විජමු ලොකු බණ්ඩාර මහතා ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයාය. යුක්තිය පසිඳලීමේ විෂය භාර ඇමතිවරයාය. එතුමා සංස්කෘතිය, භාෂාව හා හැදියාව යන කාරණා පිළිබඳව ද මහා දැනමුත්තෙකුට තරම් දැනුම ඇති පුද්ගලයෙකු ලෙස ද සැලකේ.
එතුමා රජයේ නිලධාරින්ගේ විනය කාරණාවලට අදාළ ඉතා වැදගත් න්යාය ධර්මයක් ප්රකාශ කර තිබේ. එතුමාට ඒ න්යාය ප්රකාශ කරන්නට සිදුවී ඇත්තේ එතුමාගේ පමණක් නොව, අධිකරණයේ ප්රධානියාගේ ද ගජමිතුරකු ලෙස සැලකිය හැකි, කවදත් විපතට පත් තිලංග සුමතිපාල වැනි පුද්ගලයින්ට පමණක් නොව, සමහරවිට මේ ඇමතිතුමාට ද නීතියට අදාළ ප්රායෝගික කාරණාවලදි නිර්ලෝභී ලෙස උදව් උපකාර කර තිබෙන බව පෙනෙන, අල්ලස් චෝදනා එල්ල වී ඇති, මහා භාරකාර ධුරය දරන සරත් සෙනෙවිරත්න මුල් කොටගෙනය.
ලොකු බණ්ඩාර මහතා මේ න්යාය ඉදිරිපත් කොට ඇත්තේ බුද්ධ ශාසන අමාත්යාංශය යටතේ ඇති මහා භාරකාර දෙපාර්තමේන්තුවේ ප්රධානියාට එරෙහිව ආණ්ඩුවේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අල්ලස් චෝදනා එල්ල කර තිබෙන තත්ත්වයක් යටතේ එම මහා භාරකාරයා සම්බන්ධයෙන් අනුගමනය කරන ප්රතිපත්තිය කුමක්දැයි ජනමාධ්යවේදියෙකු අසන ප්රශ්නයකට දෙන පිළිතුරක් වශයෙනි.
එතුමාට අනුව මහා භාරකාරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇතත්, තාමත් ඒ මහතා වැරදිකරුවකු බව අධිකරණය තීරණය කර නැත. ඒ නිසා ඒ ගැන අධිකරණය අවසාන තීරණයක් ගන්නා තෙක් මහා භාරකාරයා එම තනතුරේ තවදුරටත් කටයුතු කිරීම වරදක් නැත.
එහෙත් ආයතන සංග්රහය අනුව නම් රජයේ සේවකයෙකුට එරෙහිව අල්ලස් චෝදනා යටතේ නඩු පවරනු ලැබ තිබෙන අවස්ථාවක ඔහුගේ වැඩ තහනම් කළ යුතුය. එවැනි චෝදනාවක් යටතේ වැඩ තහනම් කරන පුද්ගලයෙකුට භාග පඩිය ද අහිමිය. එහෙත් ඒ න්යාය මහා භාරකාරයාට අදාළ නැත. ඔහුට අදාළ වන්නේ අමාත්යතුමාගේ න්යායයි. ඇමතිතුමාගේ එම න්යායට ගැළපෙන ලෙස ආයතන සංග්රහය ද සංශෝධනය විය යුතුය. .