විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ප්‍රශ්නය නැවත දේශපාලන කරළියේ කතාබහට ලක්වෙමින් තිබෙන ප්‍රධාන මාතෘකාව බවට පත්වී තිබේ. විධායක ජනාධිපති ක්‍රමයේ ආරක්ෂාව සඳහා මෙතෙක් පෙනී සිටි එජාපයද පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට වගකියන විධායක අගමැති ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින තැනකට පැමිණ ඇත්තේය. ජේවීපීයද තමන්ගේ පැරණි දේශපාලන ස්ථාවරයට එමින් ““ජනාධිපතිවරණයක් එපා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු”” කියන තැනකට පැමිණ සිටින්නේය. දැන් මංගල කියන්නේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ආණ්ඩුව තීන්දුවක් ගන්නේ නම් ඒ සඳහා සියලුම විරුද්ධ පක්ෂවල සහාය ආණ්ඩුවට ලබාදීම සඳහා තමා මැදිහත්වී ක්‍රියා කරන බවය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන බව පෙනෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමය.
සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂ ඒ සම්බන්ධයෙන් තමන් දරන මත නිශ්චිතව ප්‍රකාශ කර නැතත්, දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් සඳහා වෙන කවරදාවත් නොතිබූ තරම් වාසිදායක දේශපාලන වටාපිටාවක් ගොඩනැගෙමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දකුණු පළාත් සභා මැතිවරණයෙන් පසු ඊළඟට පවත්වන්නට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයයි. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ ඉන්පසුවය. විරුද්ධ පක්ෂ බලවේග මොනතරම් හොඳ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළද ඔවුන්ට මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ හැකියාවක් නැත. එය මේ මොහොතේ ආශ්චර්යමත් දෙයකින් හැර වෙනස් කළ නොහැකි දේශපාලන යථාර්ථයකි. විරුද්ධ පක්ෂය ප්‍රඥාවන්ත ව්‍යාපාරයක් වේ නම් මේ මොහොතේ ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව දේශපාලන ක්‍රමයේ ඇතිවන්නට නියමිත වෙනස්කම් කෙරෙහිය.
ඔවුන්ගේ දේශපාලන ඉරණම තීන්දු කෙරෙන ප්‍රධාන තැන වනු ඇත්තේ එතැනය.
ව්‍යවස්ථා සම්පාදනයේදී පෙන්වා තිබෙන අසමත්භාවය
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ද මෙම දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය වී තිබේ. එහෙත් ඇති කරන්නට යන වෙනස්කම් මොනවාද යන්න පැහැදිලි නැත. විරුද්ධ පක්ෂවලට ද මේ දේශපාලන ක්‍රමය වෙනස් කරගැනීමට අවශ්‍ය වී තිබේ. එහෙත් ඒ සඳහා නිසි සූදානමක් හෝ ඒ සඳහා වන පැහැදිලි ශක්තිමත් හා අර්ථවත් වැඩපිළිවෙළක් විරුද්ධ පක්ෂවල ද තිබෙන බවක් පෙනෙන්නට නැත. දැනුවත් සමාජයට ද මෙම දේශපාලන ක්‍රමය වෙනස් කරගැනීමට හා ඒ වෙනුවට යහපත් දේශපාලන ක්‍රමයක් ඇති කරගැනීමට අවශ්‍ය වී තිබේ. එහෙත් ඒ සඳහා වන බලවත් ව්‍යාපාර ඔවුන් අතරද තිබෙන බවක් පෙනෙන්නට නැත. නිදහසේ සිට මේ දක්වා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුන් වරක් වෙනස් කර තිබේ. පළමුවෙන් තිබුණේ ඩොනමෝර් ව්‍යවස්ථාවය. බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් සඳහා වන සෝල්බරි ව්‍යවස්ථාවක් ඇති කරගත්තේය.
ඉන්පසු 1972දී නිදහස පරිපූර්ණ කරගැනීම සඳහා ජනරජ ව්‍යවස්ථාවක් ඇති කර ගත්තේය. 77දී එතෙක් පැවති ක්‍රමය අහෝසි කොට විධායක ජනාධිපති ක්‍රමයක් අරමුණු කරගත් ව්‍යවස්ථාවක් ඇති කර ගත්තේය. අවුරුදු 50කට ආසන්න කාලයක් තුළ ඇති කරගෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංඛ්‍යාව තුනකි. තුන්වැනි වරට ඇති කරගත් 77 ව්‍යවස්ථාව ගැනද පවතිනුයේ අතිවිශාල අතෘප්තියකි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන සිහින දකින තැනකට යන්නට සිදුවී තිබෙන්නේ ඒ නිසාය. ඉන් පෙනෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇතිකර ගැනීමේ ක්‍රියාවලියේදී ළඟ දැකීම මිස, ඈත දැකීමේ හැකියාවක් මෙතෙක් අපට තිබී නැති බවය. අසල්වැසි ඉන්දියාවේ අදත් ක්‍රියාත්මක වන්නේ දිනාගත් නිදහසත් සමග ඇති කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අතෘප්තියක් ඒ රටේ නොපවතී. කාලයාගේ ඇවෑමෙන් මතුවන නව අභියෝගයන්ට ශක්තිමත් ලෙස මුහුණදෙමින් අවශ්‍ය තත්ත්වයට ගැළපෙන ලෙස වෙනස්කම් ඇති කරගැනීමට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමත් වී තිබේ.
ව්‍යවස්ථා සම්පාදනයෙහි ඉන්දියාව හිමි කරගත් සාර්ථකත්වය අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාව අසමත් වුණේ ඇයි? ඉන්දියාවේ නායකයන් පටු දේශපාලන අරමුණුවලින් තොරව ව්‍යවස්ථා සම්පාදන කාර්යයකදී ඊට ලැබෙන වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඊට උචිත සංයමයකින් යුතුව, දීර්ඝ වශයෙන් හා හොඳින් කරුණු සලකා බලා වර්තමානය පමණක් නොව, ඉන්දියාවේ අනාගතය ද සැලකිල්ලට ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගත්තේය. එය යටත්විජිත ඉන්දියාවට තිබූ ව්‍යවස්ථාවේ කාබන් පිටපතක් නොවීය. ඉංග්‍රීසීන්ගෙන් ණයට ගත් කෙටුම්පතක් ද නොවීය. ඉන්දියාවේ පැවති සංකීර්ණභාවය විශාලත්වය හා ඉන්දියාවේ වර්තමාන හා අනාගත අපේක්ෂා සැලකිල්ලට ගනිමින් සකස් කළ ව්‍යවස්ථාවක් විය. ඉන්දියාවේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය ලෝකයේ ක්‍රියාත්මක වන හැම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මාදිලියක්ම සැලකිල්ලට ගත්තේය.
ඒ ආශ්‍රයෙන් තමන්ට ගැළපෙන තමන්ගේම වන දේශපාලන ක්‍රමයක් ඇති කරගත්තේය.
ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ආවේණික සීමා
අපගේ පළමු ව්‍යවස්ථාව කිහිපදෙනකු හොර රහසේ කෙරෙන කතාබහ ඔස්සේ ඇතිකර ගන්නා ලද්දකි. එය නිදහස හිමිකර ගැනීමේ ගෞරවය තමන්ට ලබාගනිමින් පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ලැබීමේ අරමුණ ඇතිව ඩී.ඇස්. සේනානායක විසින් ක්‍රියාවට නගන ලද වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් විය. එය රටේ විශේෂ ස්වභාවය වර්තමානය, අනාගතය හොඳින් සැලකිල්ලට ගෙන සකස් කරගන්නා ලද දේශපාලන ක්‍රමයක් නොවීය. එය එතෙක් පැවති යටත්විජිත දේශපාලන ක්‍රමයේ කාබන් පිටපතක් වීයැ”යි කිව හැකිය. එය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකට අවශ්‍යයෙන්ම සහභාගි කරගත යුතු සියලුදෙනාගේ සහභාගිත්වයෙන් යුතුව ඇති කරගන්නා ලද ව්‍යවස්ථාවක් නොවීය. වාමාංශික ව්‍යාපාරය සේ ම, මහ ජාතිය හා සුළු ජාතීන් නියෝජනය කළ ව්‍යාපාර ද මුළුමනින් බැහැර කොට කිහිපදෙනකු එකට එකතු වී ඇතිකර ගන්නා ලද ව්‍යවස්ථාවක් විය. 72 ව්‍යවස්ථාව මගින් බ්‍රිතාන්‍යයේ මහරැජින කෙරෙහි තිබූ බැඳීම ඉවත් කිරීම යහපත් දෙයක් ලෙස සැලකිය හැකි වුවත් එම ව්‍යවස්ථාව ද සමගි පෙරමුණු ආණ්ඩුවට තිබුණු තුනෙන් දෙකේ බලය මත ඇති කරගත් ව්‍යවස්ථාවක් වූවා මිස, රටේ වර්තමාන හා අනාගත වුවමනා හොඳින් සැලකිල්ලට ගනිමින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගත යුතු සියලුදෙනා සම්බන්ධ කරගනිමින් සකස් කළ ව්‍යවස්ථාවක් නොවීය.
රාජ්‍ය සේවය දේශපාලනකරණයකට ලක්වීම ආරම්භ වන්නේ එම ව්‍යවස්ථාවත් සමගය. ඉන්පසු 77දී ඇති කරගත්තේ පාලක එජාපයට තිබූ හයෙන් පහේ බලය ප්‍රයෝජනයට ගනිමින් රටේ වර්තමාන හෝ අනාගත වුවමනා නොසලකා, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගත යුතු සියලුදෙනා සම්බන්ධ කරගැනීමකින් තොරව පාලක පක්ෂයේ පටු වුවමනාවට ගැළපෙන ලෙස හිතුවක්කාරී ලෙස සකස් කරන ලද ව්‍යවස්ථාවකි.
නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම
නැවත අප ව්‍යවස්ථා සම්පාදනයකට යන්නේ නම් මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියා තුන තුළ සිදුවූ මූලික වැරදිවීමට ඉඩ නොතැබිය යුතුය. 1. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය දඩිබිඩියේ කෙරෙන දෙයක් නොවිය යුතුය. 2. වැඩි බලයක් තිබෙන පාලක පක්ෂයේ පටු දේශපාලන වුවමනා ඉටු කිරීම අරමුණු කරගත් දෙයක් නොවිය යුතුය. 3. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගත යුතු සියලුදෙනා සහභාගි කරගන්නා ක්‍රියාවලියක් බවට පත්කර ගත යුතුය. 4. ව්‍යවස්ථාවක් සම්පාදනය කළයුත්තේ රටේ වර්තමාන වුවමනා පමණක් නොව, අනාගත වුවමනාද සැලකිල්ලට ගනිමිනි. 5. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මහජනයාගේ උනන්දුවට විශ්වාසයට හා ගෞරවයට හේතුවන්නක් විය යුතුය. 6. සමාජ හිතකාමී, වර්ග, ආගම් හා කුල අනුව බෙදී සිටින ජනයා එක්සත් ජාතියක් ලෙස එකට ඒකරාශි කිරීමට හේතුවන, නීතියේ ආධිපත්‍යය රජයන, පාරදෘශ්‍ය, මහජනයාට වගකියන, දූෂණයට තිබෙන ඉඩ පාලනය කරන, වියදම් අඩු, කාර්යක්ෂම හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ඇති කිරීම මගින් ශ්‍රී ලංකාව දියුණු යහපත් හා ගෞරවනීය රටක් ලෙස නගා සිටුවීම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ විය යුතුය.
අපි පැරණි ව්‍යවස්ථාව අත්හැර නව ව්‍යවස්ථාවක් ඇති කරගන්නා තැනකට යමු නම් පැරණි ව්‍යවස්ථාවට ආවේණික දෝෂ පිළිබඳව හරි අවබෝධයක් ඇතිව එසේ කළ යුතුය. මක්නිසාදයත් ගොඩනගන නව ව්‍යවස්ථාව පැරණි ව්‍යවස්ථාවට ආවේණික දෝෂවලින් තොරවනු ඇත්තේ ඒ පිළිබඳ හරි අවබෝධයකින් යුතුව නව කාර්යයට අතගසන්නේ නම් පමණය.
77 ව්‍යවස්ථාවට ආවේණික දෝෂ
1. සීමිතකම් තිබියදීත් එතෙක් පැවති ක්‍රමය තුළ විරුද්ධ පක්ෂයට බලයට පත්වීමට සාධාරණ ඉඩක් ලැබී තිබුණි. සාමාන්‍යයෙන් හැම වසර පහකට වරක්ම බලය මාරුවීමක් සිදුවිය. අතුරු මැතිවරණ ක්‍රමය මහජන මතයේ ඇතිවන වෙනස්කම් පිළිබිඹු කළේය. පවත්වන ලද අතුරු මැතිවරණවලින් වැඩි හරියක් විරුද්ධ පක්ෂය ජයගැනීමක් පෙන්නුම් කෙරෙන්නේ මැතිවරණය කළමනාකරණ යාන්ත්‍රණයට ආවේණික සීමාසහිතකම් තිබියදීත් නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් රටේ පැවති බවය. 1977න් පසුව පළමු ආණ්ඩු මාරුව සඳහා ගතවූ කාලය අවුරුදු 17කි. ඊළඟට 94දී බලයට පැමිණි පාලක පක්ෂය එක දිගට අද දක්වා බලයේ සිටි කාලය අවුරුදු 15කි. දෙවැනි පාලක පක්ෂය අවුරුදු 24ක් බලයේ සිටිනු ඇතැ”යි උපකල්පනය කළ හැකිය. සමහරවිට ඊටත් වැඩිවිය හැකිය. රාජ්‍ය බලය තීරණය කෙරෙන ප්‍රධාන මැතිවරණය වී ඇත්තේ ජනාධිපතිවරණයයි. ජනාධිපති බලය හිමි පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ද ජයගනී.
පැරණි ක්‍රමය තුළ ආණ්ඩුවක් වෙනස් කිරීමට තිබුණු පහසු හැකියාව නව ක්‍රමය තුළ ඉතාමත් දුෂ්කර දෙයක් බවට පත්කර තිබේ. 2. පැරණි පාර්ලිමේන්තු ක්‍රමය තුළ මැතිවරණ දෙකක් අතර කාලය තුළ ජනතාවගේ පරමාධිපත්‍යය බලය පැවරී තිබුණේ පාර්ලිමේන්තුවටය. ඒ නිසා උත්තරීතරම දේශපාලන ආයතනය ලෙස සැලකුණේද පාර්ලිමේන්තුවය. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය තුළ අඩු බලයක් පාර්ලිමේන්තුවට ද වැඩි බලයක් ජනාධිපතිටද ලැබෙන ලෙස ඒ බලයේ විභේදනයක් ඇතිවිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කරගත්තේ අනුපාතික ක්‍රමයක් යටතේ දිස්ත්‍රික්කයක් ඡන්ද කොට්ඨාසයක් වශයෙන් ගනිමිනි. ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නේ අනුපාතික ක්‍රමයක් යටතේ මුළු රටම ඡන්ද කොට්ඨාසයක් ලෙස සැලකෙන ආකාරයටය. රටේ රාජ්‍ය නායකයා වන්නේද ත්‍රිවිධ හමුදාවට අණ දෙන නිලධාරී වන්නේ ද ජනාධිපතිය. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පත් කරන්නේද කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේද ජනාධිපතිය.
ජනාධිපතිට තමන් කැමති තරමක් ඇමති ධුර තමන් වෙත තබාගැනීමේ අයිතියද හිමිය. ජනාධිපතිට තමන් කැමති අවස්ථාවක පාර්ලිමේන්තුව ඇමතිය හැකිය. එහෙත් ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන්නේ නැත. නිල කාලය අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසු තමන් කැමති අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයද ජනාධිපති සතුය. ජනාධිපතිවරයා තනතුරෙන් පහකිරීම සඳහා ඉදිරිපත් කරන දෝෂාභියෝග යෝජනාවකදී හා ඒ සඳහා පැවැත්වෙන විවාදයකදී හැර ජනාධිපතිගේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් විවේචනය කිරීමේ අයිතිය පවා පාර්ලිමේන්තුවට නැත. ජනාධිපති කරන කවර ක්‍රියාවකදී වුවත් ඔහුට එරෙහිව නඩු පැවරීමද කළ නොහැකිය. ඔහු සර්ව බලධාරි නායකයාය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් වඩා ජනාධිපති බලවත්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවකදී පවා දෝෂාභියෝගයක් මගින් තනතුරෙන් ඉවත් කරන ක්‍රමයක් හැර (ඒ සඳහා විධිවිධාන සකස් කර ඇත්තේ ද කවර වරදකීවත් ජනාධිපතිවරයා තනතුරෙන් පහ කළ නොහැකි ආකාරයටය.) එවැනි ක්‍රියාවක් වළකන ක්‍රමයක් දේශපාලන ක්‍රමයට ඇතුළත් නැත.
විධායක ජනාධිපතිට ලැබී තිබෙන පරම බලය එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් එම තනතුරුවලට පත් කරනු ලබන පුද්ගලයන් කෙරෙහි සේ ම ජනාධිපතිගේ රැකවරණය ලබන දේශපාලකයන් කෙරෙහි ද බලපායි. ඔවුන් ජනාධිපති තරම් විශාල නැතත් ඔවුන්ගේ විෂය ක්ෂේත්‍රය තුළ එක්තරා ප්‍රමාණයකට පරම බලයක් භුක්ති විඳින පුංචි ජනාධිපතිවරුන් ලෙස සැලකිය හැකිය. ඔවුන් කරන කවර වරදකදී වුවත් ඔවුන්ට එරෙහිව පොලිසියට, අල්ලස් කොමිසමට හෝ අධිකරණයට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තැනකට යා නොහැකිය. මේ තත්ත්වය නීතියේ ආධිපත්‍යය අරුත් විරහිත දෙයක් බවට පත්කිරීමට හේතුවී තිබේ. 3. තිබුණු පැරණි පාර්ලිමේන්තු ක්‍රමය තුළ දේශපාලනය මහා පරිමාණයෙන් ධනය උපයා ගන්නා මාර්ගයක් නොවීය. දේශපාලනය කළේ තත්ත්වය හෝ ගෞරවය සඳහාය. දේශපාලන බලය සඳහා අතිවිශාල වියදමක් ද අවශ්‍ය නොවීය. විධායක ජනාධිපති ක්‍රමය ඇතිවීමෙන් පසු දේශපාලන බලය සඳහා අතිවිශාල මිලක් ගෙවිය යුතු තත්ත්වයක් ඇතිවී ඒ විශාල මිල සල්ලිකාරයන් කිහිපදෙනකුගෙන් ලබාගන්නා හා එසේ ලබා ගන්නා මිල ඔවුන්ට විශාල පොලියක් සමග පොදු දේපළවලින් ගෙවන ක්‍රමයක් ස්ථාපිත විය.
එම තත්ත්වය දේශපාලන බලය සඳහා කෙරෙන අරගලය පොදු දේපළ කොල්ලකෑමට තිබෙන අයිතිය සඳහා කෙරෙන රුදුරු පොරයක් බවට පත්කිරීමට හේතුවී තිබේ. මෙම තරගයේදී ජයග්‍රාහකයා තමන්ට මුදලින් ආධාර කළ ධනවතුන්ට පොදු දේපළවලින් ඒ මිල ගෙවන විට බලය සඳහා වෙනත් ආකාරවලින් ආධාර කළ අනුගාමිකයන්ට සුදුසුකම් නොසලකා තනතුරුවලට පත් කරන හා රක්ෂා ලබාදෙන ක්‍රමයක් ස්ථාපිත වී තිබේ. ඒ ක්‍රමය යටතේ විරුද්ධ පක්ෂයේ සිටියදී පළිගැනීමට ලක්වූ ආධාරකරුවන්ට ද මුදලින් වන්දි ගෙවන හා උසස්වීම් ලබාදෙන ක්‍රමයක් ද ගොඩනැගී තිබේ. 4. මෙම දූෂිත දේශපාලන ක්‍රමය රජයට ලැබෙන ආදායම් හීන කිරීමටත්, ඒ මගින් රජය මගින් පවත්වාගෙන යන අධ්‍යාපනය, මහජන සෞඛ්‍යය, මගී ප්‍රවාහනය වැනි මහජන සේවා සඳහා කරන ආයෝජනයක් හීන කිරීමත් ඒ මගින් රටේ සංවර්ධන ක්‍රියාවලිය අඩපණ කිරීමටත් හේතුවී තිබේ.
තෝරා ගන්නේ කුමන ක්‍රමයක්ද?
දැන් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට තෝරාගන්නට යන්නේ කුමන ක්‍රමයක් වුවද එය ඵලදායී වීමට නම්. 1. රාජ්‍ය නායකයා ඇතුළු මහජන නියෝජිතයන් තෝරාපත් කරගන්නා ඡන්ද ක්‍රමය සරල, අධික වියදමක් දැරීමට අවශ්‍ය නොවන නීතියේ පාලනයට යටත්ව ක්‍රියා කරන ක්‍රමයක් බවට පත් කළ යුතුය. (අ) මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් සඳහා මැතිවරණ වියදම් සීමා ඇති කළ යුතුය. මැතිවරණයකදී තරග කරන පුද්ගලයකුට හෝ පක්ෂයකට පුද්ගලයකුට හෝ ආයතනයකට මුදලින් ආධාර කළහැකි ප්‍රමාණයක් සඳහා ද සීමා නීති ඇති කළ යුතුය. මැතිවරණවලදී දේශපාලන පක්ෂ හෝ තරග කරන අපේක්ෂකයන්ගේ ගිණුම් වාර්තා ප්‍රකාශ කිරීමට බලකෙරෙන නීති ඇති කළ යුතුය. (ආ) රාජ්‍ය නායකයා නීතියට යටත් හා මැතිවරණ දෙකක් අතර කාලය තුළ ව්‍යවස්ථාදායකටද, මැතිවරණවලදී මහජනතාවට ද වගකියන තැනකට ගෙනා යුතුය. (ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පුද්ගලයකු දරන තනතුරෙන් පහකිරීමට හේතුවන බරපතළ වරදක් ලෙස නීතිගත කළ යුතුය.
(ඈ) දේශපාලන බලය දරන්නන්ට පොදු දේපළ අයථා ලෙස හිමිකර ගැනීමට, අයථා ලෙස වෙනත් අයට හිමිකර දීමට හෝ ඒවායින් අයුතු ලාභ හෝ ප්‍රයෝජනය ලැබීමට තිබෙන ඉඩ නැති කරන නීති ඇති කළ යුතුය. 2. වත්කම් හා බැරකම් නීතිය විධිමත් කොට සියලු දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශ කරන හා වෙබ් අඩවි මගින් ඒවා ප්‍රසිද්ධ කිරීමට බලකෙරෙන නීති ඇති කළ යුතුය. 3. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය හා අල්ලස් කොමිසම වැනි ආයතනවල ක්‍රියාකාරීත්වය නිරන්තර සෝදිසියට ලක් කෙරෙන ක්‍රමයක් ඇති කළ යුතුය. 4. සුදුසුකම් නොසලකා තනතුරුවලට හෝ රජයේ රක්ෂාවලට පත් කිරීමේ ක්‍රමය අහෝසි කළ යුතුය. 5. අධ්‍යාපනය, සෞඛ්‍යය, මගී ප්‍රවාහනය, බලශක්ති, පරිසරය වැනි රටේ වර්තමානය කෙරෙහි සේ ම අනාගතය කෙරෙහි ද බලපාන විෂයන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් කරගනිමින් එම ජාතික ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියාකිරීම වළකන නීති ඇති කළ යුතුය.
6. වර්ගභේද, ආගම් භේද හෝ කුලභේද ඇති කිරීමට හේතුවන ක්‍රියා නීතියෙන් තහනම් කළ යුතුය.