ශ්රී ලංකාවේ දේශපාලකයින් වළ කජු කෙළියට දක්ෂය. එහෙත් අවාසනාවකට ඔවුන් ඒ සඳහා පිටිය ලෙස යොදාගෙන තිබෙන්නේ රටේ සියලුම නීතිවලට ඉහළින් තිබෙන උත්තරි තරම නීතිය ලෙස සැලකෙන ආණ්ඩු ක්රම ව්යවස්ථාවයි.
78 ව්යවස්ථාව
78 ව්යවස්ථාව අගමැති රනිල් වික්රමසිංහගේ නිර්මාණයක් නොවූවත්, එම ව්යවස්ථාවේ නිර්මාපකයා හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ.ආර්. ජයවර්ධන වන නිසාත්, ජේ.ආර්. ජයවර්ධන යනු කලක් එජාපයේ ප්රධාන නායකයා වූ නිසාත්, 78 ව්යවස්ථාව එජාපයේ නිර්මාණයක් ලෙස සැලකිය හැකිය.
78 ව්යවස්ථාව තුළ 72 ව්යවස්ථාව තුළ නොතිබුණු ඉතා යහපත් අංග ගණනාවක් ඇතුළත් විය. එහෙත් ඒ යහපත් ලක්ෂණ තිබියදිත්, ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයකට නොගැලපෙන ඒකාධිපති ලක්ෂණ ගණනාවක් ද ඊට ඇතුළත්ව තිබුණි.
විධායක ජනාධිපති ධුරය එක් පක්ෂයකටත්, පාර්ලිමේන්තු බලය තවත් පක්ෂයකටත් ගිය අවස්ථාවකදි පාර්ලිමේන්තුවට අවුරුද්දක කාලයක් සම්පූර්ණ වීමෙන් පසුව සාධාරණ හේතු නැතිව හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිට ලැබීම, කැබිනට් මණ්ඩලය නම් කිරිමේ හා වෙනස් කිරිමේ බලය ලැබීම, ජනාධිපතිට තමන් කැමති තරම් ඇමති ධුර ගණනක් හෙබවීමට අයිතිය ලැබීම, රාජ්ය පාලනයට අදාළ තීන්දු ගැනීමේ ක්රියාවලියේදි පමණක් නොව, අපරාධ ගණයෙහි ලා සැලකිය හැකි වරදක් සිදුකර තිබෙන අවස්ථාවකදි පවා විධායක ජනාධිපතිට එරෙහිව නඩු පැවරීය නොහැකිවීම යනාදි කාරණා 78 ව්යවස්ථාවට ආවේණක ඒකාධිපති අංග ලක්ෂණ ලෙස සැලකිය හැකිය.
78 ව්යවස්ථාව නීතිගත කරගනු ලැබූ ආකාරය ශිෂ්ටසම්පන්න නොවීය.
78 ව්යවස්ථාව නීතිගත කෙරුණේ හදිසි කටයුත්තක් ලෙස සලකාය. ශිෂ්ටසම්පන්න ලෝකය නව ව්යවස්ථාවක් ඇති කරගැනීම හෝ ව්යවස්ථා සංශෝධනයක් ඇති කරගැනීම හදිසි කටයුත්තක් ලෙස සලකන්නේ නැත. නීති සම්පාදනයේ හදිසි කටයුතු ලෙස සැලකෙන්නේ මුදල්, හුවමාරු අනුපාත, ආදායම් බදු වැනි කාරණාය. එවැනි කටයුතුවලදි නීති පැනවීම ප්රමාදවීමෙන් රටකට බලවත් පාඩු විය හැකිය. එහෙත් ශිෂ්ට ලෝකය ව්යවස්ථා සම්පාදන ක්රියාවක් හදිසි කටයුත්තක් ලෙස සලකා ක්රියාකරන්නේ නැත. සාමාන්ය පිළිවෙත අනුව පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේ න්යාය පත්රයට ඇතුළත් කිරීමට සතියකට පෙර ජනතාවට දෑනගැනීම පිණස ගැසට් පත්රයේ පළ කළ යුතුය. එයින් බලාපොරොත්තුවන්නේ ජනතාවට අදහස් පළ කිරීමට අවස්ථාවක් ලබාදිමය. උසාවි යෑමට තරම් හේතුවක් ඇතොත්, අධිකරණය ඉදිරියට යෑමට අවස්ථාවක් ලබාදිමය. 78 ව්යවස්ථාව නීතිගත කර ගනු ලැබුවේ මහජන සංවාදයට පමණක් නොව, ප්රමාණවත් තරම් පාර්ලිමේන්තු සංවාදයකට පවා ඉඩ නොතබාය. එසේම එය ව්යවස්ථා අධිකරණයක් ඉදිරියට ද නොගියේය.
චන්ද්රිකාගේ බොරුව
චන්ද්රිකා කුමාරතුංග මහත්මිය තරම් 78 ව්යවස්ථාවට පහර ගැසූ නායිකාවක් නැති තරම්ය. තමන්ගේ ආණ්ඩුවක් බලයට පැමිණි වහාම ජේ.ආර්.ගේ ඒකාධිපති ව්යවස්ථාව අහෝසි කොට නැවත පාර්ලි මේන්තු ආණ්ඩුවකට යන බවට ඇය පුන පුනා රටට පොරොන්දු වූවාය. ඒ සඳහා වන පොරොන්දුවක් 94 පොදු පෙරමුණු මැතිවරණ ප්රකාශනයට ද ඇතුළත් විය. පළමු රාජ්ය කතාවෙන් ද ඒ ගැන රටට පොරොන්දු වූවාය.
94 ජනාධිපතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වූ ඉල්ලීමක් අනුව අවුරුද්දක කාලයක් ඇතුළත විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන බවට ලිඛිතව පොරොන්දු විය. දැන් ජනතා විමුක්ති පෙරමුණට ද එය මතක නැත.
ඉන් අවුරුදු ගණනාවකට පසුව බොහෝ ප්රමාද වී විධායක ජනාධිපති ක්රමය අහෝසි කෙරෙන නව ව්යවස්ථාවක් ඇති කරගැනීම පිළිබඳ විරුද්ධ පක්ෂය (එජාප) සමග සංවාදයකට මුල පිරිය. මාස ගණනාවක් එක දිගට සාකච්ඡා කළේය. ඇති කළයුතු වෙනස්කම් පිළිබඳව සියලු මූලික කරුණුවලට එකගවීමෙන් පසුව අවසාන මොහොතේ දි තමාගේ ජනාධිපතිකමට අදාළ සංක්රමණීය විධි විධාන සාකච්ඡා සභාව ඉදිරියට ගෙනාවාය.
ඊට ඇතුළත්ව තිබූ විධි විධාන මෙසේය.
“මෙම ආණ්ඩු ක්රමය ප්රකාශයට පත් කිරීම හා ක්රියාත්මක වීම නොසලකා මෙම ආණ්ඩු ක්රමය ක්රියාවට නැංවෙන අවස්ථාවේ බලයේ සිටින 1999 දෙසැම්බරයේදි තේරි පත්වූ විධායක ජනාධිපති ධුරය දරන එම පුද්ගලයා ඉල්ලා අස්වීමක් නිසා හෝ මරණයට පත්වීමක් නිසා හෝ වෙනත් ක්රමයකින් පදවිය හිස් කිරීමක් සිදු නොවුවහොත් එම සය අවුරුදු කාලය නිම වන තෙක් එම ධුරය දරන්නේය.”
එහි තවදුරටත් මෙසේ ද සඳහන් විය.
“ජනාධිපතිට මෙම කාලපරීච්ඡේදය තුළ අගමැති ධුරයෙහි සිටීම නොසලකා ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ ජනාධිපතිනියගේ සියලු බලතල පාවිච්චි කිරීමටත්, රාජකාරි කිරීමටත් අමතරව අගමැතිගේ ද සියලු බලතල පාවිච්චි කරනු ඇත.”
මෙය තමන් ආඳ මාලූ නොකන බවට පාරම්බාමින් ඉරට්ටෙන් ආඳ මාලු කන්න දැරූ උත්සාහයකට සමානය.
ඊළග ලොකුම වංචාව
ව්යවස්ථා සම්පාදන විෂයෙහිලා ඊළග ලොකුම වංචාව කරන්නට සැලසුම් කර තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණයකට ඔන්න මෙන්න කියා තිබියදි 2000 අගෝස්තුවලදිය.
තමන්ගේ වාසිය පිණිස හිතුවක්කාරි ලෙස සකස් කරගත් නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් හා තමන්ගේ වාසියට හේතුවන නව ඡන්ද ක්රමයක් සඳහා වන කෙටුම්පත් දෙකක් නීතිගත කරගැනීමට අවශ්ය වී එය හදිසි කටයුත්තක් ලෙස සලකා ජනාධිපතිනිය එය විමර්ශනය පිණිස ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළේය. 225ක් වන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සංඛ්යාව 298ක් දක්වා ඉහළ දමා ගන්නා අතර, ඉන් 168 දෙනෙකු කේවල ක්රමයට තෝරා ගන්නා ක්රමයක් නීතිගත කරවා ගැනීම ආණ්ඩුවේ අභිලාෂය විය. මෙම නීතිය තුනෙන් දෙකක ඡන්දයකින් අනුමත කරවා ගැනීම සඳහා අවශ්ය අඩු ඡන්ද සංඛ්යාව එජාපයෙන් මිලදි ගැනීම සඳහා වන වැඩපිළිවෙළක් ද ආණ්ඩුවට තිබුණි.
පසුකලකදි එස්.බී. දිසානායක මහතා අනාවරණය කරන ලද ආකාරයට එජාපයෙන් මන්ත්රීවරුන් පිරිසක් මිලදි ගැනීම පිණිස ජනාධිපතිනියගෙන් ඔහුට ලැබී තිබුණු මුදල් ප්රමාණය ලක්ෂ 800කි.
ඕනෑම ව්යවස්ථා සංශෝධනයක් ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට ආවිට ව්යවස්ථා සම්පාදන නීතිය පිළිබඳව අවබෝධයක් ඇති පුළුල් විනිශ්චය මණ්ඩලයක් ලවා ගැඹුරින් කරුණු සලකා බැලීම ශ්රේෂ්ඨාධිකරණයේ වගකීමකි. එහෙත් පුදුමයට මෙන් මෙම සංශෝධනයේදි ඊට පෙර පැවති සම්ප්රදායන් භාවිතා නොවීය. එතෙක් පැවති සම්ප්රදාය වූයේ ජේයෂ්ඨ සාමාජිකයන්ගෙන් සමන්විත පුළුල් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ කරුණු විමර්ශනය කිරීමය. එහෙත් මේ සංශෝධනය විමර්ශනය කෙරුණේ අගවිනිසුරු ඇතුළු ත්රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. ව්යවස්ථා සම්පාදන නීතිය පිළිබඳ විශාරද දැනුමක් ඇතිව සිටි විනිසුරුවරුන් තිදෙනාම (මාර්ක් ප්රනාන්දු, ආචාර්ය රංජිත් අමරසිංහ හා රංජිත් ධීරරත්න) එම විනිශ්චය මණ්ඩලයට ඇතුළත් නොවීය. අගවිනිසුරුවරයා එහිදි විධායකය ක්රියාවට නගන්නට සැලසුම් කර තිබුණු දේශපාලන කුමන්ත්රණයක දැනුවත් කොටස්කරුවකු ලෙස ක්රියාකළ බව පැහැදිලිය. ජනතාවගේත්, රටේත් වාසනාවට තුනෙන් දෙකේ බලයක් සඳහා අවශ්ය අඩු ඡන්ද සංඛ්යාව ආණ්ඩුව අපේක්ෂා කළ ආකාරයට මිලදි ගත නොහැකි වීම නිසා ව්යවස්ථා සංශෝධන වැඩපිළිවෙළ අතහැර පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නට ආණ්ඩුවට සිදුවිය.
පරිවාසේ අවජාතක සංශෝධනය
වැදගත්කමක් ඇති කොමිෂන් සභාවලට හා ප්රමුඛ තනතුරුවලට සුදුසුකම් නොසලකා ඥාති හිතවත්කම් මත හෝ දේශපාලන හිතවත්කම් මත නුසුදුසු පුද්ගලයන් පත් කිරීමට රාජ්ය නායකයාට ලැබී තිබෙන අභිමත බලය රට මුහුණ දි තිබෙන එක් ප්රධාන අභියෝගයකි. ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් හා එම කොමිෂන් සභාවලට හා ප්රමුඛ තනතුරු වලට පුද්ගලයන් තෝරා පත් කිරිමේ බලය ලැබෙන ව්යවස්ථා සභා ක්රමයක් ඇතුළත් 17 වැනි සංශෝධනයක අවශ්යතාව කරළියට ආවේ එහි ප්රතිඵලයක් වශයෙනි. මෙම අදහස වෘත්තීයවේදින්ගේ සංගමය, නිදහස් මාධ්ය ව්යාපාරය හා ප්රජාතන්ත්රවාදය සඳහා වන සන්ධානයේ ආධාර ඇතිව ඉදිරියට ගෙනා යෝජනාවලියකි.
මේ අදහස ආණ්ඩුව හැර සෙසු විරුද්ධ පක්ෂ පිළිගැනීමෙන් පසුව ඒ සඳහා නීති කෙටුම්පතක් ද සකස් කරන ලදි. ඒ අනුව.
(1) අධිකරණ සේවා කොමිෂන් සභාව, (2) රාජ්ය සේවා කොමිෂන් සභාව, (3) මැතිවරණ කොමිෂන් සභාව, (4) පොලිස් කොමිෂන් සභාව, (5) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, (6) මැතිවරණ කොට්ඨාශ නිර්ණය කිරිමේ කොමිෂන් සභාව, (7) මානව හිමිකම් කොමිෂන් සභාව හා (8) මුදල් කොමිෂන් සභාව යන ආයතනවලට සභාපතිවරුන් හා සාමාජිකයන් පත් කිරිමේ බලයත් (1) අගවිනිසුරු හා ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් (2) අභියාචනාධිකරණයේ සභාපති හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් (3) නීතිපති (4) විගණකාධිපති (5) පාර්ලිමේන්තු කොමසාරිස් (6) පාර්ලිමේන්තු මහලේකම් (7) පොලිස්පති යන තනතුරුවලට සුදුසු පුද්ගලයන් තෝරා ඒ නම් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කිරිමේ බලයක් ලැබී තිබුණේ ව්යවස්ථා සභාවටය. විධායක ජනාධිපතිවරයාට හිතුවක්කාරි ලෙස එවැනි තනතුරු වලට නුසුදුසු පුද්ගලයන් තෝරා පත් කිරීමට තිබුණු බලය අහෝසි කිරීම එහි අරමුණ විය.
පොදු පෙරමුණු ආණ්ඩුව අස්ථාවරභාවයට යමින් තිබුණු අවස්ථාවක ප්රජාතන්ත්රවාදය සඳහා වන සන්ධානය මැදිහත් වී වෘත්තීයවේදින්ගේ සංවිධානය, කර්තෘ සංසදය, සර්ව ආගමික සංවිධානය වැනි වෙනත් සංවිධාන ගණනාවක ද අනුග්රහය ඇතිව 2001 මැයි 27 වැනි දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක දෙකේ සර්ව පාක්ෂික සාකච්ඡාවක් පවත්වන ලදි.
ඊට එජාප වෙනුවෙන් රනිල් වික්රමසිංහ හා කරු ජයසූරිය මහතුන් ද, පොදු පෙරමුණ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ද, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නන්දන ගුණතිලක හා ජිනදාස කිතුල්ගොඩ යන මහතුන් ද, මුස්ලිම් කොංග්රසය වෙනුවෙන් රවුෆ් හකීම් මහතා ද, වතු කම්කරු කොංග්රසය වෙනුවෙන් ආර්. යෝගරාජ මහතා ද, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙනුවෙන් ආනන්ද සංගරි හා මාවි සේනාධි රාජා මහතා ද, දෙමළ කොංග්රසය වෙනුවෙන් එස්. විනයාග මූර්ති මහතා ද සහභාගි විය.
එහිදි ප්රජාතන්ත්රවාදය සඳහා වන සන්ධානය ප්රජාතන්ත්රවාදි ප්රතිසංස්කරණ සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරගන්නා ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමින් රටට අත්යවශ්ය ප්රජාතන්ත්රවාදි ප්රතිසංස්කරණ විස්තර කරන ලියවිල්ලක් ද ඉදිරිපත් කළේය.
ස්වාධීන තත්ත්වයක තිබිය යුතු කොමිෂන් සභාවලට සභාපතිවරුන් හා සාමාජිකයන් පත්කිරිමේ බලය හා ප්රමුඛ තනතුරුවලට පුද්ගලයන් පත්කිරිමේ බලය ව්යවස්ථා සභාවකට පවරන ප්රතිසංස්කරණ නීතිගත කළ යුතුය යන්න ඊට ඇතුළත් එක් ප්රධාන ඉල්ලීමක් විය. අනෙක් ඉල්ලීම වූයේ විධායක ජනාධිපති ක්රමය ප්රතිසංස්කරණය කරන ලෙසය. ඊට පහත විස්තර කරන වත්මන් අර්බුදයට පදනම් වී ඇති සියලු කාරණා ඇතුළත්ව තිබුණි.
(1) විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට හා අධිකරණයට වග කියන තත්ත්වයකට ගෙන ඒම.
(2) වසරක කාලයක් ඉකුත්වීමෙන් පසුව සාධාරණ හේතු ඇතිව හෝ නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිට තිබෙන බලය අහෝසි කිරීම.
(3) ජනාධිපතිවරයා විසින් අගමැතිවරයෙකු නම් කිරීම පිළිබඳව ව්යවස්ථාවේ එන අපැහැදිලි හා අවිනිශ්චිත විධිවිධාන පැහැදිලි හා නිශ්චිත තත්ත්වයකට ගෙන ඒම.
(4) ජනාධිපතිට ජනාධිපති ධුරය හැර වෙනත් ඇමති තනතුරු දැරිමට තිබෙන අයිතිය අහෝසි කිරීම.
ජනාධිපතිනියගේ පාර්ලිමේන්තු අනුගාමිකයන් පිරිසක් වරප්රසාද ප්රශ්නයක් මතුකිරීමට පවා හේතුවූ මෙම කථිකාව පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂ කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමට හේතුවී තිබුණි. මේ ලියවිල්ලට ඇතුළත් මුලික කාරණා විශ්ලේෂණය කරන විට පෙනී යනුයේ එම ලියවිල්ල වර්තමානයේ ඇතිවන්නට නියමිත ව්යවස්ථා අර්බුදය කල් තියා දකින ලද බවය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පොදු පෙරමුණ තුළ ද බලවත් මතයක් වර්ධනය වෙමින් තිබුණු අතර, මේ අදහස සලකා බැලීම පිණිස 2002 ජූලි 04 වැනි දින අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පවා ඇති කිරීමට ජනාධිපතිනියට සිදුවූවාය.
එහෙත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකග වුවහොත් විධායක ජනාධිපති ක්රමය යටතේ තවත් ගිජු ලෙස රසවිඳිමින් සිටින ජනාධිපති බලතල රාශියක් අත්හරින්නට වන බව ජනාධිපතිනිය දැන සිටියාය. ඒ කිසිවක් අත නොහැර සිය බලය තහවුරු කරගන්නා උපාය මාර්ගයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හරයක් නැති ඉල්ලීම්වලට ඉඩදි ජනතා විමුක්ති පෙරමුණ සමග පරිවාස ආණ්ඩුවක් ඇති කරගැනීමට ජනාධිපතිනිය අවසානයේදි හිත හදා ගත්තාය.
ඉන්පසු ස්වාධීන කොමිෂන් සභා ව්යවස්ථා සභාවකට මුල පුරන 17 වැනි ව්යවස්ථා සංශෝධනය නීතිගත කිරිමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ තමන් වෙත පවරා ගත්තේය. සමාජයේ සාකච්ඡාවට ලක්වී තිබුණු වැදගත් කාරණාවක් වශයෙන් ඉන් ලබාගත හැකි ජනප්රියතාව ගැන ජනතා විමුක්ති පෙරමුණට අවබෝධයක් තිබුණත්, 17 වැනි සංශෝධනයේ හරය ගැන ජවිපෙට අවබෝධයක් නොතිබුණි.
එම ව්යවස්ථා සංශෝධනය සිය බලය සීමා කරන්නක් බැවින් එසේ නොවන ලෙස එහි හරය විකෘති කරවා එය නීතිගත කරවීමට ජනාධිපතිනියට අවශ්ය විය. අගවිනිසුරුවරයා ද මේ ව්යවස්ථා සංශෝධනය දැක්කේ තමන් පලවා හැරිමට බලය ලබාදෙන සංශෝධනයක් ලෙසය. මේ දෙදෙනා එකට එකතු වී ජනතා විමුක්ති පෙරමුණේ ද එකගත්වය ඇතිව 17 වැනි ආණ්ඩුක්රම සංශෝධනය කෙටුම්පත් කිරිමේ වගකීම ජනාධිපතිනියගේත්, අගවිනිසුරුවරයාගේත් විශ්වාසවන්තම සගයකු වූ ආචාර්ය ජයම්පති වික්රමරත්න වෙත භාර කළේය. ජනාධිපතිනියගේත්, අගවිනිසුරුවරයාගේත් අභිලාෂයන්ට ගැලපෙන ලෙස ව්යවස්ථා සංශෝධනයේ හරය විකෘති කිරීම ඔහු වෙත පැවරුණු ප්රධාන වගකීම විය.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් ද ගොනාට අන්දවා ගෙන ඒ කාර්ය ඉතා හොඳින් ඉටු කළේය. බැලු බැල්මට කිසිවක් නොපෙනෙන ලෙස ජනාධිපතිගේ බලතල කිසිවක් නැති නොවන ලෙස ව්යවස්ථා සංශෝධනයේ අරමුණ වෙනස් කිරීමට ඔහු සමත් විය.
ඔහු සකස් කළ කෙටුම්පත අනුව ස්වාධීන කොමිෂන් සභාවලට හා ප්රමුඛ තනතුරු වලට සුදුසු පුද්ගලයන් තෝරාගෙන ව්යවස්ථා සභාවට ඔවුන්ගේ නම් නිර්දේශ කිරිමේ බලය ලැබෙන්නේ ජනාධිපතිනියටය. ව්යවස්ථා සභාවට ලබාදෙන ලද්දේ එසේ ජනාධිපතිනිය නිර්දේශ කරන නම් අවශ්ය නම් ප්රතික්ෂේප කිරිමේ බලය පමණය.
එජාපය නව කෙටුම්පත හැදෑරීමකින් තොරව එය තමන්ගේ කෙටුම්පතට සමාන වේ යයි කල්පනා කොට එය නීතිගත කිරීමට අවශ්ය අනුමැතිය දුන්නේය.
කාරක සභා අවස්ථාවේදි දැනට තිබෙන කොමිෂන් සභාවල තනතුරු දරන්නන් හා ව්යවස්ථා සභාව යටතට වැටෙන වෙනත් තනතුරු දරන්නන්ට තවදුරටත් සිය ධුරවල ක්රියාකරන්නට ඉඩ දෙනවාද නැතහොත් ඔවුන් සියලු දෙනා අලුතෙන් පත් කළ යුතු ද යන ප්රශ්නය මතුවුණි. විපක්ෂයේ අනුමැතිය ලබාගැනීමට මොකක් හෝ දිය යුතු නිසා ඒ සියලු ආයතනවලට අලුතෙන් පුද්ගලයන් පත් කිරිමේ බලය වෙනුවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව හා මුදල් කොමිසම පමණක් බලරහිත කරමින් ඒ කොමිෂන් සභා තුනට පමණක් අලුතෙන් පුද්ගලයන් තෝරාපත් කළ හැකි අන්තර් විධි විධාන සඳහා එකගත්වයක් ඇති කරගත්තේය. එහෙත් පුදුමයකට මෙන් කතානායක අනුර බණ්ඩාරනායක මහතා 2001 ඔක්තෝබර් 3 වැනිදා අත්සන් තබා ඇත්තේ කාරක සභා අවස්ථාවේදි සම්මත කරගන්නා ලද අන්තර්කාලීන විධි විධාන ඇතුළත් කෙටුම්පතට නොව, එවැනි විධි විධාන නැති මුල් කෙටුම්පතටය. එය වැරදිමකින් සිදුවූවක් ද, නැතිනම් අක්කාගේ ආධිපත්යය ආරක්ෂා කරදිම වෙනුවෙන් මල්ලී විසින් හිතාමතාම ක්රියාවට නගන ලද සටකටපට වැඩපිළිවෙළක් ද යන්න පැහැදිලි නැත.
නීතිපති කෙනෙකු ඉන්නේ පොල් ගාන්නද
කාරක අවස්ථාවේදි සම්මත කරගන්නා ලද විධි විධාන මගින් ව්යවස්ථා සංශෝධනය නීතිගත වීමත් සමග බලරහිත වන ආයතන හා තනතුරු සඳහා සේ ම බලරහිත නොවන ආයතන තනතුරු සඳහා ද එකගත්වයක් ඇති කරගන්නා ලදි. එම අන්තර්කාලීන විධි විධාන ව්යවස්ථාවට ඇතුළත් නොවී තිබෙන තත්ත්වයක් තුළ අල්ලස් හෝ දූෂණ කොමිසම, මානව හිමිකම් කොමිසම හා මුදල් කොමිසම යන ආයතන තුන පමණක් නොව, ව්යවස්ථා සභාව යටතට වැටෙන සියලු කොමිෂන් සභා හා තනතුරු වලට ව්යවස්ථා සභාව විසින් අලුතෙන් පුද්ගලයන් පත් කරන තෙක් ඒ ආයතනවල හා තනතුරුවල කටයුතු අනීතික තත්ත්වයකට පත්විය.
මේ තත්ත්වය ඉදිරියේ නීතිපති කරන්නේ කුමක්ද යන්න එම තත්ත්වය විසින් මතු කරන එක් මූලික ප්රශ්නයකි. නීතිපති යනු ආණ්ඩුවේ නීති උපදේශකයා වනවා පමණක් නොව, මහජන අයිතිවාසිකම්වල ප්රධාන භාරකාරයා ද වේ. මේ සියලු ආයතන වලට අනීතික ලෙස ක්රියාකරන්නට ඉඩ හැර නීතිපති ඔහේ බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කරනවා මිස, පවතින මෙම අශෝභන තත්ත්වය වැළකීම පිණිස ඵලදායී ලෙස මැදිහත්වී ක්රියා කරන පිළිවෙතක් අනුගමනය කරන බව පෙනෙන්නට නැත.
අනීතික තත්ත්වයකින් ක්රියා කරන කොමිෂන් සභාවල සභාපතිවරුන් හා කොමසාරිස්වරුන්ටත් අනීතික තත්ත්වයකින් ක්රියා කරන තනතුරු දරන්නන්ටත් මේ අශෝභන තත්ත්වය පෙනෙන්නේ ද නැත.
අධිකරණ සේවා කොමිෂන් සභාව සමන්විත වන්නේ අගවිනිසුරු ඇතුළු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙනි. එම කොමිසමේ ලේකම් ද විනිසුරුවරයකු වේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් දෙදෙනෙකු ද විශ්රාමලත් විනිසුරුවරුන් වන අතර, එම කොමිෂමේ අධ්යක්ෂ ජනරාල්වරයා ද විනිසුරුවරයෙකි. තමන් නීතියට පටහැනිව අනීතික තත්ත්වයකින් ක්රියා කරන බව ඔවුන්ට නොපෙනේද? ඒ ගැන චකිතයක් හෝ හිරිකිතයක් ඇතිවන්නේ නැද්ද? ඉන්පසු මතු කරන ප්රශ්නය මහත් බලාපොරොත්තු ඇතිව අණබෙර ගසා පිහිටුවා ගන්නා ලද ව්යවස්ථා සභාව මේ අශෝභන තත්ත්වය ඉදිරියේ කුමක් කරන්නේද යන්නයි. ව්යවස්ථා සභාවට නාමකරණයෙන් තේරි පත්වී සිටින සියලු දෙනා විශ්රාමලත් විනිසුරුවරුන් හෝ නීතිඥයින්ය. තමන් යටතේ තිබෙන සියලු ආයතන අනීතික තත්ත්වයට පත්ව තිබෙන බවත්, නෛතික තත්ත්වයක් ලබාදිම සඳහා ඒවාට අලුතෙන් පුද්ගලයන් තෝරාපත් කළ යුතු බවත් ඔවුන්ට නොපෙනේද?
19 වැනි සංශෝධනය ද විකාරයකි
යෝජිත 19 වැනි සංශෝධනයෙන්, අවුරුද්දක් සම්පූර්ණ වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිනියට තිබෙන බලය අහෝසි කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වේ. ව්යවස්ථාව මුළු එකක් වශයෙන් ගෙන එහි ඇති පරස්පර විරෝධී ලක්ෂණ ඉවත් කරනවා වෙනුවට තමන්ට මේ මොහොතේදි පමණක් බලපාන කාරණා පමණක් ඉලක්ක කොටගෙන ව්යවස්ථා සංශෝධනයකට යෑම ඥානාන්විත ක්රියාවක් ලෙස සැලකිය නොහැකිය. ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධාවක් වී ඇති ව්යවස්ථාවට ඇතුළත් එකම බාධකය එය පමණක් විය නොහැකිය. හමුදාපතිවරුන් පත් කරන්නේ ද ඔවුන්ගේ සේවා කාලය දිර්ඝ කිරිමේ බලය ලැබී ඇත්තේ ද ජනාධිපතිටය. ආණ්ඩුකාරවරුන් හා තානාපතිවරුන් පත්කරන්නේ ද ජනාධිපතිය. ජනාධිපතිට ලැබී තිබෙන පරම මුක්තිය රටේ ප්රජාතන්ත්රවාදි ඉදිරි ගමනට බාධාවක් නොවේද? 17 වැනි ව්යවස්ථා සංශෝධනය තුළ තිබෙන විකෘතිය යහපත් ආණ්ඩු පාලනයක් සඳහා බාධාවක් නොවේද?
තිබෙන අභියෝග අතරින් ඉක්මන් අභියෝගයක් පමණක් තෝරාගෙන ඊට ප්රතිකර්ම හොයන ක්රමයකට යනවාට වඩා මුළු මනත් වශයෙන් මේ ක්රමය තුළ තිබෙන පරස්පර ලක්ෂණ ඉවත් කෙරෙන ප්රතිසංස්කරණයකට නොයන්නේ ඇයි?
එහිදි අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිට තිබෙන බලය නොපමාව ඉවත් කිරීම අත්යවශ්ය බවට සැකයක් නැත. එය සංක්රමණීය වැඩසටහනකට ඇතුළත් පළමු අංගය ලෙස යොදාගනිමින් වහාම ක්රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිට තිබෙන බලය අහෝසි කරන අතර, ඒ සමග පාර්ලිමේන්තුව සර්වපාක්ෂික පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ සමුළුවක් බවට පත් කරවා ගනිමින් රටට ගැලපෙන ආණ්ඩු ක්රමයක් හා ඡන්ද ක්රමයක් සඳහා පොදු එකගතාවක් ඇති කර ගන්නා දිසාවකට යන්නේ නම් එය කොතරම් ඵලදායකද?