ටෝනි සහ කැලේ නීතිය

February 8, 2004
Publication:
Tony Emmanuel Fernando was sentenced to a year in prison for contempt by a Supreme Court bench that included respondents to his own petition, and was later assaulted in prison. The piece presents his case, then before the UN Human Rights Committee, as a mirror of the rot in the justice system.

ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ආයතන ක්‍රමය ඇතුළු දේශපාලන ආයතන ක්‍රමය කුණුවී තිබෙන තරම පෙන්නුම් කරන කදිම කැඩපතක් ලෙස සැලකිය හැකිය.

ඔහු අගවිනිසුරු ඇතුළු අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් වගඋත්තරකරුවන් කරමින් මානව හිමිකම් නඩුවක් පැවරිමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට එක් අවුරුදු සිරදඬුවමක් නියම විය. පුදුමයකට එම නඩුව විමසීමට ගෙන ඔහුට දඬුවම් පමුණුවන ලද්දේ ද එම නඩුවේ වගඋත්තරකරුවන්ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් මගිනි. හිරගෙට යවනු ලැබීමෙන් පසුව බන්ධනාගාර නිලධාරින් විසින් එල්ල කරනු ලැබූ අමානුෂික පහරදිමකට ලක්වී දිර්ඝ කාලයක් රෝහල් ගතවී ප්‍රතිකාර ලැබීමට ඔහුට සිදුවිය.

යුක්තිය ඉටු කරගැනීම සඳහා අධිකරණය ඉදිරියට ගිය පුද්ගලයෙකුට අධිකරණය එක් අවුරුදු සිරදඬුවමක් පැමිණවීම, ඉන්පසු බන්ධනාගාරයේදි ඔහු අමානුෂික පහරදිමකට ලක්වීම යන හේතු නිසා මේ සිද්ධිය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි කතාබහට හේතුවූ මාතෘකාවක් වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාර පරම් කුමාරස්වාමි මහතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ටෝනි බලන්නට ගොස්, පුවත්පත් සාකච්ඡාවක් කැඳවා, යුක්තිය ඉටු කරගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය මේ පුද්ගලයාට ශ්‍රේෂ්ඨාධිකරණය බලවත් අයුක්තියක් කර ඇති බව ප්‍රකාශ කළ අතර, දෙන ලද තීන්දුව නිවැරදි කිරීම සඳහා ටෝනි වෙනුවෙන් ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වන ලෙස නීතිඥ සංගමයෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය.

මෙම ප්‍රසිද්ධ ආයාචනය කරන්නට පෙර පරම් කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ ආනන්ද විජේසේකර මහතාට ද කතා කළේය. එහෙත් ආනන්ද විජේසේකර මහතා හෝ නීතිඥ සංගමය ටෝනි වෙනුවෙන් එක වචනයක්වත් කතා කළේ නැත. අඩුම වශයෙන් ටෝනිට දඬුවම් පැමිණවීමේ සිද්ධියේ හරි වරද ගැනවත් කතා නොකළේය. තිලංග සුමතිපාල මහතා වෙනුවෙන් සිය රැකියාව ද පරදුවට තබා ක්‍රියාකළ ආනන්ද විජේසේකර මහතාට ටෝනි වැදගත් නොවූයේ ඔහු බුකිකාරයකු නොවී අහිංසක පුරවැසියකු වූ නිසා විය හැකිය.

ටෝනිට දඬුවම් පැමිණවීම හා ඔහුට පහරදිමේ සිද්ධිය පිළිබඳව මානව හිමිකම් කොමිසම පරික්ෂණයක් ආරම්භ කළත්, අද දක්වාම එම ආයතනය ද සිය නිගමන ප්‍රකාශ කර නැත.

අසාධාරණ ලෙස සිරදඬුවම් පමුණුවා තිබෙන ටෝනි නිදහස් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රාශියක් රටේ ජනාධිපතිනියට ද, අගමැතිට ද ආයාචනා කළේය. එහෙත් ඒ කිසිවෙකුට මේ පුරවැසියාට සිදුවී තිබුණු අයුක්තිය, නිවැරදි කළයුතු තරම් වරදක් ලෙස පෙනුණේ නැත. අවසානයේදි ටෝනි තමන්ට හිමිවූ එක් අවුරුදු සිරදඬුවම නිමා කොට නැවත නිදහස් ලෝකයට පිවිසියේ ආසියාවේ මානව හිමිකම් කොමිසම විසින් මානව හිමිකම් වෙනුවෙන් පිරිනමන ජාත්‍යන්තර සම්මානයක් ද හිමිකර ගනිමිනි.

ඉන්පසු ඔහු තමන්ගේ පැරණි ජීවන වෘත්තියට (ඉංග්‍රීසි ඉගැන්වීම) යොමුවීමට උත්සාහ කළ ද ඔහුට නිදහසේ ඒ කාර්ය කරගෙන යන්නට ඉඩ ලැබුණේ නැත. ඔහුට එක් අවුරුදු සිරදඬුවමක් පැමිණවීමේ තීන්දුවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කමිටුව හමුවේ නඩුවක් පවරා තිබුණු අතර, ඒ නඩුව ඇතුළු එම සිද්ධියට අදාළව ශ්‍රී ලංකාව තුළ පවරා ඇති සියලු නඩු ද ඉවත් කරගත යුතු බවට බලකරමින් ඔහුට දිගින් දිගට මරණ තර්ජන එල්ල වන තත්ත්වයක් ඇතිවිය. ඔහු ඒ ගැන බලධාරින්ට පැමිණිලි කළ ද බලධාරින් ඔහුගේ පැමිණිලි තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත.

ටෝනිට එක් අවුරුදු සිරදඬුවමක් පවරනු ලැබූ තීන්දුවට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කමිටුව ඉදිරියේ පවරන ලද නඩුවේදි මානව හිමිකම් කමිටුව ඒ පැමිණිල්ලේ එන කරුණු පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුවට කියන්නට තිබෙන දේ ප්‍රකාශ කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබුණ ද, ලබාදි තිබු කාලය තුළ ශ්‍රී ලංකා ආණ්ඩුව ඊට පිළිතුරක් නොදිම නිසා ටෝනිගේ නඩුව ඒකපාර්ශ්විකව විභාගයට ගැනීමට මානව හිමිකම් කමිටුව තීරණය කළේය. ඒ අතර, තමන්ට එල්ලවෙමින් තිබෙන මරණ තර්ජන ගැන ටෝනි, මානව හිමිකම් කමිටුව වෙත දැනුම්දිම නිසා ටෝනි ඇතුළු ඒ පවුලේ සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාව සහතික කොට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ගනු ලැබූ පියවර මොනවාද යන්න දින 30ක් ඇතුළත (2004 පෙබරවාරි 9 වැනිදාට පෙර) කමිටුව වෙත දැනුම් දෙන ලෙස කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවට නියෝග කළේය. කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත මෙම නියෝගය දැනුම් දී ඇත්තේ 2004 ජනවාරි 9 වැනිදාය.

පුදුමයකට මෙන් එවැනි නියෝගයක් පැනවීමෙන් පසුව ද ශ්‍රී ලංකා ආණ්ඩුව ටෝනිගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් නොකළේය.

එහි අවසාන ප්‍රතිඵලය වූයේ පෙබරවාරි 2 වැනි දින උදේ ටෝනි තමන්ට අවශ්‍ය පුවත්පත් මිලදි ගැනීම සඳහා සිය නිවසේ සිට කළුබෝවිලට පැමිණි අවස්ථාවේදි වෑන් රථයකින් පැමිණි සාහසිකයින් තිදෙනෙක් ටෝනිගේ මුහුණට කිසියම් ගෑස් වර්ගයක් ඉස ඔහු පැහැරගෙන යාමට තැත් කිරීමය. සාහසිකයා ටෝනිගේ මුහුණට ගෑස් ඉසීමෙන් පසුව ලේන්සුවකින් ටෝනිගේ මුහුණ වැසීමට උත්සාහ කළත්, ටෝනි ඒ ස්ථානයෙන් තමන් දන්නා හඳුනන ටේලර් සාප්පුවකට පලා යාමට සමත් වී තිබේ. එහි ගිය පසු ටෝනි සිහිමුර්ඡා වී තිබෙන අතර, සාප්පුවේ සිටි අය ඔහු කළුබෝවිල රෝහලට ගෙන ගියේය. තවමත් ටෝනි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ටෝනි පැහැර ගැනීමට තැත් කළේ කව්ද? පැහැරගෙන ගොස් කුමක් කරන්නට අදහස් කළේද?

ටෝනිට ආරක්ෂාව ලබාදෙන ලෙස ජිනීවාහි මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත නියෝග කිරිමෙන් පසුවත්, ශ්‍රී ලංකා ආණ්ඩුව ටෝනිගේ ආරක්ෂාව සහතික කිරිමෙන් වැළකී සිටියේ ඇයි? ප්‍රමාද දෝෂයක් නිසා එසේවීද? නැතිනම් හිතා මතා කරන ලද්දක්ද?

අගවිනිසුරු ඇතුළු අධිකරණ සේවා කොමිෂමේ සාමාජිකයන් වගඋත්තරකරුවන් කරමින් මීට පෙර නඩු පවරනු ලැබූ විනිසුරුවරුන් දෙදෙනාට ද දිගින් දිගට මරණ තර්ජන එල්ල විය. ඔවුන් වෙනුවෙන් සහාය ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥ ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු මහතාට ද මරණ තර්ජන එල්ල විය. එහෙත් පොලිසිය ඔවුන් විසින් කරන ලද පැමිණිලි ගැන සාධාරණ පරික්ෂණයක් කළේ නැත. .