ශිෂ්‍ය මනස කෙළෙසීම

October 29, 2026
Publication:
The Special Task Force has started a programme teaching schoolchildren how to deal with suicide bombers, and held a workshop at Visakha Vidyalaya. Before teaching small children how to handle suicide bombers, Ivan replies, it would be worth teaching the lesson to the army and the police, since neither has yet shown that it knows. Playing with the lives of the student community is a dangerous thing to start.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ ගනුදෙනු කළ යුතු ආකාරය පාසල් ළමුන්ට කියා දෙන වැඩසටහනක් විශේෂ කාර්ය බලකාය විසින් ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා වන වැඩමුළුවක් කොළඹ විශාඛා විද්‍යාලයේදී පවත්වන ලද බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

මරාගෙන මැරෙන බෝම්බකාරයින් සමග ගනුදෙනු කළයුතු ආකාරය ගැන පුංචි පාසල් සිසුන්ට කරුණු කියා දෙන්නට ප්‍රථම යුද්ධ හමුදාවට හා පොලිසියට ඒ පාඩම් කියා දීම වැදගත් ය. මක්නිසාදයත් මරාගෙන මැරෙන බෝම්බකාරයින් සමග සාර්ථක ලෙස ක්‍රියාකරන්නට තමන් දන්නා බව සනාථ කරන්නට තවමත් යුද්ධ හමුදාව හෝ පොලිසිය සමත් වී නැති නිසා ය.

පාසල් ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඉතා වැදගත් වුවත් ආරක්ෂාව තහවුරු කිරීමේ නාමයෙන් සිදුවෙමින් තිබෙන දේවල් සිහි මොළේ ඇති කිසිවකුටත් අනුමත කළ නො හැකි ය.

කොළඹ නගරයේ පාසල්වලට එන ළමයින් දැඩි ලෙස පරීක්ෂා කිරීමට ලක් කෙරේ. ඔවුන් සිය පොත් රැගෙන ආ යුත්තේ විනිවිදව පෙනෙන බෑග්වල ය. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආහාර පාර්සල් පවා පරීක්ෂාවට ලක් කෙරේ. ඔවුන්ගේ ශරීර පරීක්ෂාවට ලක් කෙරෙන අතර, සපත්තු මේස් ගලවා පරීක්ෂාවට ලක්විය යුතු ය. අවසානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස සැකයට ගොදුරු වී ඇත්තේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය.

පාසල් මුර කිරීමේ හා පාසලට එන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පරීක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ දෙමාපියන්ටය. දැන් සතියේ එක දිනක් හෝ දෙකක් පාසලේ ආරක්ෂාක රාජකාරි කටයුතු වෙනුවෙන් වෙන් කිරීමට දෙමාපියන්ට සිදුවී ඇත්තේ ය.

පාසල් ශිෂ්‍යයන් හා දෙමාපියන් අතර බෝම්බ බියක් වර්ධනය කිරීම සඳහා සංවිධානාත්මක ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බව පෙනෙන්නට තිබේ. මේ ක්‍රියාවලිය තුළ එක්තරා ආකාරයක දේශපාලනයක් ද තිබෙන බව පෙනෙන්නට තිබේ.

මෙවැනි වැඩපිළිවෙළක් ලොකු කුඩා ශිෂ්‍ය ප්‍රජාව තුළ මානසික වශයෙන් ඇති කරන හානිය ගැන නිසි සැලකිල්ලක් දක්වා ඇති බව පෙනෙන්නට නැත. අධ්‍යාපන ඇමතිගේ සිට අධ්‍යාපන බලධාරීන් දක්වා වන බොහෝ දෙනෙකු මේ වැඩපිළිවෙළට එකඟ නැති බව පෙනෙන්නට ඇතත්, ප්‍රසිද්ධියේ විරුද්ධවීමෙන් තමන්ට විය හැකි හානිය සලකා නිශ්ශබ්ද වී සිටින බව ද පෙනේ.

ශිෂ්‍ය ප්‍රජාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්නට යෑම භයානක ය. අවදානමක් තිබිය හැකි වුවත්, ඔවුන් භීතියට පත් නො කළ යුතු ය. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා වුවත් ඔවුන් සිරකරුවන් පිරිසක් බවට පත් නො කළ යුතු ය. ඔවුන් ගෙන එන ආහාර පාන පවා පරීක්ෂාවට ලක් කිරීම ඔවුන්ගේ ආත්ම ගෞරවයට හේතුවන්නේ නැත.

වැඩිහිටියන් වශයෙන් අපේ අසාර්ථකභාවය අපේ දරුවන්ට උරුම කර දිය යුතු නැත. අප අතර පවතින බෙදීම් ඔවුන් අතරට ගෙන යායුතු නැත. වර්ග භේදවාදී හා ආගම්භේදවාදී විෂ ඔවුන්ගේ ශරීරවලට එන්නත් කළ යුතු නැත. ඔවුන්ට බාධාවකින් තොරව නිදහසේ පිපෙන්නට ඉඩ හැරීම වැඩිහිටි අපගේ වගකීමයි.

ඔවුන්ට ලේ වැගිරෙන, අවුල්වලින් තොර රටක් උරුම කරදීමේ හැකියාවක් වැඩිහිටියන්ට නැත. වැඩිහිටියන්ගේ බොරුව, ව්‍යාජත්වය හා ආත්මාර්ථකාමීභාවය වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේ ඔවුන්ටය. ඔවුන් මානසික ලෙඩුන් බවට පත් නොකර විචාරවත් වැඩිහිටියන් පිරිසක් බවට පත්වීමට අවශ්‍ය වටපිටාවක් සහතික කිරීමට අපි සමත් වෙමු නම් සමහරවිට පැරණි පරපුරේ අසමත්භාවය ජයගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙනු ඇත්තේ ය.