තමන් ම හදන නීති කඩන පාර්ලිමේන්තුව

October 29, 2026
Publication:
A duty-free vehicle given to a member may not be sold or transferred for five years, and on any sale the whole forgone duty falls due with a fine. Most members sell them anyway. Ivan follows the Hela Urumaya's explanation — that a former deputy inspector general sold the monks' vehicles and split the proceeds with the party fund — and notes that even the invented story admits a breach of the law.

රටේ උත්තරීතර ම දේශපාලන ආයතන ක්‍රමය ලෙස සැලකෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අවංකභාවය වෙන කොයිකවරදාටත් වඩා ප්‍රශ්න කෙරෙන තත්ත්වයක් ගොඩනැගී තිබේ.

මන්ත්‍රීවරුන්ට ලැබෙන තීරුබදු රහිත වාහන රටේ පවතින නීතිය අනුව පස් අවුරුදු කාලයක් සම්පූර්ණ වන තෙක් විකිණිය නො හැකි ය. අන්සතු කළ නො හැකි ය. එම වාහන විකුණන හෝ අන් සතු කරන අවස්ථාවල දී අත්හරින ලද සම්පූර්ණ බදු මුදල දඩ මුදල් සමග ආණ්ඩුවට අයවිය යුතු ය.

එහෙත් පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් තමන්ට ලැබෙන තීරුබදු රහිත වාහන විකුණා විශාල මුදලක් උපයා ගනී. ඔවුන්ට ලැබෙන වාහන විකුණා විශාල මුදලක් උපයා ගැනීමට හැකිවී තිබෙන්නේ අත්හරින ලද බදු නිසා ය. නිදර්ශනයක් වශයෙන් ෑ220 CDI ඩීසල් 2148 CC වර්ගයේ අලුත් ම බෙන්ස් රථයක වෙළෙඳපොළ මිල රුපියල් ලක්ෂ 220කි. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එම බෙන්ස් රථය ලැබෙන්නේ CIF වටිනාකම වන රුපියල් ලක්ෂ 37කට ය. ආණ්ඩුව එම බෙන්ස් මෝටර් රථය සඳහා අත්හරින ලද බදු වටිනාකම රුපියල් ලක්ෂ 134කි. තීරු බදු අත්හැරවීමෙන් සිදුවන මෙම විශාල පරතරය නිසා එවැනි වෙනස් වාහනයක් රුපියල් ලක්ෂ 37කට ලබා ගන්නා මන්ත්‍රීවරයෙකුට එය අලෙවි කිරීමෙන් ලක්ෂ 75-100ක් අතර ශුද්ධ ලාභයක් ඉපැයිය හැකි ය. එහෙත් තීරු බදු රහිත පදනමකින් ලැබෙන එවැනි වාහන විකිණීමෙන් හෝ අන්සතු කිරීමෙන් ලාභ ඉපැයීම නීතියට පටහැනි ය. එය දඬුවම් ලැබිය හැකි වරදකි. රටට නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුව සම්පාදනය කරන නීති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ම උල්ලංඝනය කරයි නම් එය රටක තිබිය හැකි ඉතාමත් නරක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

හෙළ උරුමයේ මන්ත්‍රී භික්ෂූන් වහන්සේලාට ලැබුණු සියලු වාහන විකුණන ලද බව හෙළිදරව්වීමෙන් පසු එම පක්ෂය එම මන්ත්‍රීවරුන් වෙනුවෙන් නිදහසට කියන කතාව අපූරු ය. පක්ෂ අරමුදල් තර කිරීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන කොටකදෙණිය මහතා ලවා එම වාහන විකුණන ලද බවත්, ලැබුණු ආදායමෙන් කොටසක් මන්ත්‍රීවරුන්ට දී තවත් කොටසක් පක්ෂ අරමුදලට ලබාගන්නා ලද බවත් ප්‍රකාශ කළේය.

මෙම කතාව වාහන ගනුදෙනුවෙන් පක්ෂයට සිදුවූ කැළල වසා ගැනීම පිණිස ගොතන ලද එකක් බව පැහැදිලි ය. එහෙත් එම ගොතන ලද කතාව තුළ පවා නීති උල්ලංඝනය කිරීමක් සේ ම නීතියට අභියෝග කිරීමක් ද පවතී. මෙම නීති විරෝධී ජාවාරමේ සම්බන්ධීකාරකයා ලෙස ක්‍රියාකර ඇත්තේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. ඔහු වර්තමානයේ පොලිස් කොමිසමේ සාමාජිකයෙකි. එවැනි පුද්ගලයෙකුට නීති විරෝධී ක්‍රියාවක සම්බන්ධීකාරකයෙකු ලෙස ක්‍රියා කළ හැකි ද? තමන්ට ලැබුණු වාහන විකුණන ලද බව එම පක්ෂය ප්‍රසිද්ධ ජනමාධ්‍යවලට ප්‍රකාශ කර තිබේ. එවැනි ප්‍රකාශයක් කිරීමෙන් පසුත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැද්ද?

තීරුබදු රහිත වාහන වාදය ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ අවංකභාවය ප්‍රසිද්ධ ප්‍රශ්න කිරීමකට ලක් කිරීමට හේතුවී තිබේ. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ජවිපෙ අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කිරීමට ලක් කළේය. අනුර කුමාර දිසානායක මහතා පිළිතුරු වශයෙන් කීවේ ඇමතිවරුන් මෙන් නොව, අපි වාහන ගෙන්වන්නේ අපේ සල්ලිවලින් බව ය. වාහනය ගෙන්වන්නේ අනුර කුමාර දිසානායක මහතාගේ සල්ලිවලින් විය හැකි වුවත්, ලක්ෂ 200ක වෙළෙඳපොළ වටිනාකමක් ඇති වාහනයක් මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 37ක් වැනි මුදලකට ලැබෙන්නේ රජයට අයවිය යුතු බදු මුදල් ඒවාට අය නො කරන නිසා ය. වෙනදා ජවිපෙ මන්ත්‍රීවරුන් කීවේ අනෙක් අය සුඛෝපභෝගී වාහන ගෙන්වන විට අප ගෙන්වූයේ ඩබල් කැබ් බව ය. එහෙත් මෙවර ඔවුන්ගෙන් ද වැඩි පිරිසක් පැරණි සම්ප්‍රදාය අතහැර අධි සුඛෝපභෝගී වාහන මිලදී ගන්නා තැනකට තල්ලු වී තිබේ. අපිත් කීයක් හරි සොයා ගත්තාට වරදක් නැතැයි කියන තැනකට දැන් ඔවුන් ද පැමිණ තිබෙන බව පෙනේ.

උගුඩුවා කිතුල් ඇට කන්නේ රස නිසා ය. එහෙත් ඒ වෙනුවෙන් උගුඩුවාට ද ආපසු මිලක් ගෙවන්නට සිදුවන්නේ ය. ධාර්මික හා පිරිසිදු පාලනයක් ගැන කතා කළ හෙළ උරුමය, ජවිපෙ වැනි පක්ෂ ද දැන් දැන් කිතුල් ඇට කන බව ජනතාව දන්නේ ය. •