නිල බලය අයථා ලෙස පාවිච්චි කිරීමට ඉඩදිය යුත්තේ ඇයි?

August 16, 2009
Publication:
Six junior officers have been transferred over the abduction and assault of a student at the Malabe technology institute, but the head of the Colombo crime division who directed it has faced nothing. Ivan argues the country needs as firm a policy towards educated men who abuse official power as it does towards uneducated criminals, and asks why the police chief has not acted on the defence secretary's instruction.

මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් හා පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි විවිධ ප්‍රදේශවලට මාරුකර යවා ඇතත්, සිසුවා පැහැරගෙන යෑමේ වැඩපිළිවෙල මෙහෙයවූ කොළඹ පොලිස් අපරාධ අංශයේ ප්‍රධානියා සම්බන්ධයෙන් මේ දක්වා කිසිම විනය පියවරක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. මේ සිද්ධියේදී අන් සියලුදෙනාටම වඩා වැඩියෙන්ම වගකිවයුත්තා වන්නේ මෙම පොලිස් ප්‍රධානියාය. ඔහු තමන්ට තිබෙන නිල බලය සිය දරුවා වෙනුවෙන් තවත් කෙනකුගේ දරුවකුට එරෙහිව අනිසි ලෙස පාවිච්චි කර තිබෙනවා පමණක් නොව, තමන් කරන ලද නීති විරෝධී ක්‍රියාව යුක්තිසහගත කරගැනීම සඳහා එම ශිෂ්‍යයා පාතාල ලෝකයට සම්බන්ධ පුද්ගලයකු ලෙස හංවඩු ගසන්නට ද උත්සාහ කර තිබේ. පාතාල ලෝකයේ දරුණු අපරාධකරුවන් මර්දනය කිරීමට ලැබී තිබෙන නිදහස කොළඹ අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස ක්‍රියාකරන මෙම උසස් නිලධාරියා තම දරුවාගේ එදිරිවාදි ශිෂ්‍යයකුට එරෙහිව අයථා ලෙස යොදා ගන්නට උත්සාහ කිරීම නොසලකා හැරිය යුතු තරම් සුළු වරදක් ලෙස සැලකිය නොහැකිය.

මේ සිද්ධිය දැනගැනීමට ලැබීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට වගකිවයුතු සියලුදෙනා අත්අඩංගුවට ගැනීම පිණිස ක්‍රියාකරන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දී තිබෙන බවත්, ඒ අනුව වගකිවයුතු සියලුදෙනා අත්අඩංගුවට ගන්නැ”යි ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන බව ප්‍රවාහන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ. එහෙත් මේ මොහොත දක්වා සිද්ධියට අදාළ කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත. සිදුවී ඇති එකම දේ සිද්ධියට සම්බන්ධ පහළ පෙළේ පොලිස් නිලධාරීන් 6 දෙනකු වෙනත් ප්‍රදේශවලට මාරුකර යැවීම පමණය. පුද්ගලයකු පැහැරගෙන යෑමක් සරල වරදක් ලෙස සැලකිය නොහැකිය. පැහැරගෙන ගිය ශිෂ්‍යයාගේ දෙමව්පියන් වහාම මැදිහත් නොවන්නට සමහරවිට මෙම සිද්ධිය මීට වෙනස් ආකාරයකින් කෙළවර වන්නට ඉඩ තිබුණි. නීතිය ක්‍රියාත්මක කරන උසස් නිලධාරියකු තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා තමන්ට තිබෙන නිල බලය අයථා ලෙස පාවිච්චි කරන අවස්ථාවකදී ඔහුට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක නොවන තත්ත්වයක් රටේ පවතී නම් එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.

එය ආණ්ඩුව කෙරෙහි පමණක් නොව, ජනාධිපතිවරණය කෙරෙහි ද නරක ලෙස බලපායි. සිද්ධියට වගකිවයුතු සියලුදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇති නම් පොලිස්පතිවරයා ඒ දේ නොකරන්නේ ඇයි? තමන්ට තිබෙන නිල බලය අයථා ලෙස පාවිච්චි කරන තමන්ගේ උසස් නිලධාරීන් ආරක්ෂා කිරීම තමන්ගේ වගකීමක්වේයැ”යි පොලිස්පතිවරයා කල්පනා කරන නිසාද? නිල බලය ඇති අය ඒ නිල බලය අයථා ලෙස පාවිච්චි කිරීම අපේ රටේ හැමතැනකම දක්නට ලැබෙන ලොකුම වරදක් වන අතර, එය සමාජ ප්‍රගතියට බාධා කරන ලොකු විලංගුවක් බවට පත්වී තිබේ. අයථා ලෙස බලය පාවිච්චි කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින පොලිස් නිලධාරීන් පමණක් නොවේ. යුක්තිය පසිඳලීමේ ආයතනවල සේවය කරන විනිසුරුවරුන් පවා එසේ කරන බව හොඳින් හෙළිදරව් වී තිබේ. මෙය රාජ්‍ය නිලධරතන්ත්‍රය තුළ ද පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයකි.

දැඩි ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය වී ඇත්තේ නූගත් අපරාධකරුවන් සම්බන්ධයෙන් පමණක් නොවේ. නිල බලය අයුතු ලෙස පරිහරණය කරන උගත් මිනිසුන් සම්බන්ධයෙන් ද දැඩි ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය වී තිබේ. ආණ්ඩුව මේ ප්‍රශ්නයේදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය නොකොට ආදර්ශමත් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. මෙම ශිෂ්‍යයන් දෙදෙනා අතර පැවති ආරාවුලට බලපා තිබෙන ඇත්ත හේතු පැහැදිලි නැතත්, මෙම ශිෂ්‍යයාට එරෙහිව ප්‍රති ශිෂ්‍යයාගේ පියාට තිබූ පොලිස් බලය පාවිච්චි කිරීම දඬුවම් ලැබිය යුතු අපරාධයක් බව කිව යුතුය.