තමන් ජීවත් වන රට කුණුවෙමින් තිබේ නම් හා ඒ බව තේරුම් ගැනීමට අවශ්ය සංවේදිභාවයක් ඒ රටේ ජනතාවට නොමැති නම් එවැනි රටක් කාලකණ්ණ්ි තත්ත්වයට පත් රටක් ලෙස සැලකිය හැකි ය.
මේ කාලකණ්ණිභාවය ඇතිවී තිබෙන්නේ සමාජ හෘද සාක්ෂියේය. අපේ සමාජයට හෘද සාක්ෂියක් ඇතත්, එයට සංවේදනා හඳුනා ගැනීමේ හැකියාවක් නැත. එක්කෝ හෘද සාක්ෂිය මැරිලාය. නැත්නම් සංවේදනා හඳුනාගැනීමට බැරි තරමට එය හරිවැටුණු තත්ත්වයකට පත්වී තිබේ.
ප්රචණ්ඩත්වයේ කම්පනය
මහාචාර්ය දයා සෝමසුන්දරම් ලියා ඇති Scared Minds (බියට පත් මනස්) නමැති කෘතිය සමූහ ප්රචණ්ඩ ක්රියාකාරිත්වයක් තුළ ජීවත්වන්නට සිදුවන තත්ත්වයක් තුළ දෙමළ මනස විකෘති කිරීමට හේතුවී තිබෙන ආකාරය ගැන ලියවුණ ගැඹුරු විශ්ලේෂණයක් ලෙස සැලකිය හැකිය. එහිදි මහාචාර්යවරයා ලියා ඇත්තේ දෙමළ සමාජය ගැන පමණක් වුවත්, එහි එන නිරික්ෂණ සිංහල මුස්ලිම් යන සමාජ කණ්ඩායම් ද ඇතුළත් සමස්ත ශ්රී ලංකා සමාජයටම අදාළ වේ යැයි සිතමි.
සමූහ ප්රචණ්ඩත්වයේ කම්පන තරංග දෙමළ සමාජ මනස කෙරෙහි බලපා ඇති ආකාරයේත්, නැවත සිංහල සමාජ මනස කෙරෙහි බලපා ඇති ආකාරයේත් වෙනස්කම් තිබිය හැකි වුවත්, එහි කම්පන තරංග පොදුවේ සමස්ත සමාජයේම මනස් විකෘති කිරීමට හා රෝගී කිරීමට හේතුවී තිබේ යැයි කිව හැකිය.
දෙමළ සමාජයට එක දිගට වඩා දිර්ඝ කාලයක් සමූහ ප්රචණ්ඩ ක්රියාකාරකම් මැද දිවි ගෙවන්නට සිදුවූ බව සත්යයකි. එහෙත් ජීවිත හානි අර්ථයෙන් ගත්විට ඒ දිර්ඝ කාලය තුළ උතුරේ ඇතිවූ ජීවිත හානිවල ප්රමාණයට සමාන ප්රමාණයක් වසර දෙකක් තරම් කෙටි කාලයක් තුළ එනම් ජවිපෙ කැරැල්ල පැවති 88-90 අවධියේදි සිදුවිය. එහෙත් අනාථභාවය හා දේපළ හානි අර්ථයෙන් ගත්විට උතුරට සිදුවී තිබෙන හානිය ඉතා විශාලය.
එහෙත් උතුරේ පැවති සමූහ ප්රචණ්ඩත්වයට හැමවිටම දකුණේ ද සම්බන්ධයක් තිබුණි. ආණ්ඩුවේ හමුදා උතුරේ කෙරෙන යුද්ධයට මිනිස් බලය ලබාගන්නේ දකුණෙනි. ආණ්ඩුවේ හමුදා ප්රභාකරන්ගේ කොටි හමුදාවට එරෙහිව කරන ලද යුද්ධයේදි ඔවුන් අතින් කොටි සෙබළ, සෙබළියන් සේ ම සාමාන්ය දෙමළ ජනයා ද මරණයට පත්විය. අනෙක් අතට ප්රභාකරන්ගේ කොටි හමුදාව අතින් ද ආණ්ඩුවේ හමුදාවල සෙබළුන් සේ ම සාමාන්ය සිංහල හා මුස්ලිම් වැසියන් ද මරණයට ලක්විය.
හිංසාව හිංසාවට භාජනය වන පුද්ගලයාගේ මනස කෙරෙහි පමණක් නොව, හිංසාව ඇති කරන පුද්ගලයාගේ මනස කෙරෙහි ද බලපායි. ඊට අතිරේකව හිංසාව දකින ජනතාවගේ මනස් කෙරෙහි ද බලපායි.
සමූහ ප්රචණ්ඩත්වය සඳහා පැවති හා පවත්වාගෙන යමින් තිබෙන ආයතනවලට (රාජ්ය විරෝධී හමුදා හා ආණ්ඩුවේ හමුදා) සෘජු ලෙස සම්බන්ධ වී සිටි හා තවදුරටත් සම්බන්ධ වී සිටින අය ද, නැවත ඒ ගැටුම් නිසා මරණයට පත් අය, මරණයට පත් නොවූවත් හිංසාවට ලක්වූ හා දේපළ අහිමි කරගනිමින් අනාථභාවයට පත් අය යන සියලු දෙනා එකට ගත්විට ඔවුන්ගේ සංඛ්යාව ජනගහනයෙන් භාගයකටත් වැඩිවිය හැකිය. අන් අයට සෘජු අලාභ සිදුවී නැතත්, සිදුවුණු දේවල් ඔවුන්ට පෙනුණේය. ගඳ සුවඳ දැනුණේය. හඬ ඇසුණේය. ඒ ආකාරයට ගත්විට එක දිගට දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ රටේ රජ කළ ප්රචණ්ඩ ක්රියාකාරම්වල කම්පන තරංග මුළු මහත් ශ්රී ලංකා සමාජයේම මනස් කෙරෙහි එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් බලපා තිබෙනවා යයි කිව හැකිය. සමාජ හෘදය සාක්ෂිය ක්රියාවිරහිත කිරීමට හෝ හිරිවැටුණු තත්ත්වයකට පත් කිරීමට හේතුවී ඇත්තේ එම තත්ත්වයයි.
ජනතාවට පුනක්කු කවන Fඵ සේවාවන්
සමූහ ප්රචණ්ඩත්වයේ කම්පන තරංගවලට හසුවී විකෘති වී ඇති සමාජ මනස සුවපත් කිරිමේ ප්රධාන වගකීම යා යුත්තේ ජනමාධ්යවලට වුවත්, ජනමාධ්ය ලෙඩා සුවපත් කරන ප්රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට ලෙඩේ කුරෝලු කරන ප්රතිපත්තියක් අනුගමනය කරයි.
මේ කාර්යයේදි ඉතාමත් නින්දා සහගත තත්ත්වයකින් ක්රියාකරමින් සිටින්නේ FM රේඩියෝ සේවාවන්ය.
FM රේඩියෝ සේවාවන් රටේ ප්රධාන පුනක්කු නිෂ්පාදකයින් බවට පත්ව සිටිති. ඔවුන් ඒවා නිපදවන්නේ හරකුන්ට කවන්නට නොව, මහජනතාවට කවන්නටය. තමන් මහත් උදාර ලීලාවෙන් නිපදවන පුනක්කු විකිණීම සඳහා ද, නිෂ්පාදකයින් අතර මහා තරගයක් පවතී. පුනක්කු කෑමට මහජනයා පොළඹවා ගැනීම සඳහා ද තෑගි දෙන තරග ක්රම පවත්වාගෙන යයි. මේ සේවාවන් මහත් තේජාන්විත ලීලාවක් ආරූඪ කරගනිමින් තමන්ට කවමින් සිටින්නේ පුනක්කු බව මහජනතාව ද දන්නේය. එහෙත් ඔවුන් විරෝධයකින් තොරව ඔවුන් බෙදා දෙන පුනක්කු ආශාවෙන් අනුභව කරමින් සිටිනවා විනා ඊට එරෙහිව නැගී සිටින්නේ නැත.
රූපවාහිනිය කරළියට එන්නට පෙර ජනතාවගේ දැනුම හා රසඥතාව වර්ධනය කිරීම සඳහා ගුවන් විදුලිය කැපී පෙනෙන සේවාවක් කළේය. එහෙත් අද බොහෝ Fඵ සේවාවන් ජනතාව අධ්යාත්මීය වශයෙන් මරා දැමීමේ අරමුණෙන් ක්රියාකරමින් සිටිති. හිරි වැටී තිබෙන හෘද සාක්ෂිය ප්රකෘති කරනවා වෙනුවට තවදුරටත් හිරිවැටුණු තත්ත්වයකම තබාගනිමින් අවසානයේ එය මැරෙන්නට ඉඩ හැරිම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
ක්රිකට් සොමිය හා රටේ ගමන් මග
රටේ දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය හා ක්රිකට් ගමන් මග අතර සමානකමක් පවතී.
ක්රිකට්වල පැවැත්ම හා උන්නතිය සඳහා අන් සියලු ක්රීඩා බිලිදෙන ක්රමයක් රටේ ක්රියාත්මක විය. වෙළෙඳ ප්රචාරයට ක්රිකට් තරම් ගැලපෙන ක්රීඩාවක් තවත් නැත. පාපන්දු තරගයකට ලැබෙන කාලය කෙටිය. ඒ නිසා ඒ තරගය අතරමැද වෙළෙඳ ප්රචාරක දැන්වීම් සඳහා ඉඩක් ලබාගත නොහැකිය. ක්රිකට් හැර අනෙක් බොහෝ ක්රීඩාවල පවත්නා තත්ත්වය ද ඒ සමානය. තරගය අතරමැද වෙළෙඳ දැන්වීම් පළකිරිමේ හැකියාවක් ඇත්තේ ක්රිකට්වල දි පමණය. ඕවරයක් අවසන් කොට අලුත් ඕවරයක් ආරම්භ කරන කාලය තුළ වෙළෙඳ දැන්වීම් ගණනාවක් ප්රචාරය කිරිමේ හැකියාව පවතී.
මේ විශේෂ තත්ත්වය තුළ වෙළෙඳ ප්රචාරයට ඉඩක් නැති අන් සියලු ක්රීඩාවලට පැවැත්ම අහෝසි කොට ක්රිකට් පමණක් නගා සිටුවන ක්රමයක් රටේ ක්රියාත්මක විය. ක්රමයෙන් ජනතාව අන් ක්රීඩාවලින් ඉවත් වී එකොළොස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් දෙකක් අතර කෙරෙන ක්රිකට් තරග නරඹන ජනතාවක් බවට පත්වූයේය.
ක්රිකට් ලෝක ශූරතාව ශ්රී ලංකාවට හිමිවන තත්ත්වයක් තුළ ජාතික සංචිතය තුළ ක්රීඩා කිරීම හා කළමනාකරණය විශාල ලෙස ධනය උපයාගත හැකි මාර්ගයක් බවට පත්විය. ඒ සමග එහි සිටින අය තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා අලුත් අයට ඇතුළු වීමට ඉඩ නැති තැනක් බවට පත්කර ගත්තේය. ඒ අරමුණ සඳහාම, ඉතිරිවී තිබූ ප්රාදේශීය ක්රිකට් ක්රීඩාව ද නොසලකා හරින ක්රමයක් තුළ ප්රාදේශීය ක්රිකට් ද මරා දමන ක්රමයක් ක්රියාත්මක විය. ජාතික සංචිතයට අවශ්ය තරමට අලුත් ලේ එකතු නොවන හා ඉන් කුණු ලේ පිට නොකරන තත්ත්වයක් තුළ අවසානයේදි අන් සියලු ක්රීඩා මරාගෙන ජීවත් වූ ක්රිකට් ක්රීඩාව ද මිය පරළොව යන තත්ත්වයකට ඇද වැටුණ.ි
දේශපාලන ආයතන ක්රමයේ ගරා වැටීම
රාජ්ය පාලනය පොදු දේපළ කොල්ලකෑමට ලැබෙන නිල වරමක් බවට පත්වී තිබේ. රාජ්ය පාලකයින් පොදු දේපොළ කොල්ල කන්නේ ද හොර රහසේ නොව ප්රසිද්ධියේමය. අල්ලස් හෝ දූෂණ වැරදි සඳහා රටේ දැඩි නීති ඇතත්, ඒවා ඔවුන්ට අදාළවන්නේ නැත. මහජනතාව ද එවැනි ප්රශ්න වැදගත් ප්රශ්න ලෙස සලකන්නට ද සූදානම් නැත.
ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව පරමාධිපත්යය බලය ඇත්තේ මහජනතාවය. ඒ පරමාධිපත්යය බලය ද කොල්ල කෑ හැකි බලයකි. කොයි ආකාරයකින් හෝ ජය ලබාගන්නේ කව්ද යන්න මිස, ජයග්රහණය කළ ආකාරය මැතිවරණ කොමසාරිස්ටවත්, නීතිපතිට හෝ අධිකරණයටවත් වැදගත්වන්නේ නැත. ඒ සියලු දෙනාගේ පක්ෂ පාතීත්වය ලැබෙන්නේ ජයග්රාහකයාටය.
ආණ්ඩු ක්රම ව්යවස්ථාව රටේ මූලික නීතිය වුවත්, එය උල්ලංඝනය කිරිමේ අයිතිය පාලකයා සතුය. අධිකරණය ක්රියාකරන්නේ ද පාලකයාට එවැනි අයිතියක් තිබිය යුතුයයි කියන ස්ථාවරයක පිහිටාය.
17 වැනි ව්යවස්ථා සංශෝධනය ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් ඇති කරගැනීමේ අරමුණින් ඇති කරනා ලද්දකි. එය තම බලය හීන කරන ක්රමයක් නිසා ජනාධිපතිනිය ඊට කැමති නූනත්, ජවිපෙ සමග පරිවාස ආණ්ඩුවක් ඇති කරගැනීම සඳහා ඊට කැමතිවන්නට සිදුවී නව කෙටුම්පතක් සකස් කරන න්යායෙන් එහි හරය විකෘති කිරීමට සමත් වූවාය. කෙටුම්පතට ජනාධිපතිනියගේ අනුමැතිය ලබාගන්නා කපුවා ලෙස ක්රියා කළ ජවිපෙට සිදුවෙමින් තිබූ විකෘති කිරිම් තේරුම් ගැනීමේ හැකියාවක් නොතිබුණි. ආණ්ඩු බලය ගැන සිහින දකිමින් සිටි එජාපයට ද ඒ විකෘතිය නොපෙනුණේය.
කෙටුම්පත සම්මත කරගැනීමට එජාපයේ සහය ලබාගැනීම සඳහා කොමිසන් සභා තුනකට පුද්ගලයන් අලුතෙන් පත්කිරීමට ඉඩදිමට එකගත්වය ලබාදිමට කමිටු මට්ටමේදි පොදු පෙරමුණට සිදුවිය. එහෙත් සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුව කතානායක අත්සන් තැබුවේ කමිටු මට්ටමේදි වෙනස්කම් ඇති කළ කෙටුම්පතට නොව මුල් කෙටුම්පතටය.
මේ මහා බරපතළ වංචාව සිදුවූයේ උත්තරිතර පාර්ලිමේන්තුවේදි, ව්යවස්ථා සම්පාදන කාර්යකදිය.
ව්යවස්ථා සභාව නිර්දේශ කරන නම්වලට අනුමැතිය දිමෙන් වැළකී සිටීමේ බලයක් ජනාධිපතිනියට නැත. එහෙත් ඇය තමන් අකමැති කිසිම නමකට අනුමැතිය දෙන්නේ නැත. ව්යවස්ථා සභාව ද ඒ ප්රශ්නය ඉදිරියේ නිහඬව බලා සිටින ප්රතිපත්තියක් අනුගනය කරනවා මිස, ඒ තත්ත්වය ජයගැනීමට කිසිවක් කරන්නේ නැත.
ඇය පාර්ලිමේන්තු ලේකම් ධුරය සඳහා නම් කෙරුණු ප්රියානි විජේසේකරට එරෙහි වුවාය. ඒ නිසා අද දක්වා පාර්ලිමේන්තුවට ලේකම්වරයෙක් නැත. මැතිවරණ කොමිසමේ සභාපති ධුරයට නම් කළ විශ්රාමලත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු රංජිත් ධීරරත්න මහතාගේ නමට ද විරුද්ධ විය. ඒ නිසා මැතිවරණ කොමිසම කොට උඩය. පොලිස් කොමිසමක් පත්කර ඇතත්, තාමත් කාර්ය මණ්ඩලයක් ලබාදි නැත. අධිකරණ සේවා කොමිසමට ඉතිරි සාමාජිකයන් දෙදෙනා ලෙස මාර්ක් ප්රනාන්දු හා විග්නේෂ්වරම් යන විනිසුරුවරුන්ගේ නම් නිර්දේශ කොට ඇතත්, තාමත් එම කොමිසමේ ඉන්නේ පැරණි සාමාජිකයන්ය. අල්ලස් හෝ දූෂණ කොමිසම ද තිබෙන්නේ ක්රියාවිරහිත තත්ත්වයකය. මේ සියලු දෙනා රටේ මූලික නීතිය සමග සෙල්ලම් කරමින් සිටියත්, ඊට එරෙහිව කතා කරන කිසිවෙක් රටේ නැති තරම්ය.
කබරගොයා තලගොයා කරගැනීම
එජාපය විරුද්ධ පක්ෂයේ සිටියදි ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය ඇතිව අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළේය. අගවිනිසුරුට පක්ෂපාත විනිසුරු මණ්ඩලයක් ඒ දෝෂාභියෝගය යටපත් කරනු පිණිස පාර්ලිමේන්තුවට එරෙහිව වාරණ නියෝගයක් ද පැනවූයේය.
පාර්ලිමේන්තුවේ අභ්යන්තර කටයුතු මූලික අයිතිවාසිකම් විෂය පථයට ඇතුළත් නොවන බව කියමින් එජාපයේ දැවැන්තයන් එදා කීවේ තමන් ඒ නීති විරෝධී වාරණ නියෝගය දුන් විනිසුරුවරුන් තිදෙනාට එරෙහිව ද දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන බවය.
එහෙත් බලයට පත්වීමෙන් පසු ඒ සියල්ල දැන් එජාපයට අමතකය. දෝෂාභියෝගයට දිවුරුම් පෙත්සම් එකතු කළ විජමු, අධිකරණ ඇමතිවරයා බවට පත්ව සිටින අතර, දැන් අගවිනිසුරුවරයා අධිකරණ ඇමතිවරයාගේ විශ්වාසවන්තම සගයා බවට පත්ව සිටී. දැන් ජනතා විමුක්ති පෙරමුණ ද අගවිනිසුරුවරයා සමග කිරිපැණි තරමට යාලුය.
රටේ රාජ්ය නිලධර තන්ත්රයට සිදුවී තිබෙන්නේ ද ක්රිකට්වලට වූ දේමය. පරිපාලන සේවය ඉතා උසස් තත්ත්වයක පැවති යුගයක් තිබුණි. ඔවුන්ගේ විනය පාලනය රාජ්ය සේවා කොමිෂන් සභාව වෙත පැවරි තිබුණු තත්ත්වයක් යටතේ දේශපාලකයන් කෙරෙහි ඇති කරගන්නා බියකින් තොරව සිය යුතුකම් ඉටු කිරිමේ හැකියාවක් ඔවුන්ට ලැබී තිබුණි. 1972 ව්යවස්ථාව මගින් රාජ්ය සේවා කොමිෂන් සභාව අහෝසි කොට ඔවුන් පිළිබඳව තීන්දු ගැනීමේ බලය කැබිනට් මණ්ඩලය වෙත පවරා ගත්තේය. එතැන් සිට පරිපාලන සේවය ද දේශපාලකයන්ට නැට්ට වනන තත්ත්වයකට පත්විය.
රාජ්ය නිලධර තන්ත්රයේ මුදුනත අන්ත දූෂිත තත්ත්වයකට පත්ව තිබෙනවා පමණක් නොව, වියපත් මිනිසුන්ගේ රජදහනක තත්ත්වයකට ද පත්ව තිබේ. ව්යවස්ථාව අනුව 60න් පසුව රාජ්ය සේවයේ යෙදිම නීති විරෝධිය. එහෙත් ඉහළ නිලතල දරන වැඩි පිරිසක් ඒ සීමාව ඉක්මවූ අය වන අතර, සිය පැවැත්ම රැකගැනීම සඳහා දේශපාලකයන් සතුටු කරන ප්රතිපත්තියක පිහිටා ඔවුන් ක්රියාකරමින් සිටී. ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් තරුණ ලේ කාන්දුවීමට තිබෙන ඉඩ අහුරා තිබෙන අතර, ක්රිකට් කුණුවී විනාශ වූ ආකාරයටම රාජ්ය නිලධර තන්ත්රය ද කුණුවී විනාශ වී යන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.
කඩවුණු පොරොන්දුව
නීතියේ පාලනයක් ඇති කරන බවට අගමැති ධුරයට පත් වහාම රනිල් වික්රමසිංහ රටට පොරොන්දුවක් වුවත්, තාමත් රට තිබෙන්නේ පිස්සන් කොටුවක තත්ත්වයකය. සාමය ඇති කරගැනීම පිළිබඳ ගැටලුව ප්රධාන වුවත් රටේ පවතින මෙම විකාර තත්ත්වය වෙනස් කිරීමට දරන අවංක උත්සාහයකින් තොරව ඒ ඉලක්කය පවා ජයගත හැකිවේ යැයි සිතිය නොහැකිය.
නීතියේ පාලනයක් ඇති කිරීම අවශ්ය නම් සිදුවිය යුතු පළමු දේ අධිකරණය ස්වාධීන තැනකට ගැනීමය. සාමය දිනාගැනීමේ අරමුණ ජයගැනීම සඳහා ද එය අත්යාවශ්ය කොන්දේසියකි. ඒ විෂයේදි ඇතිවන ආරාවුල් අවසාන වශයෙන් විසඳන්නා බවට පත්වන්නේ ද අධිකරණයයි.
ස්වාධීන අධිකරණයක් ඇති කිරිමෙන් පමණක් දේශපාලකයන්ගේ පිස්සු නැටිල්ල සේ ම නිලධාරින්ගේ පිස්සු නැටිල්ල ද අවසන් කළ හැකිය. ඊළගට විය යුතු පළමු දේ 17 වැනි ව්යවස්ථා සංශෝධනය පරිපූර්ණ කොට ස්වාධීන කොමිෂන් සභා ක්රමය ක්රියාකාරි තත්ත්වයකට පත්කිරීමය. නීතියේ පාලනයකට මුල පිරිමක් ඇතිවනු ඇත්තේ එවිටය.