ශිෂ්ට සම්පන්න භාවයේ තරම

September 19, 2004
Publication:
The Human Rights Committee has ruled against Sri Lanka again, this time over Nallaratnam Singarasa, jailed for 35 years under the Prevention of Terrorism Act, while Tony Fernando's case is pending. Ivan holds President Kumaratunga responsible for appointing Sarath N. Silva as Chief Justice, and Ranil Wickremesinghe for allowing the system to take root.

ජීනීවා මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව තවත් තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම තීන්දුව ලබාදි ඇත්තේ ද ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිවය.

නල්ලරත්නම් සිංහරාසට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය අවුරුදු 35ක සිරදඬුවමක් ලබා දුන්නේය. එම නඩු තීන්දුවට එරෙහිව ඔහු අභියාචනාධිකරණය ඉදිරියට ගියත්, අභියාචනාධිකරණය මහාධිකරණයේ තීන්දුව සනාථ කළා මිස, එය වෙනස් කළේ නැත. ඉන්පසුව ඔහු අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියත්, ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ අභියාචනය සලකා බැලුවේ නැත.

ඔහුට දඬුවම් කර තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යුද්ධ හමුදාව ඔහුගෙන් ලබාගන්නා ලද පාපෝච්චාරණයක් මතය. ඔහුගෙන් කටඋත්තරය ලබාගෙන තිබුණේ ඔහු අත්අඩංගුවට ගන්නා ලද හමුදා නිලධාරියා විසින්මය. එය ස්වකැමැත්තෙන් ලබාදෙන ලද පාපොච්චාරණයක් නොවන බවත්, තමන් වධ හිංසාවට ලක් කොට ලබාගන්නා ලද කටඋත්තරයක් බවත් පාපොච්චාරණය ලියාගෙන ඇත්තේ ද තමන් නොදන්නා සිංහල භාෂාවෙන් බවත්, ඊට තමන්ගේ අත්සන නොතබන ලද බවත්, ඒ නිසා කටඋත්තරය ලබාගන්නා ලද නිලධාරියා ඔහු ලියාගන්නා ලද පාපොච්චාරණයට බලහත්කාරයෙන් ඇඟිලි සලකුණු ලබාගත් බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම පැමිණිල්ලේදි අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය වී ඇත්තේ ද පැමිණිලිකරු දේශීය වශයෙන් ලබාගත හැකි සියලු ප්‍රතිකර්ම සම්පූර්ණ කර නොමැති බැවින් පැමිණිල්ල විභාගයට නොගන්නා ලෙස ඉල්ලා මූලික විරෝධයක් ඉදිරිපත් කිරීමය. ආණ්ඩුව මූලික විරෝධය සඳහා ඉදිරිපත් කරන ලද තර්කය වූයේ පැමිණිලිකරුට සිය දුක්ගැනවිල්ල ජනාධිපතිනිය වෙත ඉදිරිපත් කොට සහනයක් ලබාගැනීමේ හැකියාව තිබුණු මුත් ඔහු ඒ සහනය ලබාගෙන නොමැති බවය. එහෙත් මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාවේ එම මූලික විරෝධය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර ඇත්තේ “ජනාධිපති සමාව” පිළිගත හැකි ප්‍රතිකර්මයක් ලෙස සැලකිය නොහැකි බවය.

අත්අඩංගුවේ සිටින පුද්ගලයෙකුගෙන් පොලිසිය හෝ යුද්ධ හමුදාව ලබාගන්නා පාපෝච්චාරණයක් එම පුද්ගලයාට දඬුවම් කිරීම පිණිස සාක්ෂියක් වශයෙන් යොදා නොගත යුතුය යන්න ජාත්‍යන්තර වශයෙන් පමණක් නොව ශ්‍රී ලංකාව ද පිළිගත් මූලධර්මයකි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීතිගත කොට ඇත්තේ මේ මූලික මූලධර්මයට පටහැනිවය. දැන් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේ ද රටටය.

සිංහරාසට සාධාරණ නඩු විභාගයක් නොදිම මගින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජගත් සම්මුතියේ එන විධි විධානයන් ශ්‍රී ලංකා ආණ්ඩුව උල්ලංඝනය කර ඇති බව මානව හිමිකම් කමිටුවේ තීරණය වී තිබේ. සිංහරාසා නිදහස් කොට ඔහුට වන්දි ගෙවන ලෙසත්, එසේ නොවේ නම් සිදුවී තිබෙන වරද වෙනුවෙන් ඔහුට වන්දි ගෙවා නැවත සාධාරණ නඩු විභාගයක් ලබාදෙන ලෙසත්, ජගත් සම්මුතියේ එන මූලධර්මවලට ගැළපෙන ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන ලෙසත්, ඒ වෙනුවෙන් ආණ්ඩුව ගනු ලබන පියවර දින 90ක් තුළ කමිටුව වෙත දැනුම් දෙන ලෙසත් කමිටුව ආණ්ඩුවට දැනුම් දී තිබේ.

මෙම තීන්දුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව කැළඹී ඇති බව දැනගන්නට තිබේ. ඔවුන් තුළ එවැනි හැගීමක් ඇතිවීම සාධාරණය.

මානව හිමිකම් කමිටුව දී තිබෙන මෙම තීන්දු දෙක ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව පමණක් නොව, ආණ්ඩුව වෙනුවෙන් නඩු පවරන ආයතනය ලෙස ක්‍රියා කරන නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව ද දෙන ලද තීන්දු ලෙස ද සැලකිය හැකිය.

තවමත් ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශ වී ඇත්තේ තීන්දු දෙකක් පමණය. ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව ඇසෙන තවත් නඩු හතරක් මානව හිමිකම් කමිටුව ඉදිරියේ ඇති අතර, අලුත් නඩු රාශියක් ද ඊට එකතුවෙමින් පවතී. ඊළගට ප්‍රකාශයට පත්වනවා ඇත්තේ ටෝනිගේ නඩු තීන්දුවය. ඊළගට සමහරවිට මගේ දෙවැනි නඩුවේ තීන්දුව විය හැකිය.

ටෝනි නඩු පවරා ඇත්තේ තමන්ට එක් අවුරුදු සිරදඬුවමක් පමුණුවමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුවට එරෙහිවය. සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කළ පුද්ගලයෙකු ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් මගින් කිසිම සාධාරණ හේතුවක් නැතිව, මූලික අයිතිවාසිකම් දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණි තමා එම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එක් වසරක් සඳහා සිරගෙට යවනු ලැබූවේය යන්න ටෝනි ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලයි.

ටෝනිට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කර තිබෙන අසාධාරණය ගැන සොයා බලන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාර ප්‍රධාන නිලධාරියා වූ ඩාටෝ පරම්කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රේෂ්ඨාධිකරණය ටෝනිට බලවත් අසාධාරණයක් කර ඇති බව ප්‍රකාශ කරමින් එය කඩිනමින් නිවැරදි කරන ලෙසට ඔහු ප්‍රසිද්ධ ආයාචනයක් ද කළේය.

පරම් කුමාරස්වාමි මහතා මහත් කම්පාවකින් ද ගැඹුරු හඬකින් ද කරන ලද එම ආයාචනය වගකිවයුතු කිසිවකුට ඇසුණේ නැත. සමහර ජනමාධ්‍යවලට එය පළ කරන්නට තරම් වැදගත් ප්‍රවෘත්තියක්වත් වූයේ නැත. ජාතියේ සියලු නායකයන් (ජනාධිපති චන්ද්‍රිකා, අගමැති රනිල් ඇතුළු සියලු දේශපාලන නායකයන්) තම රටේ එම පුරවැසියාට සිදුවූ බලවත් අසාධාරණය ඉදිරියේ නිහඬව බලා සිටියේය.

ටෝනි නිදහස් වූයේ ඔහුට පමුණුවන ලද සිරදඬුවමේ කාලය සම්පූර්ණ කිරිමෙන් පසුවය. ඉන්පසු ද ඔහුට නිදහසේ ජීවත්වීමට ඉඩ ලැබුණේ නැත. කිසියම් පිරිසක් විසින් ඔහු පැහැර ගෙනයෑමට දරන ලද උත්සාහයක් නිසා නැවත වරක් ඔහුට රෝහල්ගත වී ප්‍රතිකාර ලබාගන්නට සිදුවූ අතර, එම සිද්ධිය ජිනීවා මානව හිමිකම් කමිටුවට දැනුම් දිමෙන් පසුව ටෝනිට උපරිම ආරක්ෂාව ලබාදි ඒ බව දින 30ක කාලයක් ඇතුළත තමන්ට වාර්තා කරන ලෙස මානව හිමිකම් කමිටුව ආණ්ඩුවට දැනුම් දෙනු ලැබූවත්, ආණ්ඩුව එම ඉල්ලීමට ද කිසිදු යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. අවසානයේ දී ටෝනිට සිය ජීවිතාරක්ෂාව සඳහා විදේශ ගතවන්නට සිදුවිය.

අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ පාලනය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ සිදුවී ඇති සාහසිකකම් හා අනීතික ක්‍රියාකාරකම්වල ප්‍රමාණය අතිවිශාලය. සිදුවී තිබෙන අනීතික හා සාහසික දේවලින් 1%ක් තරම්වත් රටට හරිහැටි හෙළිදරව් වී නැත. එය සුවිශේෂ පුද්ගල කණ්ඩායමක් විසින් පවත්වාගෙන යමින් තිබෙන අදිසි රාජ්‍යයක් වේ යැයි කිව හැකිය. එම අදිසි රාජ්‍යය වෙනත් ආයතනවල සිටින දූෂිත බලවතුන් සමග එකට ගැට ගැසී පවත්වාගෙන ගෙන යන රාජ්‍යයත් ලෙස ද සැලකිය හැකිය. එම අදිසි රාජ්‍යයට ගැට ගැසුණු බලවතුන් එකිනෙකාට ආධාර කරන හා අන්‍යනෝ‍ය වශයෙන් එකිනෙකා ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියාකළේය. එහිදි මේ එකිනෙකා අතර සිදුවී තිබෙන සමහර ගනුදෙනුවල ස්වභාවය ඉතාමත් පුදුම සහගතය.

ඉතාමත් සුළු පිරිසක් පමණක් දන්නා එක් සිද්ධියක් මෙසේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ එක් විනිශ්චයකාරවරයකුගේ (අශෝකා ද සිල්වා මහතා) දුව විභාග ප්‍රතිඵල අනුව තේරි සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයටය. ඇයට සිය පියාගේ බලයෙන් නීති පීඨයට යන්නට අවශ්‍ය වී ඇය සිය පියා සේවය කරන ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. එතරම් ප්‍රකට නැති එම නඩු විභාගයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපත් කළ විරෝධය නොසලකා ඇය නීති පීඨයට ඇතුළත් කරගැනීමට බල කෙරෙන තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්නේය.

එය සිදුවී තිබෙන සිය ගණන් පිළිකුල් සහගත දේවල්වලින් එක් සිද්ධියක් පමණය.

විපතට පත්වූ සියලු දෙනා කෙසේ වෙතත්, එක්තරා පිරිසක් හෝ සිය දුක්ගැනවිලි ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ගෙන යන තත්ත්වයක් ඇතිවුවහොත් මානව හිමිකම් කමිටුවට ශ්‍රී ලංකාවෙන් එන නඩු සඳහා පමණක් වෙනම ශාඛාවක් විවෘත කරන්නට සිදුවනු නොවැළැක්විය හැකිය.

අවසානයේ ඒ සියල්ල වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාට නොව ශ්‍රී ලංකාවටය. ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සලකනු ඇත්තේ නින්දාසහගත අධිකරණ ක්‍රමයක් පවත්වාගෙන යන අශීලාචාර රාජ්‍යයක් ලෙසය.

අධිකරණයේ ඇතිවී තිබෙන මෙම මහා විනාශයට අගවිනිසුරු ධුරයට සරත් නන්ද සිල්වා මහතා පත් කළ ජනාධිපතිනි කුමාරතුංග මහත්මිය පමණක් නොව, ඊටත් වඩා එම දුෂ්ට ක්‍රමය තහවුරුවීමට ඉඩ දුන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද වගකිව යුතුය. අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගොඩනගා ගෙන තිබෙන අදිසි රාජ්‍යය සමග තමන්ට පස්සා දොරෙන් ගනුදෙනු කළ හැකිවනු ඇතැයි කියන ආකල්පයක පිහිටා ඒ අදිසි රාජ්‍යයට තහවුරුවීමට ඉඩදි බලා සිටින ප්‍රතිපත්තියක් මගින් රට අශීලාචාර තැනකට තල්ලු කිරීමේ මහා පාපකර්මයට එජාප නායක රනිල් වික්‍රමසිංහට ද කවදා හෝ වගඋත්තර කියන්නට සිදුවනු නොඅනුමානය.