කර්තෘ ධුරයෙන් විශ්‍රාම ගැනීම හා නව කතුවරයකු පත්වීම

June 17, 2012
Publication:
Ivan announces that he has stepped down as editor of Ravaya, which he had led since its founding, and that K.W. Janaranjana, lawyer, cartoonist and acting editor since Thimbiriyagama Bandara left the deputy editorship, has succeeded him. Having long criticised people who cling to office until death, he planned his own departure; he remains editorial adviser and chairman, and intends to retire fully after a transition. Ravaya, he writes, was an experiment in journalism free of profit-seeking, racism, religious or caste chauvinism and corruption, carried out on burning ground, yet no one at the paper was killed or badly assaulted and no lawsuit throttled it. He thanks supporters, writers, readers, staff, his wife and three children, and apologises to anyone he wronged.

රාවයේ ආරම්භයේ සිට පසුගිය සතිය තෙක් එහි කර්තෘ ලෙස ක්‍රියාකළ මා එම තනතුරෙන් ඉවත් වී ඊට රාවයේ වැඩබලන කර්තෘ ලෙස ක්‍රියාකළ කේ.ඩබ්ලිව්. ජනරංජන පත්කරනු ලැබිණි. එය මා විසින්ම සැලසුම් කොට තිබුණු වැඩසටහනක වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. තනතුරු දරන පුද්ගලයන් මැරෙන තෙක් එම තනතුරුවල එල්ලී සිටීමේ පිළිවෙත නොයෙකුත් අවස්ථාවලදී මා විසින් විවේචනයට ලක් කර තිබෙන අතර ඒ වරද මා අතින් සිදුනොවිය යුතු දෙයක් ලෙස සැලකුවෙමි. මා කර්තෘ ධුරයෙන් ඉවත්වීම හා ජනරංජන එම තනතුරට පත්වීම සිදුවූයේ එම දර්ශනයට අනුකූලවය. මම දැන් රාවය කර්තෘ මණ්ඩලයේ උපදේශකයකු හා ආයතනයේ සභාපති පමණක් වන අතර සංක්‍රමණීය කාලවකවානුවක් තුළදී එම තනතුරුද අත්හැර මුළුමනින් රාවයෙන් විශ්‍රාම ගැනීමට බලාපොරොත්තු වෙමි.

ජනරංජනටද රාවය සමග දීර්ඝකාලීන සම්බන්ධයක් තිබුණි. ඔහු කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු නොවී සිටියදීත් කාටූන් ශිල්පියකු ලෙස රාවයට සේවය කළේය. ඔහු එකවිට නීතිඥයකු, චිත්‍ර ශිල්පියකු හා පුවත්පත් කලාවේදියකු ලෙස සැලකිය හැකිය. තිඹිරියාගම බණ්ඩාර නියෝජ්‍ය කර්තෘ ධුරයෙන් ඉවත්වයෑමෙන් පසු එතැන් සිට ජනරංජන රාවයේ වැඩබලන කර්තෘ වශයෙන් ක්‍රියා කළේය.

මින්පසු පුවත්පතේ අන්තර්ගතය තීන්දු කරනු ඇත්තේ නව කතුවරයාය. කර්තෘ සහභාගිවිය යුතු සියලු නිල දේවලට සහභාගිවනු ඇත්තේද ඔහුය. පුවත්පතේ පළකැරෙන සියලු දේවල නෛතික හා සදාචාරමය වගකීම දරන්නා බවට පත්වන්නේද ඔහුය. පුවත්පතේ කතුවරයා වශයෙන් තමා වෙත පැවරෙන යුතුකම් හා වගකීම් ප්‍රශස්ත ලෙස හා නිර්මාණශීලී ලෙස පවත්වාගෙනයෑමේ හැකියාව සේ ම පුවත්පත වඩා හොඳ හා සාර්ථක පුවත්පතක් බවට පත්කිරීමේ හැකියාව ඔහුට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

රාවය පුවත්පත මා විසින් වෙනත් අයගේද සහාය ඇතිව සමාජ-දේශපාලන විෂයයෙහි සේ ම ජනමාධ්‍ය විෂයයෙහිද කරන ලද අත්හදාබැලීමක් ලෙස සැලකිය හැකිය. ලාභ පසුපස හඹායෑමෙන් වැළකී පාඨකයන්ගේ දැනුම හා රසඥතාව පෝෂණය කරන, සමාජ-දේශපාලනයට යහපත් මගපෙන්වීමක් ලබාදෙන, සමාජයේ ඉදිරිගමන කෙරෙහි බලපාන, යුක්තිය වෙනුවෙන් හඬනගන හා සටන් කරන, වර්ගවාදයන්ගෙන් ආගම්වාදයන්ගෙන් හා කුලවාදයන්ගෙන් කිළිටි නොවූ, ජාතිවාදය වෙනුවට ශ්‍රී ලංකාවේ සියලු වර්ග, ආගම්, කුල පන්ති, ලිංග හා සංස්කෘතීන් ඇතුළත් කරගත් ජාතිකවාදයක් වෙනුවෙන් පෙනීසිටින, අනුන් ගැන කැරෙන විවේචනයන්ට සීමා නොවී තමන් ගැන කැරෙන ප්‍රතිවිවේචනයන්ටද ඉඩදෙන, දූෂණයෙන් කිළිටි නොවූ ජනමාධ්‍ය සම්ප්‍රදායයක් ඇති කිරීම එම අත්හදා බැලීමේ අරමුණවීයැ”යි කිව හැකිය.

එම අත්හදා බැලීම කරන්නට සිදුවූයේද, නිසසල සිසිල් පොළොවක නොව ගිනිගෙන දැවෙන පොළොවකය. ලේ හැඟෙන ගැටුම්වලින් පිරුණු සමාජයකය. එහිදී රාවය සමහර අවස්ථාවලදී තමන්ගේ ප්‍රමාණයට නොගැළපෙන තරම් විශාල දේවල්ද කළේය. විවිධ ස්වරූපවල අභියෝගයන්ටද මුහුණදෙන්නට සිදුවූයේය. ජීවිතයත් මරණයත් අතර ජීවත්වන්නට සිදුවූ බිහිසුණු අවස්ථාද තිබුණේය. ඉතාමත් වැදගත්ම දේ එම කාලපරාසය තුළ රාවයේ කිසිවකුත් ඝාතනයට ලක් නොවීමය. බිහිසුණු කායික පහරදීම්වලට ලක්නොවීමය. රාවයට මුහුණ දෙන්නට සිදුවූ නඩු සංඛ්‍යාව ඉතා විශාල වුවත් ඒ කිසිවක් නිසා රාවයේ බෙල්ල හිරවූයේ නැත. ඒ අර්ථයෙන් මේ වන තෙක් කරන ලද අත්හදාබැලීම සාර්ථක හා ඵලදායී අත්හදාබැලීමක් ලෙස සැලකිය හැකිය.

මේ මොහොතේදී මාගේ ස්තූතිය හා ගෞරවය පළකළ යුතු විශේෂ පිරිසක්ද සිටිති. රාවය විවිධ අභියෝගයන්ට මුහුණ දුන් විශේෂ අවස්ථාවලදී මට හා රාවයට විශේෂ වශයෙන් ආධාර කළ පුද්ගලයන් සිටියෝය. රාවයට ලිවීමෙන්, අදහස් පළකිරීමෙන් හා තොරතුරු ලබාදීමෙන් දායක වූ අයද විශේෂ කාර්යභාරයක් ඉටුකළ අය ලෙස සැලකිය හැකිය. එසේම රාවය මුළුමනින් ඇදවැටෙන්නට ඉඩ නොදී පුවත්පත මිලදී ගැනීමෙන් එහි පැවැත්ම ආරක්ෂා කිරීමට දායක වූ පාඨකයන්ද රාවය වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් ඉටු කළ අය ලෙස සැලකිය හැකිය. රාවයේ වර්තමාන හා අතීත කාර්ය මණ්ඩල සාමාජිකයෝද ඒ අත්හදා බැලීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළෝය. අනිසි ඇඟිලිගැසීම් හෝ ආත්මාර්ථකාමීවීමට බලකිරීමෙන් වැළකී නිදහසේ මාගේ කටයුතු කරගෙන යෑමට ඉඩදීමෙන් මට සහාය වූ මගේ බිරිඳට හා දරු තිදෙනාටද මගේ ස්තුතිය හිමිවිය යුතුය. එම අත්හදා බැලීමේදී මා අතින් කවරකුට හෝ වරදක් සිදුවී නම් ඔවුන් වෙතද මේ මොහොතේ මගේ අවංක කනගාටුව පළකරමි. නව කර්තෘවරයාට හා කාර්ය මණ්ඩලයට රාවයේ පිළිගත් සම්ප්‍රදායයන් ආරක්ෂා කරමින් ඒවා නිර්මාණාත්මක ලෙස පෝෂණය කිරීමේ හැකියාව ලැබේවා කියා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමි.