ත්‍රස්තවාදය ගැන ජනාධිපතිනිය

September 19, 2004
Publication:
President Kumaratunga's view of terrorism, given to the UN General Assembly after George W. Bush spoke, is judged sound, and more careful than Ranil Wickremesinghe's earlier speech there. But the editorial reminds her that her government can do nothing without the JVP and cannot move a step without a settlement of the ethnic conflict.

ජනාධිපතිනිය එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා කරන ලද කතාවේ දී ද, ඉන්පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි ද, ත්‍රස්තවාදි ප්‍රශ්නය පිළිබඳව පළ කර තිබෙන මතය නිවැරදි මතය ලෙස සැලකිය හැකි සේ ම, එය නිර්භීත අදහස් පළකිරීමක් ලෙස ද සැලකිය හැකි ය. ත්‍රස්තවාදය ඉතාමත් ම්ලේච්ඡ හා කෘර ස්වරූපයක් ගන්නා අවස්ථාවල දී පවා එවැනි නැඹුරුවක් කෙරෙහි බලපාන සාධාරණ හේතු තිබිය හැකි බව ඇගේ මතය විය. ඒ නිසා ත්‍රස්තවාදය ජයගත යුතු ව තිබෙන්නේ ඒ කෙරෙහි බලපා තිබෙන හේතු හඳුනා ගනිමින් ඒ හේතුවලට පිළියම් සොයන සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක් මගින් පමණක් බව ඇගේ මතය විය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය විසින් මෙම අදහස් පළකිරීම කරන ලද්දේ ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් සමුළුව අමතා කතා කිරිමෙන් පසුව ය. ජෝර්ජ් බුෂ්ගේ කතාවේ ප්‍රධාන තේමාව වූයේ ද ත්‍රස්තවාදය යි. ත්‍රස්තවාදය ජයගත යුතු එකම මග උපරිම ලෙස බලය පාවිච්චි කිරීම බව බුෂ්ගේ ප්‍රවේශය විය.

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ අදහස් පළකර තිබෙන ආකාරය මීට පෙර ශ්‍රී ලංකාවේ අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ අදහස් පළ කරන ලද ආකාරයට වඩා රටේ ගෞරවයට හේතු වන බව ද කිව යුතු ය. එදා රනිල් වික්‍රමසිංහගේ ප්‍රවේශය වූයේ බුෂ්ගේ ආක්‍රමණික ප්‍රතිපත්තිය අනියම් ලෙස යුක්ති සහගත කිරීම ය. ඒ මගින් ඇමරිකාව සතුටු කරමින් ඇමරිකාවෙන් ලැබෙන ආධාර පංගුව වැඩි කරගැනීම ය. රටට ආධාර අවශ්‍ය වුවත්, රටේ ආත්ම ගෞරවය පරදුවට තබා ක්‍රියාකරන පිළිවෙතක් රටේ උන්නතියට හේතුවන්නේ නැත. ත්‍රස්තවාදි ප්‍රශ්නය පිළිබඳව ජනාධිපතිනිය පළ කර තිබෙන අදහස් අප අනුමත කරන අතර ම ඇය ලෝක නායකයන්ට උගන්වන ලද න්‍යාය පළමු කොට සිය ආණ්ඩුවේ සගයන්ට ද උගැන්විය යුතු බව කියා සිටින්නට කැමැත්තෙමු.

ජනාධිපතිනියගේ ආණ්ඩුව තුළ ත්‍රස්තවාදි ප්‍රශ්නය ජයගත යුතු ආකාරය පිළිබඳව පොදු එකගතාවක් නො පවතී. ජනතා විමුක්ති පෙරමුණ වාම සංවිධානයක් වන අතර, අනෙක් අතට එය අතීතයේ දී ත්‍රස්තවාදි මගක් ගත් සංවිධානයක් ලෙස ද සැලකිය හැකි ය. එහෙත් පුදුමයට මෙන් ඔවුන් සිය අතීතය හා වාම වාදි බව නො සලකා ජනවාර්ගික අර්බුදයෙන් උපන් ත්‍රස්තවාදි ප්‍රශ්නය දෙස බලන්නේ ජෝර්ජ් බුෂ් ත්‍රස්තවාදය දකින ආකාරයට ම ය. එය සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකින් නො ව උපරිම ලෙස බලය යොදන ප්‍රතිපත්තියක් මගින් පරාජය කළ යුතු බව ජවිපෙ විශ්වාස කරයි. ඒ විශ්වාසයේ පිහිටා ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීමට බාධා කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරයි. ජනාධිපතිනිය එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ එය නියෝජනය කරන රාජ්‍ය නායකයන්ට කියා දෙන්නට උත්සාහ කළ න්‍යාය ධර්මය සිය රටේ හා සිය ආණ්ඩුවේ ප්‍රබල කොටස්කරුවකු ලෙස ක්‍රියා කරන ජනතා විමුක්ති පෙරමුණට සාර්ථක ලෙස කියා දෙන්නට සමත් වේ ද? ජනාධිපතිනිය ඉදිරියේ දැන් තිබෙන ලොකු ම අභියෝගය ද එය යි.

ඇයගේ ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණේ එකගත්වය නැතිව කිසිවක් කළ නො හැකි ය. වාර්ගික අර්බුදයට සාර්ථක විසඳුමක් ඇති කරගැනීමෙන් තොර ව ශ්‍රී ලංකාවට එක අඩියක්වත් ඉදිරියට යා නො හැකි ය. ජනාධිපතිනියගේ ආණ්ඩුවේ පැවැත්ම රඳා පවතින්නේ ද එම සංකීර්ණ ප්‍රශ්නය මත ය. එම සංකීර්ණ ප්‍රශ්නයට ජනාධිපතිනියගේ ආණ්ඩුවට විසඳුමක් සොයාගත හැකිවනු ඇත්තේ ද ජනතා විමුක්ති පෙරමුණේ එකගතාව ලබාගත හැකි වේ නම් පමණ ය. ඇයට ජනතා විමුක්ති පෙරමුණේ ආකල්ප වෙනස් කළ හැකිවේ ද? ඇයට ඇය ඉදිරියේ තිබෙන දුෂ්කර අභියෝගය ජයගැනීමට හැකිවනු ඇත්තේ ඔවුන් පුනරුත්ථාපනය කිරීමට ඇය සමත් වේ නම් පමණ ය.