විශ්‍රාම යන හැම ජනාධිපතිවරයෙක් ම පරික්ෂාවට ලක්විය යුතු ය

December 11, 2005
Publication:
Ravaya explains its decision to go to court against the special privileges planned for former President Chandrika Kumaratunga and on other matters. Because presidential immunity prevents scrutiny in office, it argues, retiring presidents must be examined; it recalls its long pursuit of her assets declarations, her children's foreign education and the President's Fund.

“රාවය” හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ලබා ගන්නට යන අතිවිශේෂ වරප්‍රසාදවලට එරෙහිවත් වෙනත් කාරණා කිහිපයකට එරෙහිවත් නඩු පැවරීමට ගෙන තිබෙන තීරණය ගැන පාඨකයන්ට කරුණු පැහැදිලි කිරීම පුවත්පතේ වගකීමක් වේ යැයි විශ්වාස කරමු.

ජනාධිපතිවරුන් ඉතා බලවත් ය. ඔවුන්ට ලැබී තිබෙන මුක්තියේ ප්‍රමාණය නිසා පාලන බලයේ සිටිය දී ඔවුන් නිසි පරික්ෂාවකට ලක්වීමක් සිදුවන්නේ නැත.

“රාවය” චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට එන්නට පෙර සිට ම වත්කම් බැරකම් නීතිය බලාත්මක කිරීමේ අරමුණ වෙනුවෙන් පෙනී සිටියේ ය. එය ඉතා වැදගත් හා බලවත් නීතියක් වුවත්, එය පැවතුණේ අක්‍රියාකාරි තත්ත්වයක ය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලය ලබාගැනීම සඳහා 1994 මැතිවරණ ප්‍රකාශනයෙන් වත්කම් බැරකම් නීතිය බලාත්මක කරන බවට සහතික වීමෙන් නො නැවතී සියලු ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන බවට ද පොරොන්දු විය. එහෙත් එය හිස් පොරොන්දුවක් පමණක් වූ බව අපි දනිමු.

මෙම විෂයයේ දී ඇගේ අවංකභාවය පරික්ෂාවට ලක් කිරීම සඳහා “රාවය” අවස්ථා ගණනාවක දී ඇගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ඉල්ලා සිටියේ ය. එය එම නීතියෙන් පුරවැසියන්ට ලබාදි තිබෙන අයිතියකි. එහෙත් රටේ රාජ්‍ය නායිකාව වශයෙන් ඇය එම නීතියට ගරු කළේ නැත. එයම ඇගේ වත්කම් බැරකම් පිළිබඳව සාධාරණ සැකයක් ඇති කරයි.

වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව 1999 ජනාධිපතිවරණයේ දී “රාවය” මතු කළ විරෝධය නිසා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එම ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දෙන අවස්ථාවේ දී වත්කම් බැරකම් ප්‍රකාශ ද ලබාදිමට සිදුවිය. එහෙත් ඊට ඇතුලත් කරුණුවල තර්කානුකූල බවක් බැලු බැල්මට පෙනෙන්නේ නැත.

ඇයගේ දරු දෙදෙනා අධ්‍යාපනය ලැබුවේ යුරෝපයේ ය. විදේශ අධ්‍යාපනයක් සඳහා එක් පුද්ගලයෙකු සඳහා අවශ්‍ය මාසික වියදම රුපියල් මිලියනයකට අඩු නැත. ඇගේ වත්කම් බැරකම් ප්‍රකාශයට ඇතුළත් කරුණු අනුව එවැනි වියදමක් දැරීමේ හැකියාවක් ඇයට ඇති බවක් පෙනෙන්නට නැත.

විශ්‍රාම යන ජනාධිපතිවරුන් නඩත්තු කරන්නට යන අතිවිශාල වියදම ගැන ද පුවත්පතක් වශයෙන් අපි කෑගැසුවෙමු. එවැනි පුද්ගලයකු නඩත්තු කිරීමට වසරකට රුපියල් ලක්ෂ 60ක් වැනි වියදමක් වුවද රටට බරක් බව අපි කීවෙමු. දැන් කුමාරතුංග මහත්මිය නඩත්තු කිරීමට රටට දරන්නට සිදුවී තිබෙන්නේ ලක්ෂ 60ක් නොව ලක්ෂ 290කි.

ජනාධිපති අරමුදල හැමදාමත් අපගේ දැඩි විවේචනයට ලක්වූ ආයතනයකි. මතුපිටින් පෙනෙන්නට තිබෙන දේවල් ලස්සන වුවත් එහි අභ්‍යන්තරය දූෂණයෙන් කුණුවී ඇති බව අපි කීවෙමු.

විශ්‍රාම යාමට නියමිතව සිටි ජනාධිපතිනිය ජනාධිපතිවරණය ප්‍රකාශ කිරිමෙන් පසුව තමන්ගේ ප්‍රධානත්වයෙන් තමන්ට සමීප කිහිප දෙනෙකු ද ඇතුළත් වන ලෙස විශේෂ භාරයක් ඇති කරගත්තා ය. ජනාධිපතිවරණයට පෙර දින ජනාධිපතිනිය ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 60ක මුදලක් තමාගේ ප්‍රධානත්වයෙන් ඇති කරගත් භාරයට ලබාදි තිබේ. මෙය දූෂිත ගනුදෙනුවක් ලෙස සැලකිය නො හැකි නම් දූෂණ ගණයෙහි ලා සැලකිය හැක්කේ මොනවා ද?

විශ්‍රාම යන ජනාධිපතිවරුන් දැඩි පරික්ෂාවට ලක් කරන ක්‍රමයක් තිබිය යුතුයයි අපි විශ්වාස කරමු. විශ්‍රාම ගිය ජනාධිපතිවරුන්ට එරෙහි ව නඩු පවරන පිළිවෙතක් අප අනුගමනය කරන්නේ එවැනි සම්ප්‍රදායක් ඇති කරගැනීම සඳහා ය.