දි පමණ මා දන්නා හඳුනන විශේෂ කොට සැලකිය හැකි පුද්ගලයෙකු රාත්රී ආහාර වේලක් සඳහා සිය නිවසට එන ලෙසට මට ඇරයුම් කළේය.
ඔහු මා කැඳවා තිබුණේ රාත්රී ආහාර වේලකින් සංග්රහ කරන්නට වඩා හිතේ සගවා ගෙන සිටි කරුණක් මා හා ප්රකාශ කරන්නටය.
ඔහු කතා කළේ ජනාධිපති චන්ද්රිකා ගැනය. චන්ද්රිකා වැනි සටකපට නායිකාවක් කරළියට ගෙන ඒමාට මා දායකවීම ගැන ඔහු මට දොස් කීවේය. තමා චන්ද්රිකා බලයට පත් කිරීම සඳහා වැඩ කළේ නැතත්, ඇය බලයට පත්කිරීම පිණිස ඉදිරියට ගෙනා ප්රචාරක වැඩපිළිවෙළට රැවටී ඇය අවංකවම රටේ වෙනසක් ඇති කරනු ඇතැයි කියන විශ්වාසයෙන් ඇයට ඡන්දය පාවිච්චි කළ බවත්, ඊට එක්තරා ප්රමාණයකට මා ද වගකිවයුතු බවත් ඔහු ප්රකාශ කළේය.
ඔහු එහිදි මට විවිධ කාරණා පිළිබඳවත් ඒවා ගැන රටේ මිනිසුන්ගේ රුචිකත්වයේ විවිධ මට්ටම් ගැනත් කතා කළේය.
“මෝඩ මිනිස්සු හිතන්නේ ලෝකයේ තිබෙන වටිනාම දේ රත්තරන් කියලා. රත්තරන් වටිනවා. ඒත් රත්තරන් තරම් දිස්න ගහන්නෙ නැතත්, රත්තරංවලට වඩා වටිනා දේවල් තියෙනවා.
රටේ මෝඩ ගෑනු තමන්ට සල්ලි තියෙන බව පෙන්වන්න ඇග රත්තරන්වලින් පොරවා ගන්නවා. ඒත් ජනාධිපතිනි චන්ද්රිකා කරේ දාන්නේ රත්තරන් මාල නෙවෙයි. දිස්න ගහන්නෙ නැති ඇට බෝල මාල. අපේ රටේ මෝඩ මිනිස්සු හිතන්නේ අපේ නායිකාව කොච්චර හොඳද? එයා පළඳින්නෙ ඉමිටේෂන් මාල කියලා. අපේ රටේ මෝඩ මිනිස්සු දන්නෙ නැහැ චන්ද්රිකා පළඳින ඇට බෝල මාල කිසිම වටිනාකමක් නැති ඉමිටේෂන් මාල විදියට පෙනුණත්, රත්තරන් මාලවලට වඩා විසි තිස් ගුණයකින් වටිනා බව…”
ඔහු ඇට බෝල මාල ගැන මේ විවරණයෙන් පසුව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පැළඳි ගෝල්ඩ් රොලෙක්ස් අත් ඔරලෝසුව ගැනත්, ජනාධිපති චන්ද්රිකා පළඳමින් සිටි පතේ පිලිප්ස් අත් ඔරලෝසුව ගැනත් විමර්ශනයක යෙදුණේය.
“ඉස්සර මෝඩ සල්ලිකාරයෝ කටේ දත්වලට රත්රන් කොපු දානවා. ජේ. ආරුත් ඒ වගේ කෙනෙක්. අතේ බැන්ඳේ ගෝල්ඩ් රොලෙක්ස්” ඔරලෝසුවක්. ඒක රත්තරන් ඔරලෝසුවක් බව ඕන කෙනෙකුට පේනවා. සමහර පින්තූරවලට පෙනී හිටියෙත් රොලෙක්ස් ඔරලෝසුව පේන විදියට.”
ඔයාලගේ චන්ද්රිකා ඊට වඩා කට්ටයි. එයා පළඳින ඔරලෝසුවේ වටිනාකමක් පෙනෙන්නෙම නැහැ. අනේ අපේ ජනාධිපතිනි පළඳින්නේ රුපියල් හත්අටසීයකට වැඩි වටිනාකමක් නැති බාල ඉලෙක්ට්රොනික් ඔරලෝසුවක් නේද කියලත් මෝඩ මිනිස්සුන්ට හිතෙන්නට පුළුවනි. ගෝල්ඩ් රොලෙක්ස් ඔරලෝසුවක අද වටිනාකම රුපියල් ලක්ෂ තුනක් හෝ තුනහමාරක් විය හැකිය. නමුත් චන්ද්රිකාගේ අතේ තියෙන්නේ පතේ පිල්ප්ස් ඔරලෝසුවක්. එය බැලු බැල්මට කිසිම වටිනාකමක් නැති ඔරලෝසුවක් ලෙස පෙනුණත්, ඒකෙ වටිනාකම ආරම්භවන්නේ මිලියන 02 සිට…..ඔයා ඊළග දවසක චන්ද්රිකා හම්බ වුණ වෙලාවක එයාගෙ අතේ බැඳලා තියෙන ඔරලෝසුවේ වර්ගෙ මොකක්ද කියලා හොයලා බලන්න. ඒ ඔරලෝසුව හා ඇට බෝල මාල 94 බලයට එන්න ඉස්සෙල්ලා පාවිච්චි කළා ද කියලත් හොයලා බලන්න….”
ඒ සමග ඔහු චන්ද්රිකාගේ සීයා ගැන සීඑම්බී සහ කේසීඑම්බී නාමධාරි දොන් සොලමන් ඩයස් අබේවික්රම ජයතිලක සෙනෙවිරත්න බණ්ඩාරනායක මහමුදලි ගැන ද විවරණයක් කළේය. මහමුදලි ඉතාමත් වියදම් අධික ජේත්තුකාර ජීවිතයක් පවත්වාගෙන ගියත්, ඔහු මිය ගියේ සිය දරුවන් සඳහා තැන්පතු ධනයක් ඉතිරිකර තබා නොවන බවත්, ඉඩකඩම් තිබුණත් ඉන් බොහොමයක් මුඩු ඉඩම් වූ බැවින් ඒවායින් ආදායම් උපයාදිමක් සිදු නොවූ බවත්, ඒ නිසා මහමුදලිගේ දරුවන්ට හා මුණුබුරන්ට මහමුදලි ගත කළ ආකාරයේ වියදම් අධික ජේත්තුකාර මහේශාක්ය ජීවිතයක් පවත්වා ගෙන යෑමේ හැකියාවක් නොතිබූ බවත් ඔහු ප්රකාශ කර සිටියේය.
බණ්ඩාරනායක පවුලේ ආර්ථික පිරිහීම
බණ්ඩාරනායකගේ පියාට හොරගොල්ලේ තිබෙන වලව්වට අමතරව අලුත්කඩේ උසාවියට ආසන්නව ඇති එකල සිල්වර් ස්මිත් මාවතේ (අද බණ්ඩාරනායක මාවත) අංක 42 දරන ස්ථානයේ ද උඩුගහ වලව්ව නමින් වළව්වක් තිබුණි. ඒ කාලේ එම ප්රදේශය නව ප්රභූ පන්තියක් පදිංචිව සිටි ප්රදේශයක් විය. කොටුවේ රජ්ජුරුවන් නමින් හැඳින්වූ සර් තෝමස් සම්පායෝ, ප්රමුඛ ඉතිහාසඥයෙකු වූ පෝල් පිරිස්, බණ්ඩාරනායකගේ මාමා වූ එස්.සී. ඔබේසේකර, පනහට පනහ ව්යාපාරයේ නිර්මාතෘ ජී.ජී. පොන්නම්බලම් යනාදින්ගේ නිවෙස් පිහිටා තිබුණේ ඒ ප්රදේශයේය.
අක්කර එකහමාරක පමණ භූමි භාගයක පිහිටි උඩුගහ වලව්ව පැරණි මහා වාසලක ගාම්භීර පෙනුමකින් යුතු එහෙත් ජරාජීර්ණ තත්ත්වයකට පත්වෙමින් තිබූ දිවැන්ත වලව්වකි. මේ ප්රදේශයේ මුඩුක්කු හා කඩ සාප්පු ඇතිවන්නට වීම නිසා මේ ප්රදේශයේ ජීවත් වූ ප්රභූ පන්තීන් ද සිය මන්දිර විකුණා කොළඹ නගරයේ වඩා නිසංසල ප්රදේශවලට මාරු වූහ.
මහමුදලි උඩුගහ වලව්ව විකුණා රොස්මීඩ් පෙදෙසේ අංක 65 දරන ස්ථානයේ පිහිටි බණ්ඩාරනායක මැතිනිය පදිංචි වී සිටි නිවස මිලදි ගත්තේ 1946දිය. එය ප්රකට වෛද්යවරයෙකු වූ ලුෂන් සිල්වා මහතාට අයත්ව තිබී දෙවන ලෝක යුද්ධ සමයේදි හමුදා රෝහලක් පවත්වා ගෙන යෑම සඳහා අත්පත් කරගන්නා ලදුව පසුව මුදා හරින ලද නිවසකි. මහමුදලිට මේ නිවස මිලදි ගැනීමට අවශ්ය වූයේ සිය පුතා විවාහ වීමෙන් පසුව සිය බිරිඳ සමග කුලී නිවසක පදිංචි වී සිටි නිසාය.
රොස්මිඩ් පෙදෙසේ පිහිටි මෙම නිවස මිලදි ගන්නා තෙක් බණ්ඩාරනායක මහතා හා මැතිනිය ජීවත් වූයේ කොළඹ කුරුඳුවත්තේ ගිල්ෆ්රඩ් කේරසන්ට් හි පිහිටි ප්රකට චිත්ර ශිල්පී ලයනල් වෙන්ඩ්ට අයත් “වෙන්ට් වර්ත්” (went worth) නමැති නිවසේය. සුනේත්රා හා චන්ද්රිකා ඉපදුණේ එම නිවසේය. රොස්මිඩ් නිවස මිලදි ගැනීමෙන් පසුව බණ්ඩාරනායක මහතා සිය පවුලේ අය සමග එම නිවසේ පදිංචියට ගියේය.
මහමුදලි මියයන විට සිය දරුවන් සඳහා මහා තැන්පත් ධනයක් ඉතිරිකර ගියේ නැත. කිසියම් විශාල ඉඩම් ප්රමාණයක් තිබුණත්, ඒ ඉඩම් ද වගා කරනු ලැබූ ඉඩම් නොවීම හේතු කොටගෙන ඒ ඉඩම්වලින් සැලකිය යුතු ආදායමක් නොලැබුණේය.
බණ්ඩාරනායක මහතාට 1956 මහ මැතිවරණයකට මුහුණ දෙන්නට සිදුවූයේ 1952 මැතිවරණයකට මුහුණ දි ආර්ථික වශයෙන් දුෂ්කර තත්ත්වයකට වැටී සිටි අවස්ථාවකය. 56 මැතිවරණයට එම පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයන් වැඩි පිරිසක් ධනවත් නොවන සාමාන්ය පන්තියේ අය වීම හේතු කොටගෙන සමස්ත මැතිවරණ ව්යාපාරයේ මූලික බරපැන ඉසිලීමේ වගකීම පැවරි තිබුණේ බණ්ඩාරනායක මහතාගේ කර පිටය.
බණ්ඩාරනායක මහතාට ඒ සඳහා අවශ්ය මුදල් ලබාගැනීම සඳහා රොස්මිඩ් නිවස උගස් කිරීමට අවශ්ය වී ඊට බණ්ඩාරනායක මැතිනියගෙන් අකමැත්තෙන් වුවත් එකගත්වය ලබාගත් ආකාරය පිළිබඳ විස්තරයක් මොරින් සෙනෙවිරත්න ලියා ඇති සිරිමා බණ්ඩාරනායක චරිතාපදානයට (Maureen Seneviratne-Sirimavo Bandaranaike-The World’s First Woman Prime Minister) ඇතුළත්ය. බණ්ඩාරනායක මහතා ළගින් ඇසුරු කළ ඒ මහතාගේ සමීපතමයකු ලෙස සැලකිය හැකි හෙන්රී අබේවික්රම බණ්ඩාරනායක පිළිබඳව ලියා ඇති කෘතියේ එන විස්තරවලට අනුව බණ්ඩාරනායක මහතා පුද්ගලයන් තිදෙනෙකුගෙන් ණය ලබාගත්තේය. බණ්ඩාරනායකගේ ඝාතන කුමන්ත්රණයේ ප්රධාන මොළකාරයා ලෙස ක්රියා කළ එවකට කැලණි විහාරයේ අධිපතිව සිටි මාපිටිගම බුද්ධ රක්ඛිත හිමි එක් ප්රධාන මාර්ගයකි. විමලා විජේවර්ධන මහත්මිය තවත් මාර්ගයක් විය. බණ්ඩාරනායක මහතා ළගින් ඇසුරු කළ කොළඹ පදිංචි දෙමළ මහතෙක් ද ලොකු මුදලක් අතමාරුවට දෙන ලද බවත්, ඔහුගේ නම සඳහන් කරනවාට අකමැති නිසා ඒ නම පොතට ඇතුළත් නොකරන බවත් හෙන්රි අබේවික්රම මහතා සිය කෘතියේ සඳහන් කර තිබේ. ඒ අතමාරුව ගැන මොරින් සෙනෙවිරත්න මහත්මිය ලියා ඇති කෘතියේ සේ ම මලල්ගොඩ බන්දුතිලක ලියා ඇති සිරිමාවෝ බණ්ඩාරනායක චරිතාපදානයේ ද සඳහන් වේ. එහෙත් ඒ කිසිම කෘතියක ඒ දෙමළ පුද්ගලයා කව්ද යන්න සඳහන් වන්නේ නැත. ඔහු අන් කිසිවකු නොව, මානව හිමිකම් විෂය ක්ෂේත්රයේ රටට කිසිවෙකුටත් නොදෙවෙනි දායකත්වයක් ලබා දෙන ලද එස්. නඩේසන් මහතාය. එකල අතමාරුවට දෙන ලද මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 02කි.
56 මැතිවරණයට පෙර රොස්මිඩ් නිවස ලංකා බැංකුවට උගස් කොට ණය මුදලක් ලබාගැනීමට සැලසුම් කොට තිබුණත්, අගමැති සර් ජෝන් කොතලාවලගෙන් බැංකුවට එල්ල වූ බලපෑම් නිසා ඒ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට නොහැකි වූ බවත්, එහෙත් 56 ජයග්රහණයෙන් පසුව ඒ උගස ක්රියාත්මක කිරීමට බැංකුව එකගවීම නිසා නිවස උගසට තබා දෙමළ හිතවතාගෙන් අතමාරුවට ලබාගත් ණය මුදල ආපසු දෙනු ලැබූ බවත්, ඒ බැංකු උගසින් නිදහස්වීමට 1976 දක්වාම ණය ගෙවන්නට සිදුවූ බව බණ්ඩාරනායක මැතිනිය ප්රකාශ කළ බවත් මලල්ගොඩ බන්දුතිලකගේ කෘතියේ සඳහන් වේ.
මහමුදලිගේ මරණින් පසුව බණ්ඩාරනායක පවුලේ ආර්ථික පසුබිම ඉතාමත් සරුසාර තත්ත්වයක නොතිබුණු බව ඒ කරුණු අනුව පෙනී යයි. ඉඩම් ප්රතිසංස්කරණ නීතිය නිසා මේ පවුලේ අයට ද අක්කර 50 සීමාවට පිටස්තරව තිබෙන ඉඩම් ආණ්ඩුවට ලබාදිමට සිදුවූයේය. පවරා ගන්නා ලද ඉඩම් වෙනුවෙන් මේ පවුලේ එක් පුද්ගලයෙකුට ලැබුණු වන්දි මුදල රුපියල් ලක්ෂයකට වැඩි නොවූ අතර, හිමිකම ලැබුණු ඉඩම්වලින් ලැබෙන ආදායම ද ඉතා යහපත් නොවීය.
විජය කුමාරතුංග සිනමා කර්මාන්තයෙන් මුදල් ඉපයූවත්, දේශපාලනය නිසා ඔහුට ද මුදල් ඉතිරි කිරිමේ හැකියාවක් නොතිබුණි. ඔහුගේ මරණයෙන් පසුව ඒ පවුලේ අයට ජීවත්වීමට සිදුවූයේ අමාරුකම් මැද්දේය. චන්ද්රිකා කුමාරතුංග ජනාධිපතිනිය රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදි ප්රකාශ කර ඇති පරිදි ජීවිතාරක්ෂාව සඳහා එංගලන්තයට පළායාමෙන් පසුව ජීවත්වීම සඳහා පරවැඩ කරන්නට ඇයට සිදුවූයේය. ඇගේ දරුවන්ට අනුන් පරිහරණය කළ ඇඳුම් අන්දවන්නට සිදුවිය.
එහෙත් රාජ්ය බලය ලැබීමෙන් පසුව සියල්ල වෙනස් වී ඇත්තේ විශ්මයජනක ආකාරයකටය.
පතේ පිලිප්ස් ආරාවුල නිසා ඇයි හොඳයිකම් නැතිවීම.
පතේ පිලිප්ස් අත්ඔරලෝසුව පිළිබඳව දැනගන්නට ලැබුණු කරුණු නිසා ඒ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිනිය හමුවූ මුල් හමුවේදිම කිසිවක් නොදන්නා කෙනෙකු ලෙස ඇය අත පැළඳ සිටි අත්ඔරලෝසුව බැලීමට අවස්ථාවක් ලබාගත්තෙමි. මට අවශ්ය වූයේ ඇය අත පැළඳි ඔරලෝසුව පතේ පිලිප්ස් ඔරලෝසුවක්ද යන්න හරියටම දැනගැනීමටය. එය එසේම විය.
මින් කලකට පසුව පතේ පිලිප්ස් ඔරලෝසුවට අදාළව තවත් අපූරු සිද්ධියක් සිදුවිය.
මා පුවත්පත් කාර්යාලයේ සිටින අවස්ථාවක මට ජනාධිපතිනියගෙන් දුරකතන පණිවුඩයක් ඇති බව දැනුම් දුන්නේය.
දුරකතනයට ගිය පසුව පුදුමයට මෙන් ජනාධිපතිනිය මට කතා කරන්නට වූයේ ද පතේ පිලිප්ස් ඔරලෝසුව ගැනය. මම පතේ පිලිප්ස් ගැන කිසිවක් නොදන්නෙකු ලෙස සලකා එහි වටිනාකම මට විස්තර කළාය. එම ඔරලෝසුව ඇයට තෑගි වශයෙන් දෙන ලද ව්යාපාරිකයා ගැනත්, ඒ ක්රියාවලියේදි අතරමැදියා ලෙස ක්රියා කළ පුද්ගලයකු ගැනත් ඇය දිර්ඝ විස්තරයක යෙදුණාය. තමා එම ඔරලෝසුව ප්රසිද්ධියේ වෙන්දේසි කරන්නට බලාපොරොත්තු වන බවත් කියා ඒ ගැන හොඳ පුවතක් පුවත්පතේ පළ කර දෙන ලෙසත් ඉල්ලා සිටියාය.
මෙම දුරකතන සාකච්ඡාව කෙටි වේලාවකට සීමාවූවක් නොවීය. ඒ වෙනුවෙන් ගතවන්නට ඇති කාලය විනාඩි 20ක් හෝ 25ක් විය හැකිය. ඇය වර්ග කිරීමකින් තොරව හැමදෙයක්ම කීවාය. ඇයගේ කතාවට අනුව ඇයට මෙම තෑග්ග ලැබුණු කාලවකවානුව ගැන ද තේරුම් ගැනීමට අමාරු නොවීය.
ඇගේ දිර්ඝ කතාවට සවන්දිමෙන් පසුව “මේ කතාව මට හැර වෙනත් කෙනෙකුට නොකියන ලෙස ඉල්ලා සිටියෙමි.”
මාගේ ඒ කියමන ජනාධිපතිනිය තුළ කුතුහලයක් ඇති කිරීමට හේතු වූවා විය යුතුය. “ඇයි එහෙම කියන්නේ” යයි ඇය පෙරළා ප්රශ්න කළේය.
“ඔරලෝසුව ලැබුණේ පගාවක් හැටියට නම්, ඒක ඒ වෙලාවේම භාර ගැනීම ප්රතික්ෂේප කරනවා හරි, පගාකාරයන් අල්ලලා දෙනවා වෙනුවට, පගාවක් වශයෙන් ලැබුණු අත්ඔරලෝසුව අවුරුදු දෙකකට කිට්ටු කාලයක් අතේ බැඳගෙන ඉඳලා ඒ මිනිහත් එක්ක තරහ වුණාට පස්සෙ ඇයි ඒ ඔරලෝසුව වෙන්දේසියෙ දාන්නෙ කියලා කවුරුවත් ඇහැව්වොත් ඊට දෙන්න පිළිතුරක් ඇත්දෑයි” මම ප්රශ්න කළෙමි. මගේ ඒ ප්රකාශය ජනාධිපතිනියගේ කෝපයට හේතුවූවා විය යුතුය. දුරකතන පණවුඩය ද ඒ සමග විසන්ධි විය. ජනාධිපතිනිය සමග තිබුණු ඇයි හොඳයිකම් නැතිවීම කෙරෙහි එම සංවාදය ද බලපෑවේය.
පතේ පිලිප්ස් ඔරලෝසුව පිළිබඳව මා තුළ ඇතිවූ කුතුහලය ඉන් අවසන් වූයේ නැත. මා ඒ ගනුදෙනුව ගැන වැඩිදුරටත් කරුණු සොයා බැලුවෙමි.
ඒ ගැන ජනාධිපතිනියට රිදවීමක් කළ යුතු යැයි කල්පනා කොට රාජ්ය නායිකාව හෝ නායිකාවට ලැබෙන තෑගි පෞද්ගලිකව පරිහරණය කිරිමේ අයිතියක් නැති බව හා ඒ හැම එකක් ම ලේඛනගත කර මහා භාණ්ඩාගාරයට භාරදිය යුතු බව විග්රහ කෙරෙන ලිපියක් ලියා “රාවයේ” පළ කළෙමි. ඒ ලිපියේ පරිවර්තනයක් “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ ද පළවිය.
රටේ රාජ්ය නායකයා හෝ නායිකාව විදේශ රාජ්ය නායකයින් හමුවන අවස්ථාවකට රාජ්ය මට්ටමෙන් ත්යාග දෙන සම්ප්රදායක් හැම රටකම ක්රියාත්මක වන බවත්, එහිදි පෙරළා විදේශ රාජ්ය නායකයන්ගෙන් රටේ රාජ්ය නායකයාට හෝ නායිකාවට ද තෑගි ලැබෙන බවත්, දෙනු ලබන ත්යාග සඳහා වියදම් කරනුයේ මහජන මුදල් නිසා පෙරළා ලැබෙන තෑගි ලේඛනගත කොට මහා භාණ්ඩාගාරයට බාරදිය යුතු බවත්, එහෙත් ඒ සම්ප්රදාය ශ්රී ලංකාවේ ක්රියාත්මක නොවන බවත් එහි සඳහන් විය.
මේ ලිපිය පළවීමෙන් සති දෙක තුනකට පසුව ජනාධිපතිනිය තමන්ට රාජ්ය මට්ටමෙන් ලැබී තිබෙන තෑගි කිහිපයක් මහා භාණ්ඩාගාරයට බාර දුන්නාය. ඒ ගැන ප්රවෘත්ති නිවේදනයක් ද පළවිය.
බාර දෙනු ලැබූ ආයිත්තම් ගණන පහකට හෝ හයකට වැඩි නොවීය. ඒ ආයිත්තම් අතර පතේ පිලිප්ස් අත්ඔරලෝසුව ද විය. භාර දෙන ලද එම තෑගි අතර, පතේ පිලිප්ස් අත්ඔරලෝසුවේ වටිනාකම මිලියන දෙකයි දශම හතරක් හෝ හයක් බව ඒ සඳහා නිකුත් කළ පුවත්පත් නිවේදනයක සඳහන් විය.
රාජ්ය නායකයාගේ ගනුදෙනු පාරදෘශ්ය විය යුතුය
පතේ පිලිප්ස් අත්ඔරලෝසුවට අදාළ මෙම කතා පුවත ගෙනහැර දැක්වීමට මට අවශ්ය වූයේ වැඩවසම් රාජාණ්ඩු ක්රමයක් තුළ උරුමයෙන් පත්වන රජු හා ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ මහජන ඡන්දයෙන් බලයට පත්වන රාජ්ය නායකයා අතර අවශ්යයෙන්ම තිබිය යුතු එක් මූලික වෙනසක් පැහැදිලි කිරීමට අවශ්ය වූ නිසාය.
වැඩවසම් රාජාණ්ඩු ක්රමයක් යටතේ රජු පත්වන්නේ උරුමය අනුවය. භූමියට සේ ම, රටේ තිබෙන සියලු ධනයට අධිපතිවන්නේ රජුය. ඒ නිසා සීමාවකින් තොරව ඒ ධනය තමන් කැමති ලෙස පරිහරණය කිරිමේ අයිතිය ද ඔහු සතුය.
එහෙත් ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ රාජ්ය නායකයා පත්වන්නේ ඒවාහි උරුමයෙන් නොව, මහජන වරමකිනි. ඒ ද තෝරාගත් කෙටි කාලයක් සඳහාය. එහිදි රාජ්ය නායකයා රාජ්ය දේපළවල තාවකාලික භාරකාරයා වනවා පමණය. ඔහු හෝ ඇය ඒවාහි අයිතිකාරයා වන්නේ නැත. ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් ඔහුට හෝ ඇයට මහජන වියදමෙන් වැටුපක් ගෙවනු ලබන අතර, තනතුරේ ගෞරවයට ගැලපෙන ජීවිතයක් හා වටාපිටාවක් ලබාදිම සඳහා වැය කෙරෙන්නේ ද මහජන මුදල්ය.
නූතන රාජ්ය පාලකයා උරුමයෙන් තේරි පත්වන වැඩවසම් රජුට වඩා වෙනස් වුවත්, අපේ රටේ ප්රජාතන්ත්රවාදි ආකාරයකින් බලයට පත්වන රාජ්ය නායකයන් හැසිරෙන්නේ තාවකාලික භාරකරුවන් ලෙස නොව, උරුමයෙන් තේරි පත්වන වැඩවසම් රජවරුන් ලෙසය.
පොදු දේපළවලට අදාළ මිලදි ගැනීම් හා විකිණීම් රාජ්ය නායකයින් අයථා ලෙස මහා පරිමාණයෙන් ධනය උපයන ජනප්රිය මාර්ගයක් වී තිබේ. චන්ද්රිකාගේ පාලන කාලය තුළ ද එවැනි නොමනා ගනුදෙනු රාශියක් සිදුවිය. දැන් කතාබහට හේතුවී තිබෙන අධි ආරක්ෂිත වාහන මිලදි ගැනීමේ සිද්ධිය එසේ සිදුවී ඇති නොමනා ගනුදෙනුවලින් එකක් පමණය. මෙය චන්ද්රිකාගේ පාලන යුගයට පමණක් නොව, ඊට පෙර ද පැවති තත්ත්වයකි. මේ තත්ත්වය දැන් සිටම පාලනය නොකරන්නේ නම්, ඒ වැරදි චන්ද්රිකාගෙන් පසුවත් සිදුවිය හැකිය. රටේ පවතින බංකොළොත්භාවය කෙරෙහි රාජ්ය නායකයින් විසින් සිදු කරන මහා පරිමාණායේ වංචා ද හේතු වී ඇති බව අමතක නොකළ යුතුය.
වත්කම් හා බැරකම් නීතිය
රටේ පවතින වත්කම් බැරකම් නීතිවල අරමුණ ධනය පිළිබඳ කාරණාවලදි රාජ්ය පාලනයට සම්බන්ධ දේශපාලනඥයින් හා රාජ්ය නිලධාරීන් මහජනයාට විනිවිදව දැකිය හැකි තැනක තැබීමය.
වත්කම් හා බැරකම් නීතිය නීතිගත කෙරුණේ 1975දිය. එහෙත් 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් නීතියට ආවේණික මූලික දුර්වලතාවක් වූයේ වත්කම් හා බැරකම් ප්රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින අයගේ වත්කම් හා බැරකම් ප්රකාශ ලබාගැනීමේ අයිතිය මහජනයාට ලබා නොදිමය. ඊට 1988දි හඳුන්වා දෙන ලද සංශෝධනයක් මගින් වත්කම් බැරකම් ප්රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින ඕනෑම පුද්ගලයකුගේ වත්කම් හා බැරකම් ප්රකාශවල පිටපතක් ලබාගැනීමේ අයිතිය මහජනයාට ලබාදෙන ලදි.
මේ නීතිය රටේ ක්රියාත්මක වන ආකාරය තේරුම් ගැනීම සඳහා 1993දි පමණ මා දුරකතනයෙන් එවකට සිටි පාර්ලිමේන්තු ලේකම්වරයා අමතා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ගණනාවකගේ වත්කම් හා බැරකම් ප්රකාශ ලබාගැනීමේ වුවමනාවක් මට ඇති බව ප්රකාශ කරමින් ඒ සඳහා මා කුමක් කළයුතු දැයි අසා සිටියෙමි.
පාර්ලිමේන්තු ලේකම්වරයා මා අසන ලද ප්රශ්නයෙන් විශ්මයට පත්වූ බවක් පෙනෙන්නට තිබුණි. මන්ත්රීවරුන්ගේ වත්කම් හා බැරකම් ප්රකාශ තබා ඇත්තේ සීල් තබන ලද අල්මාරියක බවත්, ඒවා දිය හැක්කේ උසාවි නියෝගයක් ඇත්නම් පමණක් බව ද ප්රකාශ කර සිටියේය. පාර්ලිමේන්තු ලේකම්වරයාගේ දැනීමේ තරම ගැන මට ඇතිවූයේ කණගාටුවකි.
මා ඉන් කලකට පසුව ඒ අත්දැකීම නීති විෂය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ කොළඹ විශ්ව විද්යාලයේ එවකට හිටපු කුලපති ජී.එල්. පිරිස් මහතාට විස්තර කොට මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටියෙමි. ජනාධිපති ධුරයට එන්නට පෙර ඒ ගැන චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සමග ද කතා කළෙමි.
කෙසේ හෝ 94 පොදු පෙරමුණේ මැතිවරණ ප්රකාශයට ඒ ගැන වැදගත් කරුණක් ඇතුළත් කර තිබුණි.
එය මෙසේය.
“අල්ලස් හෝ දූෂණ ක්රියාවල මහා පරිමාණයෙන් යෙදෙන මෝරුන් දේශපාලන රැකවරණය ලබාගෙන යහතින් සිටිත්දි, නීතියේ රැහැනට හසුව උසාවිය ඉදිරියට ගෙන එන්නේ හාල්මැස්සන් පමණක්ය යන මතය අපේ සමාජයේ මුල් බැසගෙන තිබේ. එසේ වීමට සාධාරණ හේතු ද තිබේ. මේ තත්ත්වය නැති කිරීමට අපි පියවර ගනිමු. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, පළාත් සභා මන්ත්රීවරුන්, පළාත් පාලන ආයතනවල මන්ත්රීවරුන්, අමාත්යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්යවස්ථාපිත මණ්ඩලවල නිලධාරීන් පිළිබඳ අල්ලස් චෝදනා පරික්ෂා කිරිමේ පුළුල් වරමක් හා බලතල අල්ලස් හෝ දූෂණ පිළිබඳ ස්ථාවර කොමිසමකට ලබා දෙමු. මේ සෑම කෙනෙකුම සෑම අවුරුද්දකදිම තම වත්කම් හා බැරකම් පිළිබඳ ප්රසිද්ධ ප්රකාශයක් කළ යුතුය.”
පොදු පෙරමුණු ආණ්ඩුව ඵලදායී නොවූ ආකාරයකට අල්ලස් හෝ දූෂණ විමර්ශනය සඳහා ස්ථිර කොමිසමක් ඇති කළත්, වත්කම් බැරකම් නීතිය යටතට වැටෙන අයට සිය වත්කම් හා බැරකම් ප්රකාශ ප්රස1ිද්ධ කිරීමට බල කරන නීති සම්පාදනයකට ගියේ ද නැත. අඩුම වශයෙන් කාගේ හෝ වත්කම් හෝ බැරකම් ප්රකාශයක් ලබාගැනීමට අවශ්යතාවක් ඇති අයෙකුට බාධාවකින් තොරව එහි පිටපතක් ලබාගැනීමට පුලූවන් වටාපිටාවක් ඇති කළේ ද නැත.
ඇමති ලක්ෂ්මන් ජයකොඩි මහතා පමණක් බලයට පැමිණ වහාම තමා විසින් ප්රකාශයට පත් කරන ලද වත්කම් හා බැරකම් ප්රකාශයේ පිටපතක් “රාවය”ට එවීය.
පොදු පෙරමුණු ආණ්ඩුව යටතේ මේ විෂයට අදාළව කටයුතු තේරුම් ගැනීමේ අරමුණින් පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වී ටික කලකට පසුව ඇමති මණ්ඩලයේ තෝරාගත් පිරිසකගේ වත්කම් බැරකම් ප්රකාශවල පිටපත් ඉල්ලා ජනාධිපති ලේකම් වෙත අයදුම්පතක් ඉදිරිපත් කළෙමි. පිළිතුරක් නොලැබුණේය. ඉන්පසු ජනාධිපති ලේකම්ට දුකරතනයෙන් කතා කොට පැමිණිලි කළෙමි. අයදුම්පතේ පිටපතක් ෆැක්ස් කරන ලෙස ඉල්ලා සිටි නිසා එහි පිටපතක් ෆැක්ස් කළෙමි. ඊට ද ප්රතිචාරයක් නොලැබුණු තැන ජනාධිපතිනියගේ ද නම ඇතුළත් කොට එහි සඳහන් අයගේ වත්කම් බැරකම් ප්රකාශ ඉල්ලා සිහි කැඳවීම් ගණනාවක් යවන ලද මුත් ජනාධිපති ලේකම්වරයා දිගින් දිගට නිශ්ශබ්දව සිටියා මිස කිසිම ප්රතිචාරයක් දැක්වූයේ නැත.
මැතිවරණ කොමසාරිස්වරයා මේ විෂයේදි දේශපාලන ගණයට වැටෙන අය භාර ප්රධාන බලධාරීයකු නිසා ඔහු යටතේ මේ විෂයේ කටයුතු සිදුවන ආකාරය දැනගැනීම සඳහා ඔහු වෙත ද අයදුම්පත් කිහිපයක් ඉදිරිපත් කළත්, ඔහු ද ප්රශ්නය මගහරිමින් සිටියේය.
ඉන්පසු 99 ජනාධිපතිවරණයේදි මීට පෙර ජනාධිපතිවරණයට තරග කොට ඇති එහෙත් වත්කම් බැරකම් ප්රකාශ ලබා දි නැති ජනාධිපති අපේක්ෂකයන්ගේ නාමයෝජනා බාර ගැනීමෙන් වැළකී සිටින ලෙස වැඩ බලන මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළෙමි. එම ලිඛිත ඉල්ලීමට ජනමාධ්ය මගින් ලබාදි තිබුණු ප්රසිද්ධිය නිසාම ඒ මැතිවරණයේදි පමණක් ජනාධිපතිනිය නාමයෝජනා බාර දෙන ලද්දේ වත්කම් බැරකම් ප්රකාශයක් ද සමගය. නැවත 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදි මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයින් සඳහා වත්කම් බැරකම් නීතිය අකුරටම ක්රියාත්මක කරන්නේ ද යන්න දින 14ක් තුළ මා වෙත දැනුම්දිමක් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියෙමි. එහි ප්රතිඵලයක් වශයෙන් මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සඳහා වත්කම් බැරකම් නීතිය බලපාන ආකාරය විස්තර කරන ප්රසිද්ධ දැන්වීමක් මැතිවරණ කොමසාරිස්වරයා පුවත්පත්වල පළ කළේය. එහෙත් ඉන් කලකට පසුව මැතිවරණ කොමසාරිස්වරයා පුවත්පත්වලට ප්රකාශ කර තිබුණේ මැතිවරණයට තරග කරන ලද බොහෝ දෙනකු වත්කම් හා බැරකම් ප්රකාශ තමන්ට ලබාදි නැති බවත්, එවැනි අවස්ථාවක තමන් ක්රියාකළ යුතු ආකාරය පනතේ නිශ්චිතව සඳහන් නොවන නිසා තමන්ට ඒ ගැන කළහැකි දෙයක් ද නැති බවය.
මැතිවරණ කොමසාරිස් වැනි බලගතු නිලධාරීයෙක් එවැනි ප්රකාශයක් වෙනත් රටක කළේ නම්, ඒ නිසාම ඔහුට වහාම ඒ තනතුර අත්හැර යන්නට සිදුවනු නොඅනුමානය.
ජනාධිපතිනිය ඇතුළු අපේ ඇමති මණ්ඩලයේ සාමාජිකයන්ගේ වත්කම් බැරකම් ප්රකාශ ඉල්ලා ලියාපදිංචි තැපෑලෙන් ජනාධිපති ලේකම් වෙත යවන ලද ලිපිවල පිටපත් සහිත ලිපි ගොනුවක් මා ළග ඇති අතර, ඒ ලිපිගොනුවේ පිටපත් මේ විෂය පිළිබඳව අවබෝධයක් ඇති නීතිඥයන් ගණනාවක් වෙත යවන ලදමුත්, ඒ සියලු දෙනා හොඳ නඩුවක් ඇති බව පිළිගන්නා නමුත්, ඒ කිසිවෙක් ජනාධිපතිනියට එරෙහිව උසාවි නියෝගයක් ලබාගැනීම සඳහා අධිකරණය ඉදිරියට යෑමට සූදානම් නැත. කොන්ද පණ නැතිකමේ ලෙඩේ නීතිඥ ක්ෂේත්රයට ද පොදුය.
ජනාධිපතිනියගේ වත්කම් බැරකම් ප්රකාශ පිළිබඳ ප්රශ්නය ජනාධිපතිනියගේ මාධ්ය ප්රකාශක හරිම් පිරිස් මහතාගෙන් “රාවයේ” පුවත්පත් කලාවේදියෙකු ප්රශ්න කළ අවස්ථාවේදි ඔහු ඊට දි තිබුණු පිළිතුර වූයේ ජනාධිපතිනිය වත්කම් බැරකම් ප්රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින්නේ ද යන්න තමා නොදන්නා බවය.
වත්කම් බැරකම් නීතියේ ජනාධිපති වත්කම් බැරකම් ප්රකාශ කළයුතු බව නිශ්චිතවම සඳහන් වන්නේ නැත. එය එම නීතියේ තිබෙන ලොකු අඩුවකි. එහෙත් ජනාධිපතිනිය ජනාධිපතිධුරය දරනවාට අතිරේකව ඇමති මණ්ඩල සාමාජිකයෙකු ලෙස ක්රියා කළාය. වත්කම් බැරකම් නීතිය අනුව සියලු ඇමතිවරුන් වත්කම් බැරකම් ප්රකාශ කළ යුතුය. ඊට අතිරේකව ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂිකාවක් වශයෙන් ද, ලියාපදිංචි දේශපාලන පක්ෂයක නිලධාරී මණ්ඩල සාමාජිකයෙක් වශයෙන් ද, වත්කම් බැරකම් ප්රකාශ කිරීමට ජනාධිපතිනිය ද නීතියෙන් බැඳී සිටී. දිගින් දිගට ඉල්ලා සිටියදිත් ජනාධිපතිනිය වත්කම් බැරකම් ප්රකාශ ලබාදිමෙන් වැළකී සිටිනුයේ එසේ කිරිමේ හැකියාවක් තමන්ට නැති නිසා නොවේද?