද නොපමාව එවැනි ක්රියාමාර්ගයක් ක්රියාවට නැංවීමෙන් පමණ ය.