රෝහණ කුමාර ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙමින් තිබෙන පරීක්ෂෂණය හා අත්අඩංගුවේ සිටින තාරා අජිත් කර තිබෙන පාපොච්චාරණය පිළිබඳව සිය සැකය පළ කරමින් නිදහස් මාධ්ය ව්යාපාරය වෙනුවෙන් 29 වැනි දා නිකුත් කරන ලද නිවේදනයට ඊට පසු දිනම අපරාධ විමර්ශන මූලස්ථානයේ අධ්යක්ෂෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි බන්දුල වික්රමසිංහ මහතා ජාතික රූපවාහිනියෙන් අභියෝග කළේ ය. අවශ්ය තරම් ජනමාධ්යවේදින් රැගෙන එන ලෙසත් ඔවුන් අසන ඕනෑම ප්රශ්නයකට පිළිතුරු දිමට සූදානම් බවත් ජේයෂ්ඨ පොලිස් අධිකාරීවරයා ජයග්රාහී ස්වරූපයකින් එහි දි ප්රකාශ කර සිටියේ ය.
ඊට පසුදින සෙනසුරාදා රාවය කර්තෘ මණ්ඩලයේ චාපා බණ්ඩාර ජේයෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දුරකථනයෙන් කථා කොට රෝහණ කුමාර ඝාතනය පිළිබඳව සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය. ජේයෂ්ඨ පොලිස් අධිකාරී බන්දුල වික්රමසිංහ මහතා ඊට එකග වී සඳුදා සවස 4.00ට අපරාධ විමර්ශන මූලස්ථානයට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේ ය.
අපි හය දෙනෙක් නියමිත වේලාවට බන්දුල වික්රමසිංහ මහතා හමුවීමට ගියෙමු. එහි ගිය කණ්ඩායමට වරුණ කරුණාතිලක, ලසන්ත වික්රමතුංග, ටී.එන්.එල්. රූපවාහිනී සේවයේ වීඩියෝ කැමරා ශිල්පියෙකු, රාවයේ චාපා හා මා ද ඇතුළත් විය.
බන්දුල වික්රමසිංහ මහතා තුළ විමතියක් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. සිදු කෙරෙමින් තිබෙන පරීක්ෂෂණ ගැන සාධාරණ සැකයක් අප තුළ තිබෙන බවත් එය සත්යයක් නොවන බව අප හමුවේ ඔප්පු කිරීමට සූදානම් නම් අපි එය පිළිගැනීමට පමණක් නොව ඒ බව ප්රකාශ කිරීමට ද සූදානම් බව ආරම්භයේ දි ම ප්රකාශ කළෙමු.
මේ සාකච්ඡාවට අත්අඩංගුවේ සිටින තාරා අජිත් ද ගෙන එන බව බන්දුල වික්රමසිංහ මහතා මුලදි චාපාට පොරොන්දු වී තිබුණේය. එහෙත් පසුව දුරකථනයෙන් කරන ලද සාකච්ඡාවක දි තාරා අජිත් එම සාකච්ඡාවට ගෙන එනවාට නීතිපති එකග නැති බැවින් තාරා අජිත් සාකච්ඡාවට ගෙන එන්නේ නැති බව ප්රකාශ කර තිබුණි. තාරා අජිත් ජාතික රූපවාහිනිය ඉදිරියට ගෙන ගියේ නීතිපතිගෙන් විමසීමකින් පසුව දැයි එහි දි වරුණ ප්රශ්න කර සිටියේ ය. ඊට පිළිතුරක් දිම වික්රමසිංහ මහතා ප්රතික්ෂෙෂ්ප කළේ ය. තාරා අජිත් රූපවාහිනිය ඉදිරියට ගෙන ආවේ කාගේ නියෝගයක් මතදැයි ලසන්ත ප්රශ්න කළේ ය. එය ඉහළින් ආ නියෝගයක් බව වික්රමසිංහ මහතා ප්රකාශ කළත් නියෝගය දුන් පුද්ගලයා කව්ද යන්න ප්රකාශ කිරීම ඔහු ප්රතික්ෂෙෂ්ප කළේ ය.
සාකච්ඡාව අතර මග නතර කිරීමට හේතු වූ ඊළග ප්රශ්නය වූයේ තාරා අජිත් සහ තට්ට අශෝක යන අපරාධකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගත්තේ කුමන ස්ථානයකදිද යන ප්රශ්නයයි. වික්රමසිංහ මහතා ඊට පිළිතුරු නොදි ඔවුන් අත් අඩංගුවට ගැනීමට එහි ගිය පොලිස් පරික්ෂෂකවරයාට එම ප්රශ්නයට පිළිතුරු දෙන ලෙස ඉල්ලා සිටියේ ය.
බැද්දගාන පාරේ ළිඳක් අසල දි ඔවුන් අත් අඩංගුවට ගන්නා ලද බව පොලිස් පරීක්ෂෂකවරයා ප්රකාශ කර සිටියේ ය.
සමස්ත පරීක්ෂෂණය ගැන ම සැක ඇති කරන එක ප්රධාන තැනක් එය වන බව ප්රකාශ කරමින් ඒ ගැන පැහැදිලි කිරීමක් කිරීමට මට සිදුවිය.
තාරා අජිත් අත්අඩංගුවට ගත් බව දැනගන්නට ලැබිමෙන් පසු නියෝජ්ය පොලිස් අධිකාරී බෝධි ලියනගේ මහතාට දුරකථනයෙන් කථා කොට ඒ ගැන කරුණු විමසීමක් කළෙමි. තාරා අජිත් අත් අඩංගුවට ගනු ලැබූ ස්ථානය කුමක්දැයි මම ප්රශ්න කළ විට ඒ.ඩබ්ලිව්. පෙරේරා, 1/180, දූව පාර, බැද්දගාන ලිපිනයැති නිවසකදි ඔවුන් අත්අඩංගුවට ගන්නා ලද බව බෝධි ලියනගේ මහතා ප්රකාශ කර සිටියේ ය.
වෙනත් මාර්ගවලින් ලැබී තිබෙන තොරතුරු අනුව බෝධි ලියනගේ මහතාට ඔත්තුව දුන් පුද්ගලයා දැනුම් දි ඇත්තේ තට්ට අශෝකා නමැති නමගිය අපරාධකාරයා අංක 879020 දරන දුරකථන අංකය සහිත නිවසේ සිටින බව ය. එම දුරකථන අංකය සඳහා දුරකථන නාමාවලියේ සඳහන් ලිපිනය වනුයේ ඒ.ඩබ්ලිව්. පෙරේරා, අංක 1/180, දූව පාර, බැද්දගාන ලිපිනයයි. පොලිස් කණ්ඩායම තට්ට අශෝකා අත් අඩංගුවට ගැනීමට මේ ලිපිනය සහිත නිවස සොයාගෙන ගියත් එය ජනාධිපති ආරක්ෂෂක අංශයේ සංජීවගේ නිවස බව ඔවුහු එහි යන තෙක් ම නොදැන සිටියහ. ඔහු සොයාගෙන ගිය තට්ට අශෝකා පමණක් නොව සැක කටයුතු තවත් දෙදෙනෙකු ද එහි සිටිම නිසා ඒ තිදෙනාම රැගෙන අපරාධ පරීක්ෂෂණ මූලස්ථානයට ගෙනා විට හඳුනා නොගත් දෙදෙනාගෙන් කෙනෙකු තාරා අජිත් බව හෙළි විය.
තාරා අජිත් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂෂක අංශයේ සංජීවගේ නිවසින් බව අපි කියා සිටි විට පළමු වටයේ දි වික්රමසිංහ මහතාගේ පොලිස් පරික්ෂෂකවරයාත් එය පිළිගැනීම ප්රතික්ෂෙෂ්ප කළේ ය. තාරා අජිත් අත් අඩංගුවට ගත් ලිපිනය අප දැනගත්තේ නියෝජ්ය පොලිස්පති බෝධි ලියනගේ මහතාගෙන් බව ප්රකාශ කරමින් අවශ්ය නම් අප කරන ප්රකාශය සත්යයක් දැයි බෝධි ලියනගේ මහතාගෙන් දුරකථනයෙන් විමසන ලෙස ඉල්ලා සිටි විට ඔවුන් සියලු දෙනා බිරාන්ත වූහ. ඒ සමගම වික්රමසිංහ මහතාගේ හැසිරිමේ බලවත් වෙනසක් ප්රදර්ශනය විය.
ප්රශ්න ඇසීමට තමන් එකග නැති බවත් ප්රශ්න අසනවා නම් සාකච්ඡාව ඉදිරියට ගෙනයාමට සූදානම් නැති බවත් ඔහු තරයේ ම ප්රකාශ කර සිටියේ ය. වික්රමසිංහ මහතා කියන ඕනෑම දෙයක් ප්රශ්න කිරීමකින් තොරව පිළිගැනීමට අප සූදානම් නැති බව ප්රකාශ කළ විට එසේ නම් තවදුරටත් සාකච්ඡාව නොපවත්වන බව ප්රකාශ කර සිටියේ ය. ඒ නිසා සාකච්ඡාව එතකින් අවසන් කොට විසිර යාමට අප සියලු දෙනාටම සිදු විය.
රෝහණ කුමාර ඝාතනයට ජනාධිපති ආරක්ෂෂක අංශයේ බැද්දගාන සංජීව සම්බන්ධ බවට චෝදනා එල්ලවන්නට වූයේ රෝහණ කුමාර ඝාතනයත් සමගම ය. රෝහණ කුමාර ඝාතනයට දින කිහිපයකට පෙර රෝහණ කුමාර වෙනත් කාන්තාවක් සමග කාර්යාලයේ ඇති ගොඩනැගිල්ලේ ම වෙනත් කාමරයකට යන්නට නියමිතව තිබුණු අවස්ථාවක බැද්දගාන සංජීව ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සමග එම කාමරය පිහිටි ස්ථානයට පැමිණ රෝහණ කුමාර එම කාමරයේ නැති බව දැනගැනීමෙන් පසුව වීදුරු ජනෙල් කුඩු කොට පලා ගොස් ඇති බවත් එම පිරිස පලා යන්නට පැමිණ වාහනවලට නගින අවස්ථාවේ දි රෝහණ කුමාරගේ කාර්යාලයේ ඒ අවස්ථාවේ සිටි තිලක් ඈපාආරච්චි මහතා දැක ඇති බවත් රෝහණ කුමාර ඝාතනයේ මූලික පොලිස් පරික්ෂෂණවල දි හෙළිදරව් වී තිබුණි. ඉහළින් ලැබුණු නියෝගයක් මත එම පොලිස් පරීක්ෂෂණය ඉදිරියට ගෙනයාම අත්හිටුවා තිබුණේ ය.
දැන් රෝහණ කුමාර ඝාතනය කළේ යයි කියන තාරා අජිත් අත් අඩංගුවට ගෙන ඇත්තේ ද ජනාධිපති ආරක්ෂෂක අංශයේ සංජීවගේ නිවසේ සිටියදි ය. තාරා අජිත් නමගිය අපරාධකාරයෙකි. තට්ට අශෝකා ද නමගිය අපරාධකාරයෙකි. මෙවැනි නමගිය අපරාධකරුවන් දෙදෙනෙක් ඔවුන්ගේ ආයුධ සමග ජනාධිපති ආරක්ෂෂක අංශයේ විශ්වාසවන්ත පුද්ගලයකුගේ නිවසේ සිටියේ කෙසේද? මේ අපරාධකරුවන් සමග සංජීව අත්අඩංගුවට නොගන්නේ ඇයි? අඩුම වශයෙන් ඔහුගෙන් කටඋත්තරයක්වත් නොගන්නේ ඇයි? මෙම සංජීවගේ නිවසින් අපරාධකරුවන් මතු වූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර පෑලියගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂෂක සමුද්රජීව මහතා විසින් ද කැප්ටන් රංජිත් ඇතුළු අපරාධකරුවන් තිදෙනකු එහි සිටිය දි අත්අඩංගුවට ගත්තේ ය. එම අත් අඩංගුවට ගැනීම වැළකීමට ජනාධිපති ආරක්ෂෂක අංශයේ ප්රධානියා උත්සාහයක යෙදුණු බව ප්රකට ය. එහි දි අත් අඩංගුවට ගනු ලැබූ අපරාධකරුවන් පිළිබඳව කරන පරීක්ෂෂණය සමුද්රජීව මහතාගෙන් ඉවත් කරන ලද බව ද ප්රකට ය.
ජනාධිපති ආරක්ෂෂක අංශයේ සේවයේ නියුතු විශ්වාසවන්ත පුද්ගලයකුගේ නිවස රටේ නමගිය අපරාධකරුවන් ඒකරාශී වන මධ්යස්ථානයක් වන්නේය යන පුවත වැදගත් මූලික ප්රශ්න ගණනාවක් මතු කරයි. දේශපාලන බල අධිකාරයේ අවබෝධයෙන් තොරව ද එවැන්නක් සිදුවිය හැකි ය. එහෙත් එය එසේ නම් නමගිය අපරාධකරුවන් පිරිසක් එවැනි පුද්ගලයකු ගේ නිවසේදි අත් අඩංගුවට ගැනීමේ සිද්ධියක් දේශපාලන බලධාරින් තුළ තිගැස්මක් ඇති කිරීමට හේතුවිය යුතුය. එහෙත් කැප්ටන් රංජිත් ඇතුළු නමගිය අපරාධකරුවන් පිරිසක් සංජීවගේ නිවසේ සිට අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට ජනමාධ්ය මගින් විශාල ප්රසිද්ධියක් ලබා දුන්නත් ඔහු අත්අඩංගුවට ගැනීමක්වත් ඔහුගේ වැඩ තහනම් කළේ වත් අඩු ම වශයෙන් ඔහුට එරෙහිව පරීක්ෂෂණයක් හෝ සිදුකළේවත් නැත. ඉන් පසු ඒ ස්ථානයෙන් ම නමගිය අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතත් බලවතුන් සියලු දෙනා සංජීව ආරක්ෂෂා කරන පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා විනා ඔහුට එරෙහිව නීතිය ක්රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. එයින් පෙනෙන්නේ පොදු පෙරමුණු ආණ්ඩුවේ නායකයන්ගේ රැකවරණය ඔහුට ලැබී ඇති බව ය. ඔහු පොදු පෙරමුණේ වුවමනාවන් වෙනුවෙන් ක්රියාත්මක වන අපරාධ කල්ලියක් සම්බන්ධීකරණය කරන පුද්ගලයා බවට ජනමාධ්ය නගා ඇති චෝදනාව ඒ මගින් සනාථ වන්නේ ය.
රාවයේ ජනමාධ්යවේදියෙක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මොරටුවේ සමන් හමුවීමට ගියේ ය. කුමාර් පොන්නම්බලම් මහතාට වෙඩි තැබූ පුද්ගලයා තමා බව ඔහු එහි දි පිළිගත්තේ ය. ඔහු එහි දි අවධාරණයෙන් ම කියා ඇත්තේ රෝහණ කුමාර ඝාතනයට තමාගේ කිසිම සම්බන්ධයක් නැති බව ය. ඒ ගැන තාරා අජිත් කියන කථාවේ කිසිම සත්යයක් නැති බව ය. එහෙත් එම ඝාතනයේ ඇතැම් පසුබිම් තොරතුරු තමා දන්නා බව ය.
කුමාර් පොන්නම්බලම් ඝාතනයේ වෙඩික්කාරයා මොරටුවේ සමන් බව අපි ප්රකාශ කළෙමු. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු කුමාර් පොන්නම්බලම් ඝාතනය ගැන ඔහුගෙන් ප්රශ්න කරන්නේ දැයි අපරාධ විමර්ශණ මූලස්ථානයෙන් ද විමසා සිටියෙමු. ඒ ගැන කුමාර් පොන්නම්බලම් මහත්මිය ජේයෂ්ඨ පොලිස් අධිකාරි බන්දුල වික්රමසිංහ මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා ඇත්තේ පොන්නම්බලම් ඝාතනයට අත්අඩංගුවේ සිටින සමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවත් එය කොටි සංවිධානය විසින් කරවන ලද්දක් බවකට සියලු තොරතුරු තමා වෙත ඇති බවත් ය.
එහෙත් උප පොලිස් සේවයේ කොස්තාපල්වරයකු දුරකථනයෙන් කළේය කියන පාපොච්චාරණයකින් පසුව උප පොලිස් පරික්ෂෂකවරයා අත් අඩංගුවට ගැනීමට ක්රියා නොකොට ඒ පාපොච්චාරණය රටට හෙළිදරව් කරමින් ඒ පිටුපස කිසිම දේශපාලනයක් නැති බව බන්දුල වික්රමසිංහ මහතා රටට කියා සිටියේ ය. ජේයෂ්ඨ පොලිස් අධිකාරි බන්දුල වික්රමසිංහ මහතා අවංක අපරාධ පරීක්ෂෂණ නිලධාරියෙකු ලෙස ක්රියා කරනවාට වඩා ආණ්ඩුවේ දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් ක්රියා කරන පුද්ගලයකුගේ තත්ත්වයට ඇද වැටී සිටින බව පැහැදිලිව පෙනී යයි. ඔහු මෙම සිද්ධීන් දෙකම ගැන කියන කථා පිළිගත නොහැකි ය. ඔහු යටතේ ඒ ගැන කෙරෙන පරීක්ෂෂණ ද පිළිගත නොහැකි ය. බන්දුල වික්රමසිංහ මහතාගේ මෙම සැකකටයුතු ක්රියාකලාපය මේ ඝාතන සිද්ධීන් දෙක පිටුපස දේශපාලනයක් ඇති බවට එල්ල වී තිබෙන චෝදනාව සනාථ කරයි.
ජේයෂ්ඨ පොලිස් පරීක්ෂෂක ෂෝ වික්රමසිංහ මහතාට අවශ්ය වී ඇත්තේ කුමක්ද යන්න පැහැදිලි ය. එනම් මැතිවරණයට පෙර රෝහණ කුමාර ඝාතන චෝදනාවෙන් හා කුමාර් පොන්නම්බලම් ඝාතන චෝදනාවෙන් පොදු පෙරමුණු ආණ්ඩුව බේරා ගැනීම ය. කුමාර් පොන්නම්බලම් ඝාතනය ගැන මොරටුවේ සමන් කරන පාපොච්චාරණය නිසාවත් රෝහණ කුමාර ඝාතනය ගැන තාරා අජිත් කරන පාපොච්චාරණය නිසාවත් ඔවුන් ඒ නඩුවලින් වැරදිකරුවන් වන්නේ නැත. එවැනි පාපොච්චාරණ අධිකරණයේ දි විත්තිකරුවන්ට එරෙහිව පාවිච්චි කළ හැකි සාක්ෂෂියක් ලෙස පිළිගැනෙන්නේ නැත. ඔවුන්ට වැඩිම වුවහොත් සිදුවනු ඇත්තේ එක්තරා කාලයක් රිමාන්ඩ් භාරයේ සිටීම පමණය. පළමුවෙන් ඇසෙන්නේ ලඝු නොවන නඩුවකි. එහි දි ද ඒ දෙදෙනාම නිදහස් වනු ඇත. ඔවුන් ආරක්ෂෂාව වෙනුවෙන් ලබාදෙන දායකත්වය වෙනුවෙන් ඔවුන් විසින් කරන ලද අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් ද ඔවුන්ට එරෙහිව සාක්ෂෂි නැත්තේය යන පදනමේ පිහිටා ඒ අපරාධවලින් ද ඔවුන් නිදහස් කෙරෙනු ඇත. එවිට සියලු දෙනාටම ෂැම්පේන් බොමින් ප්රීතිවිය හැකි ය.