ප්‍රභාකරන්ගේ වීර දින පණිවුඩය

December 4, 2005
Publication:
President Rajapaksa reads Prabhakaran's Heroes' Day speech as an offer of friendship. Ivan argues that it was Prabhakaran, not the Sinhala voters or the SLFP, JVP or Hela Urumaya, who decided the election, blocking Ranil Wickremesinghe's 'peace with traps' in favour of a candidate of 'pure war', and warns of a new Gemunu–Elara war or rebellions within the south.

ප්‍රභාකරන්ගේ වීර දින කතාව සමාජය තේරුම් ගෙන ඇත්තේ එක ආකාරයකට නොව, විවිධ ආකාරවලටය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තේරුම් ගෙන ඇති බව පෙනෙන්නේ එය තමා වෙත මිත්‍රත්වයේ හස්තය දිගු කරන කතාවක් ලෙසය.

මෙම ජනාධිපතිවරණයේදි රටේ ජනාධිපති විය යුත්තේ කව්ද යන්න අවසාන වශයෙන් තීරණය කළේ සිංහල ජනතාව, ශ්‍රීලනිප, ජවිපෙ හෝ හෙළ උරුමය නොව ප්‍රභාකරන්ය. ප්‍රභාකරන් වීර දින කතාව කරන ලද්දේ ද සිංහල දේශයේ ජනාධිපති විය යුත්තේ කවුරුන්ද යන්න තීන්දු කොට එම තීන්දුවේ ප්‍රතිඵල ප්‍රකාශ වීමෙන් පසුවය.

ස්වයං තීරණ අයිතිය ගැන සිංහල ජනතාවට කිසිම අවබෝධයක් නැති බවත්, එය අවබෝධ කරගැනීමේ හැකියාවක් ද නැති බවත්, සිංහල ජනතාව කොයිකවරදාකවත් දෙමළ ජනතාවට ස්වයං තීරණ අයිතිය ප්‍රදානය නොකරනු ඇති බවත්, එය දෙමළ ජනතාව විසින් සටන් කොට දිනාගත යුත්තක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමේ අභිලාෂය කෙරෙහි බලපෑ හේතු ද එම කතාවෙන් ඔහු යම් පමණකට විග්‍රහ කරන්නට උත්සාහ දරා තිබුණි. එය යටි උගුල් සහිත සාම සාකච්ඡා ක්‍රියාවලියක් වීය යන්න ඔහුගේ නිරික්ෂණය වී තිබේ. උගුල් අටවන්නාගේකාරිය ඉටු කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ සාම ප්‍රවේශය දෙමළ ජනතාවගේ සතුටට හේතු වන්නට ඇතත්, ප්‍රභාකරන්ගේ හෝ එල්ටීටීඊයේ සතුටට හේතුවී නැති බව ඉන් පෙනී යයි.

සාම කතා ආරම්භ කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් ශක්තිමත් හා බලවත් ආකාරයකින් සිදුවී යැයි කිව හැකිය.

සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව සාම ක්‍රියාවලියට අර්ථවත් බවක් ලබාදිම සඳහා දෙපාර්ශ්වයේම නායකයින් විසින් ඉතාමත් නිර්භීත පියවර ගණනාවක්ම ගනු ලැබීය.

රනිල් වික්‍රමසිංහ මහතා මාර්ග මුරකපොලු ඉවත් කොට එල්ටීටීඊයට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කළේය. වේලුපිල්ලේ ප්‍රභාකරන් මහතා ද ඒ 9 මාර්ගයට තිබෙන උපාය මාර්ගික වැදගත්කම නොසලකා එය විවෘත කළා පමණක් නොව, උතුරේ බිම් බෝම්බ ඉවත් කෙරෙන වැඩපිළිවෙළකට ද අනුමැතිය දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරම්භය ශක්තිමත් වුවත්, ක්‍රියාවලියේ මැද ශක්තිමත් නොවීය.

නිව්යෝර්ක් ආධාර සමුළුව පිළිබඳ ප්‍රශ්නයේදි එල්ටීටීඊයට ද සහභාගි විය හැකි රටක එය පැවැත්වීමේ අවශ්‍යතාව වෙනුවෙන්වත් ලංකා ආණ්ඩුව පෙනී නොසිටියේය. එම ගනුදෙනුව රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි එල්ටීටීඊය ඇති කරගෙන තිබුණු විශ්වාසය පළුදු කිරීමට හේතුවිය. ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතා “ආරක්ෂක දැලක්” ගැන කතා කරන තැනකට ගියේය. දැලක් අවශ්‍ය වන්නේ මාළුවා ඇල්ලීමට හෝ කොටු කිරීමටය. ඉන්පසු ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ සමස්ත සාම ක්‍රියාවලිය දකින්නට වූයේ තමන් කොටු කිරීමට දරන කපටි උත්සාහයක් ලෙසය.

ජනාධිපතිවරණයේදි ද රනිල් සිය වැඩපිළිවෙළ හඳුන්වා දුන්නේ බෙදුම්වාදය පරාජය කරන වැඩපිළිවෙළක් ලෙසය. එය සිංහල ජනතාව අතර විශ්වාසයක් ඇති කරගැනීමේ අරමුණින් කළා විය හැකි වුවත්, එම සංඥාව එල්ටීටීඊය තේරුම් ගන්නට ඇත්තේ වෙනත් ආකාරයකටය. රනිල් වික්‍රමසිංහ මහතා පෙඩරල් රජයක් ගැන කතා කරන අතර, සිංහ කොඩියක් ගැන ද කතා කළේය. සමස්ත ඡන්ද වැඩපිළිවෙළ තුළ සාම කතා හා පෙඩරල් රාජ්‍යයක් ගැන කතා කළා හැරුණු විට දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ප්‍රශ්න ගැන කතා නොකළේය. අඩුම වශයෙන් දෙමළ ජනතාව සඳහා වන ආයාචනයක්වත් නොකළේය.

අවසානයේදි ප්‍රභාකරන් උගුල් සහිත සාමයක් වෙනුවෙන් පෙනී සිටි රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමට තිබෙන ඉඩ අහුරා පිරිසිදු යුද්ධයක් වෙනුවෙන් පෙනී සිටි මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කළේය.

එහි තේරුම රනිල් වික්‍රමසිංහ නමැති දේශපාලන චින්තකයා අල්ලපු අත්තත්, පය ගසා ගෙන සිටි අත්තත් (සිංහල හා දෙමළ ජනයා) යන දෙකම නැති කර ගත් බවය.

අවසානයේ ප්‍රභාකරන් සිංහල ජනතාව තමන්ට එරෙහිව දුටුගැමුණු කෙනෙකු ලෙස තෝරාගත් මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනාධිපති බවට පත් කළේය.

දැන් සිංහල රාජ්‍යයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් දෙමළ රාජ්‍යයේ ජනාධිපති වේළුපිල්ලේ ප්‍රභාකරන් මහතාත් මුහුණට මුහුණලා සිටින තැනකට පැමිණ සිටිති. අතීත එළාර මහල්ලෙක් වන විට දුටුගැමුණු කුමරා තරුණයෙකු වූයේය. පොදුවේ යුද්ධයකින් ජනතාවට සිදුවන හානිය සලකා යුද්ධයක් වෙනුවට ද්වන්ද්ව සටනක් ඉල්ලා සිටියේ ද මහලු එළාරය.

වර්තමාන දුටුගැමුණු හා එළාර යන දෙදෙනාම තරුණ හෝ මහලු නොවන මැදිවියේ පසුවන නායකයින් ලෙස සැලකිය හැකිය. එහෙත් වර්තමාන එළාර වර්තමාන දුටුගැමුණුට වඩා තරුණය. වර්තමාන එළාර ද්වන්දව සටනක් ඉල්ලා සිටිනු ඇතැයි ද සිතිය නොහැකිය. ප්‍රභාකරන්ගේ වීර දින කතාව ජාත්‍යන්තර ප්‍රජාව අමතන කතාවක් වනවාට අතිරේකව දෙමළ දේශයේ ජනාධිපති සිංහල දේශයේ අලුතෙන් අභිෂේක ලැබූ ජනාධිපතිවරයා අමතා කරන ලද කතාවක් ලෙස ද සැලකිය හැකිය. සිය කතාවේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිසි ගෞරවයකින් අමතන අතර, රටේ සිංහල ජනතාවට සේ ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද ස්වයං තීරණ අයිතිය ගැන අවබෝධයක් නැති බවත්, එය අවබෝධ කරගැනීමේ හැකියාවක් ද නැති බවත් කියන්නට ද ඔහු අමතක නොකළේය. ඒ සමග මෙම සිංහල ආණ්ඩුවට තමන් විසින් කරන අවසන් දැනුම්දිම බව කියමින් නිසි ප්‍රතිචාරයක් නොැලබේ නම් ඉදිරි වසරේදි (ඉදිරි වසරේ කවදාද කියා ඔහු නොකීවේය. එය වසර ආරම්භ වන ජනවාරි වලදි සේ ම, අවසන් වන දෙසැම්බර් දක්වා වන අතරතුර කාලය ද විය හැකිය.) ස්වයං තීරණ අයිතිය දිනාගන්නා තීරණාත්මක අරගලයක නිරත වන බව ද ප්‍රකාශ කළේය.

දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරන බවය. සාම සාකච්ඡා හැකි ඉක්මනින් ආරම්භ කරන බවය. පහසුකම් සපයන්නා (නෝර්වේ රාජ්‍යය) ඔවුන්ට පැවරි තිබෙන කාර්යයෙන් එළවන බව කියන්නේ ද නැත.

ජවිපෙ හා හෙළ උරුමය ඊළගට කියන්න යන්නේ හෝ කරන්න යන්නේ කුමක්දැයි පැහැදිලි නැත.

එළාරට මෙන් නොව ප්‍රභාකරන්ට තෝරා ගන්නට එක් මාර්ගයක් නොව මාර්ග ගණනාවක්ම ඇත්තේය.

තමා සිංහල දේශයේ නව ජනාධිපතිවරයා සමග ප්‍රශ්න සාකච්ඡා කරන්නට සූදානම් බව ප්‍රකාශ කොට ඵලදායී කිසිවක් සිදු නොවේ නම් සටන් විරාමයෙන් ඉවත් වී යාපනය අත්පත් කරගන්නා තැනකට යමින් නැවත සාම කතා ආරම්භ කරන ලෙස ඉල්ලා සිටීම.

තමා සිංහල දේශයේ කටයුතුවලට ඇඟිලි නොගසන බවට පොරොන්දු වෙමින් දෙමළ දේශයේ කටයුතුවලට ඇඟිලි නොගසන තැනක තබාගැනීම සඳහා අන්‍යොන්‍ය අවබෝධයෙන් ක්‍රියා කිරීම.

එළාර මෙන් ද්වන්දව සටනකට නොගොස් ඍජු යුද්ධයකට අවතීර්ණ වීම.

ගැමුණු-එළාර යුද්ධයක් ඇති නොවේ නම් දුටුගැමුණුට එරෙහිව ථේරපුත්තාභයලා හා වේළුසුමනලා කැරලි ගසන තත්ත්වයක් ද ඇතිවිය හැකිය.