මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 70 වැනි ජන්ම සංවත්සර උත්සවයට සහභාගිවීමේ ආශාවක් මා තුළ තිබුණද වැළකිය නොහැකි හේතුවක් නිසා මට ඊට සහභාගිවීමට නොහැකි විය. අපේ සමාජයේ පවතින පසුගාමී බව කෙරෙහි බලපා තිබෙන ලොකුම ප්රශ්නයක් වනුයේ රටේ බරපතළ වැරදි සිදුවන විට කතා කළයුතු තත්ත්වයක සිටින උගතුන් කතා කිරීමෙන් වැළකී නිහඬව සිටීමයි.
ජවිපෙ දෙවැනි කැරැල්ලේ පරාජයෙන් පසු කොළඹ විශ්වවිද්යාලයේ එවකට උපකුලපති ලෙස ක්රියා කළ මහාචාර්ය ජී.ඇල්. පීරිස්ගේ ආරාධනයක් අනුව කිසියම් සවසක මම ඔහුගේ නිවසට ගියෙමි. පේරාදෙණිය විශ්වවිද්යාලයේ උපකුලපති අර්ජුන අලුවිහාරේ හා දිවයින පුවත්පත් සමූහයේ කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ එහි සිදුවූ පිළිසඳරට සහභාගි වූ අනෙක් දෙදෙනා විය.
එහිදී උපකුලපතිවරුන් දෙදෙනාට අවශ්ය වූයේ ජේවීපී තරුණයන් කැරලි ගසන තැනකට ගියේ ඇයිද කියන ප්රශ්නයට අප දෙන පිළිතුර දැනගැනීමය.
මා එක එල්ලේම ඊට දෙන ලද පිළිතුර වූයේ ඊට හේතුව ඔබතුමන්ලාය යන්නය. ඔබතුමන්ලා වැනි උගතුන් රටේ සිදුවන බරපතළ වැරදි ඉදිරියේ නිහඬව බලාසිටින ප්රතිපත්තියක් අනුගමනය කරන විට අවසානයේ අඩු උගත්කමක් ඇති තරුණ පරපුර ඔවුන් දන්නා භාෂාවෙන් කතා කළ බව කීවෙමි.
මා දෙන ලද පිළිතුරෙන් අර්ජුන අලුවිහාරේ මහතා කම්පනයට පත්වූ බව පෙනෙන්නට තිබුණි. වැරදි සිදුවන අවස්ථාවල නිහඬව නොසිට ඒ ගැන කතා කරන්නට පුරුද්දක් ඇතිකර ගන්නට උත්සාහ කරන බව කීවේය.
සෝභිත හිමියන්ට ලැබෙන වැදගත්කම හිමිවන්නේ මෙම නිශ්චිත කාරණයේදීය. රටේ බරපතළ වැරදි සිදුවන අවස්ථාවල නිහඬව නොසිට කතා කරන්නට උත්සාහ කළ උගතුන් අතර සෝභිත හිමියන්ට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි. එතුමන් එවැනි අවස්ථාවල පළකරන අදහස් විවාදයට හේතුවිය හැකි වුවත් එතුමා රටේ බරපතළ වැරදි සිදුවන අවස්ථාවලදී නිහඬත්වයට ඉඩ නොදුන් යතිවරයකු ලෙස සැලකිය හැකිය. එතුමාගේ ජීවිතයේ වර්ණවත්ම ලක්ෂණයද එය වීයැ”යි කිව හැකිය. එතුමා ජන්ම සංවත්සරයේදී කළ කතාවේදී විධායක ජනාධිපති ක්රමය හා ඡන්ද ක්රමය වෙනස් කරගැනීමේ අවශ්යතාවද බැරෑරුම් ලෙස රටට අවධාරණය කළේය. එය අපවත්වීමට පෙර සම්පූර්ණ කරගත යුතුව තිබෙන කාර්යයක් බවද කියා සිටියේය.
මා හිතන්නේ එතුමාගේ නිරීක්ෂණය හරියටම හරි බවය. රටට යහපත් ඉදිරි ගමනක් අවශ්ය නම් විධායක ජනාධිපති ක්රමය හා රටේ ඡන්ද ක්රමයද ඇතුළත් දූෂිත දේශපාලන ක්රමයේ මූලික වෙනසක් ඇති කරගත යුතුය.
මෙම දූෂිත දේශපාලන ක්රමයේ වෙනසක් සඳහා වෙන කවදාවත් නැති උනන්දුවක් ක්රම ක්රමයෙන් සමාජයේ ගොඩනැගෙමින් තිබෙන බවද පෙනීයයි. ත්රස්තවාදී කලබල අවසන් වී තිබීම නිසා වෙනදා මෙන් නොව දැන් දේශපාලන ක්රමයේ දූෂිත හා අක්රමවත් බවත් එහි විනාශකාරී ස්වරූපයත් දකින්නට මහජනයාට ලැබී තිබෙන හැකියාව ඒ තත්ත්වය කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය. වෙනදා ඔවුන්ගේ ප්රධාන අවධානය යොමුවී තිබුණේ හැමදාමත් සිදුවන ත්රස්තවාදී ක්රියාකාරකම් කෙරෙහිය. ඒ නිසා දේශපාලන ක්රමයේ ඇති දූෂිත බව අක්රමවත් බව හා ඒ නිසා සිදුවන විනාශකාරී දේවල් ඔවුන්ට හොඳින් නොපෙනුණේය. ඒ තත්ත්වය ඔවුන්ට හොඳින් පෙනෙන්නේ දැන්ය.
ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු හා ශ්රීලනිපයේ මහ ලේකම් මෛත්රීපාල සිරිසේන මහතා පොල්ගොල්ලේ සමරු උත්සවයකදී කර තිබෙන උද්වේගකර හා ආන්දෝලනාත්මක කතාවෙන් දී තිබෙන පණිවුඩයද සෝභිත හිමියන් දී තිබෙන පණිවුඩයට සමානය. ඇමතිවරයා තමන්ගේ අත්දැකීම් විස්තර කරමින් අවසාන වශයෙන් කියන්නේ මේ ක්රමය වෙනස් කිරීමට කාලය දැන් පැමිණ තිබෙන බවය.
මීට කලකට පෙර ලංකා සමසමාජ පක්ෂයේ සංවත්සරයට සහභාගි වූ කතානායක චමල් රාජපක්ෂ මහතාද විධායක ජනාධිපති ක්රමය වෙනස්කිරීමේ යුතුකමක් හා වගකීමක් රාජපක්ෂවරුන්ට ඇති බව කියා තිබුණි. පුදුමයකට මෙන් කතානායකවරයා එහිදී කරන ලද කතාව මොනම ජනමාධ්යයකවත් වාර්තා කිරීමක් සිදුනොවීය. පවතින දූෂිත දේශපාලන ක්රමයේ මූලික වෙනසක් අවශ්යයැ”යි සිතන්නේ මෛත්රීපාල සිරිසේන, චමල් රාජපක්ෂ වැනි ආණ්ඩු පක්ෂයේ කිහිපදෙනකු පමණක් නොවේ. දියතලාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් සඳහා පැවති වැඩමුළුවේදී මන්ත්රීවරුන්ගෙන් ප්රකාශ වී තිබෙන අදහස් අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් වැඩි පිරිසක්ද ක්රමයේ වෙනසක් අපේක්ෂා කරන බව පෙනේ. ජනවර්ග ප්රශ්නයට විසඳුමක් ලබාදෙන අතර විධායක ජනාධිපති ක්රමයද වෙනස් කළයුතුය යන්න සිය පක්ෂයේ මතය වන බව ඩිව් ගුණසේකර මහතා පැහැදිලිව ප්රකාශ කර තිබේ. සමසමාජ මතයද ඊට වෙනස් විය නොහැකිය.
දේශපාලන ක්රමය පිළිබඳ ප්රශ්නය ගැන ජාතික හෙළ උරුමය පක්ෂය සිතන මතන ආකාරය හරිහැටි පැහැදිලි නැතත් විධායක ජනාධිපති ක්රමය පවත්වාගෙන යන්නේ නම් ජනාධිපතිවරයා නීතියට යටත් තත්ත්වයකට ගෙනා යුතු බව ප්රකාශ කර තිබුණි. එම පක්ෂයද විධායක ජනාධිපතිට ලැබී තිබෙන පරම බලයට එකඟ නැති බව ඉන් පෙනීයයි. ජාතික නිදහස් පෙරමුණ, මුස්ලිම් කොංග්රසය, කම්කරු කොංග්රසය, ඊපීඩීපී වැනි පක්ෂ දේශපාලන ක්රමය ගැන දරන ස්ථාවරයන් පැහැදිලි නැතත් ඔවුන්ද මූලික වෙනසක් ඇතිවනවා දකින්නට අකමැති වනු ඇතැ”යි සිතිය නොහැකිය.
විධායක ජනාධිපති ක්රමයේ පරම බලයේ රසය භුක්ති විඳින කිසිවකු ඒ බලය අත්හැරීමට ලේසියෙන් කැමතිවන්නේ නැත. එහෙත් විධායක ජනාධිපති ක්රමය වෙනස් කරන බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද ජනතාවට පැහැදිලි පොරොන්දුවක් දී තිබෙන අතර එය ඔහුගේ දේශපාලන පොරොන්දු පත්රයට ඇතුළත්ව තිබුණු ලොකුම දේශපාලන පොරොන්දුව ලෙස සැලකිය හැකිය. ලැබී තිබෙන පරම බලය සමග ඉඳීමට පුද්ගලිකව කැමති විය හැකි වුවද සදාචාරාත්මක අර්ථයෙන් ජනාධිපතිවරයා ඉන්නේද දේශපාලන ක්රමයේ වෙනසක් ක්රියාකාරී ලෙස සමාජය ඉල්ලා සිටින තැනකට ගියහොත් ඊට විරුද්ධව නැගීසිටීම පහසු නැති තැනකය. එවැනි තත්ත්වයකට එරෙහිව නැගීසිටින තැනකට ගියහොත් එය ජනාධිපතිවරයාට ඡන්දය දුන් ජනතාවගේ සතුටට හේතුවිය නොහැකිය.
දේශපාලන ක්රමය පිළිබඳ ප්රශ්නයේදී ජවිපෙ දරන අදහස් පැහැදිලි නැතත්, ඔවුන්ටද මෙම දූෂිත දේශපාලන ක්රමයට පක්ෂවීමේ හැකියාවක් නැත. ප්රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ සේ ම එහිම විකල්පය ලෙස පෙනීසිටින සජිත් පිල දේශපාලන ක්රමය ගැන දරන අදහස්ද පැහැදිලි නැත. එජාප නායක රනිල් වික්රමසිංහ මහතා වෙනස්කම් ඇති කරගැනීමේ අවශ්යතාව පිළිගෙන ඇතත්, ඉල්ලා සිටින මූලික වෙනස්කම් මොනවාද යන්න පැහැදිලිව ප්රකාශ කර නැත. දෙමළ සන්ධානයද දෙමළ ප්රශ්නයට ඉල්ලා සිටින විසඳුම්වලට අතිරේකව රටේ පවතින දේශපාලන ක්රමය පිළිබඳව දරන අදහස් රටට පැහැදිලි කොට නැත. සියලු දේශපාලන පක්ෂ මෙම මූලික ප්රශ්නය පිළිබඳව තමන් දරන අදහස් පැහැදිලි කරන්නේ නම් මේ අවුල ලිහාගැනීම පහසු වන අතර එය යහපත් දේශපාලන පෙළගැසීමක් ඇති කිරීමටද හේතුවනු ඇත.
මට පෙනෙන අන්දමට රටේ යහපත් ඉදිරි ගමනකට එරෙහිව තිබෙන ලොකුම නිරීක්ෂණය වී ඇත්තේ මෙම දේශපාලන ක්රමයයි. මේ දේශපාලන ක්රමය තුළ තිබෙන නරකම හා අශීලාචාරම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ සකලවිධ රාජ්ය බලය එක පුද්ගලයකු අත කේන්ද්රගතවී තිබීමය. එහි ඊළඟ නරකම ලක්ෂණය වනුයේ එවැනි පරම බලයක් ඇති රාජ්ය නායකයා නීතියට යටත් නැති තත්ත්වයක තබා තිබීමය. මෙය පාලක පක්ෂයට පොදු දේපළ කොල්ලකෑමේ අයිතිය ලබාදෙන ක්රමයකි. ඒ අර්ථයෙන් මෙය කොල්ලකාරී දේශපාලන ක්රමයක් ලෙසද සැලකිය හැකිය.
මෙය හදිසියේ අහසින් කඩා වැටුණු ක්රමයක් වේයැ”යි මම නොකියමි. නිදහසින් පසුව ආණ්ඩු ක්රමය පරිණාමයවෙමින් තිබුණේ හොඳ අතට නොව නරක අතටය. ඒ නරක අතට සිදුවූ පරිණාමයේ උච්චතම අවස්ථාව විධායක ජනාධිපති ක්රමය වේයැ”යි කිව හැකිය. ඊට පෙර තිබුණු ආණ්ඩු ක්රමයද විශිෂ්ට හෝ පරිපූර්ණ ක්රමයක් නොවීය. බරපතළ වැරදි හා අඩුපාඩුකම් තිබුණි. එහෙත් ඒ තිබුණු සරල ක්රමය තුළ මීට වඩා ශක්තිමත් ප්රජාතන්ත්රවාදී වටාපිටාවක් සමාජයේ තිබුණි. ඒ ක්රමය තුළ ආණ්ඩුවක් වෙනස් කිරීම ඉතා දුෂ්කර දෙයක් නොවීය. ඒ යටතේ තිබුණු අතුරු මැතිවරණ ක්රමය බලයේ සිටින ආණ්ඩුවක සාර්ථක අසාර්ථකභාවය පෙන්නුම්කරන වැදගත් මාපකයක් ලෙස ක්රියා කළේය. හැම ඡන්ද කොට්ඨාසයකම මන්ත්රීවරයකු සිටි නිසා ඡන්ද කොට්ඨාසයේ ජනතාවට දුක්ගැනවිලි ඉදිරිපත් කරන්නට නිශ්චිත පුද්ගලයෙක් සිටියේය. මැතිවරණ තරගයක් සඳහා අවශ්ය වියදමද සාමාන්ය පුද්ගලයකුට පවා ඔරොත්තු දෙන තත්ත්වයක පැවති අතර මැතිවරණ වියදම් සඳහා පනවා තිබූ සීමා නිසා මුදල් බලයෙන් බඩපිනුම් ගැසීමට තිබෙන හැකියාවද සීමාවී තිබුණි. හැම වසර පහකට වරක්ම ආණ්ඩු පෙරළියක් ඇතිවීමට වැඩි ඉඩක් තිබුණු නිසා රාජ්ය නිලධාරීහු බලයට පත්වන ආණ්ඩු සමග කල්ලි ගැසී ක්රියාකිරීමට බියවූහ. රාජ්ය නායකයාද ව්යවස්ථාදායකයේ නියෝජිතයකු වීම නිසා ආණ්ඩුවෙන් කරන කටයුතුවල පැහැදිලි විනිවිදභාවයක් තිබුණි. ඒ සරල ක්රමය බලයට පත්වන පක්ෂයකට පොදු දේපළ කොල්ලකෑමට තිබෙන අයිතියද අහුරා තිබුණි. දේශපාලන ක්රමය නඩත්තු කිරීමට යන වියදමද අවම මට්ටමක තිබුණි. මතභේද තිබෙන මන්ත්රීවරයකුට මන්ත්රීකම අහිමි කරගැනීමෙන් තොරව පක්ෂය මාරුකිරීමේ හැකියාව තිබුණි.
විධායක ජනාධිපති ක්රමය ඉදිරියට තබන ලද පියවරක් නොව ආපස්සට තබන ලද පියවරකි. මැතිවරණ ක්රියාවලිය විශාල වශයෙන් මුදල් අවශ්ය සංකීර්ණ දෙයක් බවට පත්කළේය. මැතිවරණ වියදම් සඳහා තිබුණු සීමා ඉවත් කිරීම නිසා මැතිවරණ ජයගැනීම තනිකර සල්ලි බලයෙන් කළ හැකි දෙයක් බවට පත්වී තිබේ. රාජ්යයේ සකලවිධ බලය තනි පුද්ගලයකු අත කේන්ද්ර ගතකොට ඔහු නීතියට යටත් නැති පාර්ලිමේන්තුවට උත්තරදීමට බැඳී නැති තත්ත්වයක් ඇති කළේය. ආණ්ඩුවක් පහසුවෙන් වෙනස් කළ නොහැකි ඉතා දුෂ්කර දෙයක් බවට පත් කළේය. රාජ්ය බලය පොදු වස්තුව කොල්ලකන ක්රමයක් බවට පත් කළේය. දේශපාලන ක්රමය නඩත්තු කිරීම රටට ඔරොත්තු නොදෙන තරමේ වියදමක් දැරිය යුතු තත්ත්වයක් ඇති කළේය. නීතියේ පාලනය නැතිභංග කොට අල්ලස, දූෂණය, නාස්තිය, දෛනික ජීවිතයේ සාමාන්ය දෙයක් බවට පත් කළේය. සමාජ පාදඩකරණය හා අපරාධකරණය වර්ධනය කළේය. ප්රජාතන්ත්රවාදී ගුණධර්ම නැති කොට රට අශීලාචාර තැනකට තල්ලු කළේය. ආණ්ඩුකරණය ගණන්කාරයන් කණ්ඩායමකගේ දූෂ්ට පාලන ක්රමයක් බවට පත් කළේය.
නැවත රටට ශීලාචාර තැනකට යාහැකිවනු ඇත්තේ මෙම අවලස්සණ දූෂිත හා පීඩාකාරී දේශපාලන ක්රමය වෙනුවට යහපත් ආණ්ඩුක්රමයක් ඇති කරගැනීමෙනි.