අප ජීවත්වන ශ්රී ලංකාව බාහිර පෙනුමෙන් ලස්සනම රටක් වුවද එහි තිබෙන සමාජ-දේශපාලන හා ආධ්යාත්මික ආයතන ක්රම හැම එකක්ම සේ ම ඒවාට සම්බන්ධ මිනිසුන්ද සිටින්නේ අභ්යන්තරික වශයෙන් හොඳටම කුණුවූ තත්ත්වයකය. එම කුණුවීමේ ක්රියාවලියට මිනිසුන් හුරු පුරුදුවී සිටීම නිසා තමන් තුළ ඇතිවී තිබෙන එම කුණුවීම තිබෙන්නේද මිනිසුන්ට හොඳින් නොපෙනන හා නොදැනෙන තත්ත්වයකය.
කුණුවීමේ වසංගතයක් පිළිබඳව කිසියම් ප්රමාණයකට කතාබහක් ඇත්නම් එය දේශපාලන තලයේ ඇතිවී තිබෙන කුණුවීමට සීමාවූ කතාබහක් වේයැ”යි කිව හැකිය. එහෙත් කුණුවීමේ වසංගතයට හසුවී තිබෙන්නේ රටේ දේශපාලන තලය පමණක් නොවේ. කලාව, විද්යාව, ආගම්, ආර්ථිකය, සමාජ සම්බන්ධතා හා පවුල යන හැම තැනක්ම ඒ කුණුවීමේ වසංගතයට හසුවී කුණුවූ තත්ත්වයකට පත්ව ඇතැ”යි කිව හැකිය. අපි දේශපාලන ක්රමයේ හෝ දේශපාලන තලයේ සිටින දේශපාලකයන්ගේ කුණුවීම දකින්නට සමත්ව ඇතත්, අප තුළ ඇතිවී තිබෙන කුණුවීම ප්රමාණවත් තරමින් දකින්නට සමත් වී නැත.
සමාජයේ තිබෙන වැදගත්ම හා පුංචිම සමාජ ඒකකය වශයෙන් සැලකිය හැකි පවුල පදනම් කොටගෙන පවුල් ජීවිතයේ ඇතිවී තිබෙන පිරිහීම ඒ තත්ත්වය කෙරහි බලපා තිබෙන හේතු ගැන පවුලේ සාමාජිකයන් අතර ඵලදායී සංවාදයක් ඇති කිරීමට හේතුවන පොතක් ලිවීමේ ආශාවක් කලක් තිස්සේ මගේ සිතේ පැළපැදියම් වී තිබුණි. පවුලේ සැමියා හා බිරිඳ අතර තිබෙන්නේ යාන්ත්රික සම්බන්ධයකි. දෙමාපියන් හා දරුවන් අතර තිබෙන්නේද ඒ සමාන යාන්ත්රික සම්බන්ධයකි. වයසට ගිය ආච්චිලා සීයලා හා දරු මුණුබුරන් අතර තිබෙන අන්තර් සම්බන්ධයද යහපත් හෝ ප්රබෝධමත් තත්ත්වයක නොපවතී. පවුල නිසි අරමුණකින් තොරව ඉබාගාතේ එහාට මෙහාට පාවෙන දෙයක් බවට පත්වී තිබේ. මට අවශ්ය වූයේ බිරිඳ හා ස්වාමිපුරුෂයා අතරත්, දෙමාපියන් හා දරුවන් අතරත්, ආච්චිලා හා සීයලා හා ඔවුන්ගේ දරු මුණුබුරන් අතර කිසියම් ප්රමාණයක බුද්ධිමය සංවාදයක් ඇති කිරීමට හේතුවන ආකාරයේ පොතක් ලියන්නටය. පවුල තුළ එවැනි අවධියක් ඇති කිරීමට හැකිවේ නම් සමස්ත සමාජයේ ඇතිවී තිබෙන මෙම කුණුවීමේ ක්රියාවලිය ආපසු හැරවීමට හේතුවිය හැකි සමාජ වටාපිටාවක් ඇති කළ හැකිවනු ඇතිය යන්න මගේ විශ්වාසය විය.
පොත ලියා මුද්රණය කිරීමෙන් පසුත් මට තිබුණේ ලොකු කුතුහලයකි. මා පොත වෙනත් අය අතට පත් කරන්නට පෙර පිටපතක් බිරිඳ අතට පත් කළෙමි. ඇය ඒ කෙරෙහි දක්වන අවංක ප්රතිචාරය දැනගැනීමට මට අවශ්ය විය. ඇය වහාම පොත කියවූයේ නැත. ඇය වහාම පොත නොකියවීමත් මා තුළ කිසියම් අසහනයක් ඇති කිරීමට හේතුවී තිබුණි. එහෙත් දින දෙකකට හෝ තනකට පසුව ඇය පොත කියවා ඒ ගැන වන ඇගේ අදහස මට දැනුම් දුන්නාය. එය කියවීම ආරම්භ කිරීමෙන් පසුව එක හුස්මට කියවා අවසන් කළ බවත් එය හොඳ හා මිනිසුන්ගේ ජීවිතවලට ප්රයෝජනවත් පොතක් බවත් ඇය කියා සිටියාය. ඇය පොතක් කියවා එහි හොඳ නරක ගැන අදහස් පළ කළ හැකි තත්ත්වයක සිටින කෙනකු වුවත් ඇය මගේ බිරිඳ වන නිසා ඇගේ මතයෙන් සෑහීමට පත් නොවී වෙනත් අයගේ අදහස් දැනගැනීමේ ප්රබල අවශ්යතාවක් මට තිබුණි.
පොත වෙළෙඳපොළට යවන්නට පෙර මා දීර්ඝ කාලයක් තිස්සේ ඇසුරු කරන මිත්රයෙක් ඔහුගේ බිරිඳ සමග මගේ නිවසට ආවේය. මිත්රයා නීතිඥයකු සේ ම හොඳ කියවන්නෙකි. සඳගෝමි නමින් ලියන කොලම ඔහුගේය. ඔහුගේ බිරිඳ විශ්රාම ගිය ඉංග්රීසි ගුරුවරියකි. මම මාගේ මිත්රයාට දෙනවා වෙනුවට ඔහුගේ බිරිඳට පොතක් දී එය කියවා ඒ ගැන ඇය දරන අදහස් පළකරන ලෙස ඉල්ලා සිටියෙමි.
එදින සවස මා ගම්පළාතේ ඇසුරු කරන මිත්රයන් දෙදෙනකුද මගේ නිවසට ආවේය. එක් අයෙක් දේශපාලනය නිසා තමන්ට තිබූ බොහෝ දේවල් නැති කරගත් ප්රාදේශීය දේශපාලනඥයෙකි. අනෙකා කලක් නාවික හමුදාවේ ඖෂධවේදියකු ලෙස සේවය කොට නාවික හමුදාවෙන් ඉවත් වූ මගේ ළඟ ඥාතියකු විය. දේශපාලන මිතුරා පොත ගැන කතා කරන්නට පෙර පසුදිනම ඥාති මිතුරා මට කතා කළේය.
තමා පොත නිවසට රැගෙන ගිය පසු තමා පොත කියවන්නට ප්රථම පුතා එය කියවූ බවත් කියවා අවසන්වීමෙන් පසු තමා සමගත් ඔහුගේ අම්මා සමගත් පොතේ එන සමහර දේවල් ගැන ආස්වාදයෙන් කතා කරන්නට වූ බවත් කීවේය. දැන් ඒ පොත සිය බිරිඳ (ඇයද ඖෂධවේදිනියක්) කියවමින් සිටින බවත් ඇය කියවූ පසු එය තමාද කියවන බවත් කියා සිටියේය.
පොත වෙළෙඳපොළට නිකුත්වීමෙන් පසුව එය මිලදී ගෙන කියවූ මා දන්නා හඳුනන කිහිපදෙනකු මට කතා කොට ඒ ගැන අදහස් පළ කළේය. මා හරි හැටි නොදන්නා කෙනකුට මට දුරකතනයෙන් කතා කොට පොත කියවූ පසු තමා අතින් තම බිරිඳට අසාධාරණයක් වී ඇතැ”යි කියන හැඟීම ඇතිවූ බව කියා සිටියේය. කලක් රාවයේ සේවය කොට පසුව ඉන් ඉවත් වී ගිය ජනමාධ්යවේදියකු මට කතා කොට කීවේ තමා ආසාවෙන් පොත කියවූ බවත් එය මහජන උනන්දුවට හේතුවන පොතක් බවට පත්විය හැකි බවත්, පොත බිරිඳට (ඔහුගේ බිරිඳ ගුරුවරියකි) දුන් විට ඇයද එය උනන්දුවෙන් කියවා තමා සමග වාද කරන තැනකට පැමිණි බවත් කියා සිටියේය. එම පොතට හොඳම සහතිකය ලැබුණේ 71 කැරැල්ලට සම්බන්ධ ගුරුවරයකුගෙනි. මා ඔහු ළඟින් ඇසුරු කර නැතත් ඔහු කැරලිකරුවන් අතර ප්රකට හා ගෞරවයට හේතුවූ චරිතයකි. ඔහුගේ වීරයා වූයේ අයිත්මාතෙව් පළමු ගුරුවරයාය. ඔහුගේ චරිත ලක්ෂණ හා පළමු ගුරුවරයාගේ චරිත ලක්ෂණ අතර අපූරු සමානකමක් තිබුණි. ඔහු ජීවිකා වෘත්තිය කොට ගත්තේද ඉංග්රීසි ඉගැන්වීමය. ඔහු ප්රතිපත්තිගරුක ආදර්ශමත් ජීවිතයක් ගත කළ අයකු සේ සැලකිය හැකිය. ඔහු මා දුරකතනයෙන් අමතා කීවේ මෙතෙක් ලියන ලද සියලු පොත්වලින් කර තිබෙන සේවයට වැඩි සේවයක් ඒ තනි පොතෙන් සිදුකර තිබෙන බවය. එකඟ විය නොහැකි කරුණක් හෝ දෙකක් ඇතත් එය නොසලකා පොතේ එන දර්ශනය සමග එකඟ විය හැකි බවද කීවේය.
පොත වෙළෙඳපොළට නිකුත් කරන්නට පෙර පොතේ පිටපතක් ලබාගත් ප්රාදේශීය දේශපාලන මිතුරා මට කීවේ මාගේ සියලු පොත් ඔහු ළඟ ඇතත්, ඒවා කියවා තිබෙන්නේ තම පවුලේ සාමාජිකයන් අතුරින් තමා පමණක් බවත්, එහෙත් මේ පොත බිරිඳ ඇතුළු පවුලේ සියලුදෙනාගේ උනන්දුවට හේතුවී තිබෙන පොතක් වී තිබෙන බවය. බිරිඳ පොත කියවා දාර්ශනිකයකු ලෙස තමාට දේශනයක් කළ බවද කීවේය.
සඳගෝමිගේ බිරිඳගෙන් ප්රතිචාර ලැබුණේ තරමක් ප්රමාදවීය. ඇය මාගේ මිත්රයා වූ ඇගේ ස්වාමිපුරුෂයා සමග සති අන්තයේ දිනක සවස මගේ නිවසට ආවාය. ඇය එදින එහි ආවේ පොත ගැන දරන අදහස් පළකිරීමේ අදහසින් බව කියා සිටියාය. එය ඉතා හොඳ පොතක් බවත් ජීවිතයට අවශ්ය හොඳ මගපෙන්වීම් ලබාදෙන පොතක් බවද කියා සිටියාය. තම පුතා සාමාන්යයෙන් සිංහල පොත් නොකියවන බවත් එහෙත් ඔහු මේ පොත ආශාවෙන් කියවන ලද බවත් කියා සිටියාය. පොතේ එන එක අදහසක් ගැන පමණක් එනම් දෙමාපියන්ට හා ගුරුවරුන්ට දණින් වැටී ආචාර කිරීමේ සම්ප්රදාය පිළිබඳව ලියවී තිබෙන විවේචනය පමණක් ගුරුවරියක වශයෙන් තමාට පිළිගත නොහැකි බවද කියා සිටියාය. ගෞරවය පුද කළ යුතු කෙනකුට ඒ සඳහා දණින් වැටී ආචාර කිරීමක්ම අවශ්ය ඇයිදැ”යි මා පෙරළා ප්රශ්න කළ විට ඒ සඳහා විකල්ප ක්රමයක් විස්තර කළ යුතුව තිබුණු බව ඇය කියා සිටියාය.
මාගේ ඖෂධවේදී ඥාති මිත්රයා මාගෙන් පොතේ පිටපත් 10ක් ලබාගෙන ඔහුගේ හිත මිතුරන් අත විකුණා තිබුණි. පොත් කියවන ලද සමහරෙක් පළකරන ලද අදහස්ද මට ඔහුගෙන් දැනගන්නට ලැබුණි. ඒ අය අතරින් එක් අයකු කරන ලද ප්රකාශයක් මගේ සිත් ගත්තේය. ඔහුගේ විශ්රාම ගිය ඥාති සහෝදරයකු හා ඔහුගේ බිරිඳ යන දෙදෙනාම පොත උනන්දුවෙන් කියවා තිබේ. දෙදෙනාම උපාධිධාරී විශ්රාම ගිය රජයේ සේවකයන්ය. දෙදෙනාම ආච්චිලා සීයලා තත්ත්වයට පත්වූ අය වෙති. ඥාති සහෝදරයාගේ බිරිඳ කියා ඇත්තේ පොත දැනටත් ප්රයෝජනවත් වනමුත් මීට වසර 20කට පෙර කියවන්නට ලැබුණේ නම් ජීවිතයට වඩා ප්රයෝජනවත් වන්නට ඉඩ තිබුණු බවය. පොත කියවා රත්නපුරේ සිටින ඇගේ දුවණියට හා ස්වාමියාට කියවීම පිණිස එහි යවන ලද බවද කියා තිබුණි.
මාගේ මහත් අමන්දානන්දයට හේතුවන කතාවක් අසන්නට ලැබුණේ පොත කියවූ සාමාන්ය පාඨකයකුගෙනි. තමා බිරිඳගෙන් වෙන්වී සිටින බවත් මව පියා හා දුවණිය සිටිනුයේ තුන් පොළක බවත් පොත කියවූ විට කරකවලා අතහැරියා වැනි හැඟීමක් ඇතිවූ බවත් තවත් පොත් දෙකක් බිරිඳ හා දියණිය සඳහා මිලදී ගෙන ඔවුන් වෙත යවන බවත් සමහරවිට නැවත එකතුවීමක් සඳහා මේ පොත හේතුවිය හැකි බවත් ඔහු කියා සිටියේය.
පොතට තිබෙන පිළිගැනීමට උරගා බැලීමකට ලක්වූයේ බණ්ඩාරනායක සම්මන්ත්රණශාලාවේ පැවති ප්රදර්ශනයේදීය. එය එම පොත් කුටියේ වැඩිම වේගයකින් අලෙවි වන පොත බවට පත්වී තිබෙන බව දැනගන්නට ලැබුණු විට මා තුළ කිසියම් ආත්ම තෘප්තියක් ඇතිවීයැ”යි කිව හැකිය.
එම පොත ලිවීමෙන් මා අරමුණු කළේ කිසිම අරමුණකින් තොරව ජීවත් වන පවුලට අර්ථයක් හා අරමුණක් ලබාදීමය. ස්වාමි පුරුෂයා හා බිරිඳ අතරත්, දෙමාපියන් හා දරුවන් අතරත් දරු මුණුබුරන් හා ආච්චිලා සීයලා අතරත් කිසියම් ප්රමාණයක බුද්ධිමය සංවාදයක් ඇති කිරීමට හේතුවන වටාපිටාවක් ඇතිකර දීමය. මට ලියන්නට අවශ්ය වූයේ ඒ සියලුදෙනාගේ උනන්දුවට හේතුවන පොතකි. ඔවුන්ගේ ජීවිතවල කිසියම් ප්රමාණයක වෙනසක් ඇති කිරීමට ඔවුන් පොළඹවන පොතකි. ජීවිතයේ සේ ම මරණයේද තේරුම කියාදෙන පොතකි.