තොණ්ඩමන් මහතා සන්ධාන ආණ්ඩුවට එකතුවීමේ ක්රියාව කෙරෙහි ඔහු පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු ව සිටිය දී ඉන්දියානු සමාගමකින් ජලසම්පත් මණ්ඩලයට අයි.ටී. පද්ධතියක් මිලදි ගැනීම සඳහා ඇති කරගෙන තිබෙන දූෂිත කොන්ත්රාත්තුවක් බලපා තිබෙන බවට එල්ල වී තිබෙන චෝදනාවේ ඇත්ත කුමක් ද?
“සන්ඩේ ලීඩර්” පුවත්පත ඒ ගැන විස්තරාත්මක වාර්තාවක් පළ කොට තිබූ අතර, “සන්ඩේ ටයිම්ස්” පුවත්පත සිය මුල් පුවත ලෙස පළකර තිබුණේ ද ඒ ගැන ය.
අනාවරණය වී තිබෙන තොරතුරු අනුව මෙම අයි.ටී. පද්ධතියට ජලසම්පත් මණ්ඩලය ගෙවන්නට යන මිල එවැනි පද්ධතියක් සඳහා වෙළෙඳ පොළේ පවත්නා සාමාන්ය මිලට වඩා ඩොලර් මිලියන 2කට (රුපියල් මිලියන 200කට) වැඩි මිලකි. පද්ධතියේ වෙළෙඳ පොළ මිල ඩොලර් මිලියන 05ක් වුවත්, මිලදි ගැනීමට තීන්දු කර ඇත්තේ ඩොලර් මිලියන 07කට ය. මෙම කොන්ත්රාත්තුවට පසුගිය ආණ්ඩුවෙන් අනුමැතිය ලැබී ඇත්තේ ද සාමාන්යයෙන් එවැනි මිලදි ගැනීමක් සඳහා අනුගමනය කෙරෙන පිළිගත් ප්රතිපත්තිය නො සලකා ය. ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඒ අවස්ථාවේ දී එම ගනුදෙනුවට එක හෙළා විරුද්ධ විය. එහෙත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිනියගේ විරෝධය නො සලකා එම කොන්ත්රාත්තුව අනුමත කළේ ය. ඒ අනුව ජල සම්පත් මණ්ඩලය ඉන්දියානු සමාගම සමග එම කොන්ත්රාත්තුව අත්සන් කර ඇත්තේ 2003 දෙසැම්බර් මස 27 වැනිදා ය.
සන්ධාන ආණ්ඩුව බලයට පත්වී දිනේෂ් ගුණවර්ධන මහතා විෂය භාර ඇමතිවරයා වීමෙන් පසුව ජලසම්පත් මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සමිතියක් විසින් ඒ ගැන කරන ලද පැමිණිල්ලක් අනුව එම ගනුදෙනුව ගැන පරික්ෂණයකට ගියේ ය. එය සාමාන්ය ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව සාමාන්ය වෙළෙඳ පොළේ මිලට වඩා 40%ක වැඩි මිලක් සහිත ගනුදෙනුවක් බව ඒ ගැන කරන ලද පරික්ෂණයේදි සොයාගත හැකිවි ය. ඉන්පසු මණ්ඩලයේ නව පාලකයන් ගිවිසුමේ කොන්දේසි පිළිබඳ නැවත ඇගයීමක් කිරීමට තීන්දු කොට ඒ බව ඉන්දියානු සමාගමට දැනුම් දුන්නේ ය. සාකච්ඡා කිරීම සඳහා නියම කරගත් කිසිම දිනක සමාගම එම සාකච්ඡාවලට සහභාගි වූයේ නැත. අවසානයේ දී ටෙන්ඩරය අවලංගු කොට නැවත ඒ සඳහා අලුතෙන් ටෙන්ඩර් කැඳවීමට තීරණය විය.
“සන්ඩේ ලීඩර්” පුවත්පත කියන ආකාරයට තොණ්ඩමන් මහතාට හදිසියේම පැති මාරු කරන්නට සිදුවූයේ තමා මුලදි කරන ලද එම ගනුදෙනුව ආරක්ෂා කරගැනීම සඳහා ය. මෙම ගනුදෙනුව පිළිබඳ විස්තර “සන්ඩේ ලීඩර්” පුවත්පත පළකරන්නට යන බව දැනගන්නට ලැබී තොණ්ඩමන් මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාට ද, වෙනත් හිටපු ඇමතිවරුන් ගණනාවකට ද කතා කර තිබේ.
පුවත්පත තොණ්ඩමන් මහතාට එල්ල කොට තිබෙන චෝදනා ඉතාමත් බරපතළ වන අතර, තාණ්ඩමන් මහතාට පමණක් නො ව, හිටපු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සේ ම, වත්මනයේ බලයේ සිටින සන්ධාන ආණ්ඩුවට ද එල්ල වන සැගවුණු චෝදනා දෙකක් එම කතාව තුළ සැගවී පවතී.
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තොණ්ඩමන් මහතා සතුටු කිරීම පිණිස පිළිගත් පටිපාටියෙන් බැහැරව දූෂිත ගනුදෙනුවක යෙදිමට ඉඩදි තිබෙන අතර, එදා ඊට එකහෙළා ජනාධිපතිනිය විරුද්ධ වුවත්, දැන් සන්ධාන ආණ්ඩුව ද තොණ්ඩමන්ගේ සහාය ලබාගැනීම සඳහා එම දූෂිත ගනුදෙනුවට ඉඩ දෙන තැනකට තල්ලු වී සිටින්නේය.
මෙය ඉතාමත් ඛේදජනක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. රටේ පවතින්නේ තම තමන්ගේ දේශපාලන බලය සඳහා මෙවැනි දූෂණවලට අනුබල දෙන ක්රමයක් නම්, රට විනාශයෙන් විනාශයට ඇද වැටෙනු නොවැළැක්විය හැකි ය. මේ ගැන එක්සත් ජාතික පක්ෂය සේ ම, සන්ධාන ආණ්ඩුව ද කියන්නේ කුමක්දැයි දැනගැනීමට මහජනයා කැමති ය.