සරල දේශපාලනයෙන් ඔබ්බට සිතීම

August 23, 2009
Publication:
Every outlet but one spoke with a single voice over the Malabe abduction, and Ivan credits that with the arrests that followed. He turns to a pattern in the reporting of the suicide attacks — on Jeyaraj Fernandopulle, on the president, on Sarath Fonseka — in which the bomber was brought to the place by someone inside, and asks whether the parties can think past defeating each other.

මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යයකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේදී සියලු ජනමාධ්‍ය (එක රූපවාහිනී නාලිකාවක් හැර) භේදයකින් තොරව ඒ සිදුවූ වරදට එරෙහිව එක හඬින් හඬ නගන තත්ත්වයක් පවත්වාගෙන ගියේය. එම තත්ත්වය වරද නිවැරදි කිරීමට අවශ්‍ය ශක්තිමත් වටාපිටාවක් ඇති කළේය. තවමත් මෙම සිද්ධියට ප්‍රධාන වශයෙන් වගකිවයුතු බව පෙනෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන නැතත්, එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ පුතාද ඇතුළුව පැහැර ගැනීමට සම්බන්ධ අන් සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. පැහැරගෙන ආ ශිෂ්‍යයාට පහර දුන් පොලිස් නිලධාරියාගේ බිරිඳ ද අතුරුදහන් වී ඇති බව කියනු ලැබේ. තමන්ට තිබෙන බලය අන්‍යයන් පීඩාවට පත් කිරීම සඳහා පාවිච්චි කිරීම මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට හෝ පොලීසියට පමණක් ආවේණික වරදක් නොව, පියන්ගේ සිට අමාත්‍යාංශ ලේකම් දක්වා රාජ්‍ය නිලධාරීන් හා සේවකයන් අතර දක්නට ලැබෙන සාමාන්‍ය ලක්ෂණයක් බව කිව යුතුය.

මෙම විනාශකාරී කාලකණ්ණි ලක්ෂණය අපේ රටේ යුක්තිය පසිඳලන ආයතන ක්‍රමය තුළ ද රජ කළේය. විනිසුරුවරුන් තමන්ගේ, තම ඥාති මිත්‍රයන්ගේ නඩු අසා වාසිදායක තීන්දු දුන්නේය. තමන්ගේ විරුද්ධවාදීන්ගේ නඩු අසා ඔවුන්ට උපරිම ලෙස දඬුවම් කළේය. ආරාවුල් ඇති මිනිසුන්ට යුක්තිය ඉටු කරන ක්‍රමයක් වෙනුවට ඇත්තේ නඩු කියන සියලුදෙනාගේ ජීවිත කාලකණ්ණි කරන ක්‍රමයකි. ප්‍රමාද වී හෝ අධිකරණයේ සිදුවී තිබෙන කටයුතු දෙස ආපසු හැරී බලන තත්ත්වයක් නව අගවිනිසුරු පාලනය තුළ ගොඩනැගී තිබීම බලාපොරොත්තු ඇති කරන තත්ත්වයක් බවද ඒ සමග කිව යුතුය. අගනුවර ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක ජංගම දුරකථනයක් ළඟ තබාගත් ශිෂ්‍යාවක් සිය දිවි නසාගැනීමේ සිද්ධියෙන් පෙන්නුම් කෙරෙන්නේ ද රටේ පාසල් ක්‍රමය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වයේ තරමය. එය එක මාපයක් පමණය. අගනුවර ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියට ඉදිරිපත් වී තිබෙන දූෂණ චෝදනා පත්‍රය, වාර ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් මතුවී තිබෙන විවාදය හා ගුරු අසහනය වැනි කරුණු ද එකට ගත් කල පාසල් ක්‍රමයේ ඇති කරන මහා වෙනසකින් තොරව ඉදිරියට යා නොහැකි තැනක සිටින බව පෙනේ.

ජනමාධ්‍යවල පළවන වාර්තා අනුව ඇමති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට වගකිවයුතු මරාගෙන මැරෙන බෝම්බකරු ඒ ස්ථානයට පැමිණ ඇත්තේ උසස් පොලිස් නිලධාරියකුගේ අනුග්‍රහය ඇතිවය. ජනාධිපතිවයා අවස්ථා දෙකකදී ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති මරාගෙන මැරෙන බෝම්බකරු ඒ ස්ථාන දෙකට කැඳවාගෙන පැමිණ ඇත්තේ යුද හමුදාවේ නිලධාරියෙකි. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ කළ මරාගෙන මැරෙන බෝම්බකාරිය ඒ ස්ථානයට පැමිණ ඇත්තේ ද යුද හමුදාවේ කෝකියකුගේ සහාය ඇතිවය. මේ හැම සංසිද්ධියකින්ම පෙන්නුම් කෙරෙන්නේ අපේ රටේ ආයතන ක්‍රමය කුණුවී තිබෙන තරම නොවේද? මේ දේවල් දෙස බලා සිටිනවා වෙනුවට මේ දේවල් සිදුවන්නේ ඇයිද යන ප්‍රශ්නය කෙරෙහි දේශපාලකයන්ගේත්, උගතුන් හා වෘත්තීයවේදීන්ගෙත් පොදුවේ සමාජයෙත් බැ?රුම් අවධානය යොමුවිය යුතු නැද්ද? දේශපාලන ක්‍රමය ඇතුළු සමස්ත ආයතන ක්‍රමය ප්‍රතිශෝධනයකට ලක් කළ යුතු කාලය පැමිණ තිබෙන බව දේශපාලකයන් පමණක් නොව, ජනමාධ්‍යවේදීන් ද තේරුම් ගත යුතුය.

ජනවාර්ගික ප්‍රශ්නය පමණක් තනිව ගෙන එය විසඳන තැනකට යනවා වෙනුවට සමස්ත අර්බුදය එකට ගෙන එය විසඳන තැනකට යෑම වඩා යහපත් නැද්ද? දේශපාලන පක්ෂ ද ප්‍රතිපක්ෂ පරාජය කරන සරල දේශපාලනයෙන් ඔබ්බට සිතන තැනකට යායුතු නැද්ද? එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීම අර්ථවත් වනු ඇත්තේ එසේ සිතන තැනකට යන්නට රට සූදානම් නම් පමණය.