සන්ධාන ආණ්ඩුව දුෂ්කර කඩුල්ලක් ජයගනී

September 12, 2004
Publication:
With Arumugam Thondaman's Ceylon Workers' Congress and its eight MPs on board, the alliance government has overcome its lack of a parliamentary majority. The editorial says the President's hardest task now is to satisfy both Velupillai Prabhakaran and Wimal Weerawansa at once.

තොණ්ඩමන්ගේ කම්කරු කොංග්‍රසය එකතු කරගැනීමට හැකිවීම තුළ සන්ධාන ආණ්ඩුව මුහුණ දී තිබුණු අභියෝග අතරින් එක අභියෝගයක් ලෙස සැලකිය හැකි පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතිකමේ ප්‍රශ්නය ජයගැනීමට සන්ධාන ආණ්ඩුව සමත් විය. “සන්ඩේ ලීඩර්” හා “සන්ඩේ ටයිම්ස්” යන පුවත්පත් දෙක පළකර තිබෙන ඊට අදාළ පසුබිම් කතාව සත්‍යයක් නම් ඒ අර්බුදය ජයගැනීම සඳහා ආණ්ඩුව ගෙවා තිබෙන මිල ඩොලර් මිලියන දෙකක් හෙවත් රුපියල් මිලියන 200කි.

ශ්‍රී ලංකා දේශපාලන තලයේ පැවති සංකීර්ණ වටපිටාව තුළ කවර මිලක් ගෙවා හෝ මන්ත්‍රීවරුන් අටදෙනෙකු සහිත තොණ්ඩමන්ගේ වතු කම්කරු කොංග්‍රසය ආණ්ඩුවට සම්බන්ධ කරගැනීමට හැකිවීම සන්ධාන ආණ්ඩුව ඉදිරියේ තිබුණු දුෂ්කර එක් කඩුල්ලක් ජයගැනීම හා සමානය. මුස්ලිම් කොංග්‍රසයෙන් ආණ්ඩුවට එකතු වී තිබෙන තිදෙනා ද, හෙළ උරුමයෙන් එකතු වී සිටින මන්ත්‍රී හිමිනම ද සමග දැන් ආණ්ඩු පක්ෂයට සිටින මන්ත්‍රීන් සංඛ්‍යාව 118කි.

ඒ ප්‍රමාණය ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් වුවත්, ජනාධිපතිනිය අපේක්ෂා කරන අරමුණ ජයගැනීමට ප්‍රමාණවත් වන්නේ නැත. ඇයට ඇගේ අවලංගුවීම වළකාගත හැකිවනු ඇත්තේ දැන් තිබෙන ගණනට තවත් 32ක් ද එකතු කරගැනීමට සමත් වේ නම් පමණය.

එය ඉතාමත් දුෂ්කර ඉලක්කයක් වුවත්, එය ජයගැනීම ඇගේ අධිෂ්ඨානය වී තිබෙන බව පෙනේ. ඇය තුළ බලය සඳහා ධෛර්යය ද, විචක්ෂණභාවය ද පවතී. ඇය තමන් ඉදිරියේ තිබුණු අමාරු කඩුලු දෙකක් ජය ගත්තාය.

පිළිගත් සම්ප්‍රදායන් නොසලකා, තමන් විසින් කතානායකට දී තිබුණු පොරොන්දුව ද නොසලකා එක්සත් ජාතික පෙරමුණට බහුතර බලයක් තිබුණු පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යමින් එක්සත් ජාතික පෙරමුණ පරාජය කළාය. එය තම පැවැත්ම පරදුවට තබා කළ බිහිසුණු සූදුවක් වුවත්, ඇය එයින් ජයගත්තාය. ඒ සඳහා ඇය සිය පක්ෂයේ පැවැත්ම පරදුවට තබා ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානයක් ද ඇති කරගත්තාය.

ඇගේ ප්‍රතිවාදි නායකයා සිටියේ සිහින ලෝකයකය. එවැනි දෙයක් විය හැකි බව කල් තියා දැකීමේ හැකියාව ඔහුට නොතිබුණා සේ ම ඒ නිසා මුහුණ දෙන්නට සිදුවූ අභියෝගයට විචක්ෂණ ලෙස මුහුණ දිමට ද ඔහු අසමත් විය.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් දිනාගැනීමට ඇය අසමත් වුව ද, කිසියම් දිර්ඝ කාලයක් ගතවීමෙන් පසුව හෝ අයවැයට පෙරාතුව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති කරගැනීමට ද ඇය සමත් විය.

ක්‍රමය වෙනස් කර හෝ නොකර තමා අවලංගුවීම වළකා ගැනීම ඇය ඉදිරීයේ දැන් තිබෙන ලොකුම අභියෝගයයි. ඒ සඳහා තිබෙන කාල නියමයන්ට ආවේණික සීමිත බව තුළ ඇයට එම අභියෝගය වඩා පහසුවෙන් ජයගත හැකිවනු ඇත්තේ දැන් ගොඩනගා ගැනීමට සමත් වී තිබෙන බහුතර බලය කවර මිලක් ගෙවා හෝ තුනෙන් දෙකක බලයක් දක්වා වර්ධනය කරගැනීමට ඇය සමත් වේ නම් පමණය. එය ඉතාමත් දුෂ්කර ඉලක්කයක් විය හැකි වුවත්, ඒ ඉලක්කය ජයගැනීම ඇගේ අධිෂ්ඨානය වී තිබෙන බව ද පෙනේ.

අවලංගුවීම වළකා ගැනීම සඳහා ඇය ඉදිරියේ විකල්ප දෙකක් පවතී. එකක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. අනෙක තමාගේ අවලංගුවීම වැළැක්වීමට හැකිවන ලෙස විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමය. ඇය වඩා කැමති ක්‍රමය ලෙස කතා කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වුවත්, ඇය වඩා කැමති බව පෙනෙන්නේ දෙවැනි විකල්පයටය. එනම් පුද්ගලයෙකුට තුන්වරක් එම පදවියේ රැඳී සිටිය හැකි ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමය.

එවැනි විකල්පයක් තෝරාගැනීම යුක්තිසහගත කිරීම පිණිස ඇයට ඉදිරිපත් කළ හැකි තර්ක ගණනාවක් පවතී. විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යාම තමන්ගේ කැමැත්ත නොවූවත්, සුළු ජාතීන් ක්‍රමය වෙනස් කිරීමට දැඩි ලෙස අකමැති නිසා තම අකමැත්ත නොසලකා එසේ කරන්නට සිදුවූ බව කිව හැකිය. සන්ධානයේ සියලු පක්ෂවලට එකග විය හැකි අපේක්ෂකයකු නැති නිසා සන්ධානයත්, සන්ධාන ආණ්ඩුවත් එම ආණ්ඩුවේ රට පෙරට වැඩපිළිවෙළත් ඉදිරියට ගෙනයෑම සලකා තමන්ට අකමැත්තෙන් වුවත්, ඒ තීන්දුව ගන්නට සිදුවූ බව කිව හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබලි වීම වළකා ගැනීම සඳහා එසේ කළ බව ශ්‍රීලනි පාක්ෂිකයන්ට කිව හැකිය. ජනතා විමුක්ති පෙරමුණ සතුටු කිරීම අමාරු විය හැකි වුවත්, ඔවුන්ට පාර්ලිමේන්තු ආණ්ඩුවේ වැඩි බලයක් ලබාදෙන බවට පොරොන්දු විය හැකිය.

එහෙත් මෙම සමස්ත වැඩපිළිවෙළ සම්පූර්ණ කරගැනීමට ඇය සමත්වනු ඇත්තේ මැතිවරණයේදි රටට දෙන ලද පොරොන්දුවලට පටහැනිව යමින් එල්ටීටීඊය සමග ඔවුන් ඉදිරිපත් කර තිබෙන අන්තර්පාලන යෝජනා ගැන සාකච්ඡා කරන තැනකට යෑමෙන් නොනැවතී ප්‍රභාකරන් ද සතුටට පත් කරන දුරකට යෑමට සමත් වේ නම් පමණය.

මෙම දුෂ්කර අභියෝගයේදි ඇයට ජනතාවට වඩා පාර්ලිමේන්තුවේ සංඛ්‍යාව වැදගත්ය. ප්‍රභාකරන් සතුටු කළ හැකි නම් දෙමළ සන්ධානයේ විසිදෙදෙනාගේ සහයෝගය ද සිය වැඩපිළිවෙළට ලබාගත හැකිය. එවිට එකසිය දහඅට 140ක් බවට පත්වේ. තුනෙන් දෙකේ බලයක් සඳහා එවිට එක්සත් ජාතික පක්ෂයෙන් අවශ්‍ය වන්නේ 10ක් පමණය.

තිබෙන ලොකුම ගැටලුව වන්නේ වේළුපිල්ලේ ප්‍රභාකරන් හා විමල් වීරවංශ යන දෙදෙනාම සතුටු කරන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. ඒ දුෂ්කර ප්‍රශ්නය ජයගැනීමට ඇය සමත් වෙතොත්, ඇය තමන්ගේ දුෂ්කරම අරමුණ ද ජයගැනීමට සමත්වනු ඇත්තේය. එහෙත් එය එසේ නොවෙතොත්, විචක්ෂණභාවය හා ඇගේ කැපවීම නිසා නොව, වෙනත් හේතු නිසා ඒ වාසිය ලබන්නා බවට පත්වනු ඇත්තේ රනිල් වික්‍රමසිංහය. එහෙත් ඔහු ඒ අවස්ථාව ලබාගැනීමට බලාපොරොත්තුවන්නේ ද අනුර බණ්ඩාරනායක ජනාධිපතිවීමට අපේක්ෂා කරන ආකාරයටමය. ’