ජනාධිපතිනිය චෙක් මේට් වේද?

December 9, 2001
Publication:
After the People's Alliance defeat, Ivan weighs the options facing Chandrika Kumaratunga, who still holds executive power. Contrasting American practice and French cohabitation under Mitterrand and Chirac with Sri Lanka's short 1994 experience, he sees three paths: resignation, a Wijetunga-style nominal presidency, or removal by the new majority through budget control or impeachment. He calls for constitutional reforms making the president accountable to Parliament and the courts and giving the Prime Minister full domestic authority.

තමන් වෙත පරාජයක් ඇතිවීම වැළකීම පිණිස ජනාධිපතිය උපරිම මට්ටමෙන් රාජ්‍ය සම්පත් පමණක් නොව, රාජ්‍ය බලය ද යොදාගැනීමෙන් නොනැවතී ප්‍රභාකරන් තුරුම්පුව උපරිම වශයෙන් යොදා ගන්නා ලද මුත් මහජනතාව ඒ සියලු දේ නොසලකා තමන්ගේ අහිංසක කතිරයේ බලෙන් පොදු පෙරමුණු ආණ්ඩුව පරාජය කළේය. එය උද්දච්චකම, අකාර්යක්ෂමතාව, දූෂිත බව හා නැහැදිච්චකම නිසා ඉක්මණින් විනාශ මුඛයට ගිය ආණ්ඩුවක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත්තේය.

එජාපයට පාර්ලිමේන්තු බලය ලැබී ඇතත්, රාජ්‍යයේ විධායක බලය තවමත් රැඳී ඇත්තේ මහජනතාව ප්‍රතික්ෂේප කළ පොදු පෙරමුණේ ජනාධිපතිනියගේ අතේය. ජනාධිපතිනියට 1999දි ලැබුණු ජයග්‍රහණය මෙම මැතිවරණ ප්‍රතිඵලවලින් ශුන්‍ය කෙරෙතත්, ව්‍යවස්ථානුකූලව අවශ්‍ය නම් ඇයට සිය ධුරකාලය අවසන් වන තෙක් ජනාධිපතිකමේ රැඳී සිටිය හැකිය. එහෙත් ජනාධිපතිනිය සිය ඉදිරි ගමනට බාධාවක් ලෙස සලකා අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඇය එම ධුරයෙන් ඉවත් කළ හැකිය.

ජනාධිපතිනිය මැතිවරණයේදි වෛර භාෂාවකින් පුන පුනා කීවේ එජාප අගමැතිවරයෙකු සහිත එජාප ඇමති මණ්ඩලයක් සමග සහජීවනයෙන් ක්‍රියාකිරිමේ හැකියාවක් තමන්ට නැති බවය. එහෙත් එජාප නායකයා මැතිවරණය අවසානයේදි ප්‍රකාශ කළේ පොදු පෙරමුණේ ජනාධිපතිනියක සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට තමන් සූදානම් බවය. එහෙත් ජනාධිපතිනිය ඒ සඳහා කිසිම තනතුරක් භාර නොගෙන නාමික තත්ත්වයකට යායුතු බවට ද රනිල් වික්‍රමසිංහ මහතා ඉගි කොට තිබුණ.

මීළගට බල අරගලයේ කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස ක්‍රියා කරනු ඇත්තේ ද එයයි. ජනාධිපතිනිය කරන්න යන්නේ කුමක්ද? ඇය බලය අත්හරිද? නැතිනම් තමන් වෛර භාෂාවෙන් ප්‍රකාශ කළ දේවලින් බැහැරවෙමින් ජනාධිපති විජේතුංග සේ නාමික තත්ත්වයකට යාමට ඇය සූදානම්ද? එජා පෙරමුණ ඇය සම්බන්ධයෙන් අනුගමනය කරන්නට යන පිළිවෙත කුමක්ද? විධායක ජනාධිපති ධුරය ඇය අත තිබෙනවා ඉවසන්න ඔවුන් සූදානම්ද?

ශ්‍රී ලංකාවේ පවතින ජනාධිපති ආණ්ඩු ක්‍රමය ඇමරිකන් ජනාධිපති ආණ්ඩු ක්‍රමයේත්, ප්‍රංශ ජනාධිපති ආණ්ඩු ක්‍රමයේත් මිශ්‍රණයකි. ඇමරිකානු දේශපාලන සංස්කෘතිය අනුව කොංග්‍රසයේ බලය එක් පක්ෂයකටත්, ධවල මන්දිරයේ බලය තවත් පක්ෂයකටත් යා හැකිය. මේ බල මණ්ඩල දෙක අතර මතභේද හා ගැටුම් ඇතිවන අවස්ථා ඇතත්, ශත වර්ෂ දෙකකට වැඩි අත්දැකීම් ඔස්සේ ගොඩනැගී තිබෙන සම්ප්‍රදායයක් එවැනි ගැටුම් දුරදිග නොයන තත්ත්වයකින් පාලනය කිරීමට සමත් වී තිබේ.

එහෙත් ප්‍රංශයේ ඩිගෝල් විධායක ජනාධිපති ක්‍රමයක් සහිත ආණ්ඩු ක්‍රමයක් ඇති කරන අවස්ථාවේදි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මෙන් ම ජනාධිපති ධුරය එක් පක්ෂයකටත්, පාර්ලිමේන්තු බලය තවත් පක්ෂයකටත් යා හැකි බව කල්පනා නොකළේය. එහෙත් ප්‍රංශයේ 1986 පාර්ලිමේන්තු මැතිවරණයේදි ඩිගොල්වාදින් හා ඩිස්කාවාදින් එක්ව බහුතර බලයක් ලබාගත් අවස්ථාවේදි සමාජවාදි පක්ෂයේ ජනාධිපති මිතරොන්ට මහජන මතයට හිස නමමින් අගමැති ධුරයට ජැක් ශිරාක් තෝරා ගැනීමට සිදුවූවේය. ඒ සමග බල මණ්ඩල දෙක අතර ගැටුමක් ඇති නොවීම පිණිස අගමැතිවරයාට අභිමත ලෙස ඇමති මණ්ඩලය තෝරා ගැනීමට ඉඩ දුන්නා පමණක් නොව, ප්‍රංශයේ අභ්‍යන්තර පාලනය පිළිබඳ සම්පූර්ණ වගකීම අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය වෙත භාර දෙමින් විධායක ජනාධිපතිවරයා ආණ්ඩුවේ හුදු උපදේශකයකුගේ තත්ත්වයට පත්වූයේය. එතැන් සිට එය ප්‍රංශයේ ක්‍රියාත්මක වන දේශපාලන සම්ප්‍රදායක් බවට ද පත්වූයේය.

එක් පක්ෂයක ජනාධිපතිවරයෙක් හා තවත් පක්ෂයක අගමැතිවරයෙකු හා කැබිනට් මණ්ඩලයක් යන්න ශ්‍රී ලංකාවට තවමත් නුහුරු අත්දැකීමකි. එවැනි අත්දැකීමක් ඉතාමත් ටික කලකට හෝ ශ්‍රී ලංකාවට අත් දකින්නට ලැබී ඇත්තේ 1994දි පමණය. බලයට පත් පොදු පෙරමුණෙන් පිටස්තර ජනාධිපතිවරයාට ධුර කාලය අවසන් වීමට තිබුණු කාලය මාසයකට නොවැඩි වීම හේතු කොටගෙන හා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බලයට පැමිණ සිටි පොදු පෙරමුණට බලය පෙන්වන තැනකට නොයාම හේතු කොටගෙන මේ ආයතන දෙකට එම කෙටි කාලය තුළ සහජීවනයෙන් ජීවත්විය හැකි විය.

එහෙත් දැන් පවතින තත්ත්වය ඊට සමාන නැත. එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේ බලයට පැමිණ සිටිනුයේ පොදු පෙරමුණෙන් තේරි පත්වී සිටින ජනාධිපතිනියගේ ධුර කාලය අවසන් වීමට අවුරුදු හතරකට වැඩි කාලයක් තිබියදිය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දුර දක්නා නුවණික් ඇති ඥාණාන්විත නායිකාවක් වී නම්, පාර්ලිමේන්තු බලය විරුද්ධ පක්ෂයට යා හැකි බව තේරුම් ගනිමින් ඔවුන්ගේ ද ගෞරවයට හේතුවන පාලනයක් පවත්වාගෙන යා යුතුව තිබුණ. මේ මැතිවරණයෙන් විරුද්ධ පක්ෂය බලයට ඒමට වැඩි හැකියාවක් තිබෙන බව ඇය දැන නොසිටියා විය නොහැකිය. එවැනි තත්ත්වයක් ඉදිරියේ සහජීවනයක් සඳහා ඊට ගැලපෙන මටසිලුටු පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට විරුද්ධ පක්ෂය හිංසාවට හා පීඩාවට ලක් කරන පිළිවෙතක් ක්‍රියාවට නැංවීම මගින් සහජීවනයෙන් ක්‍රියා කිරීමට බැරි තත්ත්වයක් ඇය ඇති කරගත්තාය. ඒ තත්ත්වය තුළ මේ බල මණ්ඩල දෙක අතර ගැටුමක් ඇතිවීම ද නොවැළැක්විය හැකිය.

දැන් තිබෙන තත්ත්වයන් යටතේ කළ හැකි හෝ විය හැකි දේවල් සමහරක් මෙසේය.

1. ජනාධිපතිනිය සිය කැමැත්තෙන් ධුරය අතහැරිම.

එය මෙම බල මණ්ඩල දෙක අතර අප්‍රසන්න ගැටුමක් ඇතිවීම වැළකිය හැකි එක් මගකි. එසේ වුවහොත් ජනාධිපතිවරණයකින් තොරව ජනාධිපති ධුරයට පත්වීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇත්තේය.

එහෙත් සමහර බරපතල වැරදිවලට වගකිවයුතු ඇගේ කල්ලිය ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඇයට ඉවත්වීමට ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැකිය. සිය බලය රැකගැනීම සඳහා බරපතල වැරදි කර ඇති ජනාධිපතිනිය ද තමන්ගේ ආරක්ෂාව සඳහා දෑන් කළහැකි හොඳම දේ මුළු වැර යොදා තනතුරේ රැඳී සිටීම යැයි සිතිය හැකිය.

2. ප්‍රති පක්ෂය සමග සහජීවනයක් ඇති කරගනිමින් විජේතුංග ජනාධිපති මෙන් නාමික ජනාධිපතිවරයෙක් බවට පත්වීම.

මෙවැනි පිළිවෙතක් සඳහා තනතුරු හෙබවීම ජනාධිපති ධුරයට පමණක් සීමා කරගනිමින් ඇගිලි ගැසීමකින් තොරව සම්පූර්ණ අභ්‍යන්තර පාලනය ප්‍රතිපක්ෂය වෙත භාරදිමට ජනාධිපතිනියට සිදුවනු ඇත්තේය.

එහෙත් නාමික ජනාධිපතිවරයෙකු බවට පත්වුවත්, ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී තිබෙන අතිවිශාල බලය නිසා දෙපක්ෂයට එකිනෙකා කෙරෙහි මහත් සැකයකින් යුතුව ක්‍රියා කරන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. ඒ සැකය දුරු කර ගත හැකිවනු ඇත්තේ ආරාවුල් ඇතිකිරීමට හේතුවන විෂයක් ඉලක්ක කොට ගත් ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නම් පමණය. නැතහොත් ඇය ටික කලක් පෙනය සගවා ගත් නාගයකු ලෙස හැසිරි, පසුව පෙනය පුප්පන තත්ත්වයකට යනු ඇතැයි ප්‍රතිපක්ෂය කල්පනා කරනු නොවැළැක්විය හැකිය. අනෙක් අතට අවශ්‍ය කාලය ලබාගැනීම සඳහා සහජීවනය සඳහා එකග වී දෝෂාභියෝගයක් මගින් තමන් බලයෙන් පහකිරීම පිණිස ක්‍රියා කරනු ඇතැයි යනු හැගීමක් ජනාධිපතිනිය තුළ ද ඇතිවීම නොවැළැක්විය හැකිය.

එහෙත් ජයග්‍රාහී පක්ෂයක් වඩා විශාල බලයක් ප්‍රතිපක්ෂය අත තිබෙන්නට ඉඩහරිනවාට කැමති වනු ඇතැයි ද සිතිය නොහැකිය. විශේෂයෙන්ම මේ දෙපක්ෂය අතර සහසම්බන්ධයක් නොතිබුණේය. විරුද්ධ පක්ෂයේ සිටියදි ඇය තමන් පීඩාවට පත් කළේය යන බලවත් හැගීමක් ඔවුන් අතර පවතී. අනෙක් අතට ඇය අතහැර එජාපයට එකතු වී සිටින අය අතර ඇය පිළිබඳ රළු ආකල්පය ද ඒ කෙරෙහි බලපායි.

3. ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයකින් ඇය ජනාධිපති ධුරයෙන් පහ කිරීම

ඉතාමත් ඉක්මණින් හෝ ප්‍රමාද වී හෝ වැඩි ඉඩක් ඇති දේ ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයකින් ඇය තනතුරෙන් ඉවත් කෙරෙන පිළිවෙතකට ප්‍රතිපක්ෂය යොමුවීමය. ඒ කෙරෙහි පාර්ලිමේන්තුවේ ඔවුන්ට තිබෙන ශක්තියේ ප්‍රමාණය හා ඒ සඳහා යොදාගන්නා උපාය මාර්ගවල ස්වභාවය ද බලපායි.

හදිසි අයවැයක් ඉදිරිපත් කොට ජනාධිපතිවරයාට මුදල් වෙන් නොකර සිටින ප්‍රතිපත්තියක් මගින් ද ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව බලරහිත කළ හැකිය. නැතිනම් ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැකිය.

මෙවැනි ක්‍රියාමාර්ගයකදි මේ බලමණ්ඩල දෙක අතර අප්‍රසන්න ගැටුමක් ඇතිවීම නොවැළැක්විය හැකිය. පිලිපීනයේ හෝ ඉන්දුනීසියාවේ මෙන් අවසානයේදි මහජනයා වීථි බසින තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.

ඇතිවන්නට නියමිතව තිබෙන මෙම අර්බුදයෙන් උගත හැකි ලොකුම පාඩම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ පවත්නා පරස්පරතා කල් නොයවා ඉවත් කරගැනීමේ අවශ්‍යතාවයි.

පවතින විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම්, විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට හා අධිකරණයට වගකියන තැනකට ගෙන ආ යුතුය. විධායක ජනාධිපතිවරයාට හිතුවක්කාරි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ලැබී තිබෙන බලය අහෝසි කළ යුතුය. අගමැතිවරයකු තෝරා පත් කරගැනීමේ වගකීම පාර්ලිමේන්තුවටත් සුදුසු කැබිනට් මණ්ඩලයක් තෝරා ගැනීමේ වගකීම අගමැතිවරයාටත් ලබා දිය යුතුය. අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණ වගකීම අගමැතිගේ වගකීමක් බවට පත් කළ යුතුය.