රාවයට අවුරුදු විස්සයි

October 29, 2026
Publication:
Ravaya completes twenty years in August, and they were not twenty quiet years but twenty full of crises and bloodshed. Rather than boast about what the paper did in them, Ivan writes, it is more useful to describe how the country looks to Ravaya after them — and the survey that follows takes the people, the intellectuals, the religious leaders, the political leaders, parliament, the judiciary, the press, the Sinhala-Tamil quarrel and the country's future in turn.

රාවයට රට පෙනෙන හැටි

රාවයට අවුරුදු 20 පිරෙන්නේ අගෝස්තුවලදීය. ඒ ගෙවී ගිය අවුරුදු විස්ස නිසලව ගලා ගිය අවුරුදු විස්සක් නොවීය. අර්බුදවලින් ද, ලේ වැගිරීම්වලින් ද පිරුණු අවුරුදු විස්සක් විය.

එම දුෂ්කර හා අවලස්සන අවුරුදු විස්ස තුළ රාවය කරන ලද කාර්ය භාරය ගැන මේ මොහොතේ කයිවාරු ගසන තැනකට යනවාට වඩා එම අවුරුදු විස්ස තුළ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලනය පිළිබඳව ලැබු අත්දැකීම් ආශ්‍රයෙන් රාවයට රට පෙනෙන ආකාරය විස්තර කිරීම වඩා වැදගත් හා ප්‍රයෝජනවත් විය හැකිය.

ජනතාව

ප්‍රියජනක, මිත්‍රශීලී හා කාරුණික ජනතාවකි. අකුරු උගත්කම හා ලබා තිබෙන අධ්‍යාපනයේ මට්ටම් අනුව බලන විට ජනතාව උගත්කමෙන් අනූනය. ඒ සමග අවිචාරවත් බවෙන් ද යුතුය.

කලබලවලින් තොරව සමාකාමී වටපිටාවක ජීවත්වනවාට වඩා ලේ වැගිරෙන කලබලකාරී වටාපිටාවක ජීවත් වන්නට කැමතිය. සැබෑ ආක්‍රමණික තර්ජනයක් නැති අවස්ථාවලදී පවා ආක්‍රමණික බියක් හිතේ මවාගෙන බියෙන් හා සැකෙන් ජීවත්වීමට කැමතිය.

ආගමික වශයෙන් සැදැහැවත්ය. ඒ සමග බොරුවට හොරකමට හා වංචාවට ද කැමතිය.

ශ්‍රම ඵලදායකත්වය ඉතාමත් දුප්පත්ය. ඵලදායී වැඩක නිරතවීමෙන් තොරව කතාබහෙන් කාලය ගෙවන අතර, උසස්ම ජීවන තත්ත්වයක් ද අපේක්ෂා කරති.

පළිගැනීමට කැමතිය. හැම කෙනෙකුම වෙනත් අය අතින් පීඩාවට හා පළිගැනීමට ලක්වී තිබෙන තත්ත්වයක් තුළ අන් අය පීඩාවට හෝ පළිගැනීම්වලට ලක් කිරීමට ලැබෙන අවස්ථාවලදී එම අවස්ථා උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන පළිගනී. ඒ අර්ථයෙන් ශ්‍රී ලංකාව පළිගන්නන්ගේ දේශයක් ලෙසද සැලකිය හැකිය.

වර්තමාන සමාජ-දේශපාලන ජීවිතය අශීලාචාර වුවත්, ලෝකයේ සිටින ශීලාචාරම ජාතිය තමන් වේ යැයි විශ්වාස කරති.

බුද්ධිමතුන්

බාහිර පෙනුම් ගාම්බීර වුවත් නිවටය. ද්‍රව්‍යමය වාසි පිණිස පක්ෂග්‍රාහී වීමට කැමතිය. තමන්ට පෙනෙන ඇත්ත ඇති සැටියෙන් කතා කිරීමට අවශ්‍ය ආත්ම ශක්තියක් නැත. බුද්ධිමතුන් වශයෙන් තමන් හැසිරවිය යුතු දේවල් නූගතුන්ට හසුරුවන්නට ඉඩදී බලා සිටිති. අදහස් පලකිරීමෙන් වැළකී සිටීමට කැමතිය.

ආගමික නායකයින්

අධ්‍යාත්මික සැපසම්පත්වලට වඩා ද්‍රව්‍යයමය සැප සම්පත්වලට කැමතිය. සාමයට අකමැතිය. ලේ වැගිරීම්වලට කැමතිය. හොඳ නරක නොසලකා පාලකයින්ට ප්‍රශස්ති ගායනා කරන්නට කැමතිය.

දේශපාලන නායකයින්

රටේ වස්තුව කොල්ලකෑමට තිබෙන ආශාව හැරුණු විට රට ගැන හෝ ජනතාව ගැන කිසිම හැඟීමක් නැති මනුෂ්‍ය ප්‍රභේදයකි. බලය ලැබීමක් සිය දේශපාලන අනුගාමිකයින් සමග රටේ වස්තුව කොල්ලකෑමට ලැබුණු ජනවරමක් ලෙස සලකයි. නිදහසින් පසු බලයට පැමිණි කිසිම ජනනායකයෙක් විශිෂ්ට තත්ත්වයෙහිලා සැලකිය නොහැකිය. මහත්මා ගාන්ධිගේ සිට වර්තමානය දක්වා ඉන්දියාව බිහි කර තිබෙන හැම ජන නායකයකු විසින්ම ඉන්දියාව අද මුහුණ දී තිබෙන ගැටලු හා ඇගේ ගමන් මග අළලා අඩුම වශයෙන් වැදගත් කොට සැලකිය හැකි එක පොතක්වත් ලියා තිබේ. එහෙත් නිදහසේ සිට අද දක්වා ශ්‍රී ලංකාව බිහි කර තිබෙන කිසිම නායකයෙක් වැදගත් කොට සැලකිය හැකි එකදු පොතක්වත් ලියා නැත. මෙම ධර්මතාව දේශපාලනයේදී හිංසාවේ මාවත තෝරාගත් විජේවීර හා ප්‍රභාකරන්ටද පොදුය.

බලයට පැමිණි සියලු ජන නායකයින් රටේ ජනතාව වර්ගය, ආගම හෝ කුලය අනුව බෙදා වෙන් කරන්නට උත්සාහ කළා විනා මෙතෙක් බලයට පැමිණි කිසිම ජනනායකයෙක් බෙදී වෙන්වී සිටින ජනතාව එකතු කරන්නට උත්සාහ නොකළේය. වර්ගය, ආගම හෝ කුලය යන සාධක නොසලකා ඒ සියලු ජනතාවගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවූ කිසිම ජන නායකයකු අද දක්වා බිහිවී නැත.

1970 දක්වා බලයට පැමිණි ජන නායකයින් ඉතා හොඳ තත්ත්වයෙහිලා සැලකිය හැකි රාජ්‍ය තාන්ත්‍රිකයින් නොවූවත්, ඔවුන් රටේ වස්තුව සොරකම් නොකළේය. එහෙත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මේ ගමන් මගෙහි මූලික වෙනසක් ඇති කළේය. ඔහු පුද්ගලිකව රටේ වස්තුව කොල්ලකෑවේ නැතත්, සිය සමීප අනුගාමිකයින් සතුටු කරනු පිණිස රටේ වස්තුව කොල්ලකෑමට ඔවුන්ට ඉඩ දුන්නේය. ඉන්පසු බලයට පැමිණි හැම ජන නායකයකුටම අඩු වැඩි වශයෙන් රට පාලනය කිරීමට ගත කරන ලද කාලයට වැඩි කාලයක් රටේ වස්තුව කොල්ලකෑම සඳහා යොදාගත්තේ යැයි කිව හැකිය.

රටේ ජනගහනයෙන් 2% ක් නියෝජනය කරන සික් ජාතිකයෙකු ඉන්දියාවේ අගමැති ධුරය හොබවන විට 11% ක් නියෝජනය කරන මුස්ලිම් ජාතිකයෙකු ජනාධිපති ධුරය හොබවයි. තමන්ගේ රට සුළු ජාතිකයකු අතින් පාලනය වීම මදිපුංචිකමක් ලෙස ඉන්දියානු මහ ජාතිය සලකන්නේ නැත. මුස්ලිම් රජ කෙනෙකු විසින් මුස්ලිම් ගෘහනිර්මාණ ආකෘතියකට ඉදිකළ ටජ්මහල් මන්දිරය ඉන්දීය ජාතියේ ඓතිහාසික සංකේතය ලෙස සලකනවාට ඉන්දියාවේ හින්දු මහ ජාතිය විරුද්ධ නැත.

එහෙත් ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයකුට හෝ සුළු ආගමිකයෙකුට තබා සිංහල ජාතියේම ගොවිගම කුලයෙන් පිටස්තර කෙනෙකුටවත් රටේ පාලකයා වීමේ හැකියාවක් නැත. එම ධර්මතාවට එරෙහිව, බලයට පැමිණි එකම නායකයා වූයේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පමණය. එයද ස්වාභාවිකව සිදුවූ දේශපාලන සංසිද්ධියක් ලෙස සැලකිය නොහැකිය. ඒ අවස්ථාවේ ලේ වැගිරෙන කැරැල්ලක් රට තුළ නොතිබුණේ නම් සමහරවිට ප්‍රේමදාස මහතාට ඒ අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබුණි. අනෙක් අතට බලයට පත්වීමෙන් පසුව ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප වූයේද බැරිකම නිසා නොව කුලය නිසාය.

අගමැති බණ්ඩාරනායක ඝාතනයට ලක්වීමෙන් පසුව ශ්‍රීලනිපයේ නායකත්වය ලැබිය යුතුව තිබුණේ අගමැතිගේ වැන්දඹු බිරිඳට නොව සී.පී. ද සිල්වා මහතාටය. ඒ මහතාට එම තනතුර දැරීමට අවශ්‍ය පළපුරුද්ද ඇතුළු අන් සියලු සුදුසුකම් තිබියදී ඔහු නුසුදුසු වූයේ ඔහුගේ කුලය නිසාය.

අපි වර්ගභේද ගැන කතා කරමු. භේද ඇත්තේ වර්ග අතර පමණක් නොව වර්ග තුළද භේද පවතී. සිංහල සමාජයේ ගොවි කුලයෙන් පිටස්තරව කරාව, සලාගම. දුරාව, බත්ගම, වහුම්පුර, නවන්දන්න, නැකති, හේන වැනි කුලයකින් පැවත එන සිංහලයෙකුට කොතරම් සුදුසුකම් තිබුණ ද රටේ ජන නායකයා වීමේ හැකියාවක් නැත. දේශපාලනයේදී කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන වුවත්, තවමත් ජීවත්වන්නේ පැරණි වැඩවසම් ලෝකයකය.

පාර්ලිමේන්තුව

ශ්‍රී ලංකා රාජ්‍යයේ කොල්ලකාරී ස්වභාවය සඟවා ඊට ප්‍රජාතන්ත්‍රවාදී පෙනුමක් ලබාදීම සඳහා විශාල මහජන වියදමකින් පවත්වාගෙන යන ජාතියේ විශාලතම සුදු අලියා ලෙස සැලකිය හැකිය. 1977 තෙක් සිය සම්ප්‍රදායන් ප්‍රශස්ථ මට්ටමකින් පවත්වාගෙන යාමට පාර්ලිමේන්තුව සමත් විය. විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමේදී එතෙක් පාර්ලිමේන්තුව භුක්ති විඳි උත්තරීතරභාවය උදුරා ගෙන එය විධායකයේ රබර් මුද්‍රාවක් බවට පත් කළේය. ඒ වෙනුවෙන් ගෙවන වන්දියක් වශයෙන් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙනුවට නවීන පහසුකම්වලින් ආඪ්‍ය නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් දී, ඊට අතිරේකව මන්ත්‍රීවරුන්ට කප්පම් ලබාගත හැකි විශේෂ ක්‍රමයක්ද ඇති කර දුන්නේය. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දේශපාලන උත්තරීතරභාවය වැදගත් නැත. වඩා වැදගත් වී ඇත්තේ ද්‍රව්‍යමය වරප්‍රසාදයන්ය. පාර්ලිමේන්තුවට එන්නේ ද රටේ ගමන් මග හසුරුවන්නට නොව හම්බ කරන්නටය. දැන් පාර්ලිමේන්තුව හර බර වාද විවාදවලින් තොරය. එය රටේ ප්‍රශ්න සාකච්ඡාවට ලක් කරෙන ප්‍රධාන දේශපාලන මණ්ඩපයක තත්ත්වයෙන් බැහැර වී මහජනයාට විනෝදය ලබාදෙන විනෝද මණ්ඩපයක තත්ත්වයට පත්ව සිටින්නේය.

බලයට පත්වන ජනාධිපතිවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පුරුද්දක් කොටගෙන සිටිති. එහෙත් එවැනි කරුණක්වත් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්වන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීම තහනම්ය. එහෙත් පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන් මන්ත්‍රීකම් අහිමි කරගැනීමකින් තොරව පාර්ලිමේන්තුවේ යෙහෙන් වැජඹෙති.

අධිකරණය

උපරිමාධිකරණ සංකීර්ණය චීන නිර්මාණයකි. අධිකරණයක ගොඩනැගිල්ලක සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ගාම්භීර පෙනුම වෙනුවට එහි ඇත්තේ චීන ලන්තෑරුමක පෙනුමකි. යුක්තිය පසිඳලීමේ ආයතන ක්‍රමයක් වශයෙන් ශ්‍රී ලංකා අධිකරණයේ දක්නට ලැබෙන විකාරරූපී ස්වරූපය සමඟ එම පෙනුම හොඳින් ගැලපෙන්නේය.

දැන් ශ්‍රී ලංකා අධිකරණය ප්‍රභාකරන් ඇති කර තිබෙන අධිකරණ ක්‍රමයට වෙනස් වන්නේ බාහිර පෙනුමෙන් පමණය. මේ ක්‍රම දෙකේම අභ්‍යන්තර හරය බොහෝ දුරට එක සමානය. ප්‍රභාකරන්ගේ අධිකරණ ක්‍රමය තුළ ප්‍රභාකරන්ට එරෙහිව එම අධිකරණයට පැමිණිලි කිරීමේ බලයක් ඔහුගේ ඊළාම් රාජ්‍යයේ ජීවත් වන පුරවැසියන්ට නැත. අපේ අධිකරණ ක්‍රමය තුළත් විධායක ජනාධිපතිවරයාට එරෙහිව පැමිණිලි කිරීමේ බලයක් පුරවැසියන්ට නැත. ප්‍රභාකරන්ගේ රාජ්‍යයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැත. එහෙත් ශ්‍රී ලංකා රාජ්‍යයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත්තේය. එය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණේ අධිකරණයටය. එහෙත් අධිකරණය විසින්ම සිය කැමැත්තෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ බලය විධායක ජනාධිපතිවරයාට ලබාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම අත්හැර තිබෙන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා රාජ්‍යය ද ප්‍රභාකරන්ගේ රාජ්‍ය මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති, මූලික නීතියක් නැති, අශීලාචාර රාජ්‍යයක තත්ත්වයකට පත්ව ඇත්තේ ය.

ජනමාධ්‍ය

නිවටකමෙන් හා දූෂිතබවෙන් අනූන වුවත්, වර්ණවත්ය. මවා ගත් ගාම්භීර පෙනුමකින් ද යුතුය. බොරු ප්‍රවෘත්ති මැවීමේ හා ප්‍රවෘත්ති විකෘති කිරීමේ සර්ව බලධාරී අයිතිය භුක්ති විඳී. රට සාමයෙන් තොරව බිහිසුණු සිදුවීම්වලින් පිරුණු රටක් ලෙස පවතිනවාට කැමතිය. මිනිසුන් වෛරයෙන් ඇණ කොටා ගන්නවාට කැමතිය. රටේ අස්වාභාවික චර්යාවන් වර්ධනය වනවාට කැමතිය. බරපතළ වැරදි කරන්නන් ඍජු ලෙස හෝ අනියම් ලෙස ආරක්ෂා කිරීම මගින් ජාතියට සේවය කරයි.

සිංහල දෙමළ ආරාවුල

සිංහල වර්ගයා රටේ ජනගහනයෙන් 74% ක් තරම් විශාල මහ ජාතිය වුවත්, සිංහලයින්ට ඇත්තේ සුළු ජාතික මානසිකත්වයකි. අනෙක් අතට උතුරු නැගෙනහිර ජනයාගේ ප්‍රමාණය 12.7% ක් තරම් කුඩා වුවත් ඔවුන්ට ඇත්තේ සුළු ජාතික මානසිකත්වයකට වඩා මහ ජාතික මානසිකත්වයකි.

ඉංග්‍රීසි යුගයේදී ව්‍යවස්ථාදායක මණ්ඩලය සඳහා වාර්ගික පදනමක් අනුව නියෝජිතයන් පත් කිරීමේදී ජනගහනයේ විශාලත්වයේ ඇති වෙනස්කම් නොසලකා දේශීය ජනවර්ග වෙනුවෙන් එක් නියෝජිතයකු බැගින් තෝරාපත් කරන ක්‍රමයක් ක්‍රියාත්මක විය. ඒ අනුව 23,000 ක ජනගහනයක් සහිත බර්ගර් ජනයාට එක් නියෝජනයක් ද, 226,000 ක ජනගහනයක් සහිත මුස්ලිම් ජනයාට එක් නියෝජනයක්ද, 955,000ක ජනගහනයක් සහිත දෙමළ ජනතාවට එක් නියෝජනයක්ද, 872,000 ක් වූ උඩරට සිංහල ජනතාවට එක් නියෝජනයක් ද, 1458000 ක් වූ පහතරට සිංහල ජනතාවට එක් නියෝජනයක් ද ලැබුණි. වාර්ගිකත්වය අනුව ව්‍යවස්ථාදායක මණ්ඩලයට නියෝජිතයන් පත් කෙරෙන ක්‍රමයකදී ඒ ඒ වර්ග නියෝජනය කරන ජනගහනයේ ප්‍රමාණයන් සැලකිල්ලට ගන්නේ නැත. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ ව්‍යවස්ථාදායකය සඳහා ලැබෙන නියෝජිතයන්ගේ සංඛ්‍යාව ඒ ඒ වර්ගය නියෝජනය කරන ජනගහනයේ ප්‍රමාණයට අනුකූල වීම වැළකිය නොහැකිය. එහෙත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සිංහල මහ ජාතියට අතිවිශාල නියෝජනයක් ලැබී ඒ තුළ තමන්ගේ අයිතිවාසිකම් නොසලකා ක්‍රියා කරන සිංහල ආධිපත්‍යයක් ඇතිවනු ඇතැයි කියන බියක් සුළු ජාතීන් අතර ගොඩ නැගී තිබුණි. පොන්නම්බලම් පණහට පණහේ ඉල්ලීම ඉදිරිපත් කරන ලදදේ ඊට පිළියමක් වශයෙනි. එහෙත් විය යුතුව තිබුණේ නියෝජනයේ ප්‍රමාණය කෘතිම ලෙස විකෘති කරන ක්‍රමයක් ඇති කිරීම නොව සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අයිතිවාසිකම් ප්‍රඥප්තියක් නීතිගත කිරීමය. එහෙත් එවැනි ක්‍රමයක් ඇති කරගන්නා තැනකට යනවාට වඩා, තමන්ගේ සංඛ්‍යාවට වැඩි නියෝජනයක් දිනාගැනීමට දෙමළ නායකයින් උනන්දුවක් දැක්වූ බව පෙනේ. එම ලක්ෂණය වත්මන් ඉල්ලීම් තුළ ද දැකිය හැකිය. උතුරු නැගෙනහිර දෙපළාත දෙමළ නිජබිම ලෙස සලකා එකම පාලන කලාපයක් ලෙස පවත්වාගෙන යාමට දක්වන උනන්දුව තුළ පෙනෙන්නට ඇත්තේ ද, තමන්ගේ දෙමළ පාලන කලාපයේ තරම, සිංහල පාලන කලාපයේ තරමට සමාන නොවේ නම්, බොහෝ කුඩා නොවිය යුතුය යන හැඟීමය.

භූමියේ ඇති කරන එවැනි බෙදීමක් ප්‍රශ්නය තව තව අවුල් කිරීමට මිස විසඳුමක් ඇති කිරීමට හේතුවන්නේ නැත.

සිංහල වර්ගයා අතින් දෙමළ වර්ගයාට බරපතළ අයුක්තියක් සිදුවී තිබෙන බවට සැකයක් තිබිය නොහැක. විශේෂයෙන්ම භාෂා ප්‍රශ්නයේදී සිංහල ප්‍රදේශවල ජනතාවට සිංහල භාෂාවෙන්ද, දෙමළ ප්‍රදේශවල ජනතාවට දෙමළ භාෂාවෙන්ද, කටයුතු කරගෙන යාමට ඉඩ දුන්නේ නම් මේ ආරාවුල මේ තරම් දුරදිග නොයන්නට ඉඩ තිබුණි. අඩුම වශයෙන් 58 ජාතිවාදී කෝලහාලයෙන් පසුව වත් පොදු එකඟතාවක් ඇති කරගැනීමට සමත් වී නම්, රට මේ තරම් අවලස්සන තැනකට තල්ලු නොවන්නට ඉඩ තිබුණි.

එසේම සිංහල වර්ගයා අතින් තමන්ට සිදුවූ අයුක්තිය පරාජය කොට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා දෙමළ දේශපාලන පක්ෂ අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය ද නිවැරදි වේ යැයි කිව නොහැකිය. අවිහිංසාවාදීව සටන් කරන පිළිවෙතක් අනුගමනය කළ ද ඒ ඒ මාර්ගයේ ඉදිරියට යන්නට ඉඩ නොදීම නිසා ආයුධ අතට ගන්නට සිදුවී යැයි කියන කතාවේ සත්‍යයක් ඇති බවක් පෙනෙන්නට නැත.

දෙමළ නායයින් සිය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා විටින් විට අවිහිංසාවාදී අරගලවල යෙදුණු බව සත්‍යයකි. එහෙත් එම අරගල විධිමත්ව හා අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය ශක්තිමත් අවිහිංසාවාදී අරගල ව්‍යාපාරයක් වී යැයි කිව නොහැකිය. යුද්ධයක් කරනවාට වඩා අවිහිංසාවාදී අරගලයක නිරතවීම අමාරුය. එවැනි අවිහිංසාවාදී අරගලයක් සඳහා වන ශක්තිමත් දැක්මක් හා අධිෂ්ඨානයක් දෙමළ ජනනායකයින්ට තිබුණේ යැයි කිව නොහැකිය.

යුද්ධයේ අවලස්සන අරගල මාවත තෝරාගැනීමෙන් පසුත්, ප්‍රතිපක්ෂයෙන් එල්ල වන දරුණු පීඩාකිරීම්වලදී පවා, තමන් කරන යුද්ධය ප්‍රති පක්ෂ හමුදාවට පමණක් සීමා කොට, සාමාන්‍ය සිංහල මිනිසුන්ට හිංසා කිරීමෙන් තොරව ඉදිරියට ගෙන යන්නට සමත් වී නම් මේ ආරාවුලේ ස්වභාවය මෙතරම් ම්ලේච්ඡ ස්වරූපයක් නොගෙන මෙතරම් දුරදිග යන්නට පෙර විසඳාගත හැකි තත්ත්වයක් උදාවන්නට ඉඩ තිබුණි. ප්‍රතිපක්ෂයේ හමුදා අපේ අහිංසක මිනිසුන් ඝාතනය කළ නිසා අපිට ද එසේ කරන්නට සිදුවී යැයි කියන කතාව මේ ප්‍රශ්නයට දෙන සාධාරණ පිළිතුරක් වන්නේ නැත. ශක්තිමත් ඉදිරි දැක්මක් ඇති විනයගරුක ගරිල්ලා හමුදාවක් මොනම තත්ත්වයක් යටතේවත් සාමාන්‍ය ජනතාව හිංසාවට හා පීඩාවට ලක් කරන්නේ නැත. එම ගුණධර්මය ආරක්ෂා කරගනිමින් යුද්ධ කරන්නට ප්‍රභාකරන් සමත් වී නම් ඔහු සිංහල ජනතාව අතර ද ගෞරවයට හේතුවී මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට සිංහලයින්ගේ ලැබෙන සහාය වඩා විශාල වන්නට ඉඩ තිබුණි. ප්‍රභාකරන් ඇතුළු දෙමළ නායකයින් අතින් සිදුවී තිබෙන වැරදි සිංහල වර්ගයා අතින් දෙමළ වර්ගයාට සිදුවී තිබෙන අයුක්තිය ලඝු කෙරෙන්නේවත් යුක්තිසහගත කෙරෙන්නේවත් නැත.

දැන් මේ ප්‍රශ්නය දුරදිග ගොස් තිබෙන ප්‍රමාණය අනුව පිළිගත් විසඳුමක් ඇති කරගැනීම ඉතා අසීරුය. උතුරේ දෙමළ ජනතාව අනුකම්පා විරහිතව සමූල ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියකින් මෙපිට මේ ප්‍රශ්නය යුදමය වශයෙන් ජයගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා ආණ්ඩුවට නැත. ප්‍රභාකරන් විසින්ම ඇතිකර ගෙන තිබෙන ඉලක්කවල ඇති යථාර්ථ විරෝධී ස්වභාවය නිසාම එම ඉලක්ක ජයගැනීමේ හැකියාවක් ප්‍රභාකරන්ට ද නැත.

රටේ අනාගතය

වාර්ගික ප්‍රශ්නය ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන එක් අර්බුදයක් වුවත්, එකම අර්බුදය ලෙස සැලකිය නොහැකිය. ශ්‍රී ලංකාව වාර්ගික ආවේගයන් කළමනාකරණයේදී පමණක් නොව, රටේ අන් ප්‍රධාන ප්‍රශ්න කළමනාකරණයේදීත් අසාර්ථකය. පසුගිය විසි වසරක කාලය තුළ ඉදිරියට ගෙනා කිසිම ප්‍රතිසංස්කරණයක් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට නොහැකිවීමෙන් පෙනෙන්නේ ද ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරමට කුණුවී තිබෙන බවය.

දැන් අප ජීවත්වන්නේ විකල්ප ජනනායකයින් බිහිවීමකින් තොරව, සියලු දේශපාලන නායකයින්ට තිබෙන පිළිගැනීම, වාෂ්පවෙමින් තිබෙන අබුද්දස්ස යුගයකය. ප්‍රාතිහාර්යයක් බඳු දෙයකින් හැර මේ තත්ත්වයෙහි යහපත් වෙනසක් ඇතිවිය නොහැකිය.