ආචාර්ය ගාමිණී කොරෙයා ශ්රී ලංකාව පසුගිය සිය වස තුළ බිහි කළ ජාත්යන්තර තලයේ මහත් පිළිගැනීමකට ලක් වූ බුද්ධිමතා ලෙස සැලකිය හැකි ය. ඔහු ආණ්ඩුවල උපදේශකයකු වශයෙන් ද, ප්රතිපත්ති සම්පාදකයකු වශයෙන් ද ස්ථිර ලේකම්වරයකු හා තානාපතිවරයකු වශයෙන් ද තමන් උපන් රටට මහත් සේවයක් කරනවාට අතිරේකව උන්ක්ටාඩ් (UNCTAD) සම්මේලනයේ සභාපති ලෙස තුන්වන ලෝකයට ද කැපී පෙනෙන සේවාවක් කළ ප්රවීණයෙකි.
මෙම ලෝක ප්රකට පුද්ගලයා අද සිටින්නේ වියපත් තත්ත්වයක ය. ඔහුට බිරිඳක් හෝ දරුවන් නැත. මිය යන්නට පෙර තමන් සතු ධනය යොදවා ගාමිණී කොරෙයා පදනම නමින් ආර්ථික විෂය ක්ෂෙෂ්ත්රයේ උන්නතිය වෙනුවෙන් ක්රියා කරන ආයතනයක් ඇති කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේ ය. ඒ අරමුණ සඳහා එම විෂය ක්ෂෙෂ්ත්රය තුළ දැනට ජීවත්වන නාමධාරී පුද්ගල පිරිසක් ඇතුළත් වන ලෙස මණ්ඩලයක් ඇතිකර ගනිමින් ඒ සිහිනය ක්රියාවට නගන්නට විශාල උත්සාහයක ද නිරත වී සිටියේ ය.
ආචාර්ය ගාමිණී කොරෙයා තමන් සතු දේපළ හා ධනය ඒ පදනම සඳහා යොදවනු ඇතැයි සැකකළ ඔහුට ඥාති සම්බන්ධකමක් ඇති රටේ ප්රකට කෝටිපති ව්යාපාරිකයෙක් මේ වියපත් පුද්ගලයාගේ බාරය තමන් වෙත පවරා ගනිමින්, ඔහු නිවාස අඩස්සියේ තබාගෙන සිටින සිරකරුවකුගේ තත්ත්වයකට පත්කර තිබේ. දැන් ආචාර්ය ගාමිණි කොරෙයාගේ කිසිම ඥාතියකුට හෝ හිතවතෙකුට ඔහු හමුවීමට ඉඩ නැත.
ඔහු හමුවීමට හැක්කේ ඔහුගේ නිවස පිරිවරාගෙන සිටින (ව්යාපාරිකයා විසින් යොදා තිබෙන) ආරක්ෂෂක භටයින්ගේ අනුමැතිය ලබාගත හැකි නම් පමණ ය. ගාමිණී කොරෙයා මහතාට ළංවන්නට කිසිවකුට ඉඩ නොදි ඔහු සතුව මෙරට තිබෙන හා ජිනීවාවල තිබෙන දේපළ හිමිකර ගැනීම මේ වැඩ පිළිවෙලේ අරමුණ වී තිබෙන බව බැලු බැල්මට දැකිය හැකි ය.
ශ්රී ලංකාව බිහිකළ ශතවර්ෂයේ පුද්ගලයා ලෙස සැලකිය හැකි ආචාර්ය ගාමිණී කොරෙයාට මුහුණ දෙන්නට සිදු වී තිබෙන ඛේදජනක තත්ත්වය රටේ ජනමාධ්ය ආයතන වලට රහසක් නොවෙතත් ඔහු නිවාස අඩස්සියේ තබාගෙන සිටින ව්යාපාරිකයා ජනමාධ්ය වලට දැන්වීම් ආදායම් ලබාදෙන ප්රධානම පුද්ගලයෙක් වන නිසා ඒ ගැන කතාකළ නොහැකි අසරණ තත්ත්වයකට ජනමාධ්ය පත්ව සිටී.
ගාමිණී කොරෙයා මහතාගේ දේපළ අත්පත් කරගැනීමේ අරමුණ ඇතිව ඔහු සියුම් ලෙස අඩස්සියේ තබාගෙන සිටින්නෙය යන චෝදනාව එල්ල වී ඇත්තේ රටේ ප්රමුඛ පෙළේ ව්යාපාරිකයකු වූ ලලිත් කොතලාවල මහතාට ය. ජනමාධ්යවලට දැන්වීම් ආදායම් ලබාදෙන පුද්ගලයකු අතින් බරපතළ වරදක් සිදුවන අවස්ථාවක දි ලැබෙන දැන්වීම් ආදායම සලකා සියලු ජනමාධ්ය කට වසාගෙන සිටින පිළිවෙතක් අනුගමනය කරයි නම් එය රටක නොතිබිය යුතු නරක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. රාවයට ද කොතලාවල මහතාගේ ආයතනවලින් දැන්වීම් ලැබේ. එහෙත් මෙවැනි බරපතළ දෙයක් ජනතාවට වසන් කරන ප්රතිපත්තියක් අනුගමනය කිරිමේ හැකියාවක් අපට නැත.
මේ සිද්ධිය පිළිබඳ කෙටි ප්රවෘත්තියක් ඉංග්රීසි පුවත් පතක ප්රාදේශීය මුද්රණයට ඇතුළත්ව තිබුණත් කොළඹ මුද්රණයේ දි එය ඉවත්කර තිබුණු අතර පසුව පුවත් පතේ පළ වූ වාර්තාව බන්දුල ජයසේකර විසින් Lanka Academic නමින් පළවන වෙබ් අඩවියට යොමුකොට තිබුණි. ඒ සමග බාහිර ලෝකය ගිනිගත්තේ ය. එහෙත් දේශීය ජනමාධ්ය කට පියාගෙන සිටින තත්ත්වයක් තුළ ඒ පුවත දේශීය ජනතාවට දැනගැනීමට ලැබුණේ නැත.
ආචාර්ය ගාමිණී කොරෙයා ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ පුද්ගලයෙකි. එවැනි පුද්ගලයකුට මෙවැනි ඛේදජනක ඉරණමකට ගොදුරු වීමට ඉඩ නොදිය යුතු ය.