වැරදුණේ කොතැනද? පැරණි වම හා නව වම

June 10, 2012
Publication:
Marking N.M. Perera's 106th birth anniversary, Ivan rejects the view — shared by the Frontline Socialists about the JVP — that the Left failed by abandoning class struggle for coalition politics. The old Left's leaders were middle-class intellectuals of great learning, as Mick Moore described, and able administrators: Anil Moonesinghe made the CTB profitable and handed commission cars to the board, while Leslie Goonewardene refused Yugoslav money. The LSSP might have beaten the UNP in 1947 had it not opposed the war and fled to India, and lacked a Gandhi to hold it together. Its real error was believing socialism could be built through coalitions and abandoning its minority-rights policies; Colvin R. de Silva told Ivan the 1978 Constitution was better for minorities than his own of 1972. The JVP had devotion but no study, and should use parliamentary politics to pursue achievable reforms.

ඇන්.ඇම්. පෙරේරාගේ 106 වැනි ජන්ම සංවත්සරය යෙදී තිබුණේ ජූනි 06 වැනිදාටය. ජනතා විමුක්ති පෙරමුණේ අත්දැකීම් සමග සාම්ප්‍රදායික වාමංශික ව්‍යාපාරයේ අත්දැකීම් සසඳා බැලීමක් කිරීම අදට වැදගත්වේයැ”යි සිතමි. පිළිගත් ජනප්‍රිය මතය අනුව සාම්ප්‍රදායික වමේ ව්‍යාපාරය අසාර්ථක වූයේ පන්ති සටන අතහැර පන්ති සහයෝගිතා දේශපාලනයක යෙදීම නිසාය. ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය 1978-2012. ජවිපෙ ගමන් මග නමින් පළකර තිබෙන පොතෙන් ජවිපෙ ගැන කියන්නේද ඊට සමාන අදහසකි. පන්ති සටන අතහැර පන්ති සහයෝගිතා දේශපාලනයකට යොමුවීම නිසා ජවිපෙ අසාර්ථක වූ බවය.

මට පෙනෙන අන්දමට සාම්ප්‍රදායික වමේ අසාර්ථකත්වය හා ජවිපෙ අසාර්ථකත්වය ගැන කැරෙන එම විග්‍රහය අතිසරලය.

පන්ති පදනම අනුව සාම්ප්‍රදායික වමේ නායකයෝ පීඩිත පන්තියට අයත් පිරිසක් නොවූහ. ඔවුහු අයත් වූවෝ මැද පන්තියටය. ඔවුන් සමාජවාදය තෝරාගැනීම කෙරෙහි බලපා තිබුණේ බුද්ධිමය කාරණාය. ඊට වෙනස්ව ජවිපෙ නායකයන්ට තිබුණේ පීඩිත පන්ති පදනමකි. ඔවුන් සමාජවාදය තෝරාගැනීමට බලපා තිබුණේ බුද්ධිමය හේතූන්ට වඩා ඔවුන්ගේ පීඩිත වටාපිටාවය.

මේ දෙපිරිස අතර බුද්ධිමය වශයෙන් විශාල පරතරයක් තිබුණේයැ”යි කිව හැකිය. ඇන්.ඇම්. පෙරේරාට ආචාර්ය උපාධි දෙකක් තිබුණේය. කොල්වින් ආර්. ද සිල්වාට ද ආචාර්ය උපාධි දෙකක් තිබුණි. සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ දෙකේ බොහෝ නායකයෝද බහුශ්‍රැතයෝ වූහ”යි කිව හැකිය. සාම්ප්‍රදායික වමේ නායකයන් ගැන මික් මෝර් කර තිබෙන කෙටි අර්ථකථනය ඉතාමත් පරිපූර්ණය.

ඒ මෙසේය. “එය නුවණැත්තාගේ හෙවත් බහුශ්‍රැතයන්ගේ ව්‍යාපාරයකි. ඔවුහු සර්ව භෞමික ජාත්‍යන්තරවාදී පිරිසක් වූහ. ප්‍රධාන සියලුදෙනාම විදේශ අධ්‍යාපනයක් ලැබූ අය වූහ. සමකුල නොවන, සම ජාතික නොවන, අවාහ විවාහ කරගත් අය වූහ. නැතිනම් මිශ්‍ර විවාහවලින් පැවතඑන්නෝ වූහ. වැඩි වශයෙන්ම ගොවිගම නොවන අවශේෂ කුලවලට අයත් ආගමික විශ්වාසයන්ගෙන් තොර පිරිසක් වූහ. බුද්ධිමත් විශිෂ්ටතමයන් වූවා සේ ම දක්ෂ නායකයෝද, දක්ෂ කථිකයෝද, පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමය පිළිබඳ විශාරදයෝ ද වූහ.”

සමසමාජ පක්ෂය තුළ ගොනුවී සිටි ශාස්ත්‍රාලයීය උගතුන් සංඛ්‍යාව එක විශ්වවිද්‍යාලයක සිටින ශාස්ත්‍රාලයීය උගතුන් සංඛ්‍යාව තරම් විශාල විය. කලාව, සාහිත්‍යය, සංගීතය වැනි අංශවලින් ගත්තද ඒ තලයේ රටේ සාරය ලෙස සැලකිය හැකි පිරිසක් එම ව්‍යාපාරය තුළ ගොනුවී සිටියෝය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ධුරයට පත්වූ පසු ඇන්.ඇම්. හා කොල්වින් සමග කරන කතාබහකදී කියා තිබෙන අපූරු කරුණක් මෙසේය.

රටක උගතුන් මෙතරම් විශාල ප්‍රමාණයක් එක දේශපාලන ව්‍යාපාරයක් තුළ ගොනුවන්නේ ඉතාමත් කලාතුරකින් බව කියා සිටින අතර එසේ තිබියදීත් ඇන්.ඇම්.ට බලයට පත්වීමට නොහැකි වූ බවත්, එවැනි විශේෂ බලයක් නැතිවත් තමා බලයට පත්වීමට සමත් වූ බවත් කියා තිබේ.

මා හිතන අන්දමට සමසමාජ පක්ෂය දෙවැනි ලෝක යුද්ධයේදී දැඩි යුද විරෝධී ආස්ථානයකට නොගොස් හා නායකයන් ඉන්දියාවට පලා නොගොස් තවදුරටත් ලංකාවේ දේශපාලන කටයුතුවල නිරත වන තැනක සිටියේ නම් සමහරවිට පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපය පරාජය කිරීමේ හැකියාව ලැබෙන්නට ඉඩ තිබුණි. පක්ෂය තහනම් කරන විට සමසමාජ පක්ෂය සිටියේ ජනප්‍රියත්වයේ ඉහළම හිනිපෙත්තේය. ඉන්දියාවට පලායෑම නිසා අවුරුදු 05ක් එක දිගට ලංකාවෙන් පිටස්තරව ඉඳීමට ඔවුන්ට සිදුවිය. ඒ අවුරුදු පහ ලංකාවේ රැඳීසිටිමින් සිය පක්ෂ කටයුතු ඉදිරියට ගෙනයෑමට සමත් වී නම් එජාප අබිබවා යන මහජන බලයක් ඇතිකර ගැනීමට සමත්වන්නට ඉඩ තිබුණි.

සාම්ප්‍රදායික වමේ ව්‍යාපාරය දුර්වල කිරීමට හේතුවූ තවත් වැදගත් සාධකයක් වූයේ එම ව්‍යාපාරය තුළ බෙදීම් හා බිදීම් ඇති නොවී සමගිසම්පන්න ලෙස ඒ සියලුදෙනා එකට තබාගත හැකි අයෝමය නායකත්වයක් එම ව්‍යාපාරයට නොතිබීමය. ඉන්දියානු කොංග්‍රස් ව්‍යාපාරය එකට තබාගැනීමේදී ගාන්ධිට තිබූ හැකියාවට සමාන හැකියාවක් සහිත නායකයකු සාම්ප්‍රදායික වමේ ව්‍යාපාරයට සිටියේ නම් සාම්ප්‍රදායික වමේ ඉරණම මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. ගාන්ධිට ආවේණික විශේෂ ස්වභාවය නිසා මතභේද තිබෙන අය පවා ගාන්ධි අතහැර යන්නට කැමති නොවීය. භේද ඇතිවන විට ඒවා වැඩිදුර යන්නට ගාන්ධි ඉඩ නුදුන්නේය. තම අදහස්වලට පටහැනි සමහර යෝජනා පරාජය කරන්නට පුළුවන්කම තිබුණු අවස්ථාවලදී පවා බෙදීම් ඇතිවීම වළකා ගැනීම සඳහා ඒ යෝජනා සම්මත වන්නට ඉඩ දුන් අවස්ථා දැකිය හැකිය. බිඳීමක් ඇතිවූ එකම අවස්ථාවේදී පවා බිඳීගිය පිරිස නැවත කොංග්‍රසයට ගෙනඒමට ගාන්ධි සමත් විය. එහෙත් සාම්ප්‍රදායික වමේ ව්‍යාපාරය තුළ ඇතිවූ කැඩුම් බිඳුම් සංඛ්‍යාව අතිවිශාලය.

වාමාංශික පක්ෂවල නායකයෝ හුදු න්‍යායවාදීන් පිරිසක් පමණක් නොවූහ. ඉතාමත් දක්ෂ කළමනාකරුවන් පිරිසක් වීයැ”යිද කිව හැකිය. ඕනෑම සංකීර්ණ වගකීමක් භාරගෙන එය සාර්ථක ලෙස ක්‍රියාවට නැගීමේ හැකියාව ඔවුන්ට තිබුණි. රාජ්‍ය නිලධාරීහු ඔවුන් යටතේ වැඩ කරන්නට ප්‍රිය කළෝය.

අනිල් මුණසිංහ ලංගමය අතට ගත් පසු එය ලාබ ලබන කාර්යක්ෂම ආයතනයක් බවට පත් කළේය. ඔහුට ඉතාලියෙන් ගෙන්වන ලද බස් තොගයක් සඳහා පියට් කාර් 12කට හෝ ඊට වැඩි ගණනකට සමාන කොමිස් මුදලක් ලබාදෙන්නට සමාගම යෝජනා කළේය. ඔහු එම වටිනාකමට සරිලන ලෙස පියට් කාර් ලබාදෙන ඉල්ලා සිටියේය. ලැබුණු සියලු පියට් කාර් ලංගමට දුන්නේය. මන්ත්‍රීකම අහිමිවීමෙන් පසු මෝටර් රථය පරිහරණය කිරීමට අවශ්‍ය තරම් මුදල් නැතිකම නිසා සාමාන්‍ය ගමන් බිමන් සඳහා සී. 90 වර්ගයේ මෝටර් සයිකලයක් පරිහරණය කළේය. වරක් ඔහු සමග ඒ මෝටර් සයිකලයෙන් ගාල්ලේ සිට මාතර යන්නට මටත් අවස්ථාවක් ලැබුණි. ඔහු බදුල්ලේ පක්ෂ වැඩවලට යනවිට පමණක් මෝටර් රථය පාවිච්චි කළේය. එහෙත් හැමවිටම එහි ගියේ කොළඹින් පොල් පටවාගෙනය. ආපසු කොළඹ ආවේ වැලිමඩින් එළවළු පටවාගෙනය. ඒ වෙළෙඳාමෙන් ලැබෙන ලාභයෙන් ඔහු ඉන්ධන මිල පියවා ගත්තේය. ලෙස්ලි ගුණවර්ධනගෙන් අසන්නට ලැබුණු කතාවක් අනුව පක්ෂයට මූල්‍ය ආධාර අවශ්‍ය නම් සිය රටට ඒ දේ කළ හැකි බව යුගෝස්ලෝවියානු තානාපතිවරයා ලෙස්ලිට දැනුම් දී තිබේ. ඔහු ඊට දී තිබෙන පිළිතුර වී ඇත්තේ පක්ෂයට මුදල් ආධාර අවශ්‍ය නොවන බවය. පක්ෂයක් විදේශීය රටකින් යැපෙන්නට වූ විට එය පක්ෂයේ ස්වාධීනත්වය අහිමි කරන අනවශ්‍ය බැඳීමක් ඇති කරන සාධකයක් බවට පත්විය හැකි බව ඔහුගේ මතය විය.

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බොහොමයක් රටට හඳුන්වා දුන් පුරෝගාමීහු වන්නෝද ඔවුහුය. පාර්ලිමේන්තු සම්ප්‍රදායයක් සංවර්ධනය කොට පෝෂණය කළෝය. පාර්ලිමේන්තු විවාද හරබර කොට වර්ණවත් කළෝය. නූතන ශ්‍රී ලංකාවේ සැබෑ වීරයන් ලෙස සැලකිය යුත්තෝ ඔවුහුය. එහෙත් ඔවුන්ට සමාජයෙන් ලැබිය යුතුව තිබුණු ගෞරවය ප්‍රමාණවත් තරමින් ලැබී තිබෙන බවක් පෙනෙන්නට නැත.

ඔවුන්ට වැරදුණු තැන ලෙස මා සලකන්නේ සභාග දේශපාලනයකට යොමුවීම නොව සභාග දේශපාලන ක්‍රියාවලියක් තුළ සමාජවාදී රටක් ගොඩනැගිය හැකි බවට ඔවුන් ඇති කරගත් බොරු විශ්වාසයයි. ඔවුන් එවැනි මනෝරාජික වැඩසටහනකට නොගොස් රටට අත්‍යවශ්‍යව තිබුණු ප්‍රතිසංස්කරණ අරමුණු කරගනිමින් ඒ අරමුණ ජයගැනීමට උත්සාහ කළේ නම් වඩා ඵලදායී වන්නට ඉඩ තිබුණි.

සභාග දේශපාලනය තුළ ඔවුන් අතින් සිදුවූ බරපතළම වරද ලෙස සැලකිය හැක්කේ සුළු ජාතීන්ගේ ප්‍රශ්න පිළිබඳව ඔවුන්ට තිබුණු යහපත් ප්‍රතිපත්ති අත්හැරීමය. ඒ ප්‍රතිපත්ති අත්නොහැර තවදුරටත් ඒ ප්‍රතිපත්ති වෙනුවෙන්ම පෙනීසිටියේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්ගවාදී ගමන් මග කිසියම් විශාල ප්‍රමාණයකට වෙනස් කිරීමට ඔවුන් සමත්වන්නට ඉඩ තිබුණි. සුළු ජාතීන්ගේ ප්‍රශ්න පැත්තෙන් ගත් විට වඩා ඉදිරිගාමී වනුයේ 72 ව්‍යවස්ථාවද නැත්නම් 1978 ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවදැ”යි වරක් මම කොල්වින්ගෙන් අසා සිටියෙමි. ඒ අර්ථයෙන් නම් අපේ ව්‍යවස්ථාවට වඩා ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව ඉදිරිගාමී බව ඔහු දුන් පිළිතුර විය. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේදී ඔවුන් සුළු ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට අවංක උත්සාහයක් ගත්තේ නම් එය සාර්ථක කරගන්නට ඉඩ තිබුණු බව මගේ විශ්වාසයයි. හේතුව ශ්‍රීලනිප නායිකාවට විශාල ලෙස බලපෑමේ හැකියාවක් ඒ අවස්ථාවේ සමසමාජ පක්ෂයට තිබුණි. එහෙත් ඔවුන් ද ශ්‍රීලනිපයේ වර්ගවාදී නැඹුරුවේ හිරකාරයන් වී සිටි තත්ත්වය තුළ ඒ සඳහා වන අවංක වුවමනාවක් ඔවුන් කෙරෙන් පළනොවූවේයැ”යි කිව හැකිය.

විජේවීර ඇතුළු ඔහුගේ දේශපාලන පරම්පරාව බුද්ධිමය අර්ථයෙන් ගත්විට සිටියේ සාම්ප්‍රදායික වමට වඩා හුඟාක් නොදියුණු තත්ත්වයකය. සරල පන්ති පහේ වැඩපිළිවෙළින් ඔබ්බට ගිය බුද්ධිමය හා දැනුම වර්ධනය කිරීම සඳහා වන විශේෂ වැඩසටහන් ජවි පෙරමුණට නොතිබුණේය. විජේවීර පවා බැරෑරුම් කියවන්නෙක් නොවීය. වඩා වැදගත් කොට සලකන ලද්දේ හැදෑරීම නොව වැඩ කිරීමය. දේශපාලන අරමුණක් වෙනුවෙන් ඇපකැපවී ක්‍රියාකිරීමේදී සාම්ප්‍රදායික වමේ අයට වඩා ජනතා විමුක්ති පෙරමුණේ තරුණ තරුණියෝ හුඟක් ඉදිරියෙන් සිටියෝය.

ඔවුන්ට ආවේණික දුර්වලම ලක්ෂණය වනුයේ කිසිම දෙයක් පිළිබඳව ගැඹුරු හැදෑරීමක්, විශ්ලේෂණයක් හෝ යථා තක්සේරුවක් නැතිකමය. ඒ නිසාම ඔවුන්ගේ කැපවීමට නිසි වටිනාකමක් නොතිබුණි.

මගේ මතය අනුව ඔවුන් දෙවැනි කැරැල්ලෙන් පසු ආයුධ දේශපාලනයට ආයුබෝවන් කියා පාර්ලිමේන්තු දේශපාලනයට එකතුවීම නිවැරදිය. ඔවුන්ට වැරදුණු තැන සාම්ප්‍රදායික වම වරද්දා ගත් තැනට සමානය. තමන්ට පාර්ලිමේන්තු දේශපාලනයක් තුළ තනිව බලයට පත්වීමට ඉඩක් නැති බව තේරුම් ගනිමින් බලය අල්ලාගෙන සමාජවාදය ගොඩනගන බොරු වැඩසටහනකට සීමා නොවී රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුනා ගනිමින් එම ඉලක්ක දිනාගැනීමේ දේශපාලනයක නිරතවීමට සමත් වී නම් ඔවුන් සාර්ථක දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වන්නට ඉඩ තිබුණි. ඒ සඳහා සභාග දේශපාලනයකට ගියා වුවද එහි වරදක් නැත.