පාර්ලිමේන්තුවට ඇස් නොපෙනේද?

September 19, 2004
Publication:
Parliament has the final responsibility for the country's course, yet it will not even look at a case in which a citizen who sued the Chief Justice and members of the Judicial Service Commission was tried by a bench that included a respondent. Parliament should not meddle with the courts, the editorial says, but it must correct a judiciary that has stopped behaving in a civilised way.

රටට අවශ්‍ය නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ හා රටේ ගමන් මග හැසිරවීමේ අවසාන වගකීම පැවරි ඇත්තේ පාර්ලිමේන්තුව ට ය. ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්න සාකච්ඡාවට ලක්කරමින් ඒවාට විසදුම් ලබාදිමේ අවසාන වගකීම ඇත්තේ ද පාර්ලිමේන්තුව ටය.

එහෙත් අවාසනාවකට ජාතික වැදගත්කමක් ඇති සමහර ප්‍රශ්න කථා කරන්නට තබා ඒවා දෙස බලන්නටවත් අපේ පාර්ලිමේන්තුව සූදානම් බවක් පෙනෙන්නට නැත.

ශ්‍රී ලංකා අධිකරණයට අදාළ ව ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව ජිනිවා මානව හිමිකම් කමිටුව ඉදිරියේ නඩු ගණනාවක් ඇසෙමින් තිබෙන බව පාර්ලිමේන්තුව නොදන්නේද? එක් නඩුවකට අදාළ තීරණයක් ප්‍රකාශකර ඇති බව හා තවත් නඩුවකට අදාළව අතුරු තීරණයක් ලබාදි ඇති බව පාර්ලිමේන්තුව නොදන්නේද? දැනට ඇසෙමින් තිබෙන නඩු හතරට අතිරේකව අලුත් නඩු පෝලිමක්ද එයට එකතු වෙමින් තිබෙන බව පාර්ලිමේන්තුව නොදන්නේද?

ශ්‍රී ලංකා අධිකරණයේ භාවිතයට අදාළව එසේ ඇසෙන නඩු හා ඒවාට දෙනු ලබන තීරණ ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාව විශාල අවුලකට තල්ලු කිරීමට හේතුවිය හැකි බව පාර්ලිමේන්තුවට නොපෙනේද?

අගවිනිසුරු හා අධිකරණ සේවා කොමිෂමේ සාමාජිකයන් තිදෙනා වග උත්තරකරුවන් කරමින් පුරවැසියකු විසින් පවරන ලද නඩුවත් එම නඩුවේ වග උත්තරකරුවකු ද ඇතුළු විනිශ්චය මණ්ඩලයක් විභාගයට ගෙන ඔහුට එක් අවුරුදු සිරදඩුවමක් පැනවීමේ සිද්ධිය ජාත්‍යන්තර මානව හිමිකම් තලයේ මහත් ආන්දෝලනයට හේතුවූ සිද්ධියක් වේ. ඉන්පසු සිරභාරයට ගනු ලැබූ එම පුරවැසියාට බන්ධනාගාරයේදි අමානුෂික පහරදිමකට මුහුණ දිමට සිදුවිය. ඔහුට පමුණුවන ලද සිරදඬුවම හා සිරදඬුවම් පැමිණ වීමෙන් පසුව බන්ධනාගාරයේදි පහරදිමකට ලක්වීම ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හඬ නගා කථා කළේය. එහෙත් පාර්ලිමේන්තුවට කථා කරන්නට තරම් වත් එය වැදගත් විෂයක් වූයේ නැත. ඉන්පසු ඔහු සිරදඬුවම් ලබා නිදහස් වීමෙන් පසුව නැවත ඔහු පැහැරගෙන යාමේ තර්ජනයකට බර්න්වූ අතර ඔහුට උපරීම ආරක්ෂෂාව ලබාදි ඒ ගැන ජිනීවාහි මානව හිමිකම් කමිටුවට වාර්තා කරන ලෙස මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දුන්නේය. එහෙත් ශ්‍රී ලංකා ආණ්ඩුව ඒ දැනුම් දිමට කිසිම ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

දැන් මානව හිමිකම් කමිටුව ඊට දක්වා ඇති ප්‍රතිචාරය වී ඇත්තේ ඒ පුද්ගලයාට සහ ඒ පුද්ගලයාගේ පවුලේ සියලු දෙනාට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් රැකවරණය ලබාදිමට තීන්දු කිරීමය. එය ශ්‍රී ලංකාවට එල්ලකරන ලද දරුණු කම්මුල් පහරක් බව පාර්ලිමේන්තුවට නොපෙනේද?

මානව හිමිකම් කමිටුව ඉදිරියේ ශ්‍රී ලංකා අධිකරණයට අදාළව ඇසෙන සියලු නඩුවලින් ශ්‍රී ලංකා ආණ්ඩුව පරාජය වී ඒ තීරණ ලද ශ්‍රී ලංකා ආණ්ඩුව නොසලකා සිටින තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් ශිෂ්ටසම්පන්න නොවන රටක් ලෙස සලකා එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව තහංචි පනවන තත්ත්වයක් පවා ඇතිවිය හැකි බව පාර්ලිමේන්තුවට නොපෙනේද?

පාර්ලිමේන්තුවක් අධිකරණයකට අනිසි ලෙස ඇඟිලි ගැසිය යුතු නැත. එහෙත් රටක අධිකරණයක් ශිෂ්ට සම්පන්න නොවන තත්වයකින් ක්‍රියාකරයි නම් ඒ තත්ත්වය නිවැරදි කිරීමේ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුව ඒ වගකීම නොසලකා ක්‍රියාකරයි නම් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේද මුළු රටට ම ය.