විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සීයට දෙසීයක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාරයක යෙදී සිටින අතර ඔවුන් ස්වේච්ඡාවෙන් කරන පරිපාලන කටයුතුවලින් ඉවත්වීම නිසා විශ්වවිද්‍යාල පරිපාලනය අර්බුදයකට තල්ලුවෙමින් තිබෙන බව දැකිය හැකිය. එවැනි අර්බුදයක් මතුවී තිබෙන්නේ උසස් අධ්‍යාපන ඇමතිවරයා විශ්වවිද්‍යාල ක්‍රමය ප්‍රතිසංවිධානය කැරෙන වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නගමින් තිබියදීය.
මීට වෙනස් ආකාරයක පාසල් ක්රමයේ අර්බුදයක් ගැන ඇඹෙලිපිටියෙන් අසන්නට ලැබෙන්නේය. තෝරාගත් පාසල් 1000ක් නගා සිටුවීමේ වැඩසටහනට මුලින් ඇතුළත්ව තිබී පසුව කපා හරින ලද ඇඹෙලිපිටිය ප්‍රදේශයේ පාසලක දෙමාපියෝ ඒ ඇතිකර තිබුණු වෙනසට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක යෙදුණෝය. ආරාවුල බේරාගත්තේ කපා හරින ලද පාසලද එම වැඩසටහනට ඇතුළත් කරගන්නා බවට සහතිකයක් දීමෙනි. එවිට එම වැඩසටහනට ඇතුළත් පාසල් ගණන දැන් 1000ක් නොව 1001කි. මේ තත්ත්වය ආදර්ශයට ගෙන වෙනත් ප්රදේශවලද මෙවැනි උද්ඝෝෂණ ඇතිවුවහොත් ඒ ගණන තවත් වැඩිවිය හැකිය.
පළමු නිදර්ශනයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය තුළ පවත්නා අවුල්සහගත තත්ත්වයද දෙවැනි නිදර්ශනයෙන් පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ පවත්නා අවුල්සහගත තත්ත්වයද පෙන්නුම් කරයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සේ ම පාසල් අධ්‍යාපනයද ආණ්ඩුව ලොකු වෙනස්කම් ඇති කිරීමට අපේක්ෂා කරන විෂය ක්ෂේත්‍ර දෙකක් ලෙසද සැලකිය හැකිය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා ක්‍රියාත්මක වැටුප් ක්‍රමය සාධාරණ නැත. රජයේ සේවකයන්ගේ වැටුප් ප්‍රතිපත්ති සකස් කර තිබෙන්නේ නූතන ලෝකයට නොගැළපෙන සමාජවාදී ක්‍රමයට බර තබන ප්‍රතිපත්තියකටය. අවම අධ්‍යාපන සුදුසුකම් ඇති රජයේ සේවකයා හා උපරිම අධ්‍යාපන සුදුසුකම් ඇති රජයේ සේවකයා අතර වැටුප්වලදී පුංචි පරතරයක් මිස ලොකු පරතරයක් ඇති නොවන ආකාරයටය. මේ තත්ත්වය රජයේ සේවයේ නිරත වෘත්තීයවේදීන් අතර විශාල අසහනයක් ඇති කිරීමට හේතුවී තිබේ. එහෙත් මේ ආරාවුල සමස්ත වැටුප් ක්රමයේ ප්රතිසංවිධානයක් ඇති කිරීමෙන් තොරව විසඳිය හැකිද යන්න ප්රශ්නයකි. වැටුප් ක්‍රමය සකස් කර ඇත්තේ එකකට එකක් සම්බන්ධ වන ආකාරයට වන නිසා එක පිරිසකට දෙන දෙයක් අනෙක් අය කෙරෙහිද බලපායි. එම තත්ත්වය මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම දුෂ්කර කර තිබෙන අතර ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමෙන් තොරව විශ්වවිද්‍යාල ක්‍රමය යථා තත්ත්වයකින් පවත්වාගෙන යෑමද පහසුවන්නේ නැත. මෙය දේශපාලන ක්‍රමයට අදාළ අවුලක් ලෙස සැලකිය හැකිය.
පාසල් ක්රමයේ ප්රතිසංවිධානයක් සඳහා ජාතික අධ්‍යාපන කොමිසම ඉදිරිපත් කර තිබෙන යෝජනාව ආණ්ඩුව පිළිගෙන තිබෙන අතර ඒ අනුව සියලුම ප්‍රාථමික පාසල් වෙනම පාසල් ක්‍රමයක් ලෙස පවත්වාගෙන යෑමට යෝජිතය. හැම පුද්ගලයකුම පාසල් අධ්‍යාපනය ආරම්භ කළයුත්තේ නිවසට ආසන්නයේ ඇති ප්‍රාථමික පාසලෙනි. ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ එම ක්‍රමයයි. එහෙත් අධ්‍යාපන කොමිසම ඉදිරිපත් කර තිබෙන ප්රතිසංවිධාන යෝජනා සමග තෝරාගත් පාසල් 1000ක් නගා සිටුවීමේ වැඩසටහන ගැළපෙන්නේ නැත. ඒ හා සමාන වැඩසටහනක් මීට පෙර වෙනත් ආණ්ඩු විසින් ද ක්‍රියාවට නගා ඇතත්, ඒ කිසිම වැඩසටහනක් සාර්ථක ප්‍රතිඵල ගෙන දීමට සමත් වූයේ නැත.
පිළිගත් එක වැඩසටහනක් තිබියදී ඒ වැඩසටහනේ අරමුණුවලට පරස්පරව යන වෙනත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙන් වන්නේ සියලුම වැඩසටහන් අවුල් වී පාසල් ක්‍රමය මුහුණ දී තිබෙන අවුල උග්රවීමය. පාසල් ක්‍රමය හා උසස් අධ්‍යාපන ආයතන ක්‍රමය රටේ අනාගත ඉරණම තීන්දු කරන වැදගත්ම අංශයක් වන නිසා එහි ක්‍රමවත්භාවය ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍යය.