ජනාධිපති අපේක්ෂකයා නම් කරන ලෙසට ශ්රීලනිප තුළ ඉල්ලීමක් තිබුණ ද අගමැති අපේක්ෂකයා නම් කරන ලෙසට ඉල්ලීමක් නොතිබුණි. ජනාධිපතිනිය ජනාධිපති අපේක්ෂකත්වයට මහින්ද රාජපක්ෂ නම් කිරිමෙන් නොනැවතී, අගමැති අපේක්ෂකත්වයට සිය සොහොයුරා නම් කළේය. ඒ සියල්ල එසේ සිදුවූයේ චන්ද්රිකා කුමාරතුංග මහත්මියට යාවජීව නායකත්වය ලබාදෙන ව්යවස්ථා සංශෝධනයක් ද කරළියට ගනිමිනි.
ඒ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ ජනාධිපතිනිය පියවර දෙකක් පස්සට ගන්නා අතර, එක් පියවරක් ඉදිරියට ගෙන ඇති බවය. ජනාධිපතිනිය තමන්ගේ අවලංගුවීම වළකාගැනීම සඳහා වන අරගලය මුළුමනින් අත්හැර නැති බව ඉන් පෙනී යයි.
ජනාධිපතිවරණය පවත්වන්නේ 2005 වසර අවසානයේ ද නැතිනම් 2006 වසර අවසානයේදි ද යන තීරණාත්මක ප්රශ්නය තවමත් විසඳී නැත. සියලු දේ අසාර්ථක වෙතොත් අඩුම වශයෙන් 2006 අවසානය වන තෙක් තනතුරේ රැඳී සිටීමේ අයිතිය තමන්ට තිබිය යුතු යැයි ජනාධිපතිනිය කල්පනා කරන බව පෙනේ.
මැතිවරණ කොමසාරිස්වරයා දෙන්නට යන තීරණය කුමක්ද? ඔහු තම තීරණය දැනුම් දෙන්නට පෙර අර්ථ නිරූපණයක් ලබාගැනීමට ජනාධිපතිනියට තිබෙන අයිතිය යටතේ ජනාධිපතිනිය ශ්රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබාගන්නේද? එවැනි අවස්ථාවකදි ශ්රේෂ්ඨාධිකරණය දෙනු ඇති අර්ථ නිරූපණය කුමක්ද? ශ්රේෂ්ඨාධිකරණය දෙන අර්ථ නිරූපණය තමන්ට දෙන්නට යන තීරණයට පටහැනි වුවහොත් මැතිවරණ කොමසාරිස්වරයා ඊළගට කරන්නට යන්නේ කුමක්ද? ශ්රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් නොකර තිබියදි මැතිවරණ කොමසාරිස්වරයා දෙන තීරණය ජනාධිපතිනියගේ අභිලාෂයට එකග නොවෙතොත්, ජනාධිපතිනිය එම තීරණයට අභියෝග කරමින් ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට යන්නේද? එවැනි අවස්ථාවකදි ශ්රේෂ්ඨාධිකරණය දෙන්නට යන තීරණය කුමක්ද? මේ සියලු ප්රශ්න තීරණාත්මක වැදගත්කමකින් යුතු වුවත්, ඒවාට ලැබෙන්නට යන පිළිතුරු කල්තියා කීමේ හැකියාවක් නැත.
එහෙත් ජනාධිපතිවරණය මේ වසර අවසානයේම පැවැත්විය යුතු බව තීරණය කරන තීන්දුවක් ප්රකාශයට පත් කෙරුණ ද අවශ්ය නම් එවැනි ප්රකාශයකින් පසුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිනිය සතුය. අවශ්ය නම් පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය එකම කාලයක පැවැත්වෙන තත්ත්වයක් නිර්මාණය කිරීමේ හැකියාව ද ජනාධිපතිනිය සතුය.
ජනාධිපතිනියගේ මෙම ඇදිම (මහින්ද ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන අතර, අනුර අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීම) චෙස් ක්රීඩාවේදි නම් සැලකෙනු ඇත්තේ ඉතාමත් බිහිසුණු හා සටකපට ඇදිමක් ලෙසය. ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකම කාල වකවානුවක පවත්වන තත්ත්වයක් ඇතිවී වැරදිලාවත් මහින්ද ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් අපේක්ෂා කරන ජනාධිපතිකම පමණක් නොව ඔහුට තිබුණු මන්ත්රීකම ද අහිමි වන්නේය. එහෙත් එවැනි තත්ත්වයක් යටතේ වුවත් අනුර බණ්ඩාරනායකට මන්ත්රීකමට අතිරේකව විපක්ෂ නායකකම හිමිවනු ඇත්තේය. ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකවිට නොතබා පාර්ලිමේන්තු මැතිවරණය පළමුව පවත්වා ඉන් ශ්රීලනිප පරාජය වුවහොත් ඉන් ලැබෙන ප්රතිඵලය ද ඊට සමානය. එවිට අනුර බණ්ඩාරනායකට විපක්ෂ නායකත්වය හිමිවනු ඇති අතර, මහින්ද රාජපක්ෂ මහතාට තරග කිරීමට සිදුවනු ඇත්තේ කල්තියා පරාජය පෙනෙන ජනාධිපතිවරණයකටය. ජනාධිපතිවරණය පළමුව පවත්වා එය පරාජය වී ඊළගට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවද ලැබෙන ප්රතිඵලය තරමක් ඊට සමානය. පරාජිත ජනාධිපති අපේක්ෂකයා නිකම්ම මන්ත්රී අපේක්ෂකයකු ලෙස තරග කරන විට අගමැති හෝ විපක්ෂ නායක අපේක්ෂකයා ලෙස තරග කරනු ඇත්තේ අනුර බණ්ඩාරනායක මහතාය.
මෙම සමීකරණය ඉතාමත් සියුම් නිර්මාණයක් ලෙස සැලකිය හැකි අතර, ශ්රීලනිප තුළ ඇති පවුල් ආධිපත්යයේ අඛණ්ඩතාව තවදුරටත් ආරක්ෂා කරගැනීම සඳහා නිර්මාණය කළ දේශපාලන සමීකරණයක් ලෙස ද සැලකිය හැකිය.
ශ්රී ලංකාවේ බහුපක්ෂ ක්රමයක් ඇතත්, ඒවා ප්රජාතන්ත්රවාදි පක්ෂ ලෙස සැලකිය නොහැකිය. ශ්රීලනිප හා එජාප ශ්රී ලංකා බල දේශපාලනයේ ප්රධාන බල උල්පත් දෙක ලෙස සැලකිය හැකිය. ප්රධාන ධාරාවෙන් පිටස්තර විශේෂ ගණයේ විකල්ප බල උල්පතක් එල්ටීටීඊය විසින් පවත්වා ගෙන යයි. එජාප හා ශ්රීලනිප යන ප්රධාන පක්ෂ දෙකම ප්රජාතන්ත්රවාදි පක්ෂ ලෙස සැලකිය නොහැකිය. ශ්රීලනිප එක් රදල පවුලක් ද, එජාප ධනේශ්වර පවුල් කණ්ඩායම් කිහිපයකින් ද පාලනය කරයි. අවසාන විග්රහයේදි මේ පක්ෂ දෙකේම නායකත්වය තීරණය කරන්නේ, ශ්රීලනිපය නම් එම පවුල විසින් හෝ එජාපයේ නම් එම පවුල් කණ්ඩායම විසින්ය. ආර්. ප්රේමදාස එහි වෙනසක් ඇති කළත් එය රටේ පැවති විශේෂ දේශපාලන තත්ත්වය විසින් නිර්මිත විශේෂ තත්ත්වයක් මිස සාමාන්යක් ලෙස සැලකිය නොහැකිය. පක්ෂය තුළ ප්රේමදාස මහතා ලැබූ ජයග්රහණය එහි ගමන් මග වෙනස් කිරීමට හේතු නොවීය. ශ්රීලනිප නිර්මාණය කළ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා තුළ පවුල් ආධිපත්යයක් පිළිබඳ හැගීමක් නොතිබුණ ද, බණ්ඩාරනායක මහතාගේ මරණයෙන් පසුව පක්ෂ නායකත්වයට පත් බණ්ඩාරනායක මැතිනිය එය බණ්ඩාරනායකලාගේ හා රත්වත්තලාගේ පවුලේ පක්ෂයක් බවට පත් කරගත්තාය. බණ්ඩාරනායක අගමැතිවරයාගේ දරු තිදෙනා විදේශ අධ්යාපනයක් ලැබූ අය වුවත්, පක්ෂයට තිබෙන පවුලේ උරුමය ගැන ප්රසිද්ධියේ කතා කරන්නට බියවන්නේ නැත. එසේ කතා කිරීම ලැජ්ජාවක් ලෙස ඔවුන් සලකන බවක් ද පෙනෙන්නට නැත.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තමන්ට හයෙන් පහක බලයක් තිබුණු පාර්ලිමේන්තුවේ සිය පක්ෂයට අයත් මන්ත්රීවරුන්ගෙන් දාතම නොයෙදූ ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගත්තේය. ඊට එරෙහි වීමේ පිටකොන්දක් තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්රීවරුන් අතරින් එකම මන්ත්රීවරයෙකුට පමණය. ජේ.ආර්. ජයවර්ධන සිය දෙවැනි ධුර කාලය අවසානයේ ඉතාමත් වියපත් තත්ත්වයක සිටි මුත්, තුන්වැනි ධුර කාලයක් සඳහා ද සිහින දැක්කේය. එවැනි ව්යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්ය පාර්ලිමේන්තු බලයක් තිබියදිත් එය සාර්ථක කරගත නොහැකි වුයේ ප්රේමදාස මහතා එම තත්ත්වයට එරෙහිව නිර්භීත ලෙස නැගී සිටිය නිසා හා ඒ අවස්ථාවේ රටේ පැවති විශේෂ දේශපාලන තත්ත්වය නිසාය.
ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මියට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් නොතිබියදිත්, අධිකරණයේ සහාය ඇතිව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කරන්නට ගිය (දේශපාලන බලය සඳහා) හැම දෙයක්මත් කරන්නට උත්සාහ කළාය. ඇය 2000 ව්යවස්ථා සම්පාදනයේදි සිය නියෝජ්ය ඇමතිවරුන් විසි තුන්දෙනෙකු ගෙන් දාතම නොයෙදූ ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගත්තාය. පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් නොතිබියදිත් දෙවැනි ධුර කාලයෙන් පසු තමන්ගේ අවලංගුවීම වළකා ගැනීමට සිහින දැක්කාය. ඇගේ සිහින දැකීම ඵලරහිත වනු ඇත්තේ මහින්ද රාජපක්ෂට ද ආර්. ප්රේමදාස කෙනෙකු වීමට හැකි නම් පමණය.