සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආශ්රයෙන් මතුවෙමින් තිබූ අවුල ගංවතුර ඛේදවාචකය විසින් තාවකාලික ලෙස යටපත් කොට ඇතත්, ගංවතුර ප්රශ්නය අවසන්වීමත් සමග නැවත මේ ප්රශ්නය ජනාධිපතිනියගේ හා අගමැතිගේ දේශපාලන වාසනාව උරගා බලන මහා ආරාවුලක් බවට පත්වන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 78 ව්යවස්ථාව සකස් කර ඇත්තේ විධායක ජනාධිපති බලය එක පක්ෂයකටත්, පාර්ලිමේන්තු බලය තවත් පක්ෂයකටත් යන අවස්ථා ද ඇතිවිය හැකිය යන මූලික කාරණය සැලකිල්ලට ගැනීමෙන් තොරවය. එම ව්යවස්ථාව ප්රකාශයට පත් කළ වහාම ඒ ගැන විශ්ලේෂණයකට යමින් ආචාර්ය එන්.එම්. පෙරේරා ප්රකාශ කළේ, මෙම බල මණ්ඩල දෙකේ බලය හැමදාමත් එක පක්ෂයක් අතට නොයනු ඇති බව හා ප්රති පක්ෂ දෙකක් අතට පත්වූ විට මහා ගැටුමක් ඇතිවීම නොවැළැක්විය හැකි බවය.
කල්තියා දැකීම
ආචාර්ය එන්.එම්. පෙරේරා ඒ ගැන කර තිබෙන විග්රහය මෙසේය.
“1972 ව්යවස්ථාව යටතේ ජනතාවගේ පැතුම් ක්රියාත්මක කරන උත්තරිතර බලය වශයෙන්, ව්යවස්ථාදායකය විසින් විධායකය පාලනය කරනු ලැබීය. එහි විධායකට සිය කාර්යයන් වෙනුවෙන් ව්යවස්ථාදායකයට උත්තරදිමට හා වගකීමට නියමව තිබුණේය. එහි මුළු රාජ්ය යන්ත්රයම එක්සත්භාවයේ දාමයෙන් වෙළී තිබුණේය. අලුත් ක්රමයෙහි ගැබ්ව ඇති අවුල් සහගත නිමාව නිසා, එය ක්රියාවිරහිතභාවයෙන් අවසන් විය හැකිය. කිසියම් විදියකින් ඛේදජනක සේ අප්රසන්න සිද්ධීන් ඇතිවුව හොත් එයින් ඇතිවන සීමාරහිත ප්රතිවිපාක සලකා ගත නොහැකි තරම්ය. මෙම පාර්ලිමේන්තුව කිසිදු ආපදාවකින් තොරව මුළු කාලය තුළම ක්රියාත්මක වේ යැයි සිතමු. එහෙත් ඉන්පසුව ඇතිවන තත්ත්වය කුමක්ද?
අද අපට දක්නට ලැබෙන විදියේ පැත්තකට බරවූ ඒකරාශිවීමක් අනුපාතික ක්රමය නිසාම මීළග පාර්ලිමේන්තුවේ ඇති වේ යැයි සිතිය නොහැකිය. එහි ස්වභාවය එක්සත් ජාතික පක්ෂයේ හා ජනරජයේ ජනාධිපතිතුමාගේ මනස්කාන්ත සිත්වලට වඩා වෙනස් වන්නේය. තමන්ගේ ප්රතිපත්ති ක්රියාත්මක කිරීමට එරෙහිව නැගී සිටින වැඩි බලයක් සහිත විරුද්ධවාදි පාර්ලිමේන්තුවක් සමග ඔහු ක්රියාකරන්නේ කෙසේද? ඒ තත්ත්වය නිසා මුදල් නොමැතිවීමෙන් විධායකය අක්රියාත්මක වෙයි. ජනතාව තවදුරටත් නියෝජනය නොකරන ජනාධිපතිවරයා ඉවත් නොවුවහොත් ඒ හේතුවෙන් සම්පූර්ණ රාජ්ය යන්ත්රයම ක්රියාවිරහිතවීමත්, ව්යවස්ථාව හා පාර්ලිමේන්තුව පවා ජන පිළිකුලට පත්වීමටත් ඉඩ තිබේ.
ජනතාවගේ විහිලුවට ලක්වීම එහි අවම ප්රතික්රියාව විය හැකියි. ඉන් ප්රජාතන්ත්රය අසීරු තත්ත්වයකට පත් කරයි. ජනතාවගෙන් වැඩි කොටස ව්යවස්ථාව පිළිබඳ වක්රෝත්තීන් හෝ ප්රජාතන්ත්රවාදි ආයතනයන්ගේ ආරක්ෂාවට යොදා ඇති විධි විධාන ගැන හෝ උනන්දුවක් නොදක්වති. මෙම ආයතනවල කාර්යක්ෂම ක්රියාකාරිත්වයෙන් ඇතිවන ප්රතිඵල ගැන පමණක් උනන්දුවක් දක්වති. ජනතාව උසස් කරවාලීමෙන් ඔවුන්ගේ ආර්ථික සංරක්ෂණය ඇති කිරීමට අපොහොසත් බවක් දක්වන ආයතන හා ක්රම පිළිබඳව ඔවුහු උදාසීන තත්ත්වයක් පෙන්වති. ජනාධිපති ක්රමයට හා පාර්ලිමේන්තු ප්රජාතාන්ත්රික ක්රමයට එක්ව පැවැත්මට අපහසු වුවහොත්, ඉන් අනතුරු තත්ත්වයකට පත්වන්නේ ප්රජාතන්ත්රවාදයයි. එවිට ඊළග විකල්පය වශයෙන් ඔවුහු ඒකාධිපතිවාදය වැළඳ ගනිති.”
ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදි සමාජවාදි ජනරජයේ නව ආණ්ඩුක්රම ව්යවස්ථාව – විවේචනාත්මක විශ්ලේෂණයක්. පිටු 24-25
ලලිත් හා ගාමිණී
අනුපාත ඡන්ද ක්රමය යටතේ මෙම බල මණ්ඩල දෙක වෙනස් පක්ෂ දෙකක් අතට පත්වී ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර ගැටුම ඉතා ඉක්මණින් සිදුවනු ඇති බව එන්.එම්. පෙරේරාගේ මතය වුවත්, එම අර්බුදය කරළියට ආවේ එන්.එම්. කල්පනා කරන ලද ආකාරයට වඩා වෙනස් ආකාරයකටය. එනම් මේ බල ආයතන දෙක වෙනස් පක්ෂ දෙකක් අතට පත්වන තත්ත්වයක් යටතේ වෙනුවට එකම පක්ෂයක් අත තිබෙන අවස්ථාවකය. එනම් ප්රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව එම පක්ෂයේම ප්රමුඛ පිරිසක් විපක්ෂය සමග එකට එකතු වී ඉදිරිපත් කරන දෝෂාභියෝග ව්යාපාරයක ස්වරූපයෙනි.
එහිදි සිදුවූ නැගී සිටීම පරාජය කිරීමට ප්රේමදාස ජනාධිපතිවරයා සමත් වුවත්, එය විධායක ජනාධිපති ක්රමයට එරෙහිව මතුවූ බලවත් ව්යාපාරයක ස්වරූපය ගත්තේය. එම දෝෂාභියෝග ව්යාපාරයේ ප්රමුඛ නායකයකු ලෙස ක්රියා කළ ලලිත් ඇතුලත්මුදලි විධායක ජනාධිපති ක්රමය නිර්මාණය කිරීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට සහාය වූ ප්රධාන පුද්ගලයෙකු වුවත්, විධායක ජනාධිපති ක්රමය අයහපත් හා දුෂ්ට ක්රමයක් බව සිය භාවිත අත්දැකීම් මගින් ඉගෙන ගන්නා තත්ත්වයක් තුළ විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරිමේ අවශ්යතාව වෙනුවෙන් ඉතා බලවත් ලෙස පෙනී සිටින පුද්ගලයා බවට පත්වීමට ඔහුට සිදුවිය. ශ්රීලනිපය ද මුල සිටම සිටියේ විධායක ජනාධිපති ක්රමය ප්රතික්ෂේප කරන ස්ථාවරයකය. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි ප්රමුඛ පිරිසක් ඒ ස්ථාවරයට එකතුවීමත් සමග විධායක ජනාධිපති ක්රමය අහෝසි කළ යුතුයි කියන මතය පක්ෂ භේදයකින් තොරව පොදුවේ පිළිගත් ජනප්රිය මතයක් බවට පත්වූවේය.
එහෙත් මේ මහා විවාදයේදි රනිල් වික්රමසිංහ පමණක් සිය මාමා නිර්මාණය කළ විධායක ජනාධිපති ක්රමය වෙනුවෙන් පෙනී සිටි එකම දේශපාලන චරිතය ලෙස සැලකිය හැකිය.
චන්ද්රිකාගේ ප්රවේශය
1994 මැතිවරණයේ චන්ද්රිකාගේ පොදු පෙරමුණ 1994 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශයෙන් තමන් බලයට පැමිණ වහාම විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන බවට පොරොන්දු විය.
විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරිමේ හදිසි අවශ්යතාව එහි විග්රහ කර තිබුණේ මෙසේය.
“1978 පටන් අප රටට ශාපයක් වී ඇති විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම ප්රමුඛ කාර්යයක් හැටියට සිදු කරන අතර, කැබිනට් සහ පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමය යළි පිහිටුවීම මගින් ජනතාවගේ දේශපාලන අභිලාෂයේ ශ්රේෂ්ඨභාවය ප්රතිෂ්ඨාපනය කරනු ඇත. අපේ රටේ මෑතකාලීන අත්දැකීම්වලින් අබමල් රේණුවක හෝ සැකයකින් තොරව පැහැදිලි වන දෙය නම් කිසිදු ඵලදායී සංවරන හා තුළන ක්රමයකින් තොරව පෙර නොවූ විරූ බලතල සම්භාරයක් විධායක ජනාධිපතිවරයාගේ අතෙහි කේන්ද්රගතවීම නිසා පෞද්ගලිකවත්, සාමූහිකවත් අප ජනතාව සතු මූලික ලක්ෂණයන් වන නිදහස නිර්මාණශීලීත්වය සහ පුරෝගාමීත්වයට විනාශකාරි ලෙස බලපා ඇති බවයි. අප ජනතාවගේ දේශපාලන ජීවිතය අතීතයේදි පොහොසත් කළ උසාවි පද්ධතිය, පාර්ලිමේන්තුව සහ ජනමාධ්ය යනාදි සියලු ආයතන බාල්දු කිරීමටත්, දුර්වල කිරීමටත්, විධායක ජනාධිපති ක්රමය තුඩුදි ඇත. පාර්ලිමේන්තුවේ සාමාජිකත්වය දරන සහ පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකුගේ මූලිකත්වයෙන් යුතු කැබිනට් ආණ්ඩු ක්රමය යළි පිහිටුවීම මගින් ජනතාව වෙතට යළි බලය පැවරිමට පොදු ජන එක්සත් පෙරමුණ ස්ථිරසාර ලෙස ම කැපවී සිටියි.”
විජේතුංගගේ භාවිතය
1994දි පොදු පෙරමුණට පාර්ලිමේන්තු බලය ලැබෙන්නේ විධායක ජනාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂය අත තිබෙන අවස්ථාවකය. එහිදි ජනාධිපති ඩී.බී. විජේතුංග දැන් ජනාධිපති චන්ද්රිකා කරන්නාක් මෙන් පාර්ලිමේන්තු බලය වෙනත් පක්ෂයක් අතට පත්වී ඇත්තේය යන සාධකය නොසලකා ව්යවස්ථාව අනුව තමන්ට ලැබී තිබුණු බලතල හිතුවක්කාරි ආකාරයකින් පාවිච්චි කරන්නට ගියේ නම් මේ පක්ෂ දෙක අතර මහා ගැටුමක් ඇතිවන්නට ඉඩ තිබුණේ එදාය. වෙන කිසිවක් නැතත්, චන්ද්රිකා කුමාරතුංග මහත්මිය වෙනුවට අගමැතිකම බාරගන්නා ලෙස සිරීමා බණ්ඩාරනායක මැතිනියගෙන් ඉල්ලා සිටියේ නම් පොදු පෙරමුණු ආණ්ඩුව අවුල් ජාලාවකට යන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි. එහෙත් විජේතුංග ජනාධිපතිවරයා පෙනය පුප්පන්නට නොගොස් චන්ද්රිකා කුමාරතුංග මහත්මිය අගමැති ධුරයට පත් කොට සම්පූර්ණ අභ්යන්තර පාලනය ඇයට දි පැත්තකට වී බලා සිටින පිළිවෙතක් අනුගමනය කිරීම නිසා මහා ලේ වැගිරිමක් ඇතිවීම වැළකුණේය.
චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ඉන්පසු ජනාධිපතිවරණයට තරග කළේද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමේ අරමුණින් තමා විධායක ජනාධිපති ධුරයට තරග කරන බව පොරොන්දු වෙමිනි. ජූලි 15 වැනිදාට ප්රථම ජනාධිපති ධුරය අහෝසි කරන බවට පැහැදිලි පොරොන්දුවක් දෙන්නේ නම්, ජනාධිපති අපේක්ෂක ධුරයෙන් ඉවත් වන බවට ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්රකාශ කරන තත්ත්වයක් ඉදිරියේ ඒ පොරොන්දුව ඉටු කරන බවට ජනාධිපතිනිය ජනතා විමුක්ති පෙරමුණට ලිඛිත පොරොන්දුවක් ද දුන්නාය. අද ඒ බව මේ දෙපිරිසටම අමතකය. විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව චන්ද්රිකා කුමාරතුංග මහත්මිය එම ධුරයෙහි බලය ආශාවෙන් භුක්ති විඳින පිළිවෙතක් අනුගමනය කළා විනා පොරොන්දු වූ පරිදි ඒ ක්රමය වෙනස් කළේ නැත.
රනිල් වික්රමසිංහ උභතෝකෝටිකය
2002දි රනිල් වික්රමසිංහ අගමැති ධුරයට එන්නේ විධායක ජනාධිපති බලය පොදු පෙරමුණු නායිකාව අත තිබෙන තත්ත්වයක් යටතේය. තමන්ට ගනුදෙනු කරන්නට සිදුවී තිබෙන්නේ ඩී.බී. විජේතුංග කෙනෙකු සමග නොවන බව රනිල් වික්රමසිංහ නොදැන සිටියා විය නොහැකිය. මහජන වරමක් ලැබී තිබුණු ඒ උණුසුම් මොහොතේ ඇය පෙනය පුප්පන පිළිවෙතක් අනුගමනය නොකළත්, තමන්ට වාසිදායක අවස්ථාවක් ලැබුණු කල පෙනය පුප්පන පිළිවෙතක් අනුගමනය කරනු ඇති බව දැන දැනම, මහජන බලයක් තිබුණු ඒ මොහොතේ ඇය සමග ස්ථිර ගිවිසුමක් ඇති කරගන්නා තැනකට නොගියේ ඇයිද යන්න ප්රහේළිකාවකි. එසේ කරන ලද්දේ දේශපාලන ළඳ බොළඳකමක් නිසා විය නොහැකිය.
අගමැති රනිල් වික්රමසිංහ හැමදාමත් විධායක ජනාධිපති ක්රමය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි. එසේම ඒ තනතුර අපේක්ෂා කළ පුද්ගලයෙකි. ඔහු එම තනතුරට කැමැත්තක් දක්වයි නම් හා ඒ තනතුරට පත්වීමට අපේක්ෂා කරයි නම් තනතුරේ තටු කැපීමකට හේතුවන ආරාවුලකට යනු ඇතැයි ද සිතිය නොහැකිය.
ගාමිණී අතුකෝරාල වැනි සමහරුන් මැතිවරණ ජයග්රහණයත් සමග කල්පනා කළේ මහජන බලය පෙන්වා ජනාධිපති බලය මට්ටු කරන තැනකට යායුතු බවය. එවැනි අන්තවාදි පිළිවෙතකට නොගියත්, මහජන වරමක් ලැබුණු වහාම, ඒ උණුසුම මැද ජනාධිපතිනිය සමග සාකච්ඡා කරන තැනකට ගියේ නම් පිළිගත හැකි පොදු සම්මුතියක් ඇති කරගන්නට ඉඩ තිබුණි.
94 දි චන්ද්රිකා කළේ ද එයයි. ජයග්රහණයත් සමග ඇය ඩී.බී. විජේතුංග හමුවී කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව එකගත්වයක් ඇති කරගත්තාය. එහෙත් අගමැති රනිල් වික්රමසිංහ එවැනි පිළිවෙතකට නොගියේ එවැනි සම්මුතියකින් පවා සිදුවන්නේ ජනාධිපති ක්රමයේ තටු කැපීමක් වන නිසා එවැනි තටු කැපීමක් අනාගතයේ තමන් කෙරෙහි ද බලපානු ඇතැයි කල්පනා කළ නිසා විය හැකිය.
ව්යවස්ථාව අනුව 2005දි චන්ද්රිකා දේශපාලන වශයෙන් අවලංගු කාසියක් බවට පත්වේ. එතෙක් තමා කළයුත්තේ ආරාවුලකට නොගොස් චාටුවෙන් අල්ලාගෙන සිටීම යයි අගමැති රනිල් වික්රමසිංහ කල්පනා කළා විය හැකිය. එහෙත් දේශපාලනය එතරම්ම සරල නැත. දේවල් නිරන්තරයෙන් වෙනස් වේ. මහජන වරමක් ලැබුණු වහාම චන්ද්රිකා පෙනය සගවා ගන්නා පිළිවෙතක් අනුගමනය කළේ ඩී.බී. විජේතුංග කෙනෙකු වීමේ අදහසින් නොව, සුදුසුම අවස්ථාවක නැවත පෙනය එළියට ගැනීමේ අභිලාෂය ඇතිවය.
දැන් රනිල් වික්රමසිංහ ඉන්නේ විධායක ජනාධිපති ක්රමයේ තටු නොකපා සිය පැවැත්ම ආරක්ෂා කරගත නොහැකි තැනකය. එහෙත් ජයග්රහණය ලැබූ මොහොතේ මෙන් නොව, දැන් එවැනි තටු කැපීමක් පහසුවන්නේ ද නැත. අමාරුවෙන් හෝ තටු කැපීමක් කළහොත් එය පෙරළා අනාගතයේ රනිල් වික්රමසිංහ කෙරෙහි ද බලපායි. එවිට රනිල් වික්රමසිංහට ඉඳගන්නට සිදුවනු ඇත්තේ තටු කැපූ ජනාධිපති අසුනකය. තටු කැපූ ජනාධිපති අසුනක ඉඳගන්නට ඇති අකමැත්ත නිසා නිහඬව බලා සිටින පිළිවෙතක් අනුගමනය කළහොත් දැන් තිබෙන දේශපාලන පැවැත්ම ද අහිමිවීමේ අවදානමක් පවතී.
මේ ආරාවුල දෙපාර්ශ්වයම බලය පෙන්වා විසඳගන්නට උත්සාහ කරන තැනකට ගියහොත් රට ලේ විලක් බවට පත්වනු නොවැළැක්විය හැකිය.
බලය මේ නායක දෙපළටම සංවේදි ප්රශ්නයකි. ඊළග ජනාධිපතිවීම රනිල් වික්රමසිංහගේ අපේක්ෂාව වනවිට 2005 දි ධුර කාලය අවසන් වූ පසු දේශපාලන වශයෙන් අවලංගු නොවන තත්ත්වයට පත්වන්නේ කෙසේද යන්න ජනාධිපතිනිය ඉදිරියේ තිබෙන ප්රධාන ගැටලුවයි. සමහරවිට ඒ ප්රශ්නයට විසඳුමක් ලබාදිය හැකි නම් බලය බෙදාගැනීමේ වැඩපිළිවෙළක් සඳහා ජනාධිපතිනිය ද එකග විය හැකිය. ඒ ප්රශ්නයට විසඳුමක් ලබාදි හෝ මේ ගැටලුව විසඳ ගන්නා පිළිවෙතකට නොයන්නේ නම්, මේ අවුල් රට අවුල් ජාලාවකට ඇද දමන තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය.