සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරගත යුතු යි

August 7, 2005
Publication:
The Sinhala south is absorbed in the unsettled questions of the presidential election while the ceasefire is plainly at risk: figures published by the Sahajeevana foundation show political killings in the East rising from 14 a month in 2004 to 18 in 2005. The editorial urges the two leading candidates to agree before the election to protect the ceasefire and restart talks.

සිංහල දකුණේ සම්පූර්ණ අවධානය යොමුවී තිබෙන බව පෙනෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය ආශ්‍රයෙන් නොවිසඳී ඇති ගැටලු කෙරෙහි ය. සටන් විරාම ගිවිසුම බිඳ වැටීමේ පැහැදිලි අනතුරක් පෙනෙන්නට ඇතත්, දකුණේ දේශපාලනයට ඒ ගැන සංවේදිතාවක් ඇති බවක් පෙනෙන්නට නැත.

සහජීවන පදනම ප්‍රකාශ කර ඇති දත්ත අනුව නැගෙනහිර දේශපාලන ඝාතනවල පැහැදිලි වර්ධනයක් පෙනෙන්නට තිබේ. 2004 දී එහි සිදුවන ඝාතනවල මාසික සාමාන්‍ය 14 ක් වන විට 2005 දී එය 18 දක්වා ඉහළ නැග තිබේ. ඝාතනවල ශීඝ්‍රවර්ධනයක් පෙන්නුම් කරන දිස්ත්‍රික්කය වී ඇත්තේ මඩකලපුවයි. 2005 වසරේ පසුගිය මාස 7 තුළ මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් සිදුවී ඇති ඝාතන සංඛ්‍යාව 102 කි. අම්පාර දිස්ත්‍රික්කයේ සිදුවී ඇති ඝාතන සංඛ්‍යාව 22 ක් වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 14 කි.

මේ වසර තුළ පමණක් එල්ටීටීඊ සාමාජිකයන් 29 ක් ද, යුද හමුදා සාමාජිකයන් 17 ක් ද, කරුණා පාර්ශ්වයේ සාමාජිකයන් 13 ක් ද, සිවිල් වැසියන් 56 ක් ද දේශපාලන පක්ෂවලට සම්බන්ධ පුද්ගලයන් 17 ක් ද ඝාතනයට ලක්වී තිබේ. මෙම මාස 07 තුළ නැගෙනහිර පමණක් ඝාතනයට ලක්ව ඇති අයගේ මුළු සංඛ්‍යාව 138 කි.

සටන් විරාම ගිවිසුම නිසා ස්ථිරසාර සාමයක් ඇතිවී නැතත්, බිහිසුණු යුද්ධයක් පැවති රටක යුද්ධයක් නැති තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. සටන් විරාම ගිවිසුමෙන් පසුත් එම ගිවිසුමට පටහැනිව දෙපාර්ශ්වය ම තෝරාගත් පුද්ගලයන් ඝාතනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බව සැබෑවකි. ඒ නිසා මනුෂ්‍ය ඝාතන විශාල ප්‍රමාණයක් සිදුවී ඇතත්, එම විනාශය යුදමය තත්ත්වයක් තුළ සිදුවන විනාශයට සම කළ නො හැකි ය. අපේක්ෂා කළ හැකි හොඳම තත්ත්වය දේශපාලන මනුෂ්‍ය ඝාතනයට ඉඩක් නැති ස්ථිර සාර සාමයක් වුවත්, යුදමය තත්ත්වයකට වඩා දැන් පවත්නා තත්ත්වය ද යහපත් ය. සිදුවිය යුතුව තිබෙන්නේ නැවත යුද කරන තත්ත්වයකට යෑම නො ව, සටන් විරාම ගිවිසුම අකුරට ම ක්‍රියාවට නගන පිළිවෙතක් තුළ මෙම ප්‍රශ්නයට සාකච්ඡාමය විසඳුමක් ඇති කරගන්නා තැනකට යොමුවීමය.

ඉදිරි ජනාධිපතිවරණය වැදගත් වන්නා සේ ම සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරගැනීම ද වැදගත් ය. දේශපාලන නායකයන් ඉදිරි ජනාධිපතිවරණය ගැන සිතනවාට අතිරේකව උතුරු නැගෙනහිර වර්ධනය වන නොසන්සුන් තත්ත්වය ද සැලකිල්ලට ගත යුතු ය. ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාට මේ සංකීර්ණ විෂයේ දී එකට එකතු වී දැන් සිට ම සහයෝගයෙන් ක්‍රියාකරන තැනකට ආ හැකි නම් එය ශ්‍රී ලංකා දේශපාලනයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට හේතුවනවා ඇත.

මෙම නායක දෙපළට මැතිවරණයකට යන්නට පෙර මෙම විෂය ගැන එකට එකතු වී සාකච්ඡා කළ හැකි ය. සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරන බවටත්, සාම සාකච්ඡා ආරම්භ කොට සියලු දෙනාගේ ගෞරවයට හේතුවන දේශපාලන විසඳුමක් ඇති කරගැනීම සඳහා අන්‍යොන්‍ය අවබෝධයෙන් ක්‍රියාකරන බවටත්, ජනාධිපතිවරණයෙන් ජය ලබන අපේක්ෂකයාට පරාජිත අපේක්ෂකයා මෙම ප්‍රශ්නය විසඳ ගැනීම සඳහා ආධාර කරන බවටත් රටට සහතික විය හැකි ය. එවැනි පොදු එකගතාවක් නූතන ශ්‍රී ලංකා දේශපාලනයේ පවත්නා අවලස්සන බව යම් පමණකට හෝ තුනී කිරීමට හේතුවනු නො වැළැක්විය හැකි ය.